පුංචි මිනිසුන්ගේ කඳුළ වේදනාව නිවන්නට කැපවූ උදාර නායකයා | සිළුමිණ

පුංචි මිනිසුන්ගේ කඳුළ වේදනාව නිවන්නට කැපවූ උදාර නායකයා

ඉම්තියාස් බාකීර් මාකාර්

මේ 23 වැනි දිනට යෙදෙන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙනි‍.

මම එතුමන් මුලින් ම හඳුනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය‍ෙයකු වශයෙන් සිටියදී ය. එතුමන් ඇරඹූ පුරවැසි පෙරමුණේ ප්‍රථම රැස්වීම සුදුවැල්ලේ පවත්වද්දී, 1972 දී ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරමින් කථාවක් පවත්වන්නට මට එතුමන්ගෙන් ඇරියුම් ලැබුණා. එදා පටන් මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධාන වෙනුවෙන් එතුමා මා නිතර ම කැඳවා ගත් අයුරු මට නිතර මතක් වෙනවා.

ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂයෙකු දුටු විට ඒ දරුවන් ඉදිරියට දමා ඔවුන්ට ඉස්මතු වන්නට, ඔවුන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගන්නට ධෛර්යය දුන් නායකයෙක්.

උද්දච්ච බවක්, අහංකාර බවක් එතුමන් තුළ තිබුණේ නැහැ. කුඩා දරුවෙකුට වුවත්, පුංචි මිනිසෙකුට වුවත්, කිට්ටු විය හැකි තත්ත්වයකයි, එතුමා සිටියේ. ඔවුන්ගේ වේදනාවන්, හැඟීම් තේරුම් ගත හැකි මට්ටමකිනුයි එතුමන් හැසිරුණේ.

පුවත්පතක කඳුළ වේදනාව ඇති කරන පුවතක් ඇස ගැසුණු විටෙක එය සොයා යෑමට නිලධාරීන් මෙහෙයවීම එතුමාගේ සිරිතක් වුණා.

ජනාධිපති ධූරයට පත්වූ වහාම එතුමන් හදිසි නීතිය අවලංගු කර සැකකරුවන් ලෙස සිටි ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් 1,800 ක් නිදහස් කර හැරිය ආකාරය මට මේ අවස්ථාවේ දී මතක් වෙනවා‍. ඒ නිදහස් කිරීමෙන් එතුමන් උත්සාහ කළේ ජීවිත හානියකින් තොරව රටට සාමය උදා කරගන්නට දොරටු විවෘත කිරීමක් කරගන්නටයි.

මෑත ඉතිහාසයේ ඉතා දරුණු වූත්, භීෂණකාරීවූත් අභියෝගාත්මක වූත් අවධියක රාජ්‍ය නායකයා ලෙස පත්ව එම අභියෝගයට ධෛර්යය සම්පන්න ලෙස එතුමන් මුහුණ දුන් ආකාරය ගැනත්, එම අභියෝගයන් මධ්‍යයේ සමාජ සාධාරණත්වය මුල් කරගත් සමාජයක් ඉලක්ක කර ගනිමින් එතුමන් ඉටු කළ වේගවත් කාර්ය භාරය ගැනත්, අපෙන් පසු ව එන පරම්පරාවත්, ඉතිහාසඥයිනුත් නිවැරැදි ලෙස සටහන් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

එතුමාගේ දේශපාලන ජීවිතයේ තිබූ අගය කළ යුතු ගුණාංගයක් වන වෙහෙස නොබලා වැඩ කිරීම, කැපවීම, වේගවත් බව, නිරතුරු සජීවී බව ක්‍රමවත්ව විධිමත්ව හිතට එකඟව අකුරටම තමන්ගේ වගකීම් ඉටු කිරීමට ඔහු දැක්වූ උනන්දුව, දැඩි ආත්ම විශ්වාසය, අධිෂ්ඨාන ශක්තිය, නිරවුල් සිතීම සහ ප්‍රායෝගික බව වැනි ගුණාංග, එතුමන්ගේ දේශපාලන අදහස් හා එකඟ නොවන කෙනෙකු වුව ද, අගය කරනවා නොඅනුමානයි.

අප රටේ සම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට භාජනය කළ රාජ්‍ය නායකයකු ලෙස එතුමා ඉතිහාසයට එක්වෙනවා.

සංවර්ධනයේ ප්‍රතිලාභ දිළිඳු කොටස් වෙත ගලා යාමට ප්‍රමුඛතාව දී කටයුතු කළ එතුමා ව්‍යාපෘති 15,000 වැඩපිළිවෙළ මඟින් සංවර්ධන ප්‍රමුඛතාවන් තෝරා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය, බහුතර ගැමි ජනතාව අතට පත් කිරීමේ විප්ලවීය වෙනස ක්‍රියාවට නැඟීම සඳහා මුල පිරුවා. රට පුරා ඈත දුෂ්කර දුප්පත් ගම්මාන සොයා යමින් නිවාස, ජලය, මාර්ග, විදුලිය, ප්‍රජා ශාලා, පුස්තකාල, ළදරු පාසල්, ක්‍රීඩා පිටි, ස්වයං රැකියා, ආගමික මධ්‍යස්ථාන හා වෙනත් නොයෙකුත් පොදු පහසුකම්වලින් යුත් ගම්මාන අටසීයයකට අධික ගණනක්, උදා කළ ගම්මාන බවට, ආදර්ශ ගම්මාන බවට පත් කළා.

නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළ, ජනසවිය, ගම්මාන පහළොස් දහසේ ව්‍යාපෘති, සෙවණ මාපිය කැපකරු වැඩපිළිවෙළ, ‘මාවතේ අපි’ වැඩසටහන ඇතුළු ව්‍යාපෘති රාශියක් පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නැඟුවා.

ඇඟලුම් ක්ෂේත්‍රය කොළඹින් පිටත ඈත ගම්මානවලට ගෙන යමින් ඒවායේ රැකියා අවස්ථා සඳහා අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට ප්‍රමුඛතාව ලබා දුන්නා.

දුගී දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඔවුනට උදව් කරන වැඩපිළිවෙළවල් ක්‍රියාවට නඟමින් සමාජ සාධාරණත්වය පදනම් කරගත් සමාජයක් ඇති කිරීම උදෙසා තමන් රාජ්‍ය නායකයාව සිටි කෙටි කාලය තුළ ඉටු කළ වැඩ කොටස අද අප රටේ ඉතිහාසයේ කොටසක් බවට පත්ව තිබෙනවා.

සාන්ත බස්තියමෙන් ඇරඹුණු එතුමාගේ දේශපාලන ගමන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දක්වා යනු ඇතැයි සිතීම එදා යුගයේ දී පමණක් නොව මෙයට දශක දෙකකට පෙර දී පවා සිහිනයක් බඳු වුණා.

එක්සත් ජාතික පාක්ෂිකයන් සිය ගණනින් එකිනෙකා දිවයිනේ දස අත මැරී වැටෙන අවධියක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අභියෝගය භාර ගනිමින්, එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ පමණක් නොව රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම අපේක්ෂා කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළ හීන වෙමින් පැවති විශ්වාසය පණ ගන්වමින් එතුමා මැතිවරණ ව්‍යාපාරය රට පුරා ගම් දනව්වලට ගෙන ගියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාවර පැවැත්ම අනාගත පරපුරට උරුමකර දීමේ අධිෂ්ඨාන ශක්තිය ඇතිවයි.

 

Comments