නෙලුම් පාද ඇත්තියන්ගේ කතාව... | සිළුමිණ

නෙලුම් පාද ඇත්තියන්ගේ කතාව...

මේ කාන්තාවන් ලස්සන වන්නට නම් ඔවුන්ගේ දෙපතුල් නෙලුම් ආකාරයේ විය යුතු විය. ඒ සඳහා කළ යුතු කැපවීම සුළුපටු වූවක් නොවිණි. වයස අවුරුදු පහේදී පමණ පතුල් ඇඟිලිත් සමඟ කිටිකිටියේ ගැටගසා වසර ගණනාවක් තබා ගත යුතුව තිබේ. පා පතුල් නෙළුම් මෙන් වන්නේ එවිටය. මේ චීනයේ උසස් යැයි සම්මත පවුල්වල ගැහැනුන්ගේ එක්තරා අවධියකි.

උසස් යැයි සම්මත පවුල්වල චීන ගැහැනුන් විසිවැනි සියවසේ මැද භාගයේදීත් දීග ගියේ ගුලි ගැහුණු දෙපා හදා ගෙන ය. ඒ වනාහි මෑත කාලීන ඉතිහාසයේ මේ ලෝකයේ දක්නට ලැබුණු අරුම පුදුම ම සම්ප්‍රදායකි; අනෙක් පැත්තෙන්, කාන්තා හිංසනයේ උච්චතම පිළිබිඹුවකි. මනමාලියගේ තත්ත්වයත්, ලස්සනත් ඒ සමාජ ක්‍රමය තුළ තීරණය වුණේ ඇගේ පතුල් කෙතරම් කුඩාද යන කාරණය පදනම් කරගෙන ය; නොහොත් ඇගේ විකෘති පතුල් පදනම් කරගෙනය. එහෙම විකෘතියට පත් පතුල් චීන සංස්කෘතිය තුළ හැඳින්වුණේ “නෙලුම් පා” වශයෙනි. සියපතක රැඳි සියුමැලි ලස්සන සහ සුකොමල බව නෙලුම් පා මත කොහෙත්ම බැඳී තිබුණේ නැත. ඒ වෙනුවට ඒ මාගමුන් හරිහැටි ඇවිද ගන්නට බැරිව දහ දුක් විඳි සැටි නම් ඉතිහාසයේ අපූරුවට සඳහන් වේ.

පතුල් “වශීකෘතභාවයට” පත් කිරීමේ මේ අරුම පුදුම සම්ප්‍රදාය චීන කෙල්ලකගේ ජීවිතයට ඇතුළු වන්නේ ඇයට වයස අවුරුදු පහක් පමණ වන විටදී ය. වෙළුම් පටි යොදා පුංචි එකියගේ පතුල ප්‍රදේශය ඇඟිලිත් සමඟ කිටි කිටියේ වෙළනු ලැබේ. මේ වෙළුම සෑම දිනයකම උදේ සිට රෑ වනතුරුත්, රෑ සිට එළිවන තුරුත් අඛණ්ඩව තබාගත යුතුය. එපමණක් නොව වසර ගණනාවක් පුරා ඒ වෙළුම ඇගේ පතුල මත යෙහෙන් වැජඹිය යුතුව ඇත. එක දිගට අවුරුදු දහයක් පහළොවක් වෙලා දමා තිබූ පතුල් වෙළුමේ හැඩයට අනුව අවසානයේදී “උණ්ඩියක්” බවට පත් වේ. පා ඇඟිලි ඒ මේ අතට කැරකී ගොස් කඩා වැටී ඒවා ඒ සැටියෙන්ම සවි වී පවතී. එලෙසවන්නේ ඇඟිලිවල අස්ථි බිඳී ඒවාටම රිසි ලෙස නැවත ඒවා සවි වීම නිසයි. එලෙස අශෝභනත්වයට පත් පා “නෙලුම් පා” බවට පත්ව ඇතැයි කියා හැඳින්විණ. සාමාන්‍ය පා යුවළක් “නෙලුම් පා” යුවළක් බවට හරවා ගැනීම වසර ගණනක වේදනාවක් වී යැයි ඒ අත්දැකීම ලත් බොහෝ ගැහැනු පවසති. ඒ මදිවාට නෙලුම් පා හදාගන්නට ගොස් පතුල් තුවාල වී ඒ තුවාල ආසාදිත මට්ටමට පත් වූ අවස්ථාත් ඕනෑ තරම් තිබිණ. එසේ ආසාදිත තත්ත්වයට පත් තුවාල තවදුරටත් නරක් වී ගඳ ගසමින් පැවැති බව ඇතැම් තැනෙක සඳහන් වේ. ආසාදනය, පාදයේ මාංශ පේශි අතරින් අස්ථි අතරට රිංගා ගෙන පතුල පාදයෙන් ගැලවී හැලෙන තරමට දරුණු තුවාල ලත් කාන්තාවෝත් අතීතයේ සිටියහ. ඉන් සමහරු, තුවාලවල තදබලකම නිසාම ජීවිතක්ෂයට පත් වූවෝය. තවත් ඇතැම් කාන්තාවන්ට සිදුවුණේ මුළුමහත් දිවියම අංශභාග රෝගය හා සමාන රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන්නට ය.

බැඳ දමා තිබුණු “නෙලුම් පා” යුවළක්, “ස්වර්ණමය නෙලුම් පා” යුවළක් වී ද එහෙමත් නැත්නම් “රිදී නෙලුම් පා” යුවළක් වී ද යන්න මැන බැලීමේ සම්ප්‍රදායකුත් එකල චීන සමාජය තුළ තිබිණ. එම නම් කිරීම සිදු කෙරුණේ පතුල් “උණ්ඩි” වී ඇත්තේ කවර දිගක් සිටින පරිද්දෙන්ද යන්න මැන බැලීමෙන් පසුවයි. ඒ අනුව අඟල් හතරක් පමණ දිගැති පතුලක් හැඳින්වුණේ “ස්වර්ණමය නෙලුම් පා” යුවළක් හැටියටය. “රිදී නෙලුම් පා” යුවළක් අයත් ගැහැනුන්ගේ පතුල් අඟල් 5.2කට වඩා විශාල වුණේ නැත. මේ අන්දමට උණ්ඩියක් බවට පත් කර අවලස්සන කෙරුණු පා සරසන්නට ලස්සන ලස්සන පාවහන් පැලඳීම එවක ප්‍රකට වී තිබිණ. ඒ ලස්සන පාවහන් නිමවා තිබුණේ නොයෙක් රටා අතරට විසිතුරු මැහුම් ක්‍රම ද ඔබ්බවමිනි.

ඒ කවර අන්දමේ පාවහන් යුවළක් පැලඳුවද නෙලුම් පා මෙන් පා සැකසූ කාන්තාවන්ට හරිහැටි ඇවිදින්නට නොහැකි විණ. ඔවුන්ට සිදු වුණේ සිය ජීවිතයෙන් වැඩිමනත් කාලයක් නිවෙස් තුළට වැද සෙමෙන් සෙමෙන් තමන්ගේ කටයුතු කර ගනිමින් ජීවත්වන්නට ය. චීන වැඩවසම් සමාජ ක්‍රමය තුළ ඒ කියන නෙලුම් පා ඇති බවලතුන් පිළිගැනීමට ලක්වුණේ නිදි යහනේදී සැමියා තෘප්තිමත් කිරීමෙහි හැකියාවක් ඇති ගැහැනුන් ලෙසය. අල්ලක් තරමට කුඩා පතුල් ඇති මාගමක් අත්‍යන්තයෙන්ම සරාගී යැයි කියා 17 වැනි සියවසේ විසූ චීන ලේඛයකු වූ ලී යුන් “ස්කෙච් ඔෆ් අයිඩ්ල් ප්ලෙෂර්” නමැති ලේඛනයෙහි සඳහන් කර ඇත. පිපෙන නෙලුම් පොහොට්ටුවකට සමාන හැඩයකින් යුත් පතුලක් සහිත කාන්තාවන්ට ඉක්මනින් දිව යන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ නිසා එවැනි තැනැත්තියකට සිය සැමියා හෝ පවුල හෝ කෙරෙන් පලා දුවන්නට බැරි විණ. අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන සැමියාට හොරෙන් එය පහසුවෙන් පවත්වාගෙන යන්නටත් ඈ සමත් නොවන්නීය. මේ විශ්වාසයන් තුළ සාමාන්‍ය ස්වරූපයෙන් යුත් පතුල් දැරූ ලලනාවන් “බලවත් පුරුෂාකාර” බවක් ගත් අය ලෙසත්, “අයෝමය ශක්තියකින්” යුත් අය හැටියටත් හැඳින්විණ. එවැනි මාගම්මුන් කොහෙත්ම සුකුමාල නොවූයේයැයි පැරණි චීන සමාජ වැසියෝ එක හඬින් කියා සිටියහ. එනිසා ඔවූහු සමාජ පිළිගැනීමට ලක් නොවුණහ.

මේ අසාමාන්‍ය සහ මතභේදයට තුඩු දෙන සම්ප්‍රදාය චීන ජන සමාජය තුළ ප්‍රභවය වුණේ අඩුතරමින් මෙයට වසර දහසකට පළමුවයි. එනම් ටැන්ග් රාජවංශය චීනය පාලනය කළ සමයේදී ය. පතුල් සිල්ක් නූලකින් බැඳ දමා තිබුණු කාන්තාවක නර්තනයේ යෙදෙනු දැක ටැන්ග් අධිරාජයකු ඈ සමඟ පෙමින් වෙළුණු බව ඉතිහාස කතාවල සඳහන් වේ.

මේ සිද්ධිය සිහි ගන්වනු වස් අධිරාජයා පෙමින් වෙළුණු ගැහැනියගේ පතුල් හා සමාන කුඩා පතුල් ලබාගැනීමේ අරමුණ ඇතිව කාන්තාවන්ගේ පතුල් බැඳ තැබීම ආරම්භ වී ඇත.

අදහස්