සොබා­ද­හ­මින් ජීවි­තය සොයා යන අපේ කාලයේ සිත්තරා අනප් වේගා | සිළුමිණ

සොබා­ද­හ­මින් ජීවි­තය සොයා යන අපේ කාලයේ සිත්තරා අනප් වේගා

හේ බැලූ බැල්මට සන්‍යාසිකයකු යැයි කිව හැකිය. මුහුණ පුරා වැඩුණු ඝන රැවුලත්, සිහින් සිරුරත්, දීප්තිමත් දෙනෙතත් විටෙක යෝගියකු සිහි නොකරන්නේ නොවේ. තෙළිතුඩින් නෙක වර්ණ ගෙන කැන්වසය මත තවරන හේ සොබාදහමේ ජීවන ගීතය මේ යැයි මොනවට පවසයි. සොබාදහම සමඟ වෙළී බැඳී සිය අධ්‍යාත්මය තුළින් ජීවිතය සොයා යන මේ අපුරු සිත්තරා මුල්කාලයේදී එළවළු හා පලතුරු ආදිය යොදාගනිමින් කැටයම් නිර්මාණකරණයේ යෙදුණේය. ඉන් පසුව, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වී මෙරට මෙන්ම විදේශයන්හිද නිර්මාණ කටයුතුවල නිරත විය. ඔහු නමින් අනප් වේගාය. වෙසෙස් මඟක යන මේ සිත්තරාගේ නිර්මාණ කාර්යයෙහි හා ජීවන විලාසිතාවෙහි කිසියම් අපූර්වත්වයක් වෙයි. එනිසා මම ඔහු සොයා ගුන්නෑපානට ළඟා වීමි.

සූර්යදිව්‍යරාජයා සෛන්ධවයන් යෙදූ දිව්‍ය රථයේ නැඟී ගිනිජාලා මතින් එන්නා සේ මිරිඟුව නළියන තාර පාරින් නැඟුණා වූ රශ්මි කදම්භය දෙනෙත් අඳ කරයි. හිරු එතරම්ම කොපාවිෂ්ට වී ඇත. ගත දාහයෙන් පිරි සියයොලඟම දහදියෙන් තෙත් වී ගොසිනි. ධාරානිපාත වැසි එකදිගට ඇදවැටුණද ගත දවන හිරුගේ රශ්මියෙහි කිසිදු කාරුණික බවක් නම් නැත. හේ අප හා උරණව ඇති සේය. මේ අතර, නෙක රථ වාහනවලින් නැඟි කාබන් හා දූවිලි අංශු නාස්පුඬු හිර කරයි. නාවික යාත්‍රාවකින් නැ‍ඟෙන්නා බඳු නලා හඬ කන් බිහිරි කරයි. මේ කර්කශ නගරයෙන් මිදී පලා යන්නේ කෙසේදැයි මෙහි ළඟා වන මොහොතක් පාසාම සිත විමසයි.

කොළඹින් ඉගිළී නුවර බලා යෑමට මම බස් රථ ගාලට සෙන්දු වීමි. නුවර බසයේ නැඟී කොළඹ පසු කරත්ම අතරින් පතර එබිකම් කරන හරිත වර්ණයෝ දෙනෙත් සනසා ලූහ. ඉන් දෙනෙතට රැගෙන ආවේ ජීවයකි. කෙමෙන් නුවර නගරයට සේන්දු වූ මම බස් රථයෙන් බැස ගතිමි. අනතුරුව ගුන්නෑපාන බලා ධාවනය වන බස් රථයට ගොඩ වීමි. මාළිගාව ඉදිරියෙන් පිහිටි මාර්ගයෙන් ගුන්නෑපානට පහසුවෙන් ළඟා විය හැකි වුව, පරංගියා කෝට්ටේ ගියා වාගේ වැව රවුමේ ධාවනය කළෙමු. වාහන සන්නිපාතය විසින් පැය බාගයේ ගමන පැය එකහමාරකට දිග්ගස්වා තිබිණ. කාබන් මොනොක්සයිඩ් දුමාරය නොවිඳ නුවරින් පිටව නොයැන්නැයි අපට බල කර තිබිණි. මෙනිසා මඟ ගෙවමින් සිටි මගේ ගත දුබල වී සිත උකටලිව අලසව තිබිණ. දළදා මාළිගාව ඉදිරිපස මාර්ගය විවර කරන්නේ නම් කාබන් මොනොක්සයිඩ් දුමාරය නිසා දිනපතා රෝගී වන පාසල් දරුවන්ට හා මඟී ජනයාට මහත් යහපතක් සැලසෙති. එල්ටීටීඊය සමයේ වසා දැමූ මෙම පාර තවමත් එපරිදිම වසා දමා තිබේ. එය විවෘත කර ජනතාවට වන අපහසුව මඟහැරවීමට බුදුන්ගේ නාමයෙන් ඉඩ නොදීම මහත් පාපයකි.

කෙමෙන් දුර්වර්ණ වූ වායුධාරාවන් පසු කර මම ගමනාන්තයට ළඟා වීමි. මෙතෙක් ගෙවූ ශුෂ්ක සමය අහවර වෙමින් පරිසරය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබිණි. සිසිල් වා-රොදක් පැමිණ ගත දැවටෙමින් ගත සනහා ලන විට සිතද ඒ අනුව යමින් මෙතෙක් නැගෙමින් තිබූ ගිනි පුළිඟු එකින් එක නිවාදමමින් සුසිනිදු පුලුන් රොදක් බවට පත් කෙරිණි. පිරිපත නිසා සිත තුළ පැනනැඟුණා වූ දැඩි චෛතසිකයන් පහව ගොස් සිත පවිත්‍ර වී තිබිණි. මහා සුළිකුණාටුවකට හසුව ගලාගිය ජලකඳ වතුපිටි ගේදොර යට කරගෙන ගියේ යම් සේද එසේ කැලඹිගිය සිතින් සිටි මා මෙතරම් නිසල වූයේ කෙසේද?

මිහිලිය තුරුලට වැදුණු මම සොබාදහම් මවට ස්තුතිවන්ත වීමි. ඇත්තෙන්ම තපසට යෝග්‍ය පරිසරය මෙය නොවේද? නගරය මැද්දේ ඉහළ නැඟි මහා මන්දිර තපසට යෝග්‍ය වන්නේ කෙසේද? ආරණ්‍ය ගතෝවා, වෘක්ෂමූල ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා යැයි බුදුහිමියන් දේශනා ක‍ළේ මෙනිසා නොවන්නේද? සිතිවිලි අතර නිමග්නව මම ඉදිරියට පිය නැඟුවෙමි. තුරුගොමුවෙන් සුසැදි නෙත් සිත් පැහැරගන්නා මේ භූමිය තුළ විසීමට කෙනෙක් කෙතරම් පුණ්‍යවන්ත විය යුතුද?

අසපුවක් බඳු වූ රාජුගේ නිවෙසේ රැඳී සිටි වේගා ඉදිරියට පැමිණ මා ‍පිළිගත්තේය. ඈතින් සිටි ළඟ ඥාතියකු හමු වූවා සේ හේ මා බදා වැලඳ ගත්තේය. ඇත්තෙන්ම මම කලක සිට වේගා සහ රාජු හඳුනමි. එහෙත් කිට්ටු සබඳතා පැවැත්වීමට තරම් අප අතර මඟ දුර විශාල වී තිබුණි. රාජු සිය ගෙවත්තෙන් සපයාගත් බෝගයන්ගෙන් ඉතාම ප්‍රණීත ආහාරයක් සකසා තිබිණ. ආගිය තොරතුරු විමසමින් ‘ත්‍රෛලෝකයෙන්’ මුසපත්ව රාජුගේ කර්ණරසායන සිතාර් වාදනයේ නිමග්නව අපි ඉමක් නොපෙනෙන අනන්තයේ සැරි සරන්නට වීමු.

අරුණෝදයේ ළහිරු කැන් අතුපතරින් හොරෙන් එබිකම් කරයි. තණ පතක් දිගේ රූරා ආ පිනිබිඳුවක් බිම නොවැටී තණ පත් යට සැඟවගත්තේ හිරු කිරණින් බේරීමට උත්සාහ කරන්නාක් මෙනි. සියොතුන් විසින් ගැයූ සුමිහිරි ගී මියැසිය උදා වූ අරුණෝදයට කරන තුති පූර්වක සන්ධ්වනියකි. මෙතරම් චමත්කාර උදෑසනක් ලබාදුන් සොබාදහම් මවුනි ඔබට ස්තුති වේවා! කඨෝර කර්කශ කන් අගුළු ලන වාහන නලා හඬටත් ගත සිත සිර කළා වූ කොන්ක්‍රීට් වනාන්තරයටත් සාප වේවා!

උදෑසන මිහිරියාවේ සුව විඳීමින් තෙළිතුඩ අතින් ගත් වේගා සිය කැන්වසය මත වර්ණ සමඟ කතාබහකය. මම එකත්පසව හිඳ එය විඳින්ට වීමි. රාජු සුපුරුදු පරිදි තම ගෙවත්තේ කටයුතු අරඹා ඇත. ක්‍රමයෙන් තෙළිතුඬග තැවරුණ නෙක වර්ණයන්ගෙන් ස්වේතවර්ණ කැන්වසය වැසී යයි.

“වේගා කතා කළාට කමක් නැද්ද?”

“කියපන්...”

“ක්‍රමවත්ව චිත්‍ර ශිල්පය හදාරන අය කතා කරන දේවල්වලට වඩා ඔයා ඒ ගැන දකින විදිය වෙනස්...”

“මට ඒ වගේ නිශ්චිත රාමුවකට කොටු වෙලා සීමා හදාගෙන ලෝකය දකින්න බැහැ. මම පාසල් ගියේ අනෙක් ළමයි පාසල් යන්න නොහිතපු වයසක. ඒ මගේ අම්මා පාසල් ගුරුවරියක් වුණු නිසා. ඒ නිසා වෙන්න ඕන මට පාසල් කාලය හමාර වෙන්න කලින් ඉගෙනගැනීමත් එපා වුණා. මම ශිෂ්‍යත්ව පන්තියේදි අම්මට මේ ගැන කිව්වා. ඒත් මට සාමාන්‍ය පෙළ වෙනකල් පාසල් යන්න වුණා. මම අනික් අය වගේ දීප්තිමත් ශිෂ්‍යයෙක් නෙමෙයි. මම කුඩා කාලේ ඉඳලම අත්වැඩවලට කැමතියි. ඒත් හැමෝම හිතන් ඉන්නේ මනුෂ්‍යකු වුණාම පාසල් ගිහින් ඉගෙනගන්න ඕන කියලා. ඒත් මට ඒ ගැන ආශාවක් තිබුණෙ නැහැ. කොටින්ම ඒ ක්‍රමවත් බවට. අපි ශිෂ්ට වෙන්නෙ එතකොට කියලයි හුඟදෙනෙක් හිතාගෙන ඉන්නේ. ඔය කියන ශිෂ්ටකම ලෝකෙ කොහේද, මොන සමාජයේද තියෙන්නෙ? මං ලෝකෙ කොහේවත් එහෙම එකක් දැකල නැහැ.”

“ඔබ කිව්වා සීමා දාගෙන ලෝකය දකින්න බැහැ කියලා. එක ඇත්ත. ඒ ඇත්තට ඔයා සංවේදී වුණේ කොහොමද?”

“මම පුංචි කාලෙ ඉඳලම දැක්කේ ගහකොළ, සතාසීපාවා, බඩගානා-කුරගානා සත්තු. අපිත් මේ සත්තු වගේම සත්ත්ව විශේෂයක් නේද කියල මට හිතුණා. වෙනසකට තියෙන්නේ අපිට පේන දේට වඩා යමක් හිතන්න පුළුවන්; එච්චරයි. ඒත් අපි සත්තුන්ට වඩා හරිම දුර්වලයි. උන් තරමක් වැඩුණු ගමන් ස්වයංව පෝෂණය වෙන්න රැකවරණය සලසගන්න දන්නවා. ඒත් අපිට එහෙම බැහැ. අපි විශාල කාලයක් මවුපිය ඇසුරේ වැඩෙනවා. ඒත් අපිට කිසිම දෙයක් කරගන්න බැහැ. පාසල් නොගියොත් ජීවත් වෙන්න විශාල අරගලයක් කරන්න වෙනවා. ඒත් හිතල බලන්න: සත්තු එහෙම නැහැ. එතකොට අපි උන්ට වඩා මොළය පාවිච්චි කළාට කිසිම දෙයක් අන් අයගේ උදවු නැතුව අපිට කරගන්න බැහැ. උදාහරණයකට: අපි බලු කුක්කෙක් ගමු. ඌ වතුරට වැටුණොත් කොහොම හරි පීනලා ගොඩ එන්න දන්නවා. ඒත් මාස දහයක් තිස්සේ මවගේ කුසයේ වතුර මල්ලක් ඇතුළේ පීන-පීන හිටපු අපිට එළියට ආවට පස්සේ පිහිනන්න බැරිව යනවා; දියේ ගිලිල මැරෙනවා. ඇයි මේ?”

“ඒ කතාව නම් හරිම රසවත්! ටිකක් පැහැදිලි කරන්න...”

“ඔයා වයස අවුරුදු දෙකක දරුවෙක් ‍වතුර පිරුණු තැනකට ගිහින් දාන්න. එයා ගිලෙන්නේ නැතිව ජීවත්ව ඉන්න දන්නවා. ඒත් ඊට වඩා වයස වැඩි දරුවකුට ඒ දේ කරන්න බැහැ. ඔහු වතුරට බිය වෙනවා. එහෙම නම් කොහොමද ඒ කුඩා දරුවා ඒක දැනගත්තේ? ඒ තමයි ස්වභාවය. එයා සොබාදහමට හරිම ළඟයි. මේ සොබාවිකත්වයෙන් කෙනෙක් ඈත් වෙන්න ඈත් වෙන්න ඔහු හෝ ඇය සොබාවික පැවැත්මෙන් ඈතට යනවා; ඒ නිසා අපි අනාරක්ෂිත වෙනවා; බියට පත් වෙනවා; අසරණ වෙනවා.

“ඇකඩමික් වුණාමත් මේ වගේ. එතන කලාව නැහැ. එතන තියෙන්නේ වෙනත් දෙයක්. කොටින්ම එතන තියෙන්නෙ අර්ථකථන. සමාජවිද්‍යාව, දර්ශනය, මනෝවිද්‍යාව... වැනි බොහෝ ක්ෂේත්‍රවල මේ අර්ථකථනමය නිමැවුම දකින්න පුළුවන්. කලාව කරන්න නම් එතනින් එළියට එන්න ඕන.”

“ඔබේ වෙනස් වෙන්නෙ මෙතනදි. ඕනම කෙනෙකුට ඔබේ සිතුවම් විඳින්න පුළුවන් කියලද ඔබ කියන්නේ?”

“මගේ සිතුවම් බලලා කෙනෙක් ඒක තීරණය කරනව නම් මම කැමතියි. මොකද: මම කලාව කියල විශ්වාස කරන්නෙ සොබාදහම සමඟ එක් වීමයි; ඒ තුළ දියවී යෑමයි. මේ තුළ මගේ ඇස්දෙකට පෙනෙන දේ සහ නොපෙනෙන දේ කියන දෙකම තියෙනවා. යමක් දිහා දකිද්දි හිතේ මැවෙන භාවයන් මම සිතුවමට නඟනවා. ඒ නිසා මම කිසියම් ශිල්පීය ක්‍රමයකට කොටු වෙලා නැහැ.”

“ඔබේ පැහැදිලි කිරීම් සරලයි වගේම ගැඹුරුයි. මීට බලපාපු පසුබිමක් ඔබට තිබෙනවා...”

“ඔව්, මගේ අම්මා කුඩා කාලයේ අත් වැඩ කියා දෙනවා. මම අනෙක් වැඩවලට වැඩියෙන් ඒවට ඇලුම් කළා. ඇය මාව ඒකෙන් මුදන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම මගේ තාත්තා ඡායාරූප ශිල්පියක්. ඒ කාලේ වර්ණ ඡායාරූප තිබුණේ නැහැ. ඒ වෙනුවට කළේ කළු- සුදු ඡායාරූප විශාල කරලා ඒවා වර්ණ ගැන්වීමයි. තාත්තා ඒ විදියට පින්සල් පාවිච්චි කරලා අඳිනව මම දැක්කා. පින්සල්වලින් පාට කරනව මම මුලින්ම දැක්කේ එතනදි. මේ වැඩවලට එයා අපිවත් එකතු කරගත්තා. පාසල් ඇරිලා ආවම අපි ඉන්නෙ තාත්තගෙ ස්ටුඩියෝ එකේ. මේ නිසා ඇඳීම ගැන සංඥාවක් නිමිත්තක් මා තුළ පහළ වුණා.

“මේ අතරෙ මගේ පොඩි අයියා මගේ සිතීමේ අවකාශයට බලපෑම් කරනවා. එයා මහණ වුණා. ක්‍රිෂ්ණමූර්තිගෙ, මෛත්‍රීමූර්තිගෙ, ඊ.ඩබ්ලිව්. අදිකාරම්ගෙ, ඕෂෝගෙ, මිලෙරේපා, මහායාන දර්ශනය... ආදි විවිධ පොත්පත් හුඟක් එයා ළඟ තිබුණා. මම ඉංග්‍රීසි භාෂාව හදාගන්න මේ පොත්පත් කියෙව්වා. විශේෂයෙන්ම ඕෂොගෙ. මේ නිසා ඕෂෝ මට විශාල වශයෙන් බලපෑම් කළා. ඔහොම කාලයක් යද්දි මට රාජුව හම්බ වුණා. ඔහුත් ඒවෙද්දි ඕෂෝ පිළිබඳව හොඳ අධ්‍යයනයක හිටියා. අපි පූනාවල ඕෂෝ ආශ්‍රමයට ගියා. මයිකල් ‘රාජු’ වෙලා, අනුර ‘වේගා’ වුණා. ඒත් එක්කම මගේ සිතිමේ අවකාශය තවත් පුළුල් වුණා.

“ජීවිතය ඔබට කොහොමද දැනෙන්නේ?”

“මම හැමදාම මට ජීවිතය දුන්න සොබාදහමට, මවුපියන්ට ස්තුති කරනවා. මම හිතන්නේ මේ ජීවිතය මට ලැබුණු තෑග්ගක් විදියටයි. ගොඩක් අය ජීවිතය දකින්නේ හරිම අමිහිරි අත්දැකීමක් විදියට. ඒත් අපි සොබාදහමට සමීප වුණාම අපිට ජීවිතයෙ වටිනාකම දැනෙන්න පටන් ගන්නවා. මේ ලැබුණු අවස්ථාව අපි විඳවන දෙයක් බවට පත් කරගන්න ඕන නැහැ. ඒක වින්දනය කරන්නයි ඕන. හුඟාක් අයට ජීවිතය මඟහැරිල තියෙන්නේ ඒ නිසා. ඔවුන් තොරතෝංචියක් නැතිව හැල්මේ දුවනවා, හතිලනවා; කාව හරි යටපත් කරලා නැඟී සිටිනවා. ඒත් මඳක් නැවතිලා කල්පනා කරලා බැලුවොත්: දිනපු දෙයක් නැහැ. ඒත් ජීවිතය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම බාහිරව ළඟා කරගත්ත එකක් නෙවෙයි. ඒක බාහිරව ළඟා කරගන්නත් බැහැ. ජීවිතය කියන්නෙ මේ පුහු ආටෝපටයට නෙමෙයි. ඒක ඉක්මනින්ම විනාශ වීමට නියමිතයි; නැත්තම් දිනෙන් දින විනාශ වෙනවා. ඒක රැකගන්න අප්‍රමාණ වන්දියක් ගෙවීමට ඔබට සිදු වෙනවා. ඒත් ලැබුණු දෙයක් නැහැ. ඇතුළත විඳවීමක් මිසක් සාමයක් සතුටක් නැහැ. මේ තත්ත්වය අභ්‍යන්තරිකව අත්විඳින්න ඕනැ දෙයක්. බුදුන් වහන්සේ පවා කියන්නෙ ඒ ගැන. කන්නලව් කර-කර, ගාථා කියමින්, ගස්-ගල් වටේ යන්න කියල තම අනුගාමිකයන්ට උන් වහන්සේ කියලා දීලා නැහැ. ඔහු කියන්නේ අභ්‍යන්තරයෙන් එන හඬට ඇහුම්කන් දෙන්න කියලයි. ඒකට තමයි සමාධිය ඕනැ වෙන්න: ‘සාධනාව’ කියන්නත් පුළුවන්. ඒ ආධ්‍යාත්මික තත්ත්වය පිබිදුණාට පස්සේ කවදාවත් නැති වෙන්නෙ නැහැ.”

දැන් වේගා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියා අපට පැහැදිලිය. ඔබත් වේගා නිමැවූ මේ සිත්තම් බලන්න කැමැති නම් ‘චංචලතා’ (Random) සිතුවම් දැක්ම බම්බලපිටියේ ‘පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ’ හිදී මේ මස 27 වැනිදා දක්වා දිනපතා උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙනවා. ස්වාභාවිකත්වයට සමීප කර ඉන් එහාට ඔබ රැගෙන යන මේ සිතුවමක් අරන් යන්නත් අමතක කරන්න එපා!

 
 
 

Comments