බහු රූ කෝලම් වලින් මිදුණු කොළ­න්කන්ද වන සෙන­සුන | සිළුමිණ

බහු රූ කෝලම් වලින් මිදුණු කොළ­න්කන්ද වන සෙන­සුන

එදා මා අසා තිබුණේ - ‍කොළන්කන්ද යනු කොළන් ගස් සමූහයකින් හෙබි උස් භූමියක මහා මූකලානක් බව ය.

ඉතින් මම කොළන් ගස් මූකලානක උස් භූමියක් සොයා පැමිණියෙමි. එහෙත් කොළන් ගස් නොදුටුවෙමි. උස් භූමියක් නම් දැක ගත හැකි ය. කුඩා වපසරියක කන්දෙන්, ලන්දෙන්, නිල්ලෙන් සැදි බිමක් දකිමි.

ඉදිරියේ ‘කොළන් කන්ද අාරණ්‍ය සේනාසනය’ යනුවෙන් පුවරුවක සටහන් කර තිබෙයි. ඒ සමීපයේ පුරාවිද්‍යා ස්මාරකයක් බව පවසන තවත් පුවරුවකි. ඒ මුද්‍රාව දකිනාවිට ඉතිහාසයට සම්බන්ධ සුවිශේෂ වටිනාකමක් ඇති තැනක් නොවේදැයි සිතෙයි.

මුලින් ම හමුවන්නේ සුඛ විහරණ අල්ප කුඩා කුටියකි. සියලු වගකීම්වලින් හිස නිදහස් කර ගනිමින් අල්පේච්ඡ දිවියක් ගෙවන, වග විමල නා හිමියෝ මේ ලැගුම් කුටියේ වැඩ වසති. ආපදා ව්‍යාකූලතා සපිරි අනතුරුදායක දිවි ම‍ඟෙහි ජයග්‍රාහී ලෙස අනූ වැනි සලකුණ ද සටහන් කර තැබීමට සමත් වූ උන් වහන්සේ කොළන්කන්ද ආරණ්‍ය සේනාසනයේ වර්තමාන යුග නියමුවාණෝ ය.

1963 වසරේදී විමල නා හිමියන්ගේ සපැමිණීමෙන් කල එළි වුවද නිශ්චිත නොවන දිනයක්, වසරක්, නොමැති දුරාතීතයට අප රැගෙන යන සාධක දිත්වයක් කණාමැදිරි එළි දල්වමින් ඉඟි පායි. ඒ ඔස්සේ යෑමට අප අපොසත් වූ නිසා දෝ කුඩා කැලෑ රොද සහිත පුණ්‍ය භූමිය, අයත් වන්නට තිබූ මහා වපසරියක් අහිමි කර ගනිමින් අක්කර 2 කින් සෑහීමකට පත් වෙමින් උපේක්ෂාවෙන් බලා සිටියි. කොලන්කන්ද සේනාසන තුළ, කුඩා වනරොද මැද කටාරම් සලකුණු ඇති මධ්‍යම ප්‍රමාණයේ ගල්ලෙන් දෙකක් මේ උස් භූමියේ පාදමේ ද, මධ්‍ය තලයේ ද පැහැදිලිව දැක ගැනීමට ලැබේ.

එදා විමල හිමියන් මෙතැනට නො වැඩියා නම් මේ ලෙන් දෙක ද කටාරම් ලකුණු තබාගෙන ම පස් තට්ටු යට හුස්ම හිර වී කාල පාශයට යට වී යනු නියත ය. එහෙත් ඒ ලෙන් ද්විත්වය එදා සේම අදත් පූජනීයත්වයට පත් වී තිබීම බෞද්ධ මානවයාට සැනසුම් සුසුමක් හෙළීමට හේතු කාරක වීම ගැන හිතට දැනෙන්නේ හීන් සතුටකි.

මගේ සතුට මහත්නූණේ, හීන් වූයේ එවැනිම තවත් හඳුනා ගත් කටාරම් සහිත ලෙන් දෙකක් මේ අක්කර දෙකට සීමා වූ භූමිය ආසන්නයේ ම පැවතීම ය. එය දකින්නට උත්සාහ කළ ද නිෂ්ඵල ව්‍යායාමයක් බවට පත් වූයේ ඒවා පස් තට්ටුවෙන් කටු ළැහැබින් වැසී ඒ අසලටවත් යෑමට නොහැකි බව දැනගත් නිසා ය.

හාරා අවුස්සන්නට හිඳින ඇත්තන් පසෙකට වී හිඳිය දී මා මෙය මෙතරම් හාරා ඇවිස්සීම එතරම් තේරුමක් නැති ව්‍යායාමයක් දැයි විටෙක මට සිතෙයි.

එහෙත්, කොළන්කන්ද ආරණ්‍ය සේනාසනය පිළිබඳ සටහනක් තැබීමට පෙලඹෙන මා හට ඒ ගැන යමක් නොපවසා සිටිය නොහැකි ය. අද මෙය පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් කර තිබීම ම එයට හේතුවකි. නමුත් අක්කර දෙකකට සීමා වී තිබීම අහේතුවකි. තවත් ලෙන් දෙකක් ලඳු කැලෑව විසින් වසා ගෙන තිබීම ශෝකයකි.

කටාරම් සහිත ලෙන් දුරාතීතයේදී පැවතියේ සංසාර විමුක්තිය සොයා ගිය යෝගාවචර, වනවාසී භික්ෂූන් වහන්සේලා ගේ විහරණය වෙනුවෙන් බව ඉතිහාසය සාක්ෂි එකතු කර තබයි.

කොළන් කන්ද ආරණ්‍ය සේනාසනය මෙය රහතුන් වැඩ විසූ පූජනීය වන අරණක් බව ජනප්‍රවාදයේ පැවසෙයි. එසේ නම් කොළන් කඳු යායේ, ශීත ‍වනේ, රමණීය ආරණ්‍ය සේනාසනයේ, සන්සුන් ගති ඇති ඒ වීතරාගී යෝගාවචරයාණන් වහන්සේලා දැක නැමද පැහැදෙන්නට සැදැහැති ජනයා මේ කොළන්කන්ද වන අරණට අද මා පිවිසුණා සේම එදා පැමිණෙන්නට ඇත. එවන් සිතක් පහළ කරගනිමින් හැඟීම් සදැහැතිව මුදාහැර සැනසෙන්නට පටු කවුළුවක් හෝ අදත් ඉතිරිවී තිබීම සැනසීමට කරුණකි.

අලස හස්තයෙන් කළ කැණීම්වලදී පවා මෙහි ලෙන් කුටියකට සම්බන්ධ වූ අඩි 06 ක් පමණ පළලැති පැරණි බිත්තියක් හමු වී තිබේ.

එදා විසල් භූමියක් වනයෙන් පිටව පැවතිය ද අද ද දැකිය හැකි පෘථුල කඳු ගොඩැලි භූමි යායේ අයිතිය පවතින්නේ පෞද්ගලික ඉඩම් හිමියන්ට ය. ඒ නිසා ම පොරණ වන අරණක සිරිය මැකී ආර්ථික භෝග වෙනුවෙන් මේ පුළුල් ඉඩම් පද්ධතිය පරිවර්තනය වන්නට ඇත.

මීට වසර පහළොවකට පමණ පෙර වාණිජ වගාවක් ව පැවති රබර් යාය රෝපිත බිම්හි අද ඒ උස් ගස් ද කැපී අන්නාසි වගාව දැක ගැනීමට ලැබේ. අහස් කුස සිඹ, සිඹ මිතුරු වූ හරිත නීල උස් ගස් වියන් නැසී යන්තමින් මිහි මවගේ විළි වසන්නේ අන්නාසි පත්‍රයෙනි.

බුදු දහම හා අනුගත වන හදවත්, පරිසර පද්ධතියේ සංකූලතා වෙනුවෙන් කිසිදා අත නොතබනු ඇත. බුදුරජාණන් වහන්සේ වඩාත් ප්‍රිය කළ, වන අරණ පිළිබඳව උදුම්බරික සිහනාද සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

“අපේ බුදුරජාණන් වහන්සේ මඳ හඬ ඇති ස්වල්ප ශබ්ද ඇති ජනයාගේ හැසිරීමෙන් කලබල නොවූ නිසල වනපෙත් ඇසුරු කොට නොදුරු ගමින් ඈත පිහිටි සෙනසුන්වල වැඩ වසනසේක.”

එවන් වන පෙත්හි වෘක්ෂයන් පමණක් නොව සතා සිවුපාවුන් ද ආරක්ෂා වන්නේ එවන් පරිසරයක් කරුණා මෙත් දියෙන් සිසිල් වන නිසා ය.

කොළන්කන්ද වන සෙනසුන වෙතට පිවිසෙන්නට කොළඹ අවිස්සාවේල්ල පාරේ කළු අග්ගල හන්දියට පැමිණිය යුතුවේ. එතැනින් දකුණට ඇති ලබුගම මාර්ගයේ තවත් කි.මී. 2 1/2 ක පමණ දුරක් ගමන් කිරීමේදී නෙළුවන්තුඩුව ග්‍රාමය මුණ ගැසෙයි. එතනින් දකුණට ඇති පාර කොළන්කන්ද ආරණ්‍ය සේනාසනයට යන පාර වශයෙන් ද බදුවත්ත පිට්ටනි පාර යනුවෙන් ද හඳුන්වයි.

එතැන් සිට වන සෙනසුනට තවත් කි.මී. 2 ක් පමණ දුරක් යා යුතු වෙයි. එසේම හයිලෙවල් පාරේ පහත්ගම හන්දියෙන් හැරී දිද්දෙණිය ග්‍රාමය හරහා ද පිවිසිය හැකි ය.

‍ෙම් යන ගමනේදී ලබුගම ජලාශයේ සිට ජලය රැගෙන යන වක් ඔය ජීවිතය සේම වක්වෙමින් ඇදී යන අයුරු දැක ගැනීමට ලැබෙයි. තේ පඳුරු කුරුඳු මණ්ඩි අතර ඈතින් ඈතින් ඇති නිවාස ද පසු කරමින් පැමිණියෙමි.

සමහර තැනකදී දෙමංසලක නැවතී මඟ අසන්නට කෙනකු සෙවූවද නිවාස අඩු විශාල ඉඩකඩම් ඇති පරිසරයේ පාර කියන්නට කවුරුවත් නැතී වී මම තනි වුණෙමි. කොහොමින් හෝ අතරමං නොවුණේ අරමුණ පිවිතුරු වුණු නිසා යැයි සිතේ. ඇත්තෙන් ම ගැටලු සහගත මංසල් අසල මඟ සොයා ගැනීමට නාම පුවරුවක් නොවීම මෙතැනට පැමිණෙන්නෙකුට අපහසුවකි.

කොළන්කන්ද ආරණ්‍ය සේනාසනය ප්‍රධාන වශයෙන් ස්තර තුනක ස්වාභාවික භූ සැකැස්මක් තුළ සැකසී ඇත. පාදමේ ඇති කටාරම් සලකුණැති ලෙනෙහි දකින්නට ලැබෙන්නේ ආවාස ගෘහයකි. නූතනයේ දී එය කොන්ක්‍රීට් සිමෙන්ති දමා සකසා තිබේ.

මැද මළුවට පිවිසෙන්නට එකලාව නැගෙන පිය ගැට පෙළ නැග ගිය පසු රෝපිත බෝ වෘක්ෂය ද එයට වම් පසින් ඇති ලෙනෙහි ද කටාරම් ලකුණු දැක ගත හැකිය.

එදා රහතන් වහන්සේ වැඩ සිටි බව ජනප්‍රවාදයේ පැවසෙන්නේ මෙම ලෙන් ආශ්‍රයේ ය.

මැද මළුවේ බෝධීන් වහන්සේ අසල ඇති මධ්‍යම ප්‍රමාණයැති ලෙන තුළ අද කුඩා බුද්ධ මන්දිරය ස්ථාපිතව ඇත. මෙහි ආටෝප පලිප්පු නැත. අවශ්‍යතාවට පමණක් සරිලන චාම් ගුණය ද වටින්නේ ය. එහෙත් ලෙන තුළට ඇතුළු වීමේදී එක එල්ලේ බුද්ධ ප්‍රතිමාව සම්පූර්ණයෙන් නොපෙනෙන ලෙස කවුළුව ආවරණය වී තිබෙන්නේ එය නිර්මාණය කිරීමේදී ඇති වූ සුළු අඩුපාඩුවක් නිසා යැයි සිතේ. කෙසේ වෙතත් මෙහි වත්මන් දියුණුව වෙනුවෙන් සේනාසනාධිකාරී දිද්දෙණියේ විමල සංඛ තරුණ භික්ෂූන් වහන‍්සේ මහත් වැඩ කොටසක් කර ඇති බව පෙනෙයි.

බුදු කුටිය තුළ දකුණු පස අස්ථි පඤ්ඡරයකි. බුද්ධ මන්දිරය තුළ දීම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට, මෙය වඩාත් හොඳ ආරම්මණයක් යැයි ස‍ිතෙයි.

බොහෝ විට විහාරස්ථානයන්හි ඇති පසුබිම තුළ දැනෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය මුසු හැඟීමකි. අරණක් තුළ දී දැනෙන්නේ එයට වෙනස් වූ ස්වභාවයකි. එය උඩු වැස්මේ පියන් හැර ඇතුළු ගැබ ස්පර්ශ කරනා සෙයකි. පරිසරයේ නිහඬ බව, ජන ශුන්‍ය බව වනයක් තුළදී හැ‍ඟෙනා හැඟුම්, දිවි අරුත පිළිබඳ නිවී සැනසිල්ලේ සිතන්නට අවැසි අරමුණු සහිත පසුබිමක් මෙවන් තැනකදී ස්වභාව ධර්මය විසින් ම සකසා දී තිබෙයි.

බුදු දහමේ කියැවෙන භාවනාමය චෛතසිකයට උචිත රූකඩමූල - ආරණ්‍ය - ශුන්‍යාගාර පසුබිම වන අරණ තුළදී පෝෂණය වන සෙයකි.

කඳු මුදුනේ සිට ලම්බකව එල්ලා හැලෙන ලලිත ලතාවන් ශීතල කඳු පරිසරයේ වැඩෙන මීවන වැනි ශාකයන් ඒ ආශ්‍රිතව ඇති ලෙන මෙන් ම සුදු වැලි ඇතුළු පිවිතුරු වැලි මළුව උණුසුම් හදවත මත දිය බිඳ බිඳ ඉස සිසි් කරවන සෙයකි.

ස්වභාව ධර්මයේ සොඳුරු සරල චිත්‍රය විකෘති නොකරන සන්සුන් පරිසරයක ඇති අපූර්වත්වයෙන් පිරි වින්දනය සිත වෙලා ගන්නා සෙයකි. ඒ වින්දනය ඇති වන්නේ බෝධී මූලයක් යටදී නම් පූජනීය ලෙනක් සමීපයේ දී නම් සුදු වැලි ඇතිරූ පිවිතුරු මළුවක් මත දී නම් එය කලාකාමියකු ස්වභාව සෞන්දර්යයෙන් ලබනා අත්දැකීමකට වඩා වෙනස්, බැති සිත ඔසවන, වින්දනයක් වනු ඇත.

මෙම මැද මළුවේ සිට ගල්කුළ මායිමකින් නැගෙන පටු පිය ගැට පෙළකි. එය නැග ගිය පසු මුඳුන් තලයේ වෙහෙර වහන්සේ වැඩ හිඳින්නේ තවත් දර්ශනීය ආගමානුකූල පසුතලයක් නිර්මාණය කරමිනි.

මුඳුන් මළුවේ සිට නෙත් පැහැර ගන්නා දර්ශනයෙන් හරිත වර්ණයෙන් හාත්පස වියනක් මෙන් සෑදූ ලබුගම ජලාශය ආශ්‍රිත පරිසරයේ, උඩුගංකන්ද නමැති කොළඹ දිස්ත්‍රික්කය තුළ වන විශාල ම ආරක්ෂිත පාරිසරික පද්ධතිය ද ඉඳිකඩ මූකලාන රක්ෂිතය ද දැකිය හැකි ය. අහස පැහැදිලිව දර්ශනය වන දිනකදී ශ්‍රීපාද ගිරි කුළ ඈත මානයේ විරාජමානව වැඩ හිඳිනු දැකි හැකි වෙයි. එවන් සොඳුරු අත්දැකීම් ද සමඟින් කොළන්කන්දෙන් මිදී නැවතත් පිවිසය යුත්තේ බහුරූ කෝලං පිරි මාවතකට ය. එහෙත් ක්ලේශයන් නැසූ රහතන් වහන්සේ පවා ප්‍රිය කළ වන සෙනසුනක සැබෑ සුවය අපටත් යම් තරමකට හෝ අත්විඳින්නට හැකි වූයේ නම් සැනසීම සුවය ඇති මාවතකට පිවිසීම අපහසු නොවෙතැයි සිතේ.

Comments