අඳුරු ලොවක සිට දරුවන්ට පහන් දල්වන මිනිස්සු | සිළුමිණ

අඳුරු ලොවක සිට දරුවන්ට පහන් දල්වන මිනිස්සු

රැයක දහවලක වෙනස නොහඳුනන ඔවුන්ගේ මුළු ජීවිතයම ගෙවෙන්නේ සදාකාලික අඳුරේය. එනමුදු තම දරුවන්ගේ ජීවිතවලට ආලෝකය ගෙනෙන්නට ඔවුහු අඳුරේ අතපත ගා ජීවිතය සොයති. මේ දෙනෙත් නොපෙනෙන ජනතාව වෙනුවෙන් ඉදි කළ ‘නයනාලෝකගම’ ආදර්ශ ගම්මානයේ කතාවයි.

දුර්වර්ණ වී තිබුණ ද, සුදු පැහැ පුවරුවේ කළු පැහැ අකුරු තවමත් මැනවින් දැක ගැනීමට හැකිය.

‘නයනාලෝකගම‘යනුවෙන් එහි සදහන් ව තිබිණි. නාම පුවරුව අසලින් හැරුණු අපි කොන්ක්‍රීට් ඇතුරූ මාවතේ ඉදිරියට යන්නට වීමු. රෝස පැහැති කමිසයක් ඇඳගත් අයෙක් අප ඉදිරියෙන් යමින් සිටී. ඔහු අත සුදු සැරෑටියකි. ඉක්මන් කළහොත් ඔහුගෙන් තොරතුරක් දැනගත හැකි බව පෙනුණු හෙයින් අපි පය ඉක්මන් කළෙමු.

“මහත්තයා...“ මම හෙමින් ඔහුට ළංවීමි. නැවතුණු ඔහු,

“කවුද? මේ...“

මෙසේ ඇරැඹුණු අපගේ පිළිසඳර දිගු කතාබහකට මුලපිරෙමින් තිබිණි.

“අපේ ගෙදරට යමුකෝ මහත්තයා... විස්තර ටිකක් නිදහසේ කතා කරගත්තැහැකි එතකොට“ නයනාලෝක ආදර්ශ ගම්මානයේ පිහිටි ඔහුගේ නිවෙස කරා අපි පියනගන්නට වීමු.

කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ නයනාලෝක ආදර්ශ ගම්මානය පිහිටා තිබේ. මෙය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අගමැතිව සිටියදී දෑස් නොපෙනෙන ප්‍රජාව ඉලක්ක කරගෙන ඉදි කරන ලද්දකි. ඒ 1984 දී ය.

මෙලෙස විධිමත් ලෙස නිවාස ඉදි කරන්නට කලින් මේ ජනතාව සිටියේ කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි වෙනත් භූමියක ය. විධිමත් ලෙස මේ නිවාස ඉදිනොවී තිබූ නිසා මේ ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොයෙක් බලධාරීහු උත්සාහ කළහ. එහෙත් එවක සිටි අමාත්‍යවරයකු වූ විජයපාල මෙන්ඩිස් මහතාගේ මැදිහත් වීමත් ඔහු විසින් ඒ සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීමත් නිසා නයනාලෝක ගම ඉදිකිරීමට පසුබිම සැකසිණි. එහි මුලින්ම පදිංචි කළ පවුල් සංඛ්‍යාව පනස් හතකි. එදාට වඩා දැන් මෙබිම බොහෝ වෙනස්ය. නමුත් එදවස පදංචි වූවන්ගෙන් පිරිසක් තවමත් මෙහි වාසය කරති. අපට කොන්ක්‍රීට් ඇතිරූ මාවතේ දී හමුවූ ජී.ඒ. පියදාස නයනාලෝක ගම්මානයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු වෘත්තීයෙන් පුටු වියන්නෙකි.

“මං උපන්නේ ගාල්ලේ නාගොඩ. උපතින්ම මගේ ඇස් පෙනෙන්නේ නැහැ. මම සාමාන්‍ය පෙළ වෙනතුරු මහවැව සිරිරාජ අඳ බිහිරි පාසලේ ඉගෙන ගත්තා. පස්සේ සීදුව වෘත්තීය සේවා මධ්‍යස්ථානයට ඇතුළු වුණා. එතැනදි මම රෙදි වියන්න ඉගෙන ගත්තා. පසුව සීදුවෙදි තමයි මට මගේ බිරිඳ මුණ ගැහෙන්නේ. අපි ගෙයක් කුලියට අරගෙන පදිංචි වුණා. නමුත් කාලයක් යන විට මගේ රෙදි රස්සාව අඩපන වුණා. ඒ නිසා අපේ ආදායම අඩු වුණා. අපි බොහෝම අසරණ වුණා. අපට ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වුණා. ඒ නිසා ගෙවල් අයිතිකාරයෝ අපිව ඒ ගෙදරින් පැන්නුවා. අපි කරුණාරත්ත කියන යාළුවෙකුගෙ ගෙදර නතර වුණා. නමුත් හැමදාම අනුන්ට බරක් වෙලා ජීවත් වෙන්න බැහැනේ. අපි එයාර්පෝට් වත්තේ පැලක් අටව ගත්තා. ඒක හිස් ඉඩමක්. අපට එතැනින් අයින් වෙන්න කියලා නොයෙක් ප්‍රශ්න මතු වුණා. ඒ වෙලාවේ තමයි රණසිංහ ප්‍රේමදාස මහතා නයනාලෝක ගම හදලා අප මෙහි පදංචි කෙරුවේ. අපේ ‍හිසට සෙවණක් ලැබුණේ ඒ විදිහට”

රෙදි විවීම ජීවන වෘත්තිය කරගත් පියදාස පසුකාලිනව පුටු වියන්නට පටන් ගන්තේය.

“කොහොමද පුටු වියන්න හුරු වුණේ..?” ඔහු වර්තමානයට කැඳවා ගැනීමේ අටියෙන් මම ඇසිමි.

“මට ඒ රස්සාව පුරුදු කෙ‍රුවේ මගේ මිත්‍රයෙක් වන පීටර් නිකුලස්. ඔහුත් දෘශ්‍යාබාධිතයෙක්. එයා මට පුටු වියන්න කියලා දුන්නා. මම බොහෝම ඉක්මනට ඒ වැඩේ ඉගෙන ගත්තා. අපේ සිරුරෙ එක කොටසයි අක්‍රීය. හැබැයි අනෙක් අංග ඉතාම සක්‍රීයයි. අපි ඉතාම සංවේදී මිනිස්සු කොටසක්. අපේ ඇඟිලි තුඩුවලට දැනෙන තරම් මහත්තයගේ ඇසේ දෙකට පේන්නේ නැහැ. ස්පර්ශයෙන් වගෙම ගඳ - සුවඳින් ගොඩක් දේවල් කියන්න පුළුවන්. රජයේ ආයතන, ගෙවල්වල පුටු වියන්න ලැබෙනවා. මුල් කාලේ මගේ නෝනා ගොඩක් උදව් කළා. නමුත් පිළිකාවක් හැදිල එයා මැරුණා. එයා නැතිවෙද්දී දුවට අවුරුදු එකහාමාරයි. පුතාට හයයි. මට අභියෝග වැඩි වුණා. ඒත් මං අතහැරියේ නෑ.” පියදාස කියයි. ඒ මුහුණ තුළ වේදනාවක් ද, සතුටක් ද නැති මධ්‍යස්ථ බවක් දිස්වෙයි.

දරු දෙදෙනාම ලොකු මහත් කළේ පියදාසය. ඒ පුටු විවීමේ රැකියාවෙනි.

එහාට මෙහාට අත් යවමින් ඔහු රටා වියන අතරම අපත් සමඟ ද කතාකරයි. පියදාස පමණක් නොව නයනාලෝක ගමේ බොහෝ පවුල් තම ජීවන වෘත්තිය කරගෙන ඇත්තේ පුටු විවීමය.

පියදාස සමග කෙරුණු කතාබහට පසුව අපි රත්න මැණිකේ සොයා ඇගේ නිවෙසට ගියෙමු. අප එහි යන විට ඇය සිටියේ පුටුවක් විවීමට සැරසෙමිනි.

“මගේ උපන් ගම හඟුරන්කෙත. මම උපතින්ම අන්ධයි. මෙහෙට ආවෙත්, පුටු විවීමේ රැකියාවට යොමු වුණේත් මගේ මහත්තයා නිසා. අපි මුණගැහුණේ සීදූවේ සමාජ සේවා රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක. මුලින්ම තිබුණේ දැන හඳුනා ගැනීමක් පමණයි. පසුවයි අප අතර ආදරයක් ඇති වුණේ. දෙමවුපියන්ගේ කැමැත්ත ඇතිව තමයි අපි විවාහ වුණා. අප බොහෝම සතුටින් ජීවත් වුණා. ඒත් ඒ සතුට බොහෝකල් අප අතර රැඳුණේ නැහැ. දෛවය මට අවස්ථා දෙකකදී රුදුරු වුණා. එකක් මගෙන් ඇස් දෙක උදුර ගත්තා. අනිත් එක ඇස් දෙක නැති මට ඇස් දෙක වුණු මගේ සැමියව උදුර ගත්තා. එයා මිය යද්දි මම දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. ජීවත්ව ඉන්න කාලේ මහත්තයා මට මේ සාස්තරේ කියලා දීලා තිබුණේ. ඒකෙන් අනුන්ට අත නොපා ජීවත් වෙනවා. මගේ ලොකු පුතාට අවුරුදු දහතුනයි. පොඩි පුතාට අවුරුදු අටයි. මට අනාගතේ ගැන බයක් නෑ. මට ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්. මගේ එකම බලාපොරොත්තුව මගේ කොල්ලෝ දෙන්නගේ ඇස් පාදන එක. උන්ට දෙපයින් හිටගන්න හොඳ අධ්‍යාපනයක් දෙන එක. ඒ නිසා මම උදේ රෑ මහන්සිය නොබලා පුටු වියනවා. එක දිගට වාඩිවෙලා ඉද්දි කොන්ද රිදෙනවා. වේවැල්වලට ඇඟිලි තුඩු සීරෙනවා. ඒ වුණතත් අපට නිකම් ඉන්න බැහැනේ” රත්න මැණිකේ සිනා මුසු මුහුණින් පවසයි. ඒ දුෂ්කර ජීවිතයේ ඒ සිනාව අව්‍යාජ ය.

ඔවුහු තම ජීවිතය නොව තම දරුවන්ගේ ජීවිත ගොඩගැනීම සඳහා අපමණ වෙහෙසෙති. එවන් මිනිසුන් අතරින් අපට හමුවූ තවත් කෙනෙකි, සුමිත්.

“වයස අවුරුදු 19 වෙනකල් මට හොඳට පෙනුණා. පස්සේ ටික ටික පෙනීම අඩුවෙලා සම්පූර්ණයෙන් නොපෙනි ගියා. වෛද්‍යවරු කිව්වේ ස්නායු ආබාධයක් කියලා. ඇස් දෙකේ පෙනීම නැති වෙලා ගියාම මට ජීවිතේ එපා වුණා. ඇස් දෙක නැති ජීවිතේ මොකටද කියලා හිතුණා. ජීවිතේ නැති කර ගන්න පවා හිතුණා. මානසිකව වැටුණා. මම හොඳටම ඇඬුවා. විලාප දුන්නා. ජීවිතේ නතර වුණා කියලා මට හිතුණේ. ඔහොම මානසිකව වැටිලා රෝහලේ ඉන්න කොට මට රෝහලේ දී අනතුරකින් දෙපා අහිමි වුණු පුද්ගලයෙක් මුණ ගැහුණා. ඔහු මට ජීවිතේ බොහොම දේවල් කියලා දුන්නා. වැටුණු මගේ හිත ශක්තිමත් කළා. අවසානයේ ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන්න මම හිත හදා ගත්තා. මම උපතින් දෘශ්‍යාබාධිතයෙක් නොවුණු නිසා ඒ අය දන්න ගොඩක් දේවල් මම දන්නවා. ගෙදර ඇවිත් මම මට දෑස් පෙනෙන කාලේ කරපුව කරන්න උත්සහ කළා. උදැල්ල මටහුරුයි. ගස් නගින්න පුළුවන්, මං ඒවට හුරු වුණා. ඉන් පස්සේ මං සීදුවේ ආයතනයට ආවා. එතනදි තමයි මට බිරිඳ හම්බවුණේ. මං මෙහෙට ආවේ 98දි. පියදාස අයියා තමයි මට උදව් කළේ. පස්සේ මං ජීවත් වෙන්න වෘත්තිය ලෙස තෝරා ගත්තේ පුටු විවීම.“

සුමිත් පවසන්නේ තමා පැමිණි ගමන් මඟ ගැනය. ඔහු පුටු විවීමේ දක්ෂය. ඒ ඔස්සේ ඔහු ජයග්‍රහණ රැසක් ලබා ඇත.

“දෙද‍හස් හත වර්ෂයේදී පුටු විවීමේ තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මම. මම අරලිය ගහ මන්දිරයේ පුටුත් වියලා තියෙනවා.“ සුමිත් පවසන්නේ උද්දාමයෙනි.

මේ ගම්මානයේ වෙසෙන සෑම කෙනෙකුගේම ජීවිත මෙබඳුය. දෑස් නොපෙනෙන සුමිත්ලා, රන්මැණිකෙලා , පියදාසලා ජීවත් වන්න අපමණ වෙහෙසෙති. තමන් නොදුටු ලෝකය දකින්නට තම දරුවන්ට මාවත සකස් කරති. පුටු වියති. දුක් විඳිති. සුසුම් ලති. අදට වඩා හෙට හොඳ යැයි සිතති.

චාමක වීරසිංහ

අදහස්