ගම හදන ගමන සහ හද නිවන සංහිඳියාව | සිළුමිණ

ගම හදන ගමන සහ හද නිවන සංහිඳියාව

ශ්‍රී ලාංකික සමාජ දේශපාලන සන්දර්භය උඩු-යටිකුරු කරමින් උග්‍ර වන අර්බුද හා එයින් රටම පත් වන වික්ෂිප්තභාවය පිළිබඳ කිසිදු යහපත් පුරවැසියකුට තෘප්තිමත් විය නොහැකි බව අමුතුවෙන් නොකිව මනාය. එහෙත් ඒ අර්බුදවලින් ගිනි තැපීමට සැරසෙන පිරිස්ද සිටිති. බලකාමයෙන් වැඩුණු, ස්වාර්ථය මත පදනම් වූ සකලවිධ දූෂණ වංචා මෙන්ම පොදුජන උරුමයන් හා ජාතික සම්පත් වනසමින් ඉබාගාතේ ඇදී-යන දේශපාලන ගමනක් නිසි ප්‍රබල ජනතාවාදි අපේක්ෂා උදෙසාම කැප වූ ජනතා ව්‍යාපාරයක් බවට පත් කර-ලීම කෙබඳු අභියෝගයක්දැයි මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව මේ වන විට ඕනෑවටත් වඩා තහවුරු කරගෙන තිබේ. ජනතා සේවය වෙනුවෙන් දිවුරුම් දෙන බොහෝ දෙනකු විසින් ස්වකීය සුදු ඇඳුමෙන් වසාගනු ලබන නීච මුග්ධ හැසිරීම් හා භාවිතා පිළිබඳ කෙබඳු අනාවරණයන් සිදු වුවද, ඔවුන් තවමත් වීරයන් ලෙස තම ප්‍රතිරූප ගොඩනංවාගැනීමේ වංක උත්සාහයන්හි නිරත වන ආකාරය දෙස ජනතාව ඇස් දල්වා බලා සිටිති. රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රචණ්ඩත්වයකින් හා භීෂණයකින් දෙදරුම් කෑ සමාජයකට සංහිඳියාව, සතුට හා බියෙන් තොරව ජීවත් විය හැකි අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඇරඹූ අභිනව දේශපාලන ප්‍රතිසංස්කරණය සියල්ල ගල් කරමින් යළිත් දේශපාලන නිරයකට රට ඇදවැටීමේ අනතුරක සංඥා නිකුත් වෙමින් තිබෙන බවටද දේශපාලන විවේචනයක් ඇත.

දේශපාලනය යනු බලය අත්පත් කරගැනීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයකි. එහිදී බලයේ සිටින අයට බාධා කිරීම ඔවුන්ගේ ශක්තිය දුර්වල කිරීම මෙන්ම බලය උදුරාගැනීමද සාමාන්‍ය දෑ ලෙස පිළිගනු ලැබේ. එහෙත් ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදි සීමාව ඇතුළත අහිංසාවාදීව සිදු විය යුතු බවට සම්මුතියක්ද ඇත. දේශපාලනයේ පොදු නැත හොත් සාමාන්‍ය නිර්ණායක සියල්ල පාහේ නොවැදගත්ව තිබෙන දේශපාලන සමාජයක් අද අප ඉදිරිපිට නිර්මාණය වී තිබේ. දුෂ්ට ව්‍යාපාරිකයන් දූෂිතව උපයාගත් හා වංචනික ක්‍රමවලින් කොල්ලකාගත් ධනයෙන් අත දිගහැර මිලියන ගණනින් දුන් මුදල් තම දේශපාලනයට යොදා ගත් ‘මහත්හොරු’ අද ජනතාව ඉදිරියේ නිරුවත්ව සිටිති. එහෙත් ඔවුහු තවමත් සුපටිපන්න ජනතා සේවකයන් ලෙස පෙනී සිටීමට දත කති; මාධ්‍යවල ඉච්ඡා බස් දොඩති; සත්‍යය හෙළි වේයැයි බියෙන් සැලෙති. වරද සමනොළ කන්ද තරම් උසද? එහෙමත් නැති නම් ළිග්ගලක් තරම් මිටිද? යන්න අපට වැදගත් නැත. තමන් අතින් වූ වරද පිළිගැනීම මහත්මා ගුණයක් බව මේ විකටයෝ නොදනිති.

මේ දේශපාලන දුර්ගන්ධයේ දුමාරය හාත්පස වෙළාගනිද්දී වුව පසුගිය දිනවල අප දුටු සාධනීය දේශපාලනික ක්‍රියාදාම දෙකක් විය. පළමුවැන්න: ජාතික සංහිඳියාව පිළිබඳ උතුරේ විශ්වමඩු ප්‍රදේශයෙන් නැඟුණු හෘදයසංවේදී ප්‍රතිචාරයයි. දෙවැන්න: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ග්‍රාමශක්ති වැඩසටහනෙහි සමාරම්භය සටහන් කළ ‘ගම හදන ගමන’ පළමු පියවරය. ගම යනු බොහෝ විට දේශපාලනඥයන්ට ඡන්ද කාලවලට පමණක් සිහිපත් වන නිමිත්තකි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද බහුතර ජනතාවක් ජීවත් වන්නේ ගම්වලය. මහාත්මා ගාන්ධි සිය දේශපාලන සැමරුම්වල සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ඉන්දියාව අත්හැර යා හැකි වුවත් රුදුරු කුල පීඩනයෙන් හා දරිද්‍රතාවේ ගිලී සිටින මිලියන ගණනක් වන ඉන්දියාවේ දුප්පතුන් අතැර යෑමට ඔවුන් වෙළාගත් විපත් හා අනතුරුවලට නොහැකි වනු ඇති බවය. ගම පිළිබඳ මේ යථාර්ථය ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙසත් එයට භෞතික හා ආධ්‍යාත්මික, චිකිත්සාවක් කළ යුතුය යන අධිෂ්ඨානයෙන් යුතු දේශපාලන නායකයකු ලෙසත් මෛත්‍රී ජනාධිපතිවරයා ඉදිරියෙන්ම සිටියි. ඔහු සිය ග්‍රාමීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ඒ ගමත් ගැමි හදවතේ රිද්මයත් මැනවින් දන්නා හඳුනන නිර්ව්‍යාජ ගැමි නායකයකු ලෙසය. ගම සමඟ ගැමියා සමඟ අනන්‍ය වීමට මෛත්‍රී ජනාධිපතිවරයාට ඒ පසුබිම ප්‍රබල අනුග්‍රහයක්ද වේ. මේ දූෂිත දේශපාලන මෙහෙයුම්වලට එරෙහිව උඩුගම් බලා පිහිනීමට තරම් ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් ඔහුට ලැබෙන්නේද ඒ ගැමි දිවියෙන් ලද පන්නරය නිසාය. දිළිඳුකම නිදන්ගත රෝගයකට වඩා සමාජ දේශපාලනයේ විසමතාව තුළින් ඇති වූවක් බව ඉඳුරා දන්නා මේ නායකයාගේ සම්ප්‍රාප්තිය ගැමි ජනතාවගේ ජීවිත අපේක්ෂාවන් යළි ඔසවා නැංවීමක් ලෙස හැඳින්විය යුත්තේ ඒ අනුවය. බුදුදහම, කිතුදහම පමණක් නොව, පෙරදිග හා අපරදිග දර්ශනවාදවල හරය නවීන දේශපාලනයට ගළපාගත හැකි බව ඔහු නිරන්තරව කරන අවධාරණයකි. තමා උස් ගිරිමුදුනකට ගොඩ වී සිටින සාඩම්බර පාලකයකු නොව, ඒ ගිරිස පාමුල පියවි ඇසින් දකින සාමාන්‍ය පුද්ගලයකු වීමට ඔහුට අවශ්‍ය වී තිබෙන බව අපගේ අදහසයි. අපගේ අද්‍යතන දේශපාලනයේ වංචනිකභාවය මෙන්ම එහි පවත්නා පීඩනකාරි ස්වරූපයද ඔහු හොඳින් වටහාගත්තෙකි. දේශපාලන පවිත්‍රකරණයක් සඳහා තම පක්ෂය වන ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඔහු යොමු වන්නේද ඒ අනුවය. මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති ධුරයට පත් වීම විවේචනය කරන බොහෝ දෙනකුට ඔවුන් තුළ තිබෙන ඒ මානවවාදි දැක්ම හා ජනතාවාදි දේශපාලනය ගැන වැටහීමක් නැත. ආණ්ඩුව ඇතුළත මෙන්ම ඉන් පිටතද මෛත්‍රී ජනාධිපතිවරයා මුහුණ දී සිටින අභියෝගය සුළුපටු නැත. අදූෂිත අවංක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අභීතව ඉදිරිපත් වු ඔහු අද යළිත් ඒ දේශපාලන වංකගිරිය තුළටම ඇදගෙන යමින් තිබේද? එහෙත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණය උදෙසා ඔහු තුළ තිබෙන කැප වීම නොවන්නට අද මෙපමණකින් හෝ මේ රට ඉතිරි නොවන බවද සඳහන් කිරීම වටී.

දැන් අපි දකුණේ මෙන්ම උතුරේ ජනතාවගේද ප්‍රබල අවධානයට ලක්ව තිබෙන කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට උතුරෙන් ලැබුණු පෙදු ජන ගෞරවය හා සංවේදී ප්‍රතිචාරය පිළිබඳව දේශපාලනිකව මඳක් විමසා බලමු. අප මේ සිදුවීම දකින්නේ ජාතික සංහිඳියාව පිළිබඳ හෘදයංගම ප්‍රතිචාරයක් ලෙසත්, මනුෂ්‍යත්වයේ සනාතන බැඳීම හා මුසු වූ මානව සංහතියේම අධ්‍යාත්ම ප්‍රකාශනයක් ලෙසත්ය.

යාපනය කිලිනොච්චිය යනු මෙරටේ භීෂණයේ හා ප්‍රචණ්ඩත්වයේ රුදුරු බිමක් ලෙස පැවතුණු භූමි ප්‍රදේශයකි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණ දෙන නිලධරයකු ලෙස උතුරට යන කර්නල් රත්නප්‍රිය ස්ථානගත වන්නේ එහිය. බිහිසුණු ලේ වැගිරීම්වලින් මෙන්ම අප්‍රමාණ විලාප වේදනාවන්ගෙන් පිරීතිරී ගිය අවකාශයක් බඳු එහි සිට දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීම යනු කිසි ලෙසකින් අඩුවෙන් තක්සේරු කළ හැකි දෙයක් නොවේ. තිස් වසරක යුද්ධයෙන් සියල්ල අහිමි කරගත් ජනතාවගේ නෑසියන් දරුවන් තම භාරයට පවරාගත් කර්නල් රත්නප්‍රිය විසින් ආරම්භ කරන ලද පුනරුත්ථාපන වැඩපිළිවෙළට උතුරේ ජනතාව දැක්වූ ගෞරවය හා සංවේදි බව එදා ඔහු වෙනුවෙන් පැවැත්වූ සමුගැනීමේ මොහොතේ ජනතාවගේ ඇස්වල කඳුළුවලින් අපට දැකගත හැකි විය. උතුරේ ඇතැම් දේශපාලනඥයන්ට තවමත් වහකදුරු වී සිටින අපේ යුද හමුදාවට එබඳු ගෞරවයක් හිමි වීම යනු හමුදා ඉතිහාසයේ වුව රන් අකුරින් සටහන් විය යුතු සිද්ධියකි.

කර්නල් රත්නප්‍රිය සමඟ සිටි අය අතර ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය හැර වෙනත් කිසිම දෙයක් නොදත්, ලෝකය හා සමාජ දේශපාලන වෙනස සඳහා තුවක්කුව හා බෝම්බය කෙරෙහි පමණක් විශ්වාසය තැබූ සටන්කාමි තරුණතරුණියෝද වූහ. යුද්ධයෙන් පසු උතුරේ පීවිතය වෙඩි හඬින් නිදහස් වුවද උතුරේ ජනජීවිතවල ප්‍රචණ්ඩත්වය පිළිබඳ හැඟීම් එලෙසම තිබුණු බව නිසැකය. කර්නල් රත්නප්‍රිය ඒ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පුද්ගල මනස ප්‍රකෘති කිරීමේ වගකීම භාරගත් නිලධරයා විය. ඔහුගේ ප්‍රයත්නය ඉටු නොවූයේ නම් උතුරේ ජන ජීවිතය තුළට කාවැදී තිබුණු ප්‍රචණ්ඩත්වය දුරලීමට නොහැකි වනු ඇත. කොටින්ම උතුරේ සිටි එල්ටීටීඊ සාමාජිකයන්ට ජීවිතය පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් දීමට ඔහුට හැකි විය. හමුදා භාරයට පත් සියලු කොටි සාමාජිකසාමාජිකාවන් පුනරුත්ථාපනයට තරම් අවශ්‍ය බුද්ධිමය චින්තනයක් හා මානුෂික බලයක් කර්නල් රත්නප්‍රිය සතු විය. එදා ඔහු වැලඳගත් අයගේ හෘදයසංවේදි ප්‍රතිචාර රූපවාහිනී නාලිකා ඔස්සේ නෙත ගැටුණු කවර අයකුගේ වුව ඇසගට කඳුළක් නොපැමිණියේයැයි සිතිය නොහැකිය. උතුරේ ජන ජීවිතයට අලුත් ජීවිත අපේක්ෂාවන් ලබා දුන් නිලධරයාගේ ස්ථානමාරුව ඒ ජනතාව තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් සිද්ධියක් බවට පත් වීම අතිශයින් ස්වාභාවිකය.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කර්නල් රත්නප්‍රිය විසින් ඉටු කරන ලද මෙහෙවරට සිය ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද සඳහන් කර තිබිණි. ඔහුගේ ප්‍රකාශය තුළ තවත් අවධාරණ කීපයක්ද විය. එහි දක්වා තිබුණේ උතුරේ හමුදාවට එහි ජීවත් වන ජනයා ඇලුම් කළත්, ඔවුන් හමුදා ආරක්ෂාව යටතේ ජීවත් වීමට කැමති නොවන බවත්, ව්‍යවස්ථා ප්‍රතිපාදන මත සමානාත්මතාව ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්ය. සම්පන්දන් මහතාගේ තවත් අවධාරණයක් වූයේ උතුරේ සියලු ඵලදායි වාණිජ අවස්ථා හමුදා විසින් මෙහෙයවනු ලබන බවත්, ඒ සඳහා උපක්‍රමශීලිව සූක්ෂ්ම ලෙස තරුණතරුණියන් ආකර්ෂණය කර ගෙන සිටින බවත්ය. මේ නිසා තම භුමියේම අනාථයන් ලෙස සේවය කිරීමට උතුරේ ජනතාවට සිදු වී තිබෙන බවද ඔහු පවසා තිබේ. කර්නල් රත්නප්‍රියට ලැබුණු හෘදයංගම ප්‍රතිචාරයට වහන් වී උතුරේ සිටින හමුදාව ගැන එහි ජනතාවට දැඩි ඇල්මක් තිබෙන බව රටට තහවුරු කිරීමට එමඟින් සමහරුන් වෑයම් කරන බවද සම්පන්දන් මහතාගේ තවත් විවේචනයක් විය.

කර්නල් රත්නප්‍රියට හිමි වූ ජනතා ප්‍රසාදය විවිධ ආකාරයට විවරණය කළ හැකි බව සැබෑය. එසේම තම දෛනික ජීවිතය හා බැඳී තිබෙන හමුදා මෙහෙයුමක් පිළිබඳ ජනතාව තුළ කිසියම් කනස්සල්ලක් තිබිය හැකි බව අපටද හැඟෙන දෙයකි.

එහෙත් ප්‍රභාකරන්ට වීරත්වය පිදීමට කැමැති දේශපාලන හොල්මන් තවමත් උතුරේ තිබියදීත් මෙබඳු සාධනීය ප්‍රතිචාර උතුරේ ජනතාවගෙන් ලැබීම හෙට ගොඩනැ‍ඟෙන ජාතික සමගියට ප්‍රබල හා ශක්තිමත් පදනමක් බව උතුරේ හා දකුණේ සියලු දේශපාලනඥයන් වටහාගත යුතුය. යුද්ධය මෙන්ම සාමය හා සංහිඳියාව උපදින්නේද මිනිස් හදවත් තුළ බව අප කවුරුත් ගැඹුරින්ම කල්පනා කළ යුතු වෙති. එල්ටීටීඊ සංවිධානය හා අපගේ ආරක්ෂක හමුදා අතර තිබුණු විරසකය දුරු කළ හැකි වුවද මේ ජන කොටස් දෙකෙහිම දේශපාලන නායකයන්ගේ සිත්සතන්වලින් ජතිවාදි හැඟිම් ඉවත් කළ හැකිද යන ප්‍රශ්නය අදටත් වලංගුය. විශේෂයෙන්ම දකුණේ අන්තවාදය තරමටම වියරු ජාතිවාදයක ගිනි පුපුරු දල්වන දේශපාලනයක් තවමත් උතුරේත් තිබේ.

උතුරේ ජනතාව පිළිබඳ වේදනාවෙන් හා කනස්සල්ලෙන් බොහෝ විට කථා කරන දෙදෙනකු ලෙස උතුරේ මහ ඇමති විග්නේශ්වරන් හා පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් හැඳින්විය හැකිය. සිවාජිලිංගම් මහතා කර්නල් රත්නප්‍රියට ලැබුණු සංවේදී ජනතා ප්‍රතිචාරය දකින්නේ එය උතුරේ කොටි සමාජිකයන්ට සිදු කළ අවමානයක් ලෙසය. සිවාජිලිංගම්ලාගේ බොහෝ දේශපාලන හැසිරීම් ජාතික සංහිඳියා ගමනට හරස් වන බවට විවේචනයක් තිබේ. එසේම ඔහුගේ කොටි කරුණාව අනාගත යුද්ධයක් බවට පත් වීමට තරම් ප්‍රබල ජීව ගුණයක් නැති වුවද එමඟින් ජාතික සමගියට වැටෙන අඳුර නොතකා හැරිය නොහැක්කකි. ප්‍රබුද්ධ දේශපාලන භාවිතයක් හෝ පුළුල් සමාජ දැක්මක් නැති සාමාන්‍ය ජන මනස තුළට පහසුවෙන්ම කාන්දු කළ හැකි ජාතිවාදය සිවාජිලිංගම් බඳු දේශපාලනඥයන් තෝරාගැනීම ගැනද විස්මයක් නැත. එහෙත් විග්නේශ්වරන් මහ ඇමැතිවරයාගේ දේශපාලන හැසිරීම් කෙරෙන් මතු වන ප්‍රශ්නකාරි ස්වරූපය අප තුළ දනවන්නේ සංවේගයකි. දේශපාලන පැවැත්ම සඳහා ජාතිවාදය නඩත්තු කරන බාල වර්ගයේ දේශපාලනයකට ඔහු වැනි ප්‍රබුද්ධ පුද්ගලයකු යොමු විය යුතු නැත.

පසුගිය දිනක උතුරේ පැවැත්වුණු ලෝක පරිසර දින උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ, උතුරු පළාත් සභාව සංවිධානය කරන උත්සවයකට නම් ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් සහභාගි කර නොගන්නා බවය. ඔහුට අනුව හමුදාපති මහේෂ් සේනානායක විසින් උතුරේ සිදු කරනු ලබන්නේ උපක්‍රමශීලිව හා අඛණ්ඩව හමුදාව පවත්වාගෙන යෑමේ මෙහෙයුමකි. සාමය පවත්නා වර්තමානයේ හමුදාවක් උතුරේ රැඳී සිටීම ගැටලුවක් බවද ඔහු කියයි. හමුදාව මැදිහත් වී ආණ්ඩුවේ වුවමනා ඉටු කරන බවටද ඔහු චෝදනාවක් කර තිබිණි. නැ‍ඟෙනහිර වඩමාරච්චි ප්‍රදේශය තුළ ඇති වී තිබෙන නොසන්සුන්තාවට හේතු වන්නේද හමුදාවේ ඇතැම් ක්‍රියාකාරකම් බව ඔහු කියා තිබේ. උතුරේ ජනතාවට හිමි විය යුතු මුහුදු වෙරළ පවා අද ඔවුන්ට අහිමිව තිබෙන බව විග්නේශ්වරන් මහ ඇමැතිවරයාගේ තවත් චෝදනාවකි.

විග්නේශ්වරන්ගේ අදහස් හෝ චෝදනා විමසා බලා එයට ප්‍රතිචාර දැක්වීම ආණ්ඩුවේ වගකීමකි. අපට පෙනී-යන ආකාරයට නම් ඔහු උතුරේ ප්‍රධාන දේශපාලනඥයන් වන සම්පන්දන් වැනි දෙමළ ජාතික නායකත්වයට වඩා වෙනස් අයකු බවයි. විග්නේශ්වරන්ගේ දේශපාලන භාවිතය දෙමළ ජාතික සන්ධානය නොඉවසන බවද මෑතදී අපට වටහා ගත හැකි විය. ඒ කුමක් වුවත් ඔහු උතුරේ අතිශය සංවේදී මානුෂික ප්‍රතිචාරයක් වූ කර්නල් රත්නප්‍රියට දෙමළ ජනතාවගෙන් ලැබුණු කෘතවේදිත්වය ගැන මෙතෙක් සඳහනක් හෝ කර නැත. දේශපාලන හෝ වෘත්තිය නිල-බල මොනවා වුවත් මිනිසකුට මිනිසුන්ගෙන් ලැබෙන ආදරය සුන්දර අත්දැකීමක් බව ඔහු තේරුම් නොගැනීම එක් අතකින් විමතියක්ද දනවයි.

උතුරට සාමය ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන-යන ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීම හා ඒවායේ විපාක, ආදීනව උපේක්ෂාවෙන් පෙන්වා දීම ජාතික සමගියට අවශ්‍යය. කර්නල් රත්නප්‍රියට ඒ පුනරුත්ථාපන ක්‍රියාදාමය භාර කළේ ශ්‍රී ලංකා රජයයි. ඔහු එය ඉතා නිවැරදිව ඉටු කළ නිසා උතුරේ ජනතාවගේ ආදරයට ලක් විය. යම් හෙයකින් ඔහු දැඩි අසාර්ථක නිලධරයකු වූයේ නම් ඔහු සේවයෙන් මාරු වී යන අවස්ථාවේ ලැබෙන ප්‍රතිචාරය මෙබඳු එකක් නොවනු ඇත. එනිසා විග්නේශ්වරන් මෙන්ම සිවාජිලිංගම්ද බරපතළ ලෙස තේරුම් ගත යුත්තේ ආණ්ඩුව සමඟ සම්බන්ධව උතුරේ ජනජීවිතවල අපේක්ෂා ඉටු කිරීම බව අපගේ අදහසය. දකුණේ හා උතුරේ සංහිඳියාවට හරස් වන ජාතිවාදි දේශපාලන විෂබීජ දුර ලිය හැක්කේද එබදු බුද්ධිමය දේශපාලන සම්මුතියකින් බව පළමුවෙන්ම වටහාගත යුත්තේ විග්නේශ්වරන්, සිවාජිලිංගම් හා ඔවුන්ට අනුබල දෙන දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදීන්ය. දකුණේ බහුතර ජනතාව මෙන්ම උතුරේ බහුතර ජනතාවද මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයාට මෙරට භාර කරන්නේ ඔහු පිළිබඳ පූර්ණ විශ්වාසය නිසා බවද සිහිපත් කළ යුතුය. එසේම ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් හා සාහසිකත්වයෙන් උපත ලද උතුරේ යුද්ධය පිළිබඳ විවිධ කියවීම් තිබිය හැකිය. එහෙත් උතුරේ ජනතාවට වුවමනා බියෙන් තොරව ජීවත් වීමේ නිදහස තහවුරු කර දීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා දක්වන අවධානය උතුරේ ජනතාවද ඉඳුරා දනිති.

 

අදහස්