සම්මාන ‍නොවේ! ජීවත් වෙන්නයි ‍අපිට ඕනේ | සිළුමිණ

සම්මාන ‍නොවේ! ජීවත් වෙන්නයි ‍අපිට ඕනේ

එකට මියගිය මිතුරන් තිදෙනකුගේ‍ බිරියන්ගේ ඉල්ලීමක්

බණ්ඩාරවෙල - ඌව කොස්ලන්ද මාර්ග‍ෙය් මාරක රිය අනතුර සිදු වූයේ මීට මාස 8 කට පෙරය. ඉන් මිය ගියේ එක බුලත්විට එකට බෙදා ගෙන කෑ මිතුරන් තිදෙනෙකි. කාලයත් සමඟ ඔවුන් ගැන කතාබහ අමතක වුවත් පසුගිය බ්‍රහස්පතින්දා විරුජන සම්මාන උලෙළේදී මේ ගැන මතකය යළි අලුත් විය.

‘ඉතිං...

අපි පුටුවලට බරවීමු.

තවමත් වැඩ නිමවී නැති ඇගේ නිවෙසේ සාලයේ බිත්තියක ඇත්තේ සුදු මල් මාලයක් දැමූ කීර්ති බණ්ඩාර පද්මසිරිගේ විශාල ප්‍රමාණයේ සේයාරුවකි. ඉතිං යැයි කීව ද දෑසේ කඳුළු පුරවා ගත් ප්‍රියංගිකා නිහඬ ය.

අපි බොහෝ වේලා නිහඬව ගත කරන්නට ඇත. වචනයකුදු කතා නොකළ ඇය, ඉකි බිඳින්නීය. ඇගේ නිවෙස පිටුපසින් ගලන දොළ පාරේ හඬ යටපත් කරමින් ඇගේ ඉකිබිඳුම් හඬ හද පාරවයි. ඇය ප්‍රියංගිකා විජය නිල්මිණි ය. එනම් මියගිය කීර්ති බණ්ඩාර පද්මසිරිගේ බිරිය ය. කීර්ති බණ්ඩාර පද්මසිරි, ඒ කවුදැයි කියා මොහොතකට ඔබ සිතනු ඇත‍.

අප නතර වන්නේ මාස නවයකට පමණ පෙර මතකයක ය. ඔහු බණ්ඩාරවෙල සිට පැමිණි අනතුරට පත්වූ ඌව කොස්ලන්ද බසයේ රියැදුරු ය. කාර්මික දෝෂයක් හේතුවෙන් බසය ප්‍රපාතයට වැටෙන්නට ගිය විට තම ජීවිතය ගැන ‍ෙනාසිතා මගී ජීවිත බේරා ගන්නට බස් රථය ගල් ඇන්දේ වැදීමෙන් මිය ගිය ලංගමයේ රියදුරු ගැන ඔබට මතක ඇති බව නිසැකය.

අ‍ෙප් කතා නායිකාව ඔහුගේ බිරිය ය. ප්‍රියංගිකා පිළිබඳ මතකය යළිත් අලුත් වූයේ පසුගියදා පැවැති 24 වැනි විරුජන සම්මාන උලෙළේදීය. එහිදී බුදල්නා ස්වර්ණ සම්මානයෙන් ප්‍රියංගිකාගේ සැමියා වූ කීර්ති බණ්ඩාරයන් පිදුම් ලැබුවේ තම ජීවිතය ගැන නොසිතා ජීවිත පූජාවෙන් මගීන් විසි දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමේ වීරත්වයට උපහාර පිදීමක් ලෙස ය. ඌව කොස්ලන්ද හිඹිලියගහවත්තේ පදිංචිව සිටින ප්‍රියංගිකාගේ නිවෙසට ගියදා ඇය කියූ කතාවය මේ.

“මහත්තයා මිය යනවිට එයාගේ වයස අවුරුදු 44 යි. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. දුවට වයස අවුරුදු අටයි. මගෙ මහත්තයා අවුරුදු දොළහක් තිස්සේ සීටීබී එකේ වැඩ කළේ. එයා යුද කාලේ හිටියේ පනාගොඩ කෑම්ප් එකේ. එතැන ඉඳලා පුදුකුඩුඉරිප්පුවලට යුද හමුදා නිලධාරීන් බස් එකේ රැගෙන ගියා. ඉන් පස්සේ බණ්ඩාරවෙල ඩිපෝවේ වැඩ කරන්න ඇවිල්ලා අවුරුදු 9ක් වෙනවා. මේ සිද්ධිය වුණේ 2017 ඔක්තෝබර් පළමු වැනිදා හවස පහමාරට විතර. බස් එකේ බ්‍රේක් නැහැ කියලා තමයි කියන්නේ. මේ සිද්ධිය වෙන්න සතියකට විතර කලින් මහත්තයා ගෙදර ඇවිල්ලා කිව්වා අද මම අනූනමයෙන් බේරුණේ කියලා. මම ඇහුවා දැයි කියලා? ඇය ඉකිබිඳින්නට වූවා ය. තත්පර ගණනකට පසු යළි ඇය කතා කරන්නට විය.

“අද බස් එකේ බ්‍රේක් නැතුව ගියා. පුදුම බේරිල්ලක් බේරුණේ. ආයෙ නම් ඉතිං මාව මැරෙන එකක් නැහැ” කිව්වා. අනතුර වුණ දවසේ බස් එකේ ආව අය කියනවා මහත්තයා කෑගහලා කිව්වලු. ඒ අයට පස්සට යන්න කියලා. එයා අනිත් අය ගැන හිතන්න ඇති! මහත්තයා නැති වුණ බව මම දන්නේ පහුවදා. හැමෝම මට කිව්වේ එයාට තුවාලයි කියලා විතරයි. ඔක්තෝබර් දෙවැනිදා දුවගේ පන්තියේ දරුවන්ට ලෝක ළමා දිනය වෙනුවෙන් කෑමක් දෙමු කියලා මහත්තයා මට පළමුවැනිදා උදේ කිව්වා. එයා ඒකට අවශ්‍ය බඩුත් අරගෙන එන්නම් කියලා තමයි ගෙදරින් ගියේ. හැමදාම රෑට බස් එක අපේ ගෙදර තිබුණේ. උදේට මහත්තයා බස් එක අරගෙන යනවා. එයා කවදාවත් අපට වරදක් කරපු කෙනෙක් නෙමෙයි. මමයි මගේ අහිංසක දරු පැටවු දෙන්නයි තනි වුණා.”

නොයෙක් ඇගයීම් ලැබේ‍. එහෙත් ඔවුන් ජීවිතයට මුහුණ දෙන්නේ ගැටලු රැසක් මැදය. ඒවා ලිහෙන බවකට වඩා දක්නට ඇත්තේ තව තවත් ගැට ගැහෙන බවය.

“මගෙ අයියලා, අක්කලා මහත්තයාගේ සහෝදර සහෝදරියෝ තමයි අපට බලන්නේ. ඒත් හැමදාමත් අනුන්ට කරදරයක් වෙන්නේ කොහොමද? මහත්තයා මේ ගේ හදන්න කියලා බැංකුවෙන් ලක්ෂ නවයක ණයක් ගත්තා. ඒ ණය මුදලින් තව ලක්ෂ අටක මුදලක් ගෙ‍ෙවන්න තියෙනවා‍. මට දැන් ආදායම් මාර්ගයක් නැහැ. බැංකුවෙන් කියලා එවලා තිබුණේ මහත්තයට ඩිපෝ එකෙන් ලැබෙන පාරිතෝෂිත මුදලින් බැංකුවේ ණය පියවන්න කියලා. මට ඒ ලියුම ආවේ මහත්තයා නැතිවෙලා දවස් දොළහකින්. මම කාට කියලා කියන්නද?

ප්‍රියංගිකා දරුවන්ගේ අනාගතය ගැන සිතුවා ය. ඔවුන් වෙනුවෙන් තමන් ආදායම් මාර්ගය සකස් කර ගත යුතු ය‍. අවසානයේ ඇය අඳ කුඹුරක් කරන්නට වූවාය.

“මම කුඹුරු වැඩ කරනවා. ගමේ අය, පවුලේ අය ‍උදවු කරනවා කුඹුරු කරලා ජීවත් වෙන්න අමාරුයි. මහත්තයා නැතිවෙලා මාස තුන පිරෙන කොට එයා නැති දුක විඳගන්න බැරිව අම්මත් නැති වුණා. මගේ පවුලේ අය එයාගේ පවුලේ අය අපි ගැන හොයලා බලනවා. දරුවෝ ඉගෙන ගන්න දක්ෂයි. ඒ අයගේ අනාගතය හදන එකයි මගෙ එකම අරමුණ.”

බස් රථයේ ගමන් ගත් මගීන්ගේ ජීවිත බේරමින් කීර්ති බණ්ඩාර අවසන් ගමන් ගියේ ය. එදින මිය ගියේ ඔහු පමණක් නොව තවත් දෙදෙනෙක් ද මිය ගියහ. ඒ බණ්ඩාරවෙල පොලිසියේ පොලිස් කොස්තාපල් ධර්මසිරි බණ්ඩාර හා බණ්ඩාරවෙල ඩිපෝවේ පරීක්ෂකවරයකු වූ සුනිල් කුමාරසිරි ය.”

කීර්ති බණ්ඩාර, ධර්මසිරි බණ්ඩාර හා සුනිල් කුමාරසිරි වෘත්තීන් තුනක නියැළුණ ද ඔවුහු යාළුවෝ ය. එක බුලත් විට කමින් ඔවුහු කීර්ති බණ්ඩාර පදවන බස් රථයේ නැඟී ගමන් ගියහ. පැමිණියහ. ක්‍රියාන්විතයේද සේවය කළ කළුපහන පදිංචි ධර්මසිරි බණ්ඩාර මිය යනවිට 48 වැනි වියේ පසු වූයේ ය. ඔහුට පුත්තු දෙදෙනෙකි.‍

“මහත්තයා බොහෝම හොඳ කෙනෙක්. එයා කාටවත් කරදරයක් කළ කෙනෙක් නෙමෙයි. එදා එයා වැඩ ඇරිලා එද්දී මේ බස් රථයට ගොඩවෙලා තියෙන්නේ.‍ දැක්ක අය කියනවා මෙයාලා ඉස්සරහම හිටියේ කියලා. මහත්තයා ඉන්න කාලේ මම ගොවිතැන් කළා. දැන් ඒ කිසිම දෙයක් කරන්න හිතට හයියක් නැහැ. තවමත් අපට බැරිවුණා මහත්තයගේ විශ්‍රාම වැටුප හදාගන්න. බණ්ඩාරවෙල ඩිපෝවෙන් අපට රුපියල් විසි පන්දහසක් ලබාදුන්නා. ඔවුන් අපට ඒ මුදල දුන්නේ අප මිනී පෙට්ටිය එපා කියූ නිසා, මහත්තයාගේ මරණයේ සියලු කටයුතු සිදුකළේ බණ්ඩාරවෙල පොලිසියෙන්. මහත්තයා මැරුණ හිතේ අමාරුවට මගේ තාත්තත් මැරුණා. අපි දැන් හොඳටම තනිවෙලා ඉන්නේ. කාටවත් දැන් අප මතක නැහැ.”

ඉන්ද්‍රානි තම සැමියා සමඟ ගෙවූ සොඳුරු දිවිය සිහිපත් කරමින් වැළපෙන්නීය.

ඉන්ද්‍රානි හා ප්‍රියංගිකා තම දරුවන් ගැන සිහි කරති. ‍ඔවුහු සිය සැමියන් නැති සොවින් විඳවති. මේ දෙදෙනා ද කැටුව අප ඊළඟට ගොඩවුණේ රන්වන්ගුහාව ගමේ පදිංචිව සිටින සුනිල් කුමාරසිරිගේ බිරිය හමුවීමට ය.

“මගේ මහත්තයා මිය යනවිට ඔහුගේ වයස අවුරුදු හතළිස් අටයි. මගෙ මහත්තයයි කීර්ති බණ්ඩාරයි පොලිසියේ මහත්තයයි හොඳ යාළුවෝ. සමහර දවස්වලට මහත්තයා කීර්ති බණ්ඩාර එන බස් එකේ ඇවිල්ලා හපුතලේ හන්දියෙන් බැහැලා කැලෑ පාරකින් ගෙදර එනවා. ගමට එන බස් එක එන්න කලින් මහත්තයා ගෙදර‍. එදත් මහත්තයා ඒ බස් එකේ ඇවිත් තිබුණේ. මම හැමදාම එයා එනතුරු ගිලන්පස හදාගෙන ඉන්නවා. මහත්තයා හවසට හැමදාම පන්සල් යනවා. භාවනා කරන්න යනවා. එයා පුදුමාකාර දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් සාමාන්‍ය පෙළ විභාගය කරනවා. අනෙක් දුවට රස්සාවක් නැහැ තාම. මම පෙර පාසලක් කරගෙන යනවා. දරුවෝ දෙන්නයි මමයි තනිවුණා. බණ්ඩාරවෙල ඩිපෝ එකෙන් මහත්තයගේ මිනී පෙට්ටිය අරගෙන දුන්නා විතරයි. ඉන්පස්සේ කවුරුවත් අපි ගැන හෙව්වේ බැලුවේ නැහැ. අද මේ වනතුරු කිසි කෙනෙක් අපේ පවුල් ගැන සොයලා නැහැ.

සුනිල්ගේ බිරිය චම්පිකා ‍උදයංගනී කුමාර තම දියණියන් දෙදෙනා තුරුල් කර‍ ගනිමින් පවසන්නීය. මිනිසුන්ට දුක් කරදර ළඟා වන්නේ නොසිතූ මොහොතකය. ඔක්තෝබර් පළමුවැනිදා තිදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බස් අනතුරෙන් බොහෝ දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. තුවාල ලැබූ ඇතැමුන් වතු කම්කරුවෝය. හපුතලේ කන්ද නගින විට එක් ස්ථානයක අනතුරින් වූ ලේ පැල්ලම් ගල්වැටියක මෑතක් වනතුරුම තිබිණි.

“බස් එකේ ඔය පැත්තට යනකොට ගල් ඇන්ද පේනවා.‍ ලේ පැල්ලම හුඟක් කල් තිබුණා. මගෙ මල්ලි ගිහිල්ලා ඒකේ සුදු පාට තීන්ත ගෑවා‍. මගෙ මහත්තයා කාටවත් කරදරයක් නැති බොහෝ ම හොඳ කෙනෙක්. මගෙ මහත්තයා එක්ක මැරුණ අනිත් දෙන්නා යාළුවෝ වුණාට ඒ කාලේ අපි කවුරුවත් අඳුනන්නේ නැහැ. එහෙත් මේ මරණවලින් පස්සේ අපි තුන්දෙනා අඳුන ගත්තා. යාළු වුණා. දැන් අපි අපිම තමයි අපේ දුක බෙදා ගන්නේ. ප්‍රියංගිකා ඉන්ද්‍රානි හා ‍උදයංගනී දෙස බලමින් පවසන්නීය. ඔවුහු ද එය අනුමත කරන්නෝ ය.

අනතුරට පත්වූ බස් රථයේ ඊට පෙර ද විවිධ කාර්මික දෝෂ තිබූ බව බොහෝ දෙනෙක් පවසති‍‍. සැබැවින් ම ඒ අඳුරු සැඳෑවේ සිදු වුණේ කුමක්ද? මේ ගැන විමසන්නට රිය­ැදුරු කීර්ති බණ්ඩාර ජීවතුන් අතර නැත. අනතුරෙන් ආබාධිත වී සිටින ඩබ්ලිව්. ඒ. ප්‍රේමරත්න සොයා අපි ඔහුගේ නිවෙසට ගියෙමු. ඒ හපුතලෙන් ඔහියට යන පාරේ ය. ඔහුගේ නිවෙස පා‍‍‍ළුවට ගොසිනි‍. කිහිප වරක් හඬ නැගුවද කිසිවෙක් එළියට නොආහ. ඉන්ද්‍රාණි ගොස් නිවෙසේ දොර ඇරියාය. ප්‍රේමරත්න සෙමෙන් රෝද පුටුවෙන් දොර අසලට එමින් සිටියේ ය.

“බස් එක ඇතුළේ ලේ පිරිලා. බස් එකේ හිටපු අයගෙන් දහ තුනකට තුවාල වෙලා තිබුණා. ඩ්‍රැයිවර් හිටපු පැත්තට තමයි ගොඩක් ම හානි වෙලා තිබුණේ. මට CTB එකෙන් රුපියල් දහ දාහක් ලැබුණා. මගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. අපට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා බිරිය බළන්ගොඩ සුළු රැකියාවකට යනවා.”

නව මසක් තිස්සේ ප්‍රේමරත්න රෝද පුටුවේ ය. ඔහු දැන් පාදයට සිංහල බෙහෙත් බඳියි. බෙහෙත් බඳින්නට යන ගමනට ඔහු දවසක් හැර දවසක් ත්‍රි‍රෝද රථයට රුපියල් 1200 දිය යුතු ය. ‍ඔවුහු බොහෝ ‍අග හිඟකම් මැද්දේ ජීවිතය ගෙවති.

ප්‍රේමරත්න කොතරම් දුබල වුව ද තම දිවි බේරීම ගැන රියැදුරු කීර්ති බණ්ඩාරයන් ගැන සිහි කරන්නේ පින් දෙමිනි.

“එදා කීර්ති අයියා එයා ගැන නොසිතා කරපු ඒ ක්‍රියාව නිසා අපේ ජීවිත බේරුණා. අපි ඔහුට ණය ගැතියි!” සියල්ල මුදලින් මැනිය නොහැක. කීර්ති බණ්ඩාරලා කළ උදාර ක්‍රියාව කිසිසේත් මුදලින් ගණන් බලන්නට බැරි ය. එය මනුස්සකමය. මේ මනුස්සකමට උපහාර පිදෙන්නේ කවදාද?

“තාත්තා වීරයෙක්”

කීර්ති බණ්ඩාරගේ දියණිය අද පවසන්නේ සැබැවින් ම තම පියා කළ වීරත්වය පිළිබඳ වටහාගෙන නොවන්නට පුළුවන. සිය පියාගේ අගය ඇය නිවැරැදිව තේරුම් ගන්නා දිනයක් එනු ඇත.

“අම්මේ අපි කොහොමද ජීවත් වෙන්නේ. අම්ම බැංකුවේ ණය නොගෙව්වොත් හිරේ යන්න වේවිද?”

වාරික ගෙවා ගැනීම අතපසු වූ විට බැංකුවෙන් ලැබෙන ලිපි කියවන කීර්ති බණ්ඩාරගේ පුතු සිය මවට තුරුලු වෙමින් අසන්නේ තමන්ට අම්මාත් අහිමිවේ දැයි යන සැකයෙනි.

ඉතිං මේ දරුවන්ගේ හිතේ දැල්වෙන ගින්න කෙසේ නම් නිවා දමන්නද?

කීර්ති බණ්ඩාරගේ බිරිය වැලපෙන්නේ එහෙයිනි.

කීර්ති බණ්ඩා‍ර තම ජීවිතය පූජා කළේ අන් ජීවිත රැකගැනීම සඳහා ය. ඒ අවස්ථාවේ ඕනෑ නම් ඔහුට ගැලවී යාමට ද අවස්ථාව තිබිණි. නමුදු ඔහු එසේ කළේ නැත. සුනිල්ට හා ධර්මසිරිට ද අනෙක් මගීන්ට මෙන් පසුපසට ‍ගොස් දිවි බේරා ගැනීමට අවස්ථාව තිබිණි. ඔවුන් දෙදෙනා කීර්ති බණ්ඩාරට සහායට පැමිණියේ අනතුරක් නොවී ජීවිත බේරා ගැනීමට ය. නමුදු සිදුවුණේ අනෙකකි. දැන් සියල්ල සිදුවී හමාර ය. ඒ පවුල්වල අය හැරෙන්නට අනෙෙකක්ට දැන් මේ කතා මතක නැත.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්