මමයි ‘වැඩකරු’ කියලා හිතුවොත් තමන්ගෙ වැටීමත් එතැනමයි | සිළුමිණ

මමයි ‘වැඩකරු’ කියලා හිතුවොත් තමන්ගෙ වැටීමත් එතැනමයි

මනේෂ් ප්‍රනාන්දු GM - Hilton

මේ ක්ෂේත්‍රයේ යම් කිසි ‘ඉමේජ්’ එකක් තියාගත යුතු නිසා මං බ්‍රෑන්ඩ් එකක් අඳිනවා. හැබැයි ඒක නම පිටට පේන්න නෙවෙයි. ‘Massimo Dutti’ කියන ඒ බ්‍රෑන්ඩ් එකට වඩා ඉහළ ඒවා ඕනෙ තරම් තිබෙනවා. නමුත් මට මේ ඇති. අනෙක මගේ අතේ කරේ කිසි ම පලඳනාවක් නැහැ. සරල සැහැල්ලු ජීවිතය තරම් කිසි ම දෙයක් මට වටින්නේ නෑ.

තවමත් 46 වැනි වියේ පසුවන ඔහු, හෝටල් සේවයේ සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ මීට අවුරුදු 22කට ඉහතිනි. එනිසාම වයස 36 දි GM කෙනකු වන්නට ඔහුට හැකි විය. ජාත්‍යන්තර හෝටල් ජාලයකට නෑකම් ඇති, නමුත් රජයේ දේපළක් වන හිල්ටන්, අද ඔහුගේ වෘත්තීය නවාතැනයි. ඔහු කරපිට ඇති වගකීමයි. ඔහු වෙනුවෙන් අද ඉඩක් වෙන්වන්නේ එහෙයිනි.

 ඔබ මගෙන් අහන්න පොළොන්නරු යුගය ගැන... රජවරු ගැන... යටත් විජිත යුගය ගැන... ජෝන් ඩොයිලි... ගජමන් නෝනා... වගේ චරිත ගැන... මේ රටේ ශ්‍රේෂ්ඨ චරිත... ව්‍යාපාරික ලෝකය...,සමාගම්..., ජාත්‍යන්තර වෙළෙඳ ලෝකය... ඔය කොයි දේ ගැනත් මං යම් ප්‍රමාණයකට දැනුවත්.

 ඔබ මත්තේ තියෙන්නෙ පැය 24 ක් දුවන බිස්නස් එකක වගකීම...

ඔව්. ඒ නිසා ම අපිත් ඉන්න ඕනෙ පැය විසිහතර ම ලැස්ති පිට. වැඩි කාලයක් ජීවත් වෙන්නෙත් හෝටලය ඇතුළෙමයි. අපි රටට විනිමය උපයන්නෙ දෙස් විදෙස් අමුත්තන්ට, සංග්‍රහ සත්කාරක සේවා සපයමින්. ඒ නිසා පාරිභෝගික ගනුදෙනුවකින් ඔබ්බට ගිය බැඳීමක් මේ වෘත්තිය තුළ තිබෙනවා.

ඒ කියන්නෙ ඔබට හෝටලයෙන් තොර ජීවිතයක් නැහැ...

තියෙනවා. නමුත් වැඩි කාලය හෝටලයට. අනෙක ‍ෙම්ක මට නුපුරුදු ජීවිතයකුත් නෙවෙයි. මගේ තාත්තා හිටියෙත් හෝටල් ක්ෂේත්‍රයේ. ඒ ළමා කාලෙ පටන් හිතුවොත්, මං අවුරුදු තිහක් විතර ගත කරලා තියෙන්නෙ තරු හෝටල් ඇසුරේ.

මොන තරම් කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කර තිබෙනව ද...

යුනිවර්සිටි යන්නත් කලින් ට්‍රේනි කෙනෙක් හැටියට මං වැඩ පටන් ගන්නෙ අප්‍රිකාවේ හිල්ටන් ‍හෝටලයෙන්. ලංකාවට ඇවිත් ටික කලක් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ වැඩ කරලා, 1996 ‘මැනේජ්මන්ට් ට්‍රේනි’ හැටියට මේ හෝටලයට එනවා. ඊළඟට ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, තායිලන්තය ඇතුළු ‍රටවල් හතක හිල්ටන් චේන් එකේ වැඩ කරනවා. 2008 ජයික් හිල්ටන් GM වෙනවා. 2013 පටන් මේ හෝටලයේ GM. අවුරුදු 22 ක හෝටල් ජීවිතයෙන් අවුරුදු දහයක් ම මං හිටියෙ මේ තනතුරේ. ඒ මුළු කාලයෙදි මේ ක්ෂේත්‍රයේ හැම අංශයක ම මං අත්දැකීම් ලැබුවා.

හිල්ටන් කියන්නෙ ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්. ඒ වගේ තැනක් ලාභ ලබන තැනට ගේන්න පුළුවන් කියලා හිතනවද...

ඇත්ත. මේ හෝටලයේ සියයට සියයක් අයිතිය ආණ්ඩුවට. මෙතැනදී වැදගත් ම දේ, අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කණ්ඩායමක් හැටියට එකම ඉලක්කයකට යන එක. ඒ ගමනෙදි දෙපාර්ශ්වයට ම අයිතියක් තිබෙනවා, දෙපාර්ශ්වයේ ම සුළු සුළු අඩුපාඩුකම් පෙන්වා දෙන්නත් ඒවා හදාගන්නත්. මට අවස්ථාව ලැබුණා, අවබෝධයෙන් යුතුව එවැනි සභාපතිවරු තුන්දෙනෙක් යටතේ වැඩ කරන්න. අද හිල්ටන් කියන්නෙ ලාභ ලබන, ණයක් ඇත්තේ ම නැති තරමේ රජයට අයත් වත්කමක්. නායකත්වයේ සාර්ථක බව නොවේ නම් ඒ තැනට එන්නත් බැහැ. ලබා ගත් සාර්ථකත්වය පවත්වාගෙන යන්නත් බැහැ.

ඔබ කියන්නේ හිල්ටන් පූර්වාදර්ශයේ වැදගත්කම ගැන...

ඇත්තටම. PPP හෙවත් ‘private - public partnership කියන සංකල්පයට හිල්ටන් තමයි හොඳම උදාහරණය. මෙය ආයතනික යහපත සඳහා තැනූ නීති පද්ධතියක් ඇතුළත් ගිවිසුමක්. ඉහළ සිට පහළට සෑම හිල්ටන් සේවකයකු ම පිළිපැදිය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු නීති රීති පද්ධතියක් එහි අඩංගුයි. කාටවත් බැහැ ඊට පිටින් යන්න. ඒවා උල්ලංඝනය කරන්න. පාලක - සේවක සෑම කෙනකු ම ඒ සඳහා බැඳී සිටිනවා. කරන්න අවසර ඇති දේ, නොකළ යුතු දේ ඉතා පැහැදිලිව මේ ලේඛනයේ අන්තර්ගතයි. ඒ ගිවිසුමට අනුවයි ආයතනය ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා, ගැටලු අවමයි. ආණ්ඩුවේ ‘ඇසට්’ එකක් වුණත් සාර්ථකව පවත්වාගෙන යන ආයතනයක් ලෙස හිල්ටන් පෙරමුණේ ඉන්නෙ ඒ නිසා. ලෝකෙ පුරාම ක්‍රියාත්මක, හිල්ටන් ජාලයේ සෑම හෝටලයක් ම ක්‍රියාත්මක වන්නේ මෙවැනි ගිවිසුමකට අනුවයි.

ඔබ ඉන්නෙ මේ සීත කාමරය ඇතුළෙම ද...

මං කාමරේකට කොටුවෙලා ඉන්න GM කෙනෙක් නෙවෙයි. මං හෝටලය පුරා ඇවිදිනවා. සෑම අංශයක ම කෙරෙන වැඩ ගැන මං දන්නවා. බොහෝ වෙලාවට මං ඉන්නෙ ලොබියෙ. මට ගෙස්ට්ලා මුණ ගැහෙනවා. ඔවුන්ගෙ ප්‍රතිචාර පෙනෙනවා. මගේ ස්ටාෆ් මුණ ගැහෙනවා. ඔවුන් කරන කියන දෑ පෙනෙනවා. ඔවුන් එක්ක කතා කරනවා. මම ‍ෆීල්ඩ් එකේ ඉන්න කැමැති කෙනෙක්.

ඒත් ඔබේ මුහුණෙ තිබෙන්නෙ සිනහව අඩු සීරියස් පෙනුමක්...

වෙන්න ඇති. හුඟක් අය හිතනවා මං සැරයි කියලා. ඒකට කමක් නැහැ. මොකද, මමත් ඇවිත් ඉන්නෙ ජොබ් එකට. ඒකයි, මට අංක එක. මගේ අම්මලගෙ තාත්තලගෙ වතුවලට ගියාම මගේ විදිය වෙනස්. එහෙදි ඕන දෙයක් දැක්කා නොදැක්කා වගේ ඉන්න පුළුවන්. නමුත් මේ, රටට අයිති ආයතනයක්. ඒක බලාගන්න සහ ඉදිරියට ගෙන යන වගකීම තියෙන කෙනෙක් හැටියට මගේ පාලනය තදයි. ඒක ඇත්ත.

ඒ කියන්නෙ ඔබ සේවකයන්ගෙන් ඈත් වූ Boss කෙනෙක්...

වැරැදියි. පාලනය තදයි කියන්නෙ සේවකයන්ගෙන් ඈතයි කියන එක නෙවෙයි. මානව දයාව නැත්නම් මේ රස්සාව කරන්න බැහැ. මම නෙවෙයි ගෙස්ට්ලා බලාගන්නේ. මගේ ටීම් එක. මම මගේ ටීම් එකට සලකන්නේ නරකට නම් ඔවුන් හෝටලයට එන අයට හොඳින් සලකයි ද.. ඔවුන් ගන්නේ මගේ ආදර්ශය. මේ හෝටලය ඇතුළෙ 695 ක් වැඩ. මගේ වගකීම තමයි ඒ හයසිය අනූ පස් දෙනාගේ ම වෘත්තීය ජීවිත නඟා සිටුවීම. ඔවුන් දිරිගැන්වීම. ඔවුන්ගේ යහපත් ආකල්ප වර්ධනය කිරීම. මං ඔවුන්ට හොඳින් සැලකුවොත් ඔවුනුත් අමුත්තන්ට හොඳින් සලකාවි.

ඒ කියන්නෙ ඔබ ආදර්ශයක් වෙන්න කැමැති නායකයෙක්...

Leading by example… ඒ තමයි මගේ නායකත්වයේ විදිය. මගේ කණ්ඩායමට කෙළින් යන්න කියලා මං වෙට්ටු දමමින් ගියොත් එතැන කොයින්ද ආදර්ශයක්. නායකයාගේ වචනය ඍජු විය යුතුයි. කියන දේ කරන, කරන දේ කියන ඍජු නායකයෙක් පමණයි, කණ්ඩායම විශ්වාස කරන්නේ. ඒක මං අරභයා විතරක් නෙවෙයි රටේ නායකත්වයටත් පොදු කාරණයක්.

හිල්ටන් ඉතිහාසය මොන තරම් පැරැණිද...

හිල්ටන් ජාලයට අවුරුදු 100 යි. මේ හෝටලයට අවුරුදු 30 යි.

එතකොට ජාත්‍යන්තර හිල්ටන් ජාලය එක්ක තිබෙන සබඳතාව කුමක්ද...

මේ රටේ රජය වෙනුවෙන් මේ හිල්ටන් හෝටලය පවත්වාගෙන යන්නෙ හිල්ටන් ආසියාතික මූලස්ථානයෙන්. ඒ වෙනුවෙන් ලාභයෙන් යම් කොටසක් අපි ඔවුන්ට දෙනවා. මේ ආයතනයේ ප්‍රගතිය සහ උන්නතිය පිළිබඳ, ආසියාතික මූලස්ථානය නිබඳ අවධියෙන්. නමුත් වැඩ කිරීමේදි ඔවුන් අපට අවශ්‍ය උපරිම නිදහස දෙනවා. හරියන්න... වරදින්න ආපසු නැඟිටින්න... අත්දැකීම් ලබන්න පුළුවන් වෙන්නෙ ඒ ලබා දෙන වැඩ කිරීමේ නිදහස තුළින් පමණයි.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයන්...

NVIDIA සමාගම හදපු ජෙන් සෙන් හුආන්ග් මට හුඟක් විශේෂයි. තව අවුරුදු පහ හයක් යන‍කොට ලෝකය ඔහු නූතන අයින්ස්ටයින් කෙනෙක් විදියට හඳුන්වයි. වොරන් බෆට්... බිල් ගේට්ස්... ජැක්මා... වගේ චරිත ගැන මං නිතර කියවනවා. ව්‍යාපාර ලෝකෙ ඔවුන් කරන අලුත් දේ පිළිබඳ තොරතුරු හැම දවසක ම මං හොයනවා. ව්‍යපාර ලෝකෙ ජ්‍යෙෂ්ඨයන්, නායකයන් ලෙස පිළිගත හැකි කොයි චරිතයක් වුණත් මං හදාරනවා. මං නිතර අප්ඩේට් වන කෙනෙක්.

එච්චර ද...

නැහැ. මං ‘ස්ටොක් මාකට්’ ෆලෝ කරන්න කැමැති කෙනෙක්. අපිට තිබෙන්නේ ආසියාවේ පැරැණි ම කොටස් වෙළෙඳ‍පොළක්. ඒ කොටස් වෙළෙඳපොළේ සමාගම් 230 ක් විතර තිබෙනවා. මේ දෙසිය තිහ ගැන ම අධ්‍යයනය කරනවා නම් මොන තරම් දේ ඉගෙන ගන්න පුළුවන්ද. මට නම් ඒත් මදි. ලංකාවෙ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළ ගණනාවක් මං ‍ෆලෝ කරනවා. ඒක මට ‘පැෂන්’ එකක්.

ඔබ මේ ක්ෂේත්‍රයේ ‘වැඩකරුවෙක්’ කියලා හිතනවද...

තමන් ‘වැඩකාරයෙක්’ කියලා හිතට ගත්තු දවසට තමයි තමන්ගෙ වැටීම පටන් ගන්නෙ. මං හැමදාම බිංදුවෙන් පටන් ගන්න හිතන කෙනෙක්. ‘අද මොනවද මං අලුතින් ඉගෙන ගන්නෙ..’ හැම දවසක් ම පටන්ගන්න කොට මං හිතන්නෙ ඒ දේ. ඒ වගේ ම, මේ දේවල්... මේ තැන් බදාගෙන ඉන්න ඕනෙ කියලා මං කවදාවත් හිතන්නෑ. ඉන්න ටික කාලෙදි ඉන්න තැනට උපරිමයෙන් වැඩ කරන්න ඕනේ. අත් හැරිය යුතු මොහොතෙ අත්හරින්න ඕනේ. ‘මමයි වැඩකරු...” කියන, තමන් ම ‘ඇඳගන්න’ සිතුවිල්ලෙ මම කවදාවත් නැහැ.

කොහේද ඔබ ඉස්කෝලෙ ගියේ...

මුලින් ම කොල්ලුපිටියේ ශාන්ත තෝමස්. ඊළඟට හතරේ පන්තියේදි නයිජීරියාවේ. පහේ ඉඳලා ශාන්ත තෝමස් ගල්කිස්සෙ. උසස් පෙළ කෙන්යාවේ. බිස්නස් මැනේජ්මන්ට් උපාධිය, එංගලන්තෙ බකින් හැම් යුනිවර්සිටියේ. 1996 මෙහේ ඇවිත් වැඩ කරන ගමන් සල්ලි හම්බ කරලා ඒෂියන් ඒවියේෂන් ආයතනයෙන් ගුවන් යානා පදවන්නත් ඉගෙන ගත්තා. එතකොට මං හිල්ටන් එකේ මැනේජ්මන්ට් ට්‍රේනි. වේටර් ජොබ් කරනවා, බිම අතුගානවා, ක්ලීනින් කරනවා. ඒක, මාස දහඅටක් පුරා හැම අංශයක ම වැඩ කරන්න වුණු පුහුණුවක්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

බොහොම නිහඬයි. ඒ වගේ ම, නිහඬව පන්තියේ ප්‍රශ්න ඇති කරන්න මට විශේෂ හැකියාවක් තිබුණා. හැබැයි කවදාවත් අහුවුණේ නැහැ. මොන දේ කළත් මං ගෙදර හොඳ ළමයා. ලොකු පුතා. මට ඉන්නෙ එක නංග‍ියෙක්. එයා ඉන්නෙ අමෙරිකාවේ. මොන තත්වයේ හිටියත් ගෙදර ගියා ම අම්මටයි තාත්තටයි තවම අපි පොඩි ළමයි.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...

තරු හෝටලේක GM කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. සමහරවිට තාත්තගෙ ආභාෂය නිසා වෙන්න ඇති. මේ රස්සාවෙදි කවුද අපිට මුණ නොගැහෙන්නෙ... රට රටවල ලොකු මිනිස්සු... වටිනා චරිත ඕනෙ තරම්. කෙන්යාවේ තාත්තා වැඩ කරන කාලෙ අප්‍රිකාවේ ඇරැක්මෝයි, යුවේරි මුසලේනි, කෙනෙන් කවුන්ඩා වගේ සුවිශේෂි චරිත ඕනෙ තරම් මුණ ගැහිලා තියෙනවා. මාග්‍රට් තැචර් මුණ ගැහ‍ුණෙ මගේ තරුණ කාලේ. මේ හමුවීම් මගේ හිතේ තදින් තැන්පත් වුණා.

ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද...

ගුවන් යානා පැදවීමේ පුහුණුව අවසන් වේගෙන එනකොට මං තීරණය කළා පූර්ණ කාලීනව ම ෆ්ලයින් වලට ම යනවා කියලා. එහෙම වෙලාවක තමයි, ‘හිල්ටන් එලිවේටඩ්’ කියන මැනේජ්මන්ට් ට්‍රේනින් එකට ඕස්ට්‍රේලියාවට සහ සිංගප්පූරුවට යන්න අවස්ථාව ලැබුණෙ. මං ඒ අවස්ථාව ගත්තා. පයිලට් කෙනෙක් වෙනවද... හොටෙල් ෆීල්ඩ් එකට ම යනවද කියන හන්දියේදි මං හැරුණෙ හොටෙල් ෆීල්ඩ් එකට. ඒකම තමයි මගේ ජීවිතය වෙනස් කළ තීන්දුව.

ඔබ රටරටවල වැඩ කරන්නෙ ඊට පස්සෙ...

ඔව්. හිල්ටන් චේන් එකේ රටවල් ගණනාවක වැඩ කළා. මේ හෝටලයේ දෙවැනියා හැටියට ආවේ ඊට පස්සෙ.

එතකොට, අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ...

මගේ තාත්තා වරුණ ප්‍රනාන්දු අදටත් ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩාවේ වාර්තා තැබූ ක්‍රීඩකයෙක්. හොටෙල් ස්කූල් එකෙත් දේශන කරනවා. එයා මටත් නිකම් ඉන්න දෙන් නෑ. ගියාමත් කෝල් කළාමත් අහන්නේ ‘අද එක්සර්සයිස් කළාද...’ කියලා. මොකද, ශරීරය නිරෝගි නම් විතරයි පැහැදිලි මනසකින් වැඩ කරන්න පුළුවන්. තමන්ගෙ ශරීරය ගැන නිරෝගි භාවය ගැන හිතන්න මට පුරුදු කළේ තාත්තා. මගේ අම්මා හබරාදූවේ. මෙහෙ ජීවත් වුණාට තව ම අපේ අක්මුල් අපේ හිත් ඒ ගමේ තියෙන්නෙ, ගමට තිබූ අම්මලගෙ ඒ බැඳීම් අපි පුංචි කාලෙ ඉඳලා දැකපු නිසා. තරු හෝටල්වල ම හිටියට කෑවා බිව්වට තවමත් ගමට ගියා ම දැනෙන ෆීලින් එක හරි වෙනස්.

ඔබ අඳින්නෙ පලඳින්නේ, බ්‍රෑන්ඩඩ් දේමද...

මේ ක්ෂේත්‍රයේ යම් කිසි ‘ඉමේජ්’ එකක් තියාගත යුතු නිසා මං බ්‍රෑන්ඩ් එකක් අඳිනවා. හැබැයි ඒක නම පිටට පේන්න නෙවෙයි. ‘Massimo Dutti’ කියන ඒ බ්‍රෑන්ඩ් එකට වඩා ඉහළ ඒවා ඕනෙ තරම් තිබෙනවා. නමුත් මට මේ ඇති. අනෙක මගේ අතේ කරේ කිසි ම පලඳනාවක් නැහැ. සරල සැහැල්ලු ජීවිතය තරම් කිසි ම දෙයක් මට වටින්නේ නෑ.

ඔය කිව්වට හොඳ කාර් එකක් නම් පදිනවා ඇති...

හෝටලෙන් දීලා තිබෙන ‘ඔෆිස් වෙහිකල්’ එක ඇරෙන්න මට වෙන එක කාර් එකක්වත් නැහැ. මට අවශ්‍යත් නැහැ. මේ රටේ හුඟ දෙනකුට තියෙන ලොකු ම ලෙඩේ තමයි කොහොම හරි කාර් එකක් ගන්න හිතන එක. වාහන ගෙන්වන්නයි... ඊළඟට පෙට්‍රල් ගෙන්වන්නයි පිටරටට යවන සල්ලි ධනස්කන්ධය ගණන් බැලුවොත් රටක් හැටියට අපි කොතැනද ඉන්නෙ කියලා දැනේවි. අද තරුණ පරම්පරාව රස්සාවකට ආ ගමන් හිතන්නෙ වාහනයක් ගන්න. ඒක පස්සට තියලා මුලින් ම කරන්න ඕනෙ තමන්ට ම කියලා බිම් අඟලක් හරි අරන් දාන එක. මං අපේ සේවකයන්ට කියන්නෙ ම මේ දේ. මොකද ඉඩමක් කියන්නෙ හොඳ ආයෝජනයක්. මට ම කියලා කාර් එකක් ගන්නවා වෙනුවට මං කළේ ඒ දේ.

එත‍කොට ජීවිතය විඳින්නේ...

කියවලා. ඔබ මගෙන් අහන්න පොළොන්නරු යුගය ගැන... රජවරු ගැන... යටත් විජිත යුගය ගැන... ජෝන් ඩොයිලි... ගජමන් නෝනා... වගේ චරිත ගැන... මේ රටේ ශ්‍රේෂ්ඨ චරිත... ව්‍යාපාරික ලෝකය...,සමාගම්..., ජාත්‍යන්තර වෙළෙඳ ලෝකය... ඔය කොයි දේ ගැනත් මං යම් ප්‍රමාණයකට දැනුවත්. එකකට එකක් වෙනස් විෂයන් කියලා හිතෙයි, නමුත් මේ හැම දෙයක් ම මං බොහොම ආසාවෙන් හොයමින් කියවනවා. මේවා තමයි මං ෆෝන් එකෙන් කම්පියුටරයෙන් ගන්න හොඳ දේ. අපිට තිබුණෙ කොහොම රටක්ද... අද වෙ ලා තියෙන්නෙ මොකක්ද... මේවා කියවද්දි ඔබට ම හිතේවි. තවමත් අපි ප්‍රමාද නැහැ. ආකල්ප අතින් වෙනස් වෙන්න විතරයි ඕනේ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශයක් කියන්න...

මං පැදුරෙ ඉන්න කෙනෙක්. මොකද අඩි දහයක් උඩින් ගියොත් වැටෙනවාමයි. පැදුරෙන් වැටෙන්න තැනක් නැහැ. ඒ එකක්. අනෙක තමයි, දරුවෙකුට හරි පුළුවන් තරම් උගන්වන්න ඕනෙ ගණිතය සහ ඉංග්‍රිසි. මේ දෙක තමයි මනුස්සයකු ගෙ ජීවිතේ වෙනස් කරන්නේ. ගණිතය මේ රටේ හුඟ දෙනකුට අමාරුයි. නමුත් ඉගෙන ගත හැකි සරල ක්‍රම තිබෙනවා. ඉන්ටනෙට් පීරලා ඒවා හොයාගන්න. ඉගෙන ගන්න. ඊළගට ඉංග්‍රීසි තමයි මුළු ලෝකයක් ඔබට විවර කරන්නේ. ඕන විෂයකට ඕන පැත්තකට අසීමාන්තිකව ඔබව රැගෙන යන්න මේ විෂයන් දෙකට පුළුවන්. මේ රටේ හැම කෙනාම ඉංග්‍රිසියෙන් කතා කරනවා නම් කාටවත් කාගෙවත් වෙනසක් පේ‍න්නෙ නෑ. මිනිස්සු සලකන්නේ ඒකට නම්, වැඩ පෙන්වන්නේ ඒකෙන් නම් අපි ඒ දේ කරන්න ම ඕනේ.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments