නයාට ගහලා පොල්ල වරද්දාගත් අයෙකුත් ප්‍රතිකාර පෝලිමේ | සිළුමිණ

නයාට ගහලා පොල්ල වරද්දාගත් අයෙකුත් ප්‍රතිකාර පෝලිමේ

“මම එතකොට පොඩි එකා…. සීයට පරම්පරාවෙන් ලැබුණද, කොහොම ලැබුණද කියන්න මම දන්නේ නෑ...සීයගෙන් තමයි තාත්තට වට්ටෝරුව ලැබුණේ…තාත්තා කැලේ ගිහින් බෙහෙත් හොයාගෙන ඇවිත් අවුරුද්දට දෙපාරක් විතර තෙල් හිඳිනවා…හැබැයි ඉතින් ජිවිතේ ගැට ගහගන්න කියල කළේ ගොවිතැන. අහල ගමක අතක් පයක් කඩාගත්ත ලෙඩෙක් ගැන කියාගෙන දූතයෙක් තමා එන්නේ… ඕන්න එතකොට මොන වැඩේ කර කරා හිටියත්, ඒක නවත්තලා ලෙඩාගේ ගෙදරට යන්න ඕන…. ඒ ගිහින් බෙහෙත් බැඳල, පත්තුවට සිට්ටුව තේරුම් කරල දීලා වරුවකින් හමාරකින් ආපහු ගෙදරට එනවා… ආයේ සතියකින් විතර යන්න බලාගෙන. තුටු පඬුරු විදිහට මොනවත් හරි ලැබෙනවා… සමහරවිට ඒ එනකොට තව ලෙඩෙක් ගැන කියාගෙන දූතයෙක් ඇවිත්…. ආයෙම යනවා…. ඒකට දැන්… ලෙඩ්ඩු පිරිවරත් එක්ක අපිව හොයාගෙන එනවා….” මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” හෙවත් සිලම්බුරාලගේ මුතු බණ්ඩා මහතා අතීතය වත්මන සමඟ ගැට ගැහුවේ එලෙසය.

එකල හූවෙන් දෙහූවෙන් සන්නිවේදන අවශ්‍යතා සපුරාගත් මරදන්කඩවල දම්පැලැස්සයායට “වෑල්ඩින් වෙද මහතා” ගේ තාත්තාගේ දස්කම් රටට කියන්නට අවස්ථාව ලැබුණේ නැත. ඒ අවස්ථාව දම්පැලැස්සයායට හිමිවුණේ මහරගම සිට රෝද පුටුවෙන් ආ පාද බිඳුණු රෝගියෙකු නිසාය. මුතු බණ්ඩා මහතාට මතක හැටියට ඒ අනූව දශකයේ මුල් භාගයයි. වෙද මහතා ගැන තොරතුර රෝගියාට ලබාදී තිබුණේ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලෙන් මාරු වි ගිය උපස්ථායකයෙකු විසින් බව වෙද මහතා පැවසුවද එය තහවුරු කරන්නට තරම් මතකයක් ඔහුට නැත.

“මම එ් ලෙඩාව හොඳ කළා… රෝද පුටුව පැත්තක දමල ඇවිද්දෙව්වා….එයාල තමයි ඔන්න මං ගැන මුලටම පත්තරේ දාලා දුන්නේ…..”

“ඉතින් ඊට පස්සේ” මම ජනප්‍රියම වදන් පෙළකින් දමා ගැසුවේ ඔහුට යළිත් අවස්ථාව දෙනු පිණිසය.

“ඔන්න ඊට පස්සේ මාව හොයාගෙන ආවා ගණේමුල්ල ගලහිටියාව සෙන්ට්‍රල් එකේ දෙන්නෙක්.. ඇවිත් දවස් දෙකක් නැවතිලා සායනයක් කරන්න කිව්වා…. මම ගියා….එතැන තවත් සිංහල වෙද මහත්වරු හිටියා… කැඩුම් බිඳුම් වලට බෙහෙත් කළේ මම… දවස් දෙකම පෝලිමට ලෙඩ්ඩු... ඔන්න ඊට පස්සේ තමයි දම්පැලැස්සයායට සෙනඟ එන්න පටන් ගත්තේ…. ඉතින් මට වටපිටාවේ ලෙඩ්ඩු පස්සේ යන්න වෙලාව නැති වුණා….අන්තිමේ අවට ලෙඩ්ඩුත් මාව හොයාගෙන ගෙදරටම ආවා…”

ඉඳහිට වල් අලිද සරණ දම්පැලැස්සයායට “ඉසිවර අසපුව”ක් නිර්මාණය වූයේ ඉන් අනතුරුවය. මරදන්කඩවලට කිලෝමීටර දෙක හමාරක් දුරින් පිහිටි දම්පැලැස්සයාය දැන් කඩමණ්ඩියකි. සාමාන්‍ය කඩමණ්ඩියක් නොව එය සුවිශේෂි කඩමණ්ඩියකි. සවස දෙකට නින්දට යන ඒ කඩමණ්ඩිය යළි අවදි වන්නේ රෑ දහයෙන් පසුය. පසුදා උදෑසනින්ම “වෑල්ඩින් වෙදකම” කරගන්නට බලාපොරොත්තුවෙන් රාත්‍රිය උදාවෙන විට දම්පැලැස්සයායට එන පිරිසට නවාතැන්, රථවාහන ගාල්, සනිපාරක්ෂක පහසුකම්, සන්නිවේදන පහසුකම්, ආහාරපාන, වියළි ශාකමය ඖෂධ ද්‍රව්‍ය සහ ඇඳුම් සෙරෙප්පු ආදී සාමාන්‍ය අවශ්‍යතා මෙම කඩමණ්ඩියෙන් සපයාගත හැකිය.

දම්පැලැස්සයායට රෝගීන් බහුලවම පැමිණෙන්නේ සති අන්ත දිනවල සහ පොහොය නොවන රජයේ නිවාඩු දිනවලය. එවැනි දවස් වලට පැය විසිහතර පුරාම විවෘතව පවතින වෙළඳ සැල්ද දම්පැලැස්සයායේ තිබේ. මේ වෙළඳසල් අතරින් වෙද ගෙදරට ඉදිරියෙන්ම වූ තේ පැන් හලකට මමත්, තුෂාරත් ඇතුළු වුණෙමු. ඒ වෙළඳසල පවත්වාගෙන යන්නේ හතළිස් දෙහැවිරිදි ජයසිංහත්, ඔහුගේ බිරිඳත්ය. උදෑසන විවෘත කරන විට කන්නට බොහෝ දේ තිබුණත් ජනකාය විසිරී යන්නට ඇරඹුණු මද්දහන වන විට එහි ඉතිරිව තිබුණේ පොල්රොටීත්, පරිප්පු වඩේත්, අඩ යනුවෙන් හඳුන්වන බේකරි කෑමකුත් පමණි.

“අපි දෙකට වහල, මරදන්කඩවලට ගිහින් හෙටට විකුණන්න බඩු ගේනවා…. බුලත් තමා වැඩිපුරම යන්නේ… මොකද වෙද මහත්තයාට බුලත් අතක් දෙන්නම ඕනනේ… ආයේ විට, තේ, කෙටි කෑම තමයි යන්නේ…. සෙනඟ අඩු සතියේ දවසට බත් තියෙන්නේ එක කඩේක විතරයි. සති අන්තෙට කෑම කඩ හතරක් පහක් ඇරෙනවා…”

“උදේ කියටද අරින්නේ….”

“ඒක ඉතින් සෙනඟ ඉන්න හැටියට තමයි… සමහර දවසට පාන්දර දෙක වෙනකොට සීයක් හමාරක් මෙතැන… ගෙදර හිටියත් නිදාගන්න බෑ කෑ ගැහිල්ලට… සමහර විට අමාරු ලෙඩ්ඩු කෑ ගහනවා… නැත්නම් පෝලිම පැනල කියල භාරකාරයෝ කෑ ගහගන්නවා….එහෙම දවසට අපි උදේ තුන වෙනකොට කඩවල් අරිනවා… ගේට්ටුව වැහුවයින් පස්සේ උදේ හයට අරිනකම් එන මිනිස්සු පාරට වෙලා තමයි ඉන්න ඕන. ලෙඩ්ඩුන්ගේ කෑගැහල්ල වැඩිවෙන සමහර දාට වෙද මහත්තයා නැගිටලා සේරමලව එළවලා දානවා….”

මරදන්කඩවල කැඩුම්බිඳුම් වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට මාරු වුවද, රට ප්‍රචලිත වූවද, එහි ව්‍යාපාරික විභවය හඳුනාගෙන ආරක්ෂා කරන්නට, පාරිභෝගික සත්කාරය කෙරෙහි අවධානය යොමු කර පහසුකම් වැඩි කරන්නට වෙදමහතා හෝ පවුලේ අය කටයුතු කර නැත. ඒ නිසා වෙදගෙදර අවට නිවාස ගණනාවකට ව්‍යාපාරික අවස්ථා උදාවී ඇත. එහෙත් එම ව්‍යාපාරයන්වල ප්‍රමිතිය සහ සාධාරණත්වය ගැන ඇත්තේ කුකුසකි. සමහර නවාතැන් පොළක තිදෙනෙකු සඳහා කාමරයකට රුපියල් 800/- ක් අය කරද්දි එම පහසුකම්ම පවතින තවත් තැනක ඒ වෙනුවෙන් රුපියල් 1,200/- 1,500/- ක් වැනි ගණනක් අය කරයි. ගාස්තුව තීරණය වනුයේ විමසන්නාගේ බාහිර ස්වරූපය සහ භාෂා විලාසය අනුවය.

හිටපු උතුරු මැද මහඇමැතිවරයා විසින් වෙද මහතාගේ පැරණි නිවස ආසන්යේ ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක් වැනි ශාලාවක් ගොඩනංවා ඇති අතර, රංජිත් වෙද මහතා රෝගීන් පරික්ෂා කරන්නේ එහි කෙළවරක වූ කුටියකය. පැරණි නිවෙස දැන් පළමු තෙල් ප්‍රතිකාරයට ලක් කළ රෝගීන්ගේ පරිහරණය සඳහා වෙන් කර ඇත. මුතු බණ්ඩා මහතා නම් කියන්නේ රට පුරා ප්‍රසිද්ධ තම වෙදකම වෙනුවෙන් පහසුකම් සැපයීම සිදු කළ යුත්තේ රජය විසින් බවයි. නමුත් රංජිත් මහතා ඊට වඩා උපේක්ෂා සහගතව පවසන්නේ තම වෑයමින් ක්‍රමයෙන් මෙම ස්ථානය දියුණු කිරිමට බලාපොරොත්තු වන බවයි.

වෙදමහතාගේ ඉඩම තුළ ව්‍යාපාරික කටයුතු සඳහා අවසර දී ඇති ස්ථාන දෙකකි. එම වෙළඳසල් දෙකම පවත්වාගෙන යන්නේ මුතු බණ්ඩා මහතා මහතාගේ දියණියගේ බෑනාවරුන් විසිනි. එබැවින් ඒවා හැඳින්විය හැක්කේ පවුලට සම්බන්ධ ව්‍යාපාර ලෙසය. ඉන් පළමුවැන්න වෙද මහතා විසින් නියම කරන පත්තු බැඳීමට අදාළ අමු ශාක කොටස් එක්රැස් කර අලෙවි කරන ස්ථානයකි. වියලි කළාපයේ වැව්ගම්පත්තුවේ වට්ටෝරුවකට අනුව ප්‍රතිකාර කරන නිසා එම බෙහෙත් පත්තුවේ ඇත්තේ වියළි කලාපයේ වැවෙන ශාක වල නාමාවලියකි. තෙත් කලාපයෙන්, කඳුකරයෙන් එන බොහෝ රෝගීන්ට එම පත්තුවට අදාළ බෙහෙත් වර්ග තමන්ගේ ප්‍රදේශයෙන් සපයාගත නොහැකිය. එවිට මෙම වෙළදසලෙන් අවශ්‍යතාව පරිදි ශාක කොටස් ලබාගෙන නියම කරන දින 14-16 කාලය පත්තු බැඳීමට භාවිතා කළ හැකිය. පත්තුවේ ඇතුළත් බෙහෙත් වර්ග තමන්ගේ ප්‍රදේශයෙන් සපයා ගත හැකි නම් මිලදී ගැනීම අනිවාර්යය නැත.

ඊළඟට අපට හමුවූයේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාය. පදිංචිය දම්පැළැස්සයාය වෙද මැදුරට ආසන්නයේ වුවද වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතා දැනට එම වසමේ රාජකාරි ආවරණය කරනුයේ තාවකාලික පදනමිනි. “වෙද මහතාගේ ප්‍රසිද්ධිය ගැන ගමේ මිනිස්සු ආඩම්බරයි. මොකද ගමට වටිනාකමක් ලැබුණේ එතුමා නිසා… මේ වෙදකම නිසා ගමේ මිනිස්සු විසි තිස් දෙනෙකුට ව්‍යාපාර වගේම රැකියා අවස්ථාත් බිහිවුණා… ඊට අමතරව වෙද මහත්තයගේ පවුලට සම්බන්ධ දහ දෙනෙක් විතරත් සෘජුව වෙද මැදුරේ සේවය කරනවා… ගමේ පොදු වැඩකදි වගේම, ආගමික වැඩකදිත් මුල්තැන ගන්නේ වෙද මහත්තයාගේ පවුලෙ අය තමයි…. පාරකට තාර ටිකක් දාගන්න- වැවක් හදාගන්න දෙයක් දක්වා කෙළින්ම මහ ඇමතිතුමාටම කතා කරන්න හැකියාව ඔහුට තියෙනවා…”

අපි යළිත් වෙද මැදුර පිහිටි බිමට පිවිසියෙමු. තවත් රෝගීන් පහළොවක් පමණ පොරොත්තු ලේඛනයේ වෙද මහතා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඒ අතරෙහි රංජිත් වෙද මහතා තමන්ගේ දිවා ආහාරය වෙනුවෙන් යාබද ඉඩමේ පිහිටි නිවසට යන්නට සූදානමින් සිටී. අපි එතුමාට ඉඩදී, රෝගීන් ලියාපදිංචි කරන, අංක පිළිවෙළට වෛද්‍යවරයා වෙත රෝගීන් යොමු කරන වෙද මැදුරේ පැරණිම සේවකයා වෙත පිවිසුණෙමු.

“මම පරණයි තමයි.. මටත් වඩා පරණ කෙනෙක් ඉන්නවා… එයා අද නෑ… එක සීරුවට ලෙඩ්ඩු එන්න අරන් දැන් අවුරුදු පහළොහක් විතර වෙනවා… දවසට ලෙඩ්ඩු සීය එන වෙලාවල් තියෙනවා…අද දැනට පනහකට වැඩිය බැලුවා…තව පාළොහක් විතර ඉන්නවා... ”

“වැඩිපුරම එන්නේ….”

“මොනවද ඉතින් ඇක්සිඩන්ට් තමයි…. දැන් හැම තැනම බයිසිකල් නේ… සීයක් ආවොත් පනහක් හැටක් බයිසිකල් වලින් ගිය ලෙඩ්ඩු තමයි… තව විස්සක් අනෙක් වාහන වල… ඉතිරි අය තමයි ගෙදර දොරේ, වැඩපොළේ වෙන අනෙක් අනතුරු වලින් …. අද මරු ලෙඩෙක් ඉන්නවා… එන්නකෝ මහත්තයා…” හැත්තෑ හැවිරිදි ගුණසිරි මහතා ලෙඩ්ඩු අතරින් අපව කැඳවාගෙන යන්නේ ප්‍රතිකාර අහවරව ආපසු යන්නට සැරසෙන රෝගියෙකු වෙතය.

“මේ ඉන්නේ…” කිහිලිකරුවකින් යන තරුණ රෝගියෙකු පෙන්වා අපව හදුන්වා දෙන ඔහු විස්තරය පටන් ගනී… “මේ බෙහෙත් ගත්තු දෙවැනි දවස…. සති දෙකකට කලින් ගෙදරට ආව නයෙකුට පොල්ලකින් ගහල… ඌ මැරිලා. පොල්ලේ කෙළවරකින් අල්ලගෙන කැලේට විසි කරන්න යද්දි, මැරණු සර්පයා පොල්ලේ පැටලිලා ඇඟ දිහාට ඇවිත්… බයට හරි අප්පිරියාවට හරි අහකට පනිද්දි තමන්ගෙම කකුල උඩට වැටිලා. කකුල කැඩිලා. කෙළින්ම ගෙනාවේ මෙහෙට. එදා බෙහෙත් දාලා, සති දෙකකට බෙහෙත් ලියල යැව්වා… අද බැලුවහම හොඳයි… තව සති දෙකකින් ඇවිදින්නත් පුළුවන්….”

පුත්තලම, මුන්දලමේ සිට පැමිණ තිබූ එම තරුණයාගේ නම චින්තකය. වයස විසි ගණනකි. ගුණසිරි මහතා කළ විස්තරය නිවැරදි බව කියූ ඔහු දැන් වේදනාවක් නොදැනෙන බවද, වෛද්‍ය උපදෙස් අනුව තව දෙසතියක් දක්වා කිහිලිකරුවෙන් යන්නේ කකුලේ අස්ථි ශක්තිමත් වන තුරු පමණක් බවද පැවසීය… යළිත් මේ අසනිපයට බෙහෙත් ගන්නට එන්නට අවශ්‍ය නොවන ඔහුට සමුදෙමින් ඉක්මන් සුවය පැතූ අපි එකිනෙකා දෙස බැලූයේ මෙතෙක් කලක් අසා තිබූ “නයාට ගසා පොල්ල වරද්දා ගන්නට එපා” යැයි පෙර කළ සිට ඇසෙන ප්‍රස්ථාව පිරුළක කතාව සත්‍ය වූ අවස්ථාවක් දෑසින් දුටු නිසාය.

“වැල්ඩින් වෙද මහතාගේ” වෙදකම් ගැන තවත් විස්තර සමඟ ලබන සතියේ හමුවෙමු.

එතුමාගේ ප්‍රතිකාර ගැන ඔබේ අදහස් සහ අත්දැකීම් වේ නම් [email protected] ඊ-ලිපිනයට යොමුකරන්න.

 

Comments