පාපන්දු ලෝක කුසලානය රුසියාවෙන් ඇසෙන පුවත් | සිළුමිණ

පාපන්දු ලෝක කුසලානය රුසියාවෙන් ඇසෙන පුවත්

ලෝක කුසලාන තරගාවලිය ඉකුත් ජුනි 14 දා ආරම්භ වූයේ සත්කාරක රුසියාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින්ය. මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී පැවැති සමාරම්භක උත්සවය වර්ණවත් විය. ඊට රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්, ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මෙන් ම හිටපු සුපිරි බ්‍රසීලයානු ක්‍රීඩක රොනල්ඩෝත් සහභාගි වූහ.

පාපන්දු රසික ගායකයා

සමාරම්භක උලෙළේ ප්‍රධාන ගායකයා ලෙසට ක්‍රියා කළේ එංගලන්තයේ රොබී විලියම්ස්ය. 44 හැවිරිදි රොබී දැඩි පාපන්දු ක්‍රීඩා ලෝලියෙකි. හෙතෙම කලක් ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය ටේක් දැට් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි. රොබීට අමතරව රුසියානු ඔපෙරා ගායිකාවක් වන 30 හැවිරිදි එයිඩා ගැරිෆියුලිනාත් ගීත ගායනා කළාය.

රුසියාවට විශිෂ්ට ජයක්

ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී ම පැවැති මෙවර තරගාවලියේ ප්‍රථම තරගයෙන් රුසියාව ගෝල් 5- 0 ක විශිෂ්ට ජයක් ලැබීය. ඒ සවුදි අරාබිය හමුවේය. එය ක්‍රීඩාංගණයේදී නැරඹූ පිරිස 78,011 කි. මෙය 1934 න් පසුව සත්කාරක රටක් සිය ලෝක කුසලාන ප්‍රථම තරගයේදී ලැබූ දෙවන විශාලතම ජය විය. එම වාර්තාව ඉතාලිය සතුය. ඒ 1934 දී ගෝල 7 - 1 කින් ඇමෙරිකාව පරාජය කිරීමෙනි. මෙම තරගය ඇරැඹෙන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව සවුදි අරාබිය 67 සහ රුසියාවට 70 වැනි ස්ථාන හිමිය. මීට පෙර පැවැති තරග 7 දීම රුසියාවට ජයක් හිමි වී තිබුණේ නැත.

සත්කාරකයන්ගේ වාර්තාව දිගට ම

මෙම රුසියානු ජයත් සමඟ ම ලෝක කුසලාන තරගාවලි 21 තුළදීම සත්කාරකයන් (තරගාවලි පැවැති රටවල්) කිසිම විටෙක ඔවුන්ගේ පළමු තරග පරාජය නොවී තිබේ. ඒ අනුව සත්කාරකයන්ට ජයග්‍රහණ 16 කි. ජය පැරදුමක් නැති 06 කි. 2002 දී සමසත්කාරක රටවල් ලෙසට ජපානය සහ දකුණු කොරියාව ක්‍රීයා කළහ.

ජයක් සොයන සවුදිය

මෙම පරාජයත් සමඟ ම සවුදි අරාබියාවට ලෝක කුසලාන තවත් ජයක් දෙස තවදුරටත් සිහින මැවීමට සිදු වී තිබේ. ඔවුන් අවසන් වරට ලෝක කුසලාන තරගයක් ජය ගත්තේ 1994 වසරේදීය. ඒ ගෝල් 1 - 0 කින් බෙල්ජියම හමුවේය. ඉන් අනතුරුව මේ දක්වා ලෝක කුසලාන තරග 09 ක් ඔවුන් පරාජය වූහ. ජය පැරදුමක් නැති තරග දෙකකි.

ප්‍රථම ගෝලය යුරීට

මෙවර තරගාවලියේ ප්‍රථම ගෝලය රැස් කිරීමේ ගෞරවය හිමි කර ගත්තේ 28 හැවිරිදි යුරි ගැෂින්ස්කිය. ඒ තම 07 වන ජාත්‍යන්තර තරගයේදීය. එය ඔහු‍ගේ ප්‍රථම ගෝලයත් වේ. එමෙන් ම එය ඔහු ලබා ගත්තේ හිසෙන් පන්දුවට පහර දීමෙනි. මීට පෙර අවසන් වරට ලෝක කුසලාන ආරම්භක තරගයකදී හිසෙන් ගෝලයක් රැස් කර ගෙන තිබුණේ 1990 දීය. ඒ කැමරූනයේ ෆ්‍රැන්කොයිස් ඔමාම් බියික් විසින් ආර්ජන්ටිනාවට එරෙහිවය.

අතිරේක වාර්තාව ඩෙනිස්ට

රුසියාවේ ඩෙනිස් චර්සෙව් ආරම්භක තරගයේ දී වාර්තාවක් පිහිටුවිය. එනම් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ආරම්භක තරගයකදී ගෝලයක් රැස් කළ ප්‍රථම අතිරේක ක්‍රීඩකයා වීමයි. 27 හැවිරිදි ඩෙනිස් මැද පෙල ක්‍රීඩකයෙකි. මෙය ඔහු සහභාගි වූ 12 වන ජාත්‍යන්තර තරගයයි. මෙම තරගයේදී ඔහු ගෝල් 02 ක් රැස් කර ගත්තේය.

විනිසුරු නළුවා

මෙවර ප්‍රථම තරගයේ ප්‍රධාන විනිසුරු ලෙසට ක්‍රියා කළේ ආර්ජන්ටිනාවේ නෙස්ටර් පිටානාය. 42 හැවිරිදි නෙස්ටර් කළක් නළුවෙක් ලෙසට ක්‍රියා කර තිබේ.

ප්‍රථම හැට්ට්‍රීකය රොනල්ඩෝට

ස්පාඤ්ඤ - පෘතුගාල අතර තරගය ජය පරාජයකින් තොරව නිමා වූයේ දෙරට ම ගෝල් 3 බැගින් ලබාගනිමිනි. පෘතුගාලය වෙනුවෙන් ගෝල් තුන ම රැස් කළේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය. එය මෙවර ප්‍රථම හැට්ට්‍රීකයයි. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ 51 වැනි හැට්ට්‍රිකයත් මෙය වේ.

මෙසීගේ අසාර්ථක පෙනල්ටිය

ආර්ජන්ටිනාව සහ අයිස්ලන්තය අතර තරගයත් නිමාවූයේ 1 - 1 ක් වශයෙනි. එහෙත් තරගයෙන් ජය ගැනීමට ආර්ජන්ටිනාවට අවස්ථාව උදා විය. එහෙත් නායක ලියොනල් මෙසීගෙන් එම අවස්ථාව ගිලිහී ගියේ ය. ඒ ඔහුට ලැබුණු පෙනල්ටි හෙවත් දඬුවම් පහර අසාර්ථක වීම නිසාවෙනි.

ලෝක ශූරයන්ට දුලබ පරාජයක්

ජර්මනිය මෙවර සහභාගි වන්නේ ලොව අංක 01 කණ්ඩායම ලෙසටයි. ඔවුන්ගේ පළමු තරගය පැවැත්වූයේ මෙක්සිකෝවට එරෙහිවය. ඔවුන් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව 15 වැනි කණ්ඩායමයි. බොහෝදෙනා බලාපොරොත්තු වූයේ ජර්මනියට පහසු ජ යකි. එහෙත් සිදු වූයේ ගෝල් 1 - 0 ජය මෙක්සිකෝවටයි. ලෝක කුසලාන තරගාවලියක තමන් සහභාගි වූ ප්‍රථම තරගය අවසන් වරට මීට පෙර ජර්මනිය පරාජය වී තිබුණේ 1982 දීය. ඒ ඇල්ජීරියාවට එරෙහිවයි. මෙක්සිකෝව මීට පෙර අවසන් වරට ජර්මනිය පරාජය කර තිබුණේ 1985 වසරේදීය.

වැඩිම පිරිස එංගලන්තයෙන්

මෙවර ලෝක කුසලානයට සහභාගි වන බොහෝ ක්‍රීඩකයන් වෘත්තීයමය මට්ටමින් ක්‍රීඩා කරන්නේ විදෙස් රටවලය. එසේ එංගලන්තයේ කණ්ඩායම්වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 124 ක් ම ලෝක කුසලානයට සහභාගි වෙති. ඒ ආකාරයට ම ස්පාඤ්ඤය (81), ජර්මනිය (67), ඉතාලිය (58) සහ ප්‍රංශය (49) ලෙසට එම රටවල සමාජ කණ්ඩායම්වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ මෙවර ලෝක කුසලානයට සහභාගි වෙති.

ස්වීඩන් - සෙනගාල වෙනස

එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයෝ 23 ම ක්‍රීඩා කරන්නේ එංගලන්තයේමය. රුසියානු ක්‍රීඩකයන් 21, සවුදි අරාබිය 20, ස්පාඤ්ඤය 19 සහ ජර්මනිය 15 ලෙසට ඔවුන්ගේ රටවල ක්‍රීඩා කරති. එහෙත් ස්වීඩන් සහ සෙනගාල කණ්ඩායම්වල ක්‍රීඩක‍යෝ‍ වෙනස්ය. ඒ ඔවුන්ගේ සංචිතවල සිටින සියලුම ක්‍රීඩකයන් වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කරන්නේ විදෙස් රටවල කණ්ඩායම්වලට නිසාය.

මැන්චෙස්ටර් සිටි බලය

ලොව ජනප්‍රියත ම පාපන්දු ලීග් තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙන්නේ එංගලන්තයේදී ය. ඒ ප්‍රිමියර් ලීග් තරගාවලියයි. මෙවර එනම් 2017 - 18 ප්‍රිමියර් ලීග් ශූරයෝ වූයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. එම කණ්ඩායමේ සංචිතයේ සිටින ක්‍රීඩකයෝ 16 ක් ම මෙවර ලෝක කුසලානයේදී විවිධ රටවල් නියෝජනය කරති. මීට අමතරව ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් ක්‍රීඩකයෝ 15 ක් සහ බාර්සිලෝනා ක්‍රීඩකයෝ 14 ක්ද ලෝක කුසලානයට සහභාගි වෙති.

හඩාරි පුහුණුකරුවන් පරදවයි

ඊජිප්තුවේ නායක ඊෂාම් එල් හඩාරි වාර්තාගත වූයේ ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ වයස්ගතම ක්‍රීඩකයා ලෙසටයි. ඔහුගේ වයස අවුරුදු 45 කි. මෙහි තවත් විශේෂත්වක් ඇත. එනම් මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ත්‍රිත්වයක ප්‍රධාන පුහුණුකරුවන් ද හඩාරිට වඩා වයසින් අඩු වීමයි. ඒ සෙනගාලයේ අලියු සිසේ (අවුරුදු 42), සර්බියාවේ ම්ලාඩන් ක්‍රිස්ටාජික් සහ බෙල්ජියමේ රොබර්ටෝ මාර්ටිනෙස් අවුරුදු 44 වශයෙනි.

ක්‍රීඩකයාගෙන් හොරාට පාඩමක්

ඔගෙන්ඊ ඔනාෂි නයිජීරියාවට ක්‍රීඩා කරන්නේ මැද පෙළ ක්‍රීඩකයකු ලෙසටයි. හෙතෙම 25 හැවිරිදිය. ඔහු පුරා වසර පහක් පමණ ක්‍රීඩා කළේ ඉතාලියේ ලැෂියෝ කණ්ඩායමටයි. දිනක් ඔහු රෝමයේ වීදියක ගමන් කරමින් සිටියේය. එහිදී හොරෙක් වයස්ගත සංචාරකයකුගේ මුදල් පසුම්බිය සොරකම් කරගෙන දුවන්නට විය. මෙය ඔනාෂි දුටුවේය. ඔහු ලුහුබැඳ ගොස් ‍හොරාව අල්ලා ගත්තේය. එමෙන් ම හොරාව පොලිසියට භාර දීමටත් ක්‍රියා කළේය.

විදෙස් අගය

මොරොක්කෝව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ 1998 වසරෙන් පසුවයි. මෙවර මෙම කණ්ඩායමේ විශේෂත්වයක් තිබේ. එනම් ඔවුන්ගේ ක්‍රීඩකයන් 23 දෙනාගෙන් 17 ක්ම විදෙස් රටවල උපත ලබා තිබීමයි.

දැල් රකින්නාගේ රැකියා

ඉරානයේ අලිරිෂා බෙයිරාන්වාන්ද් 25 හැවිරිදිය. ඔහු අඩි 6 අඟල් 4 ක් උසැති දැල් රකින්නෙකි. ක්‍රීඩාවෙන් ස්ථාවර වීමට පෙර ඔහු රැකියා කිහිපයක නිරත විය. ඒ අතරට මෝටර් රථ සේදීම, ඇඟලුම් කර්මාන්තශාලාවක සහ පීසා අවන්හලක සේවය කිරීමත් අයත්ය.

ජපනාගේ යෝජනාව

ඒ 2016 වසරයි. ස්ථානය ඉතාලියේ සුප්‍රකට සැන් සිරෝ ක්‍රීඩාංගණයයි. එහිදී ජපන් පාපන්දු ක්‍රීඩක යු‍ටෝ නගටෝමෝ සිය පෙම්වතිය වූ අයිරි ටයිරාට විවාහ යෝජනාව ඉදිරිපත් කළේය. ජපන් නිළියක් වූ ටයිරා ඊට කැමැත්ත පළ කළාය. ඒ වන විට යුටෝ සුප්‍රකට ඉන්ටර් මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියේය. මේ වන විට 31 හැවිරිදි යුටෝ මෙවර ලෝක කුසලානයටත් ක්‍රීඩා කරයි.

මැරඩෝනාගෙන් මෙසීට

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩි ම ගෝල් ගණනක් රැස් කළ නායකයාගේ වාර්තාවේ හිමිකරුවා වන්නේ ආර්ජන්ටිනාවේ දියාගෝ මැරඩෝනාය. ඒ ගෝල් 06 කි. මෙවර එම වාර්තාව බිඳ දැමීමට තවත් ක්‍රීඩකයකු සූදානමින් සිටියි. ඒ ලියොනල් මෙසීය. ඒ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ගෝල 03 ක් රැස් කිරීම පමණි.

දෙරටක් හිමි මිලොස්

සර්බියාව යුරෝපයත් ඔස්ට්‍රේලියාව ආසියාවත් නියෝජනය කරමින් මෙවර තරග කරයි. මෙම දෙරටින් කුමන හෝ රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මිලොස් ඩිජෙනෙක්ට අවස්ථාව තිබුණි. ඔහු තෝරා ගත්තේ කැන්ගරු දේශයයි. 24 හැවිරිදි මිලොස් ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකි.

ඔහු සර්බියන් ජාතිකයෙකි. ඔහුගේ උපන් රට වූයේ ක්‍රොයේෂියාවයි. කෙසේ වෙතත් කොසෝවෝ යුද්ධය නිසා මිලොස් සිය මවුපියන් සමඟ බෙල්ග්‍රේඩ් නුවරට ගියහ. එහිදී ඔවුහු සරණාගතයන් ලෙසට ජීවත් වූහ. තවත් කාලයක් ගත විය. 2000 වසරේදී මිලොස් පවුල ඔස්ට්‍රේලියාවට ගියහ. ඒ වන විට ඔවුන් සතු වූයේ බෑග් දෙකක් තුළ තිබූ ඇඳුම් සහ සපත්තු පමණකි. මීට අමතරව ඇමෙරිකානු ඩොලර් 400 ක මුදලකුත් ඔවුන් සතු වූහ. එහිදී පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට මිලොස් තීරණය කළේය. ඔහුගේ දක්ෂතා උසස් මට්ටමක තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 17 න් පහළ සහ සර්බියානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වලටත් ක්‍රීඩා කිරීමයි.

2026 සත්කාරකත්වය ත්‍රිත්වයකට

2026 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය රටවල් ත්‍රිත්වයක් විසින් හිමිකර ගත්තේය. ඒ කැනඩාව, ඇමෙරිකාව සහ මෙක්සිකෝව විසිනි. මේ පිළිබඳව පැවති ඡන්ද විමසුමේදී මෙම සම සත්කාරක රටවල් ත්‍රිත්වය විසින් අප්‍රිකාව නියෝජනය කළ මොරොක්කෝව පරාජය කළේය. ඒ ඡන්ද 134 - 65 කිනි. මෙම ඡන්ද විමසීම රුසියාවේ මොස්කව් නුවර පැවැති ලෝක පාපන්දු සම්මේලන (ෆීෆා) 68 වැනි සමුළුවේදී සිදු කෙරිණි. ඊට ෆීෆා සාමාජික රටවල් 211 ක් අතරින් 200 ක් සහභාගි විය.

ලෝක කුසලාන ඉතිහාසයේ විශාලත ම තරගාවලිය පැවැත්වෙන්නේ 2026 වසරේදීය. එය දින 34 ක් පුරා පැවැත්වීමට නියමිතයි. ඊට රටවල් 48 ක් සහභාගි වෙයි. පැවැත්වෙන මුළු තරග ගණන 80 කි. මේ අතර මීලඟ එනම් 2022 තරගාවලිය පැවැත්වෙන්නේ මැද පෙරදිග කටාර් රාජ්‍යයේය. මෙක්සිකෝව මීට පෙර 1970 සහ 1986 දීත් ඇමෙරිකාව 1994 දීත් ලෝක කුසලාන තරගාවලියන් හි සත්කාරකත්වය දරා ඇත. කැනඩාව 2015 වසරේදී කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීය. 2002 ලෝක කුසලාන තරගාවලිය ජපානය සහ දකුණු කොරියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීය.

ස්පාඤ්ඤ පුහුණුකරු ඉවතට

මෙවර තරගාවලියේ ඔවුන්ගේ ප්‍රථම තරගය ඇරැඹීමට දෙදිනක් තිබියදී ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරු ජුලෙන් ලොපෙටෙගි එම තනතුරින් ඉවත් කිරීමට එරටේ පාපන්දු සම්මේලනය තීරණය කළේය. මීට හේතුව වූයේ ඔවුන්ව දැනුවත් නොකරමින් රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට ජුලෙන් ක්‍රියා කිරීමයි.

ජුලෙන් එම තනතුරේ ක්‍රියා කිරීමට ලෝක කුසලාන තරගවලියෙන් අනතුරුව නියමිතයි. රියල් මැඩ්රිඩ් ප්‍රධාන පුහුණුකරු ලෙසට ක්‍රියා කළ හිටපු ප්‍රංශ සුපිරි ක්‍රීඩකයකු වූ සිනෙඩින් සිඩැන් පසුගියදා ඉවත් විය. ලෝක කුසලාන තරගාවලිය ඇරැඹීමට දෙදිනකට පෙර රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසට තෙවසරක කාලයක් සඳහා ජුලෙන් පත් කර ඇති බව වාර්තා විය. 51 හැවිරිදි ජුලෙන් 2016 වසරේ සිට ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ක්‍රියා කළේය. එම කාලය තුළදී ස්පාඤ්ඤය අපරාජිත විය. ඒ තරග 20 කදී ජයග්‍රහණ 14 ක් සහ ජය පරාජයක් නැති තරග 06 ක් ලෙසිනි.

නව වගකීම හියේරෝට

ජුලෙන් ලොපෙටෙගි ඉවත් කිරීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලිය සඳහා ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරු ලෙසට ෆර්නැන්ඩෝ හියේරෝ පත් කර තිබේ. 50 හැවිරිදි හියේරෝ හිටපු ක්‍රීඩකයෙකි. එමෙන් ම වත්මනදී ස්පාඤ්ඤ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාය. හියේරෝ 1989 සිට 2002 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු වශයෙනි. එහිදී තරග 89 කි. රැස්කළ ‍ගෝල් 29 කි.

හෙතෙම රියල් මැඩ්රිඩ් හිටපු ක්‍රීඩකයෙකි. එමෙන්ම 1990, 1994, 98, 2002 වසරවල ලෝක කුසලාන තරගාවලියන්ටත් ක්‍රීඩා කර තිබේ.

පිසිගේ ඉලක්කය වරදියි

“අපේ ඉලක්කය රුසියාව පරාජය කිරිමයි.” සවුදි අරාබියානු ප්‍රධාන පුහුණුකරු ජුවාන් අන්තෝනියෝ පිසි මෙවර ප්‍රථම තරගයට පෙර පැවසීය. නමුත් සිදුවූයේ සත්කාරකයන්ට දැවැන්ත ජයකි. 50 හැවිරිදි පිසි උපතින් ආර්ජන්ටිනා ජාතිකයෙකි. නමුත් 1994 - 98 දක්වා ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කළේ ස්පාඤ්ඤය නියෝජනය කරමින්ය. ඒ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වශයෙනි. එහිදී තරග 22 කි. ගෝල් 08 කි. ඔහු 1998 ලෝක කුසලානයටත් සහභාගි විය. හෙතෙම හිටපු බාර්සිලෝනා ක්‍රීඩකයෙකි.

සලාහ්ගේ කැප කිරීම

ඊජිප්තුවේ මෝ සලාහ් මේ වන විට ලොව සිටින සුපිරිතම එමෙන් ම ධනවත් ම ක්‍රීඩකයෙකි. හෙතෙම සුප්‍රකට එංගලන්තයේ ලිවර්පුල් කණ්ඩායමට ක්‍රීඩා කරයි. අද ලොව සුපිරි තරුවක් වුවත් ඔහු පැමිණි ගමන් මඟ ඉතා අසීරු ය. මෝ වයස අවුරුදු 13 දී පාසල නිමා වූ විට සැතපුමක් පමණ ඇවිද ගියේය. ඒ දැඩි අව්රශ්මිය මැදය.

එසේ ගියේ බස් රථය කරාය. එම රථයේ නැගි මෝ පැය සතරක ගමනකින් පසුව කයිරෝ නුවරට ගියේය. මෙසේ ගියේ පාපන්දු පුහුණුවීම්වලට සහභාගිවීම සඳහාය. පාපන්දු පුහුණුවෙන් අනතුරුව යළිත් වතාවක් සිය ගමට ඔහු ගියේය. එසේ යන විට පසු දින උදෑසන 01 පමණ වී තිබුණි. ඉන් පසුව තවත් පැය 06 කට පසුව යළි පාසලට යාමට සූදානම් විය යුතු විය. මෙය සලාහ්ගේ දින චර්යාව වූයේය.

රුසියාවේ බ්‍රසීලයානුවා

සවුදි අරාබිය සමඟ පැවැති මෙවර තරගාවලියේ පළමු තරගයෙන් රුසියාවට පහසු ජයක් අත් විය. එහිදී දස්කම් දැක්වූ ක්‍රීඩකයකු වූයේ මාරියෝ ෆර්නැන්ඩෙස්ය. ඔහු ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකි. මාරියෝ විශේෂිතයි.මාරියෝ 1990 වසරේ සැප්තැම්බර් 19 උපත ලැබීය. ඒ බ්‍රසීලයේය. ඔහුගේ උස අඩි 6 අඟල් 2 කි.

2014 වසරේදී බ්‍රසීළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකටත් ක්‍රීඩා කළේය.හෙතෙම 2009 සිට 12 දක්වා බ්‍රසීලයේ ග්‍රෙමියෝ කණ්ඩායමට ක්‍රීඩා කරනු ලැබීය. පසුව 2012 සිට රුසියාවේ සි.එස්.කේ.ඒ. මොස්කව් කණ්ඩායමට ක්‍රීඩා කරයි. දිගු කාලයක් රුසියාවේ පදිංචිව සිටිය නිසා මාරියෝට එ‍රටේ පුරවැසිබව 2016 වසරේදී ලැබිණි. 2017 වසරේ සිට ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ රුසියාවටයි. ඔහුගේ මල්ලි වන ජෝ (උපත 1992 ජනවාරි 16) පාපන්දු ක්‍රීඩකයෙකි. හැබැයි ඔහු ක්‍රීඩා කරන්නේ බ්‍රසීලයේය.

 

අදහස්