කවි මඩල | සිළුමිණ

කවි මඩල

වැවයි - දාගැ­බයි

අනු­බුදු සමි­ඳුන් මිහි­න්ත­ලා­වෙදි දෙසූ දහම් ගුණ ඔප­වත් වේ
සෙල්ලිපි ලිවි­සැරි අකුරු පෙළින් අද හෙළ දෙස හෙළ බස සවි­මත් වේ
මුළු ලොව සුප­තළ සිංහල දස්කම් මහ දාගැබ් තුළ තැන්පත් වේ
මෙත්සිත් වඩ­වන සමාධි පිළි­මය බුදු­ගුණ මහි­මෙන් ඔප­වත් වේ

වැවයි දාගැ­බයි හෙළ හැදි­යා­වයි සිරි­ලක දින දින වැජ­ඹේවා
මිහි­න්ත­ලා­වෙන් නැඟි ආලෝ­කය සැම­දින දිය­තෙහි බැබ­ළේවා
අනු­බුදු හිමිගේ සද­හම් වැස්සෙන් ලෝ තුළ සාමය පැති­රේවා
බුදු බණ දහ­මින් සතුට සාම­යෙන් මුළු ලෝ සත හට සෙත්වේවා

ජේ. වි‍ජේසූ­රිය

ගුණ මහිම

පාපෙට ළැදිව දිවි ගෙවු ඒ අඳුරු යුගේ
පෙන්වා දෙනු පිණිස ලොවු­තුරු දහමෙ අගේ
හිමි නොවැ­ඩියේ නම් හෙළ දිව­යි­නට මගේ
අපි තව­මත් වෙසෙමු! පාපී දනන් වගේ

අවිදු මොහ­ඳු­රෙන් මුදවා තුන් හෙළය
හැම දන හට පොවා සද­හම් අම රසය
ගුණ දම් තුළින් ඔප් නංවා මනු දිවිය
සමි­ඳුනි! උදා­රයි ඔබ ඉටු කළ මෙහෙය

වඩ­වා­ල­මින් පිළි­වෙත් මඟ වෙත ඇල්ම
ලක් වැසි දනන් වෙත ලැබ දුන් හරි දැක්ම
අනු­බුදු මිහිඳු හිමි­යනි! ඔබෙ ගුණ කැල්ම
නොනැසී තියේ හෙළ දැය මෙහි ඇති තෙක්ම

මනෝ­ශිකා ලක්මාලි

අමා­දම්

සමාධි බුදු හිමි
නෙතින් ගලනා
මෙත් කරුණා ගුණ
ගලා යයි මහ මෙවු­නාව උතුරා

රන්වන් බෝපත් සෙවණේ
සිලි­සිලි නද අතරේ
සුපි­න්බර සිල් සුවඳ පැතිරේ
ස්වර්ණ­මාලී කොත් කැරැ­ල්ලෙන්
ස්වර්ණ බුදු රැස්
කිරණ විහිදේ...

තිසා වැව් මහ සයුර පිස­ගෙන
අමා­දම් බුදු සිසිල විසිරේ...

රත්න­සිරි පති­රණ
 

බව සස­රෙහි...

අර­ලිය මල් සුවඳ දිගේ
මී අඹ වන­යට එමී
මිහි­න්තලා පඩි නඟි­මින්
ඔබ ගුණ ගී මුමු­නමී

සුවඳ කුසුම් දෝතින් ගෙන
සඳ රැස් දහ­රින් තෙමී
බව සස­රෙහි ඉම දකින්න
නම­දිමි අනු­බුදු හිමී

පී‍.කේ.ඩී. ප්‍රේම­චන්ද්‍ර

මිහිඳු මාහි­මි­යනේ

යන-එන මං නොදැන ගස්-ගල් පුදන සඳ
ලක්වැසි දනන් සුම­ඟට හරවා නොමඳ
අනු­බුදු මිහිඳු ගරු හිමි­යන් බලැති තෙද
පා යුග වඳිමි බැති­යෙන් පුර­ව­මින් හද

මෙත් කරුණා ජලෙන් හද­මල සේදෙ­වුව
සද­හම් අම­දි­යෙන් දෙනු­වන් පෑදෙ­වුව
අනු­බුදු මිහිඳු හිමි­යනි කෙලෙ­සුන් නිවුව‍
කර­නෙමි මහිස මහි­මට මිස්සක පවුව

සරත් ධර්ම­සේන

හිරු රැස් සිසිල් වී..

අඹ පිරුණු තුරු හිස්
සැන­සෙන විටදි මල් ගස්
ඇහිලා මිහිගෙ බස්
සීතල වුණා හිරු රැස්..

රකි­නට තමා බඩ
දැක අනෙ­කකු නසන වැඩ
‘තිස්ස’ යයි ආ හඬ
කළා සිරි­ලක් දිව­යි­නම හැඩ..

එදා දෙසු දම් පද
සදා කල් ඇත අප හද
අපා­යට වැට බැඳ
අඹ­ත­ලෙන් නැඟුනා පොසොන් සඳ..

දියුණු වී සිප් සත
ලියැවී අකුරු පොත­ පත
ගේදොර නිමව ඇත
අඹ­ත­ලෙන් විහි­දුණේ යහ­පත..

හිමි පෑව සෙනෙ­හස
මිනිස් හද තුළ මුල් බැස
දුරු වෙලා උද­හස
දිනේවා හෙළ­ද‍ැයේ සිව්දෙස..

සුග­ත­දාස කුරු­විට

හිමි සඳ වැඩි සඳ

සම්බුදු දහම ගෙන වැඩි හිමි­සඳ මිහිඳු
අම්බ­ස්තල හෙලෙන් දැක දිව­යන නිරිඳු
‘නව­තිනු තිස්ස’ අමතා වද­නින් සුමුදු
රජු නැව­තුවා මුව පණ නැසු­මට නොවිදූ

නැව­තුණ සැණින් රජු, හඬ නැඟි දෙස හැරුණා
පින්බර රුවක් මින් පෙර නුදු­ටුව පෙනුණා
හිමි­සඳ මිහිඳු රහ­තුන් බව පසු හැඟුණා
බැති පුද සාදු නද මුළු වන පෙත ඇදුණා

අර­හත් මිහිඳු හිමි පැතු­මින් අනා­ගත
ඔප­වත් වුණා රට දහ­මින් තථා­ගත
පින්වත් වෙලා රට දිලි දිලි කසා­වත
බැති­මත් වුණා හෙළ දන සිත පිරී මෙත

ටී. ඇම්. පොඩි­රා­ල­හාමි
 

පුර­සඳ

විහි­දෙයි සුවඳ තුරු ගොමු වන මලින් දිලේ
සිලි සිලි හඬින් බෝපත් මඳ නලින් සැලේ
පායා පොසොන් ලස්සන සඳ නිසංසලේ
සුදු සඳ රැසින් බබ­ළයි අද මිහින්තලේ

කුරු­ඳු­කු­ඹුරේ නන්ද­සිරි

නැව­තත් වඩිනු මැන

අනු­බුදු සමිඳු මිස්සක පවු­වට වැඩිදා
රජ­තුම දකී බබ­ළන හැටි රැස් විහිදා
හිමි­යන් දෙසූ දහ­මින් රජු සිත පහදා
සද­හම් වැල­ඳ­ගති දුනු-හී අත­හැ­රදා

දඩ­යම් යුගය සහ ගස් ගල් පිදුමෙ රැඳී
එද­වස ගත වුණා සැම ගන අඳු‍රෙ බැඳී
මේ ලක්බි­මට බුදු සද­හම් කිරණ වැදී
තෙරු­වන් වැල­ඳ­ගති සැම­දෙන පවෙන් මිදී

මා සිටිය නම් වඩිනා විට මිහිඳු හිමී
සද­හම් අසා හිමි පාමුල පැවිදි වෙමී
භව­යෙන් ගොඩ වෙන්න බිඳලා සසරෙ බැමී
නැව­තත් වඩිනු මැන අනු­බුදු මිහිඳු හිමී

නන්ද­සේන තුඩු­වගේ

සද­හම් දිව­යින

මෙත් කරුණා ගුණය පිරි­පුන් බුදු සමිඳු
ගත් මඟ පිවිස, හෙළ බිම පිය­තිස් නිරිඳු
දහ­මෙහි යොමා, එද­වස අනු­බුදු සමිඳු
අත් කළ සේක බුදු දහ­මක ගුණ විහිදු

පින් බර රටකි මේ හෙළ­බිම සරු සාර
රජ අණ­ස­කට රට වැසියෝ වෙති සූර
වත-ගොත මිහිඳු හිමි දැන අඩු­වක් නෑර
සැදුවේ දහම් දිව­යි­න­කට යන පාර

මිස­දුටු අවිදු පව්කම් දැන ගැල­වීම
තෙරු­වන් සරණ ගොස් සතු­ටින් සැන­සීම
වැවයි දාගැ­බයි දිවි මඟ ගැළ­පීම
ඇති වුණි මිහිඳු හිමි වැඩ සිටි දින­දීම

සව්සි­රි­බ­රින් මේ සිරි­ලක උතු­ර­නවා
සිව්සැට කලා­වෙන් පිරි දැය පිබි­දෙ­නවා
මිහි­න්ත­ලා­වෙන් බුදු රැස් විහි­දෙ­නවා
පුන් සඳ පොසොන් අනු­බුදු හිමි සම­ර­නවා

ඇල්බට් ඇම්. ලිය­නගේ
 


මිහිඳු සමි­ඳුනේ!

අඹ­ත­ලය පාමුල
චංචල ගැසුණු ගහ­කොළ
මොහො­ත­කින් කල­බල
නිමා­කොට වූයේය නිස­සල!

ලොල්ව මුව නැසු­මට
පහල උන් රද පිරි­සට
යොමු කර සිනා කට
සමිඳු හඬ ඇසුණි හණි­කට!

කර වඩම්මා සිටි
තියුණු දුනු-හී මිටි­මිටි
පසුව පා මුල වැටි
අසුරු සැණෙ­කින් අහෝ ගිය හැටි!

ගඟු­ලක දිය පොකුරු
තුරු මැද ගලා යන යුරු
දහම දෙසුණා සරු
නැඹුරු විය හැම­දෙ­නම ලෙස ගරු!

ඇම්. අසෝක ද සිල්වා

අදහස්