මං අද යනවා යතුර භාර දෙන්නයි කතා කළේ | සිළුමිණ

මං අද යනවා යතුර භාර දෙන්නයි කතා කළේ

වෙනත් ඇඳුමකින් සැරසුණු ෆියෝනා හන්දියට ගොස් ඉරිදා පුවත්පත් රැසක් ගෙන ආවාය. එදින සෙනසුරාදා දිනයක් වූවද, බොහොමයක් ඉරිදා පුවත්පත් ඒවනවිට වෙළෙඳ පොළට පැමිණ තිබිණ. නිවසට පැමිණි ඇය පුවත්පත් වල දැන්වීම් පිටුගෙන පහසු ලෙසින් හිඳ ගත්තේ තමාට නතර වීම සඳහා ඇනෙක්සියක් සොයා ගැනීමේ අදහසිනි.

දැන්වීම් වල සඳහන් දුරකතන අංක කිහිපයකට කතා කළ ඇය නුගේගොඩ ආසන්නයේම ඇති ඇනෙක්සි කිහිපයක් බලන්න යාමට සිතා ගත්තාය.

“කිට්ටුම තැනක් වුණා නම් මට පහසුයි. කමක් නෑ. ගිහින්ම බලනවා. ‘‘

ඒවනවිට ෆියෝනාගේ සිත සන්සුන්ව තිබිණ. සීරියල් වර්ගයක් පිළියෙල කොට ගෙන බඩ පිරෙන්නට ආහාරයට ගත් ඇය කුලී රියක් කතා කොට ගෙන නිවසින් පිටත් වූයේ අලුත් නවාතැනක් සොයා ගැනීමේ අරමුණින් යුතුවය.

ඇය ඇනෙක්සි කිහිපයක්ම බලන්නට ගිය ද ඇඹුල්දෙණිය පාරේ නිවෙසක වෙන්ව ඇති, ගෘහ භාණ්ඩ සහිත ඇනෙක්සිය වඩාත් ඇගේ සිත ඇද ගත්තේය. එහි අයිතිකරුවන් වූ මැදිවියේ පසුවන මව හා පියා ද කාරුණික අය වූයෙන් එදිනම අත්තිකාරම් මුදලක් ගෙවා එය වෙන් කර ගැනීමට ෆියෝනා කටයුතු කළාය. සියල්ල නිමා වූ පසු ඇය තුළ ඇති වූයේ සැහැල්ලු හැඟීමකි.

ආපසු නිවසට පැමිණ ඇනෙක්සියට ගෙන යා යුතු දෑ ෆියෝනා පිළියෙල කර ගත්තේ සතුටු සිතිනි. තම ඇඳුම් පැළඳුම් හා පොත් පත් සියල්ල පමණක් රැගෙන යාමටත් අසාර් සතු කිසිම උපකරණයක් රැගෙන නොයාමටත් ඇය තීරණය කළාය.

“ගෑස් කුකර් එකක් එහේ තියෙන නිසා බඩු ටික ගෙනිහින් දාලා කෙට්ල් එකකුයි, සාස්පාන් දෙක තුනකුයි පිඟන් කෝප්පයි හවසට ඇවිත් අර ගන්නවා.‘‘

ෆියෝනා තීරණය කළාය. සවස් කාලයේ ඇය තම බඩු මුට්ටු සියල්ලම ඇනෙක්සියට ගෙන ගොස් දමා අවශ්‍ය දෑ මිල දී ගැනීම සඳහා නගරයට ගියාය.

“මට හොඳ තැනක් හම්බ වුණා. හිත නිදහස් කරගන්න නම් ගෙදර අසාර්ට භාර දෙන්න ඕන.‘‘

අසාර් අමතා යතුර භාර ගන්නා ලෙස පවසන්නට සිතුණද, තම දුරකතනයෙන් ඔහු ඇමතීමට ෆියෝනා ප්‍රිය නොකළාය. ඇය කමියුනිකේෂන් එකකට ගොඩ වැදී අසාර්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තාය. ඔහුගේ දුරකතනය නාද වෙද්දී ෆියෝනාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

“හලෝ.‘‘

සාමාන්‍යයෙන් නාඳුනන ඇමතුමකට පිළිතුරු නොදුන්නද, පුදුමයකට මෙන් ඔහු ඇමතුම හා සම්බන්ධ විය.

“මිස්ට ජැෆර්ජි?‘‘

“යස්. ස්පීකින්.‘‘

“අසාර් මම අශ්විනී.‘‘

ෆියෝනා සිතට දිරි ගෙන පැවසුවාය.

“අශ්විනී?‘‘

“ඔව්. අශ්විනී මීගස්තැන්න කුමාරිහාමි.‘‘

අසාර් මොහොතක් නිහඬව සිටියේය. ෆියෝනා යටි සිතින් සිනාසුණාය.

“ඔව්. කියන්න ෆියෝනා. ‘‘

ඔහු පැවසුවේ තත්පර කීපයකට පසුව වන්නට ඇත.

“වැරැදීමක්. මම ෆියෝනා නෙමෙයි. අශ්විනී මිස්ට ජැෆර්ජි.‘‘

“ඔව් කියන්න. ‘‘

එවර ඔහු පැවසුවේ දුබල හඬිනි.

“මිස්ට ජැෆර්ජිගෙ ගෙදර මට අදම මේ මොහොතෙම වුණත් භාර දෙන්න පුළුවන්. කරුණාකරලා ඇවිත් යතුර භාර ගන්න. ‘‘

අසාර් යළිත් තත්පර කීපයක් නිහඬව සිටියේය.

“මං අද යනවා. යතුර භාර දෙන්නයි මං කතා කළේ.‘‘

“යනවා? කොහේද? ‘‘

ෆියෝනා නිහඬව සිටියාය. තමා යන එන තැන් පවසන්නට අසාර් දැන් තමාගේ කිසිවක් නොවන බව ඇයට සිහිපත් විය.

“මං ඔයාට යන්න කියලා කිව්වෙ නෑ ෆියෝනා. ඔයාට ඕන තරම් කාලයක් ඒ ගෙදර ඉන්න තිබුණා.‘‘

අසාර්ගේ කටහඬ බිඳී තිබිණ.

“අනුන්ට අයිති ගේක ඉන්න මං කැමැති නෑ. යතුර භාර දීලා මං නිදහස් වෙන්න ́ඕන.‘‘

“මට අද එන්න බෑ. මං නුවර ආවා. මගේ උම්මා ඊයෙ රෑ නැති වෙලා. ‘‘

අසාර් පැවසුවේ බිඳුණු හඬිනි.

“හාට් ඇටෑක් එකක් ඇවිත්. එයාටයි ́ඕන වෙලා තිබුණෙ මාව ඔයාගෙන් වෙන් කරන්න. ‘‘

ෆියෝනා කිසිත් නොපැවසුවාය. කඩිමුඩියේ තමා හැර දමා පැමිණීම පිළිබඳව අසාර් දැන් පසුතැවිලි වෙන්නේදැයි දැන ගැනීමට ආශාවක් ඇති වුව ද ඔහුගෙන් කිසිවක් නොඇසීමට ඇය තීරණය කළාය.

“කමක් නෑ. එන වෙලාවක කියන්න. මං යතුර භාර දෙන්නම්. ‘‘

ඇය දුරකතනය විසන්ධි කළාය. ඉන්පසු නොකතඩවාම තම ජංගම දුරකතනය නාද වන හඬ ඇසුණද, එය අතට නොගත් ෆියෝනා බොහෝ වේලාවක් එදෙස බලා සිටියාය. දුරකතන තිරය මත වූ අසාර්ගේ මුහුණ ඇයට පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ වසීම් අක්‍රම්ගේ මුහුණ නැවත නැවතත් සිහිපත් කළාය. පරිගණක පන්තියේ දී තම මිතුරිය වූ සජීවා ඔහු සම්බන්ධ කොට විහිළු තහළු නොකළේ නම්, ඔහු හා මිත්‍රත්වයක් ඇති කර නොගත්තේනම්, ඔහුගේ පියාගේ බිස්කට් ෆැක්ටරිය ගැන පොතක් ලිවීමට තමා අදහස් නොකළේ නම් මේ වනවිට ජීවිතය බොහෝ සුන්දර වන්නට තිබිණ.

“දැන් ඉතින් ඉවරයි. හැමදේම ඉවරයි. අලුතින් ජීවිතය පටන් ගන්න වේවි.‘‘

තම කුඩා ඇනෙක්සියට අවශ්‍ය උපකරණ කිහිපයක් මිලට ගත් ෆියෝනා ත්‍රිරෝද රථයකින් එහි පැමිණියාය. ඇගේ මුළු සවස් කාලයම ගත වූයේ එහි වූ සීමිත බඩු බාහිරාදිය සියල්ල පිළිවෙළකට තබා ගැනීමටය. මෙතෙක් කලක් නොදැනුණ අන්දමේ මහා නිදහසක් ඇයට දැනිණ. කුඩා නාන කාමරයට වැදී සිත්සේ දිය නා ගත් ඇය තේ කෝප්පයක් ද පිළියෙල කරගෙන සිය කාමරයේ ඇඳ මත හිඳ ගත්තාය. නිදන කාමරය තුළ රූපවාහිනී යන්ත්‍රයක් ද වුව ද ඇයට එය ක්‍රියාත්මක කර ගැනීමට නොසිතිණ. මෙතැන් සිට අලුත් ජීවිතයක් ආරම්භ කළ යුතුය. තම සුදුසුකම් වලට සරිලන අන්දමේ රැකියාවක් සොයා ගත යුතුය. අම්මා නිතර පැවසූ ලෙස අවුල් වූ සිතකට දුර නොපෙනෙයි. දවස් කීපයක් විවේකීව සිට සියල්ල සැලසුම් කර ගත යුතු යයි ෆියෝනා කල්පනා කළාය. තේ පානයෙන් අනතුරුව ඇය සිය ඇඳුම් අල්මාරියට දැමීම සඳහා ගෙන එන ලද බෑග් විවෘත කළාය. ඇඳුම් බෑගය තුළ උඩින්ම දමා තිබුණු අම්මාගේ දිනපොත අතට ගත් ඇය එහි පිටු එකිනෙක පෙරලුවාය.

“කවදා හරි මගේ කතාව පොතක් විදියට ලියන්න චුටි කුමාරිට පුළුවන්.‘‘

අම්මාගේ කටහඬ ඇයට ඇසෙන්නාක් මෙන් විය.

“ඔව් අම්මා. ඒක ලස්සන සංවේදී කතාවක්. ඒ යුතුකම මම කරනවා. මම හෙටම ඒ පොත ලියන්න පටන් ගන්නවා. ඊට පස්සෙයි අනිත් හැමදේම කරන්නෙ.‘‘

දැඩි අදිටනින් යුතුව ෆියෝනා කාමරයේ වූ කුඩා මේසය මත දිනපොත තැබුවාය.

“සමහරවිට අක්කලා දැනගත්තොත් අම්මගෙ ජීවිත කතාව ලියනවා කියලා විරුද්ධ වේවි. ඒත් මං ඉෂ්ට කරන්නෙ අම්මගෙ අන්තිම ඉල්ලීම. ‘‘

ෆියෝනා පොත ලියා මුද්‍රණය කරන අන්දමත්, එය දොරට වැඩමවීමේ කටයුතුත් සියල්ලම මනසින් සැලසුම් කළාය.

“අක්කලාටයි, අයියටයි, අභීතටයි එන්න කියලා ඉන්විටේෂන් යවනවා. ඒ විතරක් නෙමෙයි. අසාර්ටත් යවන්න ඕන. රාඝව්ටයි, ස්මිතාටයි එන්න කියන්න ඕන. ඒත් මේ පොතේ නම මොකක්ද?‘‘

ෆියෝනා කල්පනා කරමින් සිට නැගී සිටියාය.

“ඔව්. දෙවන කුමාරි. අපේ අම්මා ඒ පවුලෙ දෙවන කුමාරිනෙ. ‘‘ යහන මත වූ ජංගම දුරකතනය නාද වෙමින් තිබිණ. ෆියෝනා එය අතට ගෙන බැලුවාය. ඇගේ සිත තුළ දහසක් මල් පිපිණ.

ලබන සතියට

Comments