තෙන්ඩුල්කාර් උඩින් ගෙනත් අතහැරියා ද? | සිළුමිණ

තෙන්ඩුල්කාර් උඩින් ගෙනත් අතහැරියා ද?

මේ අවුරුදු තුනකටත් පෙර කතාවකි. කවදත් වැස්ස වැටෙන කාලයට පවත්වනු ලබන 'කන්ගා ලීග්' තරගාවලිය එවර වියළී ගිය දකුණු මුම්බායිහි තණතිල්ලක පවත්වන්නට සිදු වී තිබුණේය. ක්‍රීඩාපිටියේ කොනක ඉදි වී තිබුණු තරමින් කුඩා කූඩාරමක කොල්ලෝ රැළක් ඔවුනොවුන්ටත් දකිනා සැමටත් සමච්චල් කරමින් සිටියහ. අර්ජුන් පන්දු යවන්නාගේ පන්දුවකට උඩ පන්දුවක් දී පහසුවෙන්ම දැවී ගියේය. මුහුණේ කිසිම සතුටක් නැතිව කූඩාරම තුළට එමින් සිටි අර්ජුන් තේ බොයිලේරුව අසලට එද්දීම එකකුගේ කට ඇරුණේය.

"තේ බොනවද?" ඔහු අර්ජුන්ගෙන් ඇසුවේ සමච්ච්ලයටය.

වචනයෙන් උත්තරයක් නොදුන් අර්ජුන් "එපා" කියන්නට හිස වැනුවේය.

බලා සිටි කොලු රැළට අර්ජුන් සමච්චලයට ලක් කරන්නට මේ හොදම මොහොත විය.

"ඔයා ඉතින් තේ නෙමෙයිනෙ බොන්නෙ; ජනප්‍රියකමනෙ!" තවෙකකු කියාගෙන ගියේ ගානක් නැතිවය.

පිටියේ දී දක්ෂකම් පෙන්වාගන්න බැරිව අසරණ වී සිටි අර්ජුන් තවත් අසරණ වූයේය. සිදු වූ දේ අපහසුවෙන් දරාගනිද් දී තරු තරාතිරමේ වැජඹෙන අර්ජුන්ගේ තාත්තා පෙනී සිටිනා දැන්වීමක් අසල තිබූ රූපවාහිනියක පෙනෙන්නට පටන් ගත්තේය. අර්ජුන්ගේ සැබෑ ලෝකය පෙන්වන්නට මෙනි. අර්ජුන් සිතට දැනුණු අපහසුවෙන්ම සෙමෙන් ඉදිරියට ඇදුණේය. මහ සෙනගක් සිටි එතැන කිසිවකු නැති තැනක් සොයාගොස් තනිවම හිඳගත්තේය.

අර්ජුන් පිටිය මැදට හිටිහැටියේම ආ පැරෂුට්කාරයකු බවට කා අතරත් තිබුණු කතාව, කාටත් පෙනුණු ඔහුගේ අදක්ෂකම් සමඟ ඔප්පු වෙමින් තිබුණේය. ඔහුව හරියටම පෙනුණේ නොදන්නා පාසලක අලුත් පන්තියකට ගිය අලුත් ළමයකු සේය. ඔහුට තිබුණු නුපුරුදුකම අන් කිසිවක් නොව, අතිදක්ෂ ජනප්‍රිය තාත්තා කෙනකුගේ පුතු වූ ඔහු කෙරෙන් දක්ෂකමක් ප්‍රකට නොවීමමය. මේ අර්ජුන් අත්දුටු එක් දෙයක් විතරය. ' අර්ජුන්' නමේ අගට ඇති 'තෙන්ඩුල්කාර්' නම කියැවෙද් දී මේ 'අතිදක්ෂ ජනප්‍රිය තාත්තා' රහසක් නොවනු ඇත. ඔහු ජීවත් වන පුරාවෘත්තයකි. ක්‍රිකට් ලෝකය මවිත කරමින් අමතක නොවන මතක ගොන්නක් ගොඩගැසූ ඔහු සචින් තෙන්ඩුල්කාර් ය.

සචින් ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් සිය අවසාන තරගය ක්‍රීඩා කර වසර පහක් ඉක්බිත්තේ යළිත් තෙන්ඩුල්කාර් නම ක්‍රිකට් ලකුණු පුවරුවල ලියැවෙන්නට යන්නේය. ඒ නම යළි අපේ රටේ ලකුණු පුවරුවකද ලියැවෙන්නට යන්නේය. එහෙත් මෙවර ඒ නම 'සචින්' වෙනුවට 'අර්ජුන්' ලෙස වෙනස් වී ලියවෙනු ඇත. අසමසම පිතිකරු නමක් ලෙස සචින්ගේ නම ලකුණු පුවරුවල ඉහළින්ම ලියැවුණත් පන්දු යවන්නකු ලෙස එන අර්ජුන්ගේ නම නම් ලියවෙනු ඇත්තේ පහළ කෙළවරකය. අර්ජුන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පැවත්වීමට නියමිත දින හතරේ තරග දෙකක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කෙසේ වෙතත් එම තරගාවලියේම එක්දින තරග සංචිතයට අර්ජුන් නම් කර නැත.

සචින්ගේ පුතා වීම නිසාම බොහෝදෙනාගේ බැල්මට ලක් වී සිටියත් අර්ජුන්, බලාපොරොත්තු වූ තරම් දක්ෂකම් නොපෙන්වීම ඔහුගේ ගමන මේ තරම් ප්‍රමාද වීමට හේතු වූ බව කාගේත් අදහසයි. ක්‍රිකට් ජීවිතයේ ඔහු දැනටමත් සිටින්නේ සිය පියාට වඩා සෑහෙන තරම් පසුපසිනි. සචින් අවුරුදු 16 වෙද්දීම සිටියේ ඉන්දීය ජාතික කණ්ඩායමේ ටෙස්ට් ක්‍රීඩකයකු ලෙසය. කෙසේ වුවත් දැන් 18 හැවිරිදි අර්ජුන් 19න් පහළ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා සංචාරයට තේරී ඇත්තේ තෝරාගත් ක්‍රීඩකයන් 25 දෙනකු වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ ධර්මශාලාහි පැවැති පුහුණු කඳවුරකින් පසුවය. ඔහු වමත් මඳ-වේග පන්දු යවන්නකු ලෙසද වමත් පිතිකරුවකු ලෙසද සැලකිය යුතු තරම් දක්ෂතා ඇත්තකු බව පුහුණු කඳවුරේ පුහුණුකරු කියා ඇතත් අර්ජුන්ගේ දක්ෂතා ගැන ඇතැමුන් තුළ ඇත්තේ සැකයකි. පුහුණුකරුට අනුව අර්ජුන් පැයට කිලෝමීටර 135ක වේගයෙන් පන්දු යවන්නේය. එහෙත් ඔහුගේ කඩුලු ගැනීමේ වේගය නම් ඒ තරමට වේගවත් නැත.

මේ දක්ෂතා අසාමාන්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැතත් ජාතික ක්‍රිකට් ඇකඩමියේ තුන්වන මට්ටමේ පුහුණුකරු වකු වන අතුල් ගයිවාඩ් නම් පවසන්නේ අර්ජුන් මේ පැමිණියේ ලෙහෙසි ගමනක් නොවන බවයි.

"මේක අර්ජුන්ට ලෙහෙසි ගමනක් වුණේ නැහැ. මම අර්ජුන්ව බොහොම ළඟින් දැකපු කෙනෙක්. අවුරුදු තුනකට විතර කලින් ඔහු නිතර නිතර ආබාධවලට ලක් වුණා. ඔහු මෙතැනට එන්න ගොඩක් මහන්සි වුණා."

ගයිවාඩ්ගේ ඇසුර සේම ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු සහ සචින් තෙන්ඩුල්කාර්ගේ කිට්ටුවන්ත මිතුරකු වන සුබ්‍රොටො බන්ජෙරීගේ ඇසුරද අර්ජුන්ට ලැබී ඇත.

සචින්ගේ දස්කම්වල අනුහසින්දෝ අර්ජුන් ඉන්දීය සහ අන්තර්ජාතික ක්‍රිකට් සමාජ කිහිපයකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ලැබී ඇත. වසර කිහිපයකට පෙර ක්‍රිකට් සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එංගලන්තයට ගිය අවස්ථාවක ලෝකයේ එතෙක්-මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නා ලෙස කියවෙන වසීම් අක්‍රම්ගේ පුහුණු සැසියකට යන්නටද ඔහුගේ ඇසුරෙන් සිය ගමනට උත්තේජනයක් ලබාගන්නටද වාසනාවන්ත වී තිබේ.

"මට හමු වෙද්දි ඔහුට අවුරුදු 15ක් විතරයි. ඉන්දියාවෙ, පාකිස්තානෙ, බංගලාදේශයේ සහ ලංකාවෙ ඕනෑම පොඩි කොල්ලෙක් වගෙ අර්ජුන්ටත් ක්‍රිකට් ගැන නොසන්සි‍ඳෙන ආසාවක් තිබුණා.

ඔහුගේ වීරයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඔස්ට්‍රේලියානු සුපිරි වමත් පන්දු යවන්නා මිචෙල් ස්ටාර්ක් සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයකු වන බෙන් ස්ටොක්ස්ය.

සචින්ගේ පසුපස නිතර පුහුණුවීමවලට එන්නට හුරු වී සිටි නිසාදෝ ඉන්දීය ජාතික පිලේ ක්‍රීඩකයන්ට පන්දු යවන්නටද අර්ජුන් නිතර අවස්ථාව ලැබූවෙකි. අදටත් මුම්බායිහි කෙරෙන පුහුණුවීම් අතර දී අර්ජුන්ට නිතර නිතර මෙවැනි අවස්ථා ලැබෙන්නේය. මෑත දී වන්කඩේ පිටියේ ඉන්දීය නායක විරාට් කෝලිට් පන්දු යැවූ අර්ජුන්ගේ වීඩියෝවක් සමාජ ජාලාවල කතාබහට ලක් විය.

බොහෝ අය අර්ජුන් තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස සිතා සිටියද ඔහු වැඩි හැකියාවන් පෙන්වා ඇත්තේ වේග පන්දු යවන්නකු ලෙසය. එසේ වුවත් මේ වසරේ මුල කාලයේ අර්ජුන් කාගේත් අවධානයට ලක් වූයේත් වැඩි කතාබහට ලක් වූයේත් ක්‍රිකට් සමාජ තරගයක දී පන්දු 27කට ලකුණු 48ක් සහ පන්දුවාර 4ක් යවමින් කඩුලු 4ක් ලබාගනිමිනි.

අර්ජුන් තෙන්ඩුල්කාර් විටින් විට පිටියේ දස්කම් පෙන්වා තිබුණද ඔහු එක්වරම ඉන්දීය 19න් පහළ කණ්ඩායමට තෝරාගැනීම ඇතැමුන් සලකන්නේ 'උඩින් ගෙනැවිත් අතෑරීමක්' ලෙසය. අර්ජුන්ගේ ආගමනය ගැන පළ වී ඇති ප්‍රතිචාර තරහවේ සිට සතුට දක්වා පුළුල්ව විහි දී ඇත්තේය. අර්ජුන්ගේ මේ තෝරාගැනීම නොතකා සිටිය නොහැකි තැනට පත්ව ඇත්තේ ඔහුගේ තාත්තා සචින් තෙන්ඩුල්කාර් මිලියනයකටත් වැඩි පිරිසකට තවමත් තමන්ගේ ක්‍රිකට් වීරයාව සිටින නිසාය.

ඔහු පසුගිය තරග 9ක දී දවාගෙන ඇත්තේ කඩුලු 18ක් පමණි. මුම්බායිහි දී ඉන්දීය ජාතික කණ්ඩායම පුහුණුවීම් සිදු කරන ක්‍රීඩාංගණවල නිතර දකින්නට ලැබෙන අර්ජුන් දෙස 'සචින්ගෙ පුතානෙ. එක පුදුමයක් නෙමෙයි' වැනි සිතිවිල්ලකින් නිතර බැලූ ඇතැමුන්ට ඔහුගේ මේ තෝරාගැනීම සහ මේ පෙනී සිටීම අතර සබඳකමක් ඇතැයි යන සැකයද දැන් දැන් ඇතිවී තිබේ. මෙය හිතවත්කම්වලට සහ සචින්ගේ දක්ෂකම්වලට කළ සැලකිල්ලකැයි ඇතැමුන් කියන්න පටන් ගෙන ඇත්තේ ඒ නිසාමය. අර්ජුන් 19න් පහළ කණ්ඩායමට තොරාැගැනීමේ පුවතට ට්විටර් මඟින් ලැබී තිබුණු ප්‍රතිචාර, බොහෝ දෙනාගේ ප්‍රතිචාර සුබවාදී නොවන බව පෙන්වන්නේය.

"අර්ජුන් දැනුයි 19න් පහළ කණ්ඩායමට අරගෙන තියෙන්නෙ. සචින් නම් අවුරුදු 16දිත් ටෙස්ට් සෙල්ලම් කරනවා. සචින් කවදාවත් වයස් සීමා කණ්ඩායම්වලට ක්‍රීඩා කරපු කෙනෙක් නෙමෙයි." එක් ට්විටර් ප්‍රතිචාරයක් එසේ කියැවෙද් දී තවෙකක කියැවී තිබුණේ "ඇත්තෙන්ම සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා විදියට ඔහුට යන්න තියෙන්නෙ හරිම පහසු ගමනක්. ඒ නිසා ඔහු ගැන නොයෙක් කතා කියවෙන එක පුදුමයක් නෙමෙයි. ඒත් ඔහුටත් අවස්ථාවක් දීලා බලමු. කවුද දන්නේ ඔහු අපිව පුදුම කරාවිද කියලා" යනුවෙනි. තවත් අය කියා තිබුණේ සචින්ගේ පුතා ලෙස ක්‍රිකට් ජීවිතය පටන් ගන්න නිසා තාත්තාගේ නම රැකගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ ඇති බවයි. සචින්ගේ පුතා ලෙස ඉපදුණු ඔහුගේ දක්ෂතා සචින්ගේ දක්ෂතා සමඟ සැසඳීමට ලක් වීම වළක්වා ලීම අපහසු වුවත් එක් අතකින් එසේ සැසඳීම අසාධාරණ බව පවසන අයද නැත්තේ නොවේ. "ඇත්තටම ඇයි අර්ජුන්ගේ තෝරාගැනීම ගැන මේතරම් නෙගටිව් විදියට හිතන්නේ? ඔහු දක්ෂ නැත් නම් ඔහුට ඉදිරියට යන්න බැරි නම් අනෙක් බොහෝ ක්‍රීඩකයො වගෙ ඔහුත් කණ්ඩායමෙන් හැලේවි. ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ." තවත් කෙනෙකුගේ ප්‍රතිචාරයේ එසේ සටහන් වී තිබිණි. "තාත්තා අතිසාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු පමණින් පුතාත් එහෙම වෙන්න ඕන නැහැනෙ!" ඇතැමුන් සිතන්නේ එහෙමය.

අර්ජුන්ගේ තෝරාගැනීම ගැන ක්‍රිකට් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මෙතරම් සිතන්නට සිදු වන්නේ ක්‍රිකට් ලෝලී ඉන්දීයයන් සචින් තෙන්ඩුල්කා දේවත්වයෙන් පුදනා නිසාය. අර්ජුන්ගේ දක්ෂතාව කොතරම් වුවත් ඔහු හිත්වත්කම් මත 19න් පහළ කණ්ඩායමට තෝරාගත්තේ නම් කැළල සිදු වන්නේ අර්ජුන්ගේ නමට නොව, සචින්ගේ නමටය.

කෙසේ වෙතත් සචින් නම් මේ තෝරාගැනීම ගැන දක්වා ඇත්තේ සුපිරි ක්‍රීඩකයකුගේ ප්‍රතිචාරයක් නොව‍, තනිකරම තාත්තාගේ ප්‍රතිචාරය විතරය.

"අර්ජුන්ට ලැබුණු මේ අවස්ථාව ගැන මම වගේම මගේ බිරියත් ගොඩක් සතුටු වෙනවා. මම හිතනවා මේ ලැබුණු අවස්ථාව දක්ෂතා පෙන්වීමට ඔහු ප්‍රයෝජනයට ගනීවි කියලා..."

ඉතිරිව ඇත්තේ බලා සිටින්නටය. අර්ජුන් තෙන්ඩුල්කාර් අපේ 19 පහළ කණ්දායමේ පරාජයට හේතුවක් වුව හොත් ඔහු නිසැකවම දිනනු ඇත. එසේ නොවුණ හොත් ඔහුගේ කණ්ඩායම සේම ඔහුද නිසැකවම පරාජය වනවා සේම ඔහුගෙ ආගමනය ගැන මතු වූ සැකසංකාද සැබෑ කරනු ඇත. ඉතින්, කුමක් වේදැයි දැනගන්නට බලා සිටිය යුතුමය.

අදහස්