නිවේ­දන වෘත්ති­යට අද බලන්නේ පෙනුම විතරයි | සිළුමිණ

නිවේ­දන වෘත්ති­යට අද බලන්නේ පෙනුම විතරයි

නාරද බක්මීවැව මෙරට රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතු නිවේදන හැකියාව ‍කොතරම්ද කිවහොත් දැනට දශක දෙකක් පුරා අඛණ්ඩව මෙරට නිවේදන කලාවේ ඔහුගේ නම කියැවෙයි. සිරස රූපවාහිනියේ 'රස රිසි ගී' වැඩසටහනෙන් පුංචි තිරයට පිවිසි නාරද මේ වනවිට රංගන ශිල්පියකු ලෙසත් රසිකයන් අතර ප්‍රසිද්ධයි. ඉතාම කාර්ය බහුල දිවියක් ගතකළත් මේ සොඳුරු නිවේදකයා අප සමග දොඩමළු වුයේ සතුටෙන්.

නාරද මොනවද මේ දවස්වල කරන්නෙ...

මේ දවස්වල අයි. ටී. එන් එෆ්.එම් නාළිකාවේ උදෑසන හතේ සිට දහය දක්වා කාලය තුළ අලුත් උදෑසන වැඩසටහන කරනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ සෙනසුරාදා රාත්‍රි 10.15ට මියුරු කල්පනා වැඩසටහන කරනවා. ඕව තමයි මේ දවස්වල කරන්නේ.

ඔබ නිවේදන කලාවට පිවිසෙන්නේ' සිරස රස රිසි ගී' වැඩසටහනෙන්..

සිරස නාළිකාවට සිරස යන නම යෙදීමට පෙර එම්. ටී.වී නාළිකාව නමින් තිබුණේ.එම නාළිකාවේ සිංහල වැඩසටහන් කරන්න කියා නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ ආරාධනයකට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස මාවත්, තනුජාවත් බඳවා ගත්තා. අප දෙදෙනාව බඳවා ගත්තේ දවසක්ම ඉන්ටර්වීව් කරලා. 'රස රිසි ගී' වැඩසටහන ඉතා සාර්ථක වීමත් සමග සිරස නාළිකාව ඇරැඹුණා. පසුව සිරස නාළිකාවේ 'රස රිසි ගී' වැඩසටහන මම තනුජා සමග ඉදිරිපත් කළා. අපි දෙදෙනාගේ සුසංයෝගය මනාවට ගැළපුණු නිසා වසර දහයක්ම එම වැඩසටහන අඛණ්ඩව ඉදිරිපත් කිරීමට වාසනාව ලැබුණා.

එහෙත් ඔබ පූර්ණ කාලීනව රැකියාව කළේ වෙනත් ආයතනයක..

ඔව්. මම ස්ථීරව වැඩ කළේ යා ටී.වී ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ. 2014න් පසුව ඉන් ඉවත්ව දැන් මගේම ව්‍යාපෘතියක් කරගෙන යනවා.එහි පරිසරය ගැන කළ මිහිසර වැඩසටහන වගේම අධ්‍යාපනික තොරතුරු වැඩසටහන් රැසක්ම මෙහෙයවුවා.

ඉන් පසුව ඔබ කලක් දෙරණ නාළිකාවේ වැඩකළා..

ඔව්. දෙරණ නාළිකාවේ වසර පහක පමණ කාලයක් වැඩසටහන් ඉදිරිපත්කළා. එදා සිට මේ දක්වා වසර විස්සක් පුරාවට අපේ රටේ හැම නාළිකාවකම වගේ නිදහස් නිවේදකයෙක් ලෙස වැඩකළා.

නාරද නිවේදන කලාවට ප්‍රවිශ්ඨ වු ආකාරය සිහිපත් කරමුද..

මගේ නිවේදන කලාව ඇරැඹෙන්නේ පාසලෙන්. පහ වසර දක්වා පාසල් ගියේ නුගේගොඩ හයිලන්ඩ්. ඉන් පසුව පන්නිපිටිය ධර්මපාල විදුහලට ඇතුළත් වෙනවා. ඒ කාලයේ පාසල් වේදිකාවේ විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගිවුණා. කවි ගායනා තරග, කථික තරගවලට සහභාගි වුණා. එම කථික තරගවලදී මම කතාකළේ අනෙක් ළමයින්ට වඩා වෙනස්ම මාතෘකා. විශේෂයෙන් රටතොට දේශපාලනය ගැන කතාකිරීම නිසා ඇතැම් අවස්ථාවල මාව තරගවලට ගත්තෙත් නෑ. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදීත් නිවේදන කලාව සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාකාරකම්හි නිරතවුණා. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධිය ලබාගත්තා. මේ සියල්ලට අමතරව ටෙලිවිෂන් මාධ්‍ය ගැන වෘත්තීය අධ්‍යාපනය ලබා තමයි නිවේදන කලාවට පිවිසෙන්නේ.

බොහෝ පිරිසක් චෝදනා කරනවා එෆ්. එම් නිවේදක නිවේදිකාවන්ගේ භාෂා භාවිතයෙන් සමාජයට සහ භාෂාවට සිදුවන්නේ අයහපතක් කියා.ඔබත් එෆ්. එම් නිවේදකයෙක් මෙම චෝදනාව ගැන මොකද හිතන්නේ..

ඒ චෝදනාවට දෙපාර්ශවයම වගකීම භාරගත යුතුයි. අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි. ඒකනේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නිවේදන කලාවේ නිරත වෙන්නේ. ඔවුන් නිවේදන කලාවට පිවිසෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් නිවේදකයකුට පෙනුම විතරක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා දැනුම මෙන්ම වචන හැසිරවීමේ හැකියාව මනාවට තිබිය යුතුයි. ජනතාව දැනගත යුතුයි හොඳ දේ තෝරා බේරාගෙන නරක දේ ප්‍රතික්ෂේප කිරීමට.අපි සිරස රස රිසි ගී පටන්ගත්ත මුල් කාලයේ ඇතැමුන් අපට චෝදනා කළා නිවේදන කලාව විනාශ කරනවා කියා. නමුත් එදා අපි කළ දේ අදටත් බොහෝ නිවේදක නිවේදිකාවන් අනුකරණය කරනවා. *ඇයි ඔබ චෝදනා කරන්නෙ අද නිවේදන කලාව සාමුහික බවින් තොර කලාවක් බවට පත්වෙලා කියා....

එදා අපි වැඩසටහනක් ඉදිරිපත් කරන විට හොඳ සාමුහික බවක් තිබුණා. විශේෂයෙන් තිරයෙන් මෙපිට කැමරා ශිල්පියාගේ සිට මුළු කෲ එකම මනා අවබෝධයෙන් වැඩ කළේ. අපි අතර හොඳ ටීම් වර්ක් එකක් තිබුණා. දැන් කලාවේ දකින්න නැත්තෙත් ඒක. ඒක තමයි නිවේදන කලාව මේ තරමටම පරිහානියට ගිහින් තියෙන්නේ. තමන්ගේ වැඩේ කළා ගියා . එතනින් එහාට කිසිම සම්බන්ධයක් නැහැ.

ඔබ ප්‍රසංග වේදිකාවෙත් නිවේදන කටයුතු සිදු කරනවාද..

එළිමහන් ප්‍රසංග වේදිකා සඳහා සහභාගි වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ගෘහස්ථ ප්‍රසංගවල නිවේදන වැඩ භාරගන්නවා. ඒකත් කලාතුරකින්. මොකද ඒක මගේ ෆීල්ඩ් එක නොවන නිසා.

නිවේදකයකු වීම ගැන ඔබ තෘප්තිමත්ද..

ඇත්තටම නිවේදන කලාවට පිවිසීම ගැන සතුටුවෙනවා. එමගින් සමාජයට හොඳ මතවාදයක් ගෙනයන්න ලැබුණා. එදා සිට මේ දක්වාම ජනතාව මාව විශ්වාස කිරීම ගැන සතුටුයි. ඉදිරියටත් හොඳ වැඩසටහන් ලැබුණොත් භාර ගන්නවා.

 

Comments