පාපන්දු ලෝක කුසලානය ලාංකේය ඇසින්... | සිළුමිණ

පාපන්දු ලෝක කුසලානය ලාංකේය ඇසින්...

විසිඑක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් තරග 16 ක් අවසන් වීමට තිබෙන අතර, අද එංගලන්තය - පැනමා, ජපානය - සෙනගාලය, පෝලන්තය - කොලොම්බියාව සමඟ තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලියට පෙර මහත් ඉහළින් කතාබහ කෙරුණු වඩාත් අවධානය දිනාගත් කණ්ඩායම්වල බලකනු සොලවන්නට සෙසු කණ්ඩායම් සමත් විය.

පසුගිය ලෝක ශූරයන් වූ ජර්මනිය සිය ප්‍රථම තරගයම මෙක්සිකෝව අතින් පරාජය විය. බ්‍රසීලය සමඟ පැවැති තරගය ස්විස්ටර්ලන්තය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිද්දී, සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමඟ පැවැති ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට අයිස්ලන්තය සිය මංගල ලෝක කුසලාන තරගය සමත්වීම කාගෙත් අවධානයට ලක්විය.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉදිරි ගමන් මඟ කෙසේවේවිද? මේ ඒ පිළිබඳ ලාංකේය පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකු දැක්වූ අදහස් සම්පිණ්ඩයකි.

තරගාවලිය විවෘතයි

මොහොමඩ් අමානුල්ලා -

හිටපු ශ්‍රී ලංකා පාපන්දු නායක සහ ජාතික පුහුණුකරු

ලෝක කුසලානය පටන් ගත්ත තැන තවම තියෙන්නේ. මුලික වටයේ තරග ඉවර වෙනකොට යම් අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා මූලික වටයේ තරගවල ප්‍රබල කණ්ඩායම් එහාට මෙහාට වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

2010 ස්පාඤ්ඤය දකුණු අප්‍රිකාවේදී ලෝක ශූරයන් වෙන්නේ මූලික වටයේ පළවැනි තරගය ස්විස්ටර්ලන්තයට පරාජය වෙලා. අවසන් තරගය ජර්මනිය 1 - 0 කින් පරාජය කරනවා. බ්‍රසීලය, පෘතුගාලය, ආර්ජන්ටිනාව, තවමත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තැනක ඉන්නවා. මූලික වටයේ ඉතිරි තරග දෙකට යනකොට කණ්ඩායම් තම තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට එයි. සෞදි අරාබියාව පළවැනි තරගය ගෝල 5 - 0 ක් විදියට රුසියාවට පැරදුනාට හොඳ ටීම් එකක්. ජර්මනිය පළවැනි තරගය පැරදුනාට හොඳ ටීම් එකක්. ක්‍රීඩකයන්ගේ දස්කම් පවා එක තරගයකදී මනින්න අමාරුයි. කණ්ඩායම් - ක්‍රීඩකයන් තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට එනකොට මේ තරගාවලිය හුඟක් තියුණුවෙයි.

ලොකු නම්වලට තර්ජනයක්

සුනිල් සෙනවීර - හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු /

තරග කොමසාරිස් සහ ජාතික කණ්ඩායමේ කළමනාකරු

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යන විදියට හොඳයි. දක්ෂයි කියපු කණ්ඩායම් මේ වෙනකොට තිගැස්මකට ලක්වෙලා. පළමු තරගයම පසුගිය ශූරයන් ජර්මනිය පරාදයි. ජර්මනියට ඉතිරි තරග දෙකෙදි ලොකු සටනක් දෙන්න වෙනවා

ආර්ජන්ටිනාව, පෘතුගාලය, බ්‍රසීලය හිතුව තරම්, බලාපො‍රොත්තු තියාගෙන හිටපු තරම් දස්කම් අතර ආවේ නෑ. හැම ටීම් එකක්ම හොඳට සැලසුම් කරලා ක්‍රීඩා කරනවා. තරග පාලනය කරනවා. පළවැනි තරගය ගෝල 5 - 0 කට ගියාට හුඟක් තරග ගෝල 1 - 2 ට යයි. මෙසි පළවැනි තරගයේදී අසමත් වුණා. රොනල්ඩොගේ ගෝල් හැට්‍රික් එක විශිෂ්ටයි. 1966 පෘතුගාලය ක්‍රීඩා කළ ඉසිබියො ගෝල හැට්‍රික් එකක් ගත්තා. ඒ ගෝල හැට්‍රික් එක මතක් කරලා දුන්නා වගෙයි.

පෘතුගාලය හොඳට තරගාවලියට ඇතුලු වුණා. තරගයක ගෝල 6 - 7 ක් යයි කියලා හිතන්න අමාරුයි. ජර්මනිය හොඳ ටීම් එකක්. මෙක්සිකෝව තරගයේදී ඔවුන් පසුබසිනකොට ප්‍රතිවාදීන් ක්ෂණික ආක්‍රමණශීලිභාවයක් පෙන්නුවා. තරගය වෙනස් වුණේ එතැනින්. විනිසුරුවන්ට හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. වීඩියෝ දර්ශන රූප රාමු තරගයට යොදා ගත්තා. මේ ක්‍රමයේ සාර්ථක අසාර්ථකභාවය තරගාවලිය අවසානයේ තමයි බලන්න වෙන්නේ.

ප්‍රබල ක්‍රීඩකයන් හිර කරලා

පකීර් අලී - ජාතික පුහුණුකරු

පොඩි ටීම් ටික සැලසුම් කරලා ක්‍රීඩා කරනවා. මෙසි - නේමාර්ට බාධා වැඩියි. රොනල්ඩෝගේ වේගය එක්ක හැප්පෙන්න අමාරුයි. රොනල්ඩෝගේ නිදහස් පහර සහ පැති පහර හරි වේගවත්. ඔහු ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. තරගාවලිය හරිම විවෘතයි. කිසිම ටීම් එකක් අනෙක් ටීම් වලට දෙවැනි වෙන්නේ නෑ. පොඩි ටීම්වල දහදෙනාම හොඳට සෙල්ලම් කරනවා. බෝලය ප්‍රතිවාදීන් අතට නිකරුණේ යන්න දෙන්නේ නෑ.

ලොකු ටිම්වලට දැන් තරග සැලසුම් වෙනස් කරන්න වෙනවා. කොහොමත් තියුණු තරගාවලියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සටන පටන්ගන්න තව ටික දවසක්යන්න ඕනේ

ඔක්කෝම ඉදිරියට ඇවිත්

මොහොමඩ් ඉස්සදීන් 1999 - 2016 ජාතික කණ්ඩායම සහ යුද හමුදා නායක

රටවල් 32 ම හොඳට සැලසුම් කරලා තරගාවලියට ඇවිත් ඉන්නවා. බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ප්‍රංශය යන කණ්ඩායම් තරගාවලිය තුළ යන ක්‍රමය තීරණය කරන්න අමාරුයි. කිසිම කාණ්ඩයක ඉදිරියට යන ටීම් දෙක නම් කරන්න බැරි තැනක තියෙන්නේ.

කණ්ඩායම් වැඩි ගෝලවලට යයි කියලා හිතන්න අමාරුයි. රොනල්ඩෝ තමයි දැනට ක්‍රීඩකයන ගෙන් ඉදිරියෙන් ඉන්නේ. අයිස්ලන්ත තරගයේදී මෙසි නිදහස් පහර තල්ලු කළා මිසක් හරියට පහරක් එල්ල කළේ නෑ. මෙසීව හැම වෙලාවෙම 2 - 3 ක් හිර කරන්න බලනවා. මෙසි තමයි හැම වෙලාවෙම ගෝල් වලට යන්න බලන්නේ. ඒක ඔවුන්ට අවාසියක් වෙනවා.

අදහස්