ලේක්හවුසියේ සිට මිහින්තලයට වැඩම කරවූ ශෛලමය සිරිපතුලේ කතාව | සිළුමිණ

ලේක්හවුසියේ සිට මිහින්තලයට වැඩම කරවූ ශෛලමය සිරිපතුලේ කතාව

මේ ශෛලමය සම්බුදු සිරිපා අනුරුව ලේක්හවුස් මන්දිරයේ සිට අනුරාධපුරය බලා වැඩමකරවූයේ පින්කම් රැසක් මධ්‍යයේය. පන්සල් විසි දෙකකදී ධර්ම දේශනා සහ පිරිත් දේශනා කරමින් ආශිර්වාද මධ්‍යයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේත් රුවන්වැලි මහා සෑයේත් ආශිර්වාද ලබාගනිමින් මෙම 'ශෛලමය සම්බුදු සරිපා අනුරුව' අනුරාධපුර ගුවන් හමුදා ගුවන්තොටුපළින් ගුවන් මඟින් මිහින්තලයට වැඩම කළේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි.

හාත්පස බැලූ කල පෙනෙන්නේ නෙත් සිත් පැහැර ගන්නා සොඳුරු දසුන් පෙළෙකි. කසාවත් හැඳි භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ඣායනා කරති. නෙළුම් මල් දෝතට ගෙන සුදුවතින් සැරැසුණු උවසු උවැසියෝ සාදුකාර දෙති. පත්තර මහ ගෙදර - ලේක් හවුස් ආයතනය ඉදිරිපස රන්සිවි ගෙයක තැන්පත් කරන ලද රන් කණු පෙළින් වට වූ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව හා මිහිඳු හිමි අනුරුව අවට සාදුකාරයෙන් පිරී යයි. මේ සොඳුරු දසුන අප නෙතු ගැටුණේ පසුගිය හය වැනි දා ලේක් හවුස් මහගෙදර සිදු වූ සුවිශේෂී පින්කමක් හේතු වෙනි.

ඒ මෙරට පූජනීය ස්ථාන අතුරින් බොදුනුවන්ගේ මුදුන් මල්කඩක් වූ හා දෙස් විදෙස් බැතිමතුන්ගේ නිබඳ භක්තියට බඳුන් වූ මිහින්තලා පුදබිමෙහි 'ශෛලමය සම්බුදු සිරිපා අනුරුවක්' ස්ථාපිත කිරීමේ සුවිශේෂී පින්කම් මාලාවේ සමාරම්භයයි.

පොසොන් පොහොය නිමිත්තෙන් අනාදිමත් කාලයක සිට 'මිහින්තලා -ලේක්හවුස් 'ආලෝක පූජා පුද සත්කාරය වසරක් පාසා සිදු කරනු ලබන්නේ පත්තර මහගෙදර බැතිබර දායකත්වයෙනි. මෙම සුවිශේෂී පින්බර සද්කාර්යයේ සංවිධාන කටයුතු සිදු වූයේ ලේක් හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ පුර්ණ ආශිර්වාදයෙන් හා උපදේශකත්වයෙන් යුතුව ලේක්හවුස් බෞද්ධ සංගමය ප්‍රධාන කොට ගත් ලේක් හවුස් ආයතනයේ නිලධාරීන් හා සේවක සේවිකාවන් ගේ බැතිබර දායකත්වයෙනි. මෙම පුණ්‍යකර්මයේ අගනා කාර්යභාරයක් ඉටු කළ බෞද්ධ සංගමය වෙනුවෙන් එහි සභාපති බුදුසරණ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ මහතා මෙම ‍‍‍‍ඓතිහාසික අවස්ථාව පිළිබඳ අප සමඟ අදහස් දැක් වූයේ මෙලෙසය.

“මේ 27 වන දාට යෙදෙන පොසොන් පොහොය දිනයට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා වසර 2325ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම 'මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා' පුද සත්කාරයට වසර පනස් හයක් සපිරෙනවා. ඒ සමඟම ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් අනුස්මරණය කර පින් පැමිණවීමත් මුල් කොට ගෙන තමයි මේ පුණ්‍යකර්මය සිදු කරන්නට කටයුතු කළේ. ”

'ශෛලමය සම්බුදු සිරිපතුළ' පූජා කරමු යි කියන වටිනා අදහස ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතාගෙන් ඉදිරිපත් වුණා. ඒ අදහස එතැන සිටි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා වගේම ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු හැම දෙනාම අගය කළා. ඒ අලුත් අදහසට ඒ සද්කාර්ය දියත් කරන්නට එතැන් පටන් හැම දෙනාම කටයුතු සම්පාදනය කළා. බෞද්ධ සංගමයෙන් මේ කාර්ය දියත් කරමුයි කියා මම යෝජනා කළත් ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා එක හෙළා පැවැසුවේ මේ කාර්යය ලේක්හවුස් ආයතනයේ සමස්ත සේවක සේවිකාවන්ගේ ආශිර්වාදයෙන් හා සහභාගීත්වයෙන් දියත් කරමු යන්නයි. ඒ පිරිසුදු සිතුවිල්ල ව්‍යාප්ත වෙලා ඒ සමඟම අසිරිමත් පින්කම් මාලාවක් ඒ වටා ගොඩනැඟුණා. ඒ අනුව ශෛලමය සම්බුදු සිරිපා අනුරුව මිහින්තලා පුදබිමට වැඩමවන කාර්යය ඉතාම සාර්ථකව සිදු කරන්නට අපට හැකිවුණා.'

මෙම 'ශෛලමය සම්බුදු සිරිපා අනුරුව' නිර්මාණය කිරීමේ සංකල්පයේ සිට එය මිහින්තලා පුදබිම දක්වා වැඩම කරවීමේ සියලු කාර්යයන් හි පිටුපස යෝධ සෙවණැල්ලක් සේ සිටිමින් ඒ කාර්යය මනා ලෙස සංවිධානය කරන්නට කටයුතු කළේ ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතායි. මේ පිළිබඳව අපි ඔහුගෙන් ද විමසීමු.

“ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන් සමඟ එක් වෙලා මෙවැනි පුණ්‍ය කර්මයක් සිදු කරන්නට අවශ්‍යයි කියන පුණ්‍ය සිතුවිල්ල කාලයක සිටම මගේ හිතේ තිබුණු දෙයක්. ‍ඒ මොකද මීට පෙර නිකවැරටිය කෝරලයාගම විහාරස්ථානයට මෙවැනි 'ශෛලමය සම්බුදු සිරිපා අනුරුවක් පූජා කිරීමේ උතුම් පින්කමකට මගේ මිතුරන් සමඟ මමත් දායක වුණා. මේ අතරවාරයේ මිහින්තලා අලෝක පූජා පුද සද්කාර්යයේ සාකච්ජාවට මටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් මිහින්තලා විහාරස්ථානයට ගිය මොහොතේ මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ සමඟ අපි සාකච්ජා කරන අතරවාරයේ මගේ අදහස මම පැවසුවා. මගේ ජංගම දුරකතනයේ එවන් ශෛලමය සිරිපා අනුරුවක් සකසන ජායාරූපයක් තිබුණා. මම උන්වහන්සේට එය පෙන්වූ විට නායක හිමියන් බොහෝසේ සතුටට පත්වී මේ පින්කමට පූර්ණ ආශිර්වාදය හා අනුමැතිය ලබාදුන්නා. කලක පටන් උන්වහන්සේගේ සිතේත් මෙවැනි අනුරුවක් පිත්තලෙන් සකස්කරන්නට අදහසක් තිබූ බව උන්වහන්සේ පැවැසුවා. මේ 'ශෛලමය සම්බුදු සිරිපා අනුරුව' මිහින්තලේ රජමහා විහාරයේ ධාතු මන්දිරයේම තැන්පත් කරන්නට උන්වහන්සේ පූර්ණ කැමැත්ත පළ කළා. අප ඒ වෙනුවෙන් ධෛර්යවත් කළා. අනෙක් අතට 2325 වන මිහිඳු ජයන්තිය අපට හුඟක් විශේෂයි. මෙය මෙරට ශාසනයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සාශන වංශකතාවේ සඳහන් වෙනවා. මොකද යළිත් මෙවන් දිනයක් උදාවෙන්නේ නැහැ. 2350 වන මිහිඳු ජයන්තිය සමරද් දී අපි බොහෝ දෙනෙක් නොඉන්නත් පුළුවන්. එනිසා මෙවර යෙදෙන මේ විශේෂ පොසොන් පොහෝ දිනයේ මෙම ශෛලමය සම්බුදු සිරිපා අනුරුව නිරාවරණය කරන්නට අපි කටයුතු සම්පාදනය කර තිබෙනවා. ලේක්හවුස් ආයතනයේ සෑම සේවකයෙක්ම මේ අවස්ථාවට දායක වුණා. ආධාර උපකාර කළා. ඒ හැම දෙනාටම එය විශාල පිනක්. ඒ වගේම මේ පුණ්‍ය කර්මයේ තවත් එක් අරමුණක් වුණේ ලේක්හවුස් නිර්මාතෘ ආදි කර්තෘ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන් අනුස්මරණය කර පින් පැමිණවීමයි.

මෙතැනට පැමිණ මේ සිරිපා අනුරුව වන්දනා කරන හැමදෙනාටම මේ සද්කාර්යයට දායක වූ ලේක්හවුස් ආයතනය මතක් වෙනවා. ඔවුන් පුද දෙන පින් මේ ආයතනය ගොඩනැඟු ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ටත් ආයතනයේ සේවය කර මිය පරලොව ගිය හැමදෙනාටත් සේවය කරන අප හැමදෙනාටත් ලැබෙනවා. එය අපි හැමදෙනාටම විශාල භාග්‍යයක් . ”

මේ ශෛලමය සම්බුදු සිරිපා අනුරුව නිර්මාණය කළේ දක්ෂ කැටයම් ශිල්පි‍යකු වන පානදුර වලාන වෙසෙන උපුල් පෙරේරායි. ඔහුටත් මේ කාර්යයට දායක වු සැමදෙනාටත් ස්තූතිය පුද කරන්නට ද හෙතෙම අමතක නොකළේය.

“අඟල් පනස් තුනක් පමණ දිගින් යුතු මෙම සිරිපා අනුරුව දක්ෂ ගල් කැටයම් ශිල්පි‍යකු වන උපුල් පෙරේරා ඉතාම භක්තියෙන් යුතුව අලංකාරවත් ලෙස නිර්මාණය කළා. මේ ඔහුගේ දොළොස්වන සිරිපතුල් නිර්මාණයයි. ඒ වගේම ඔහු බොහෝ මිල අඩුවෙන් තමයි මේ කාර්යය සිදු කළේ. ඔහුට අපි ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ සිරිපතුල නිර්මාණය කරන්නට 'Star Granit' ආයතනයේ වික්‍රමසිංහ මහතා ගේ පූර්ණ සහයෝගය අපිට ලැබුණා. එයත් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ඒ වගේම සිරිපා අනුරුව වටා සවි කළ රන් කණු විසි දෙකටම ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන් දායක වුණා. පැය භාගයක් ඇතුළත ඔවුන් මේ සියල්ලම බාර ගත්තා. මුදලින් , ශ්‍රමයෙන් හා ආශිර්වාදයෙන් උපකාර කළ සියල්ලන්ටම පින්සිදු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ”යැයිද ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකාරතුමා පවසයි.

'මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා' සද්කාර්යය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ දායකත්වය ලබා දෙමින් වසර ගණනක සිටම කටයුතු කරන ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද මේ අසිරිමත් කර්තව්‍යය පිළිබඳ අප සමඟ කතාබහ කළේය.

“ලේක්හවුස් ආයතනය මෙරට බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් දශක ගණනක සිටම දායක වූ ආයතනයක්. ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ඒ සඳහා එදා පෙරමුණ ගත්තා. ඒ මඟ පෙන්වීම අනුව යමින් තමයි නොකඩවා මහින්තලා අලෝක පූජා පුද සත්කාරය අදටත් අප ඉතාම භක්තියෙන් යුතුව සිදු කරන්නේ. අතීතයේ බොදුනු ජනයා බුදුන්වහන්සේගේ සිරිපතුලට තමයි වන්දනා කළේ. පසුකාලෙක තමයි බුදුන් වහන්සේගේ අනුරුවට වන්දනා කරන්නට පටන්ගත්තේ. අප ආයතනයේ සේවක සේවිකාවන් මුලික වෙලා මිහින්තලාව වැනි පූජනීය ස්ථානයක සිරිපතුලක් ස්ථාපනය කරන්නට ලැබීම සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක් ලෙසයි මම දකින්නේ.”

මෙම ශෛලමය සම්බුදු සිරිපා අනුරුව ලේක්හවුස් මන්දිරයේ සිට අනුරාධපුරය බලා වැඩමකරවූයේ පින්කම් රැසක් මධ්‍යයේය. පන්සල් විසි දෙකකදී ධර්ම දේශනා සහ පිරිත් දේශනා කරමින් ආශිර්වාද මධ්‍යයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේත් රුවන්වැලි මහා සෑයේත් ආශිර්වාද ලබාගනිමින් මෙම 'ශෛලමය සම්බුදු සිරිපා අනුරුව' අනුරාධපුර ගුවන්හමුදා ගුවන්තොටුපළින් ගුවන් මඟින් මිහින්තලයට වැඩම කළේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. සිරි පතුල මිහින්තලා පුදබිමෙහි උඩමළුව‍ වෙත ගෙනයාමට සිදු වුයේ ගුවන් මඟින්ය. එම කාර්ය භාරය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණේ ඒ වන විට එම ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි. ප්‍රදේශය පුරා පැවැති තද සුළං හේතුවෙන් සම්බුදු සිරිපා අනුරුව උඩමළුව වෙත රැගෙන යාම පසුදිනට කල් තැබිණි.

මෙම පුණ්‍යකර්මය ආරම්භ කළ දිනයේ සිට කිසිදු අඩුපාඩුවක් වන්නට ඉඩනොතබමින් ඉතා ඕනෑකමින් සියල්ල සොයාබලා තම වටිනා කාලය ,ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කළ ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනවිරත්න ද එදින අනුරාධපුර ගුවන් තොටුපළ කරා සම්බුදු සිරි පතුල ගුවන් මඟින් උඩමළුවට ගෙන යන අසිරිමත් දසුන දැකබලා ගන්නට යුහුසුලු වූවන් අතර විය. ඒ පිළිබඳ ඔහු අප සමඟ පැවැසුවේ මෙලෙසයි.

“මේ කාර්යය සඳහා විශාල සහයෝගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලේක්හවුස් ආයතනයට ලබා දුන්නා. ඒ ගැන ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි. මේ සද් කාර්යය ඔවුන් කිසිදු අය කිරීමකින් තොරව ඉතා භක්තියෙන් යුතුව ඉටු කළා. ඒ වගේම මේ සිරිපතුල විශාල මෙහෙයුමකින් අනතුරුව තමයි උඩමළුව වෙත රැගෙන ගියේ. මෙම අනුරුව ගුවනින් ගෙන යාමේ පෙරහුරුවකින් පසුවයි.

වරාය අධිකාරියෙන් ගුවන්හමුදාවට පිරිනැමූ ඉතා ශක්තිමත් දැල් සහිත ආවරණයක ටොන් එකහමාරක් පමණ බරැති මෙම සිරිපතුල තැන්පත් කර එය යළි යළිත් පරීක්ෂාකර බලා ඉතා ආරක්ෂාකාරීව තමයි උඩමළුව වෙත රැගෙන ගියේ. මම එක් වෙලාවක මේ නිලධාරීන්ගෙන් විමසුවා මෙවැනි බරක් ගුවනින් ගෙන යත්දී යම් හෙයිකින් ජනාවාස උඩින් ගමන් කිරීමේ දී යම් අවදානමක් මතු වුවගොත් ඔවුන් සිදු කරන්නේ කුමක් ද කියා. එවිට ඔවුන් ගේ පිළිතුර වුණේ එවන් සැකයක් මතු වුණොත් ජනාවාස නොමැති ජන ශුන්‍ය ස්ථානයකට එම බර හෙළා දමන්නට සිදු වන බවයි. භක්තිය , ආදර ගෞරවය සහ අනිත්‍යය අතර දෝලනය වෙමින් පැමිණි අවදානම් සියල්ල ජයගෙන මිහින්තලා පුදබිමට මේ සම්බුදු සිරිපතුල වැඩමකරවීමට අවකාශ ලැබුණා.”

ලේක්හවුස් ආයතනය දියත් කළ මේ පුණ්‍යකර්මයට මහත් ශක්තියක් වෙමින් සිරිපතුල ගුවනින් මිහින්තලය කරා වැඩම කිරීමේ භාරධූර කාර්යය පැවැරණු ගුවන්හමුදාවේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් කටයුතු කළේ ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා මහතායි.

Comments