ලිංගි­ක­ත්වය කියන්නේ කතා තේමාව විසින් ඉල්ලා සිටිනු ලබන දෙයක් | සිළුමිණ

ලිංගි­ක­ත්වය කියන්නේ කතා තේමාව විසින් ඉල්ලා සිටිනු ලබන දෙයක්

මාධ්‍යවේදී දර්ශන එරංගගේ තුන්වන නවකතාව 'කතුන් තිදෙනකු අතර නග්නව’ ෆාස්ට් පබ්ලිෂර්ස් හි සුරස පොතක් ලෙස පසුගියදා එළි දැක්විණි'. ටීවී දෙරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරුවකු ලෙස සේවය කරන දර්ශන එරංග සමග ඒ කෘතිය පිළිබඳ කළ සංවාදයයි මේ.

කතුන් තිදෙනකු අතර නග්නව කියන්නේ ලිංගිකත්වය පදනම් කරගත් නවකතාවක් ද?

නැහැ. ඒත් මේ කතාන්දරයේ ලිංගිකත්වය ඇතුළත්. මේ නම යෙදුවේ කතාවේ තේමාවට අදාළවයි. ආදරයකට පුළුවන් ආත්මය ම වර්ණ ගන්වන්න. රාගය සමඟ එක් වන ආදරය ජීවිතය ප්‍රීතිමත් කරනවා. ඒත් හදිසියේම ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගයෙන් සිදු කෙරෙන්නේ ඇතැමුන්ගේ ආත්මය ම නිරුවත් කරන එකයි මේ කතාවෙන් කියවෙන්නේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු එවැනි ඉරණමකට මුහුණපෑමක් ගැනයි.

ඔබ මේ නවකතාව තුළ අවස්ථා රැසකදී ලිංගික සබඳතා ඉස්මතු කරනවා. එය අලෙවි උපක්‍රමයක් ද?

කිසිසේත්ම නැහැ. ලිංගිකත්වය කියන්නේ මේ කතා තේමාව විසින් ඉල්ලා සිටිනු ලබන දෙයක්. කතාවක සන්දර්භය එය ඉල්ලා සිටිනවා නම් ඒක බැහැර කරලා නවකතාව ලියන්න බැහැ. මං මෙහි ලිංගිකත්වය මතු කරලා තියෙන්නේ කිසියම් සංයමයක් ඇතුව. ඒ වගේම නවකතාවේ යටිපෙළින් ඉස්මතු කරන පණිවිඩය දෙන්න බැහැ, ඒ කොටස බැහැර කරලා. ඒ නවකතාව සම්පූර්ණයෙන් කියැවූ විට වැටහේවි එහි සෑම සිද්ධියක් ම එහි තේමාව සමඟ හොඳින් ම බද්ධ වී තිබෙන බව.

ඔබ කතාන්දරය තුළ මිථ්‍යවට සැලකිය යුතු පිළිගැනීමක් ලබා දී ඇතැයි කිසිවෙක් චෝදනා කළොත්?

මේ කතාවට භූතාත්මයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඇතැමුන් හොල්මන් විශ්වාස කරනවා. ඇතැමුන් විශ්වාස කරන්නේ නෑ. ඒත් තණ්හාවෙන්, වෛරයෙන් මැරුණු මිනිසුන් භූතාත්ම ලෙස ඔවුන් බැඳුණු තැන්වල සැරිසරන බව බුදු දහමෙ කියැවෙනවා වගේම ඒ බව අත්දැකපු මිනිසුන් අපේ සමාජෙත්, විදෙස් රටවලත් ඕනෑතරම් ඉන්නවා. අනෙක එය මිනිසුන්ගේ මනස තුළ අවිඥානක ව තිබෙන දෙයක්. ඒ වගේම අපි දන්නවා නවකතාව කියන්නෙ ම ප්‍රබන්ධයක්නේ. ඒ ප්‍රබන්ධය අප කියවගෙන යන්නේ එහි පඨිතය, එහි චරිත ගැන බැඳුණු කිසියම් විශ්වාසයකින්. ඉතින් මිථ්‍යාව ලෙස ඇතමෙකු සලකන දෙයක් නවකතාවේ පඨිතය තුළදි යථාර්ථයක් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒ කොටස ගැන තර්ක කරනවාට වඩා එයින් දෙන්න හදන අර්ථය ග්‍රහණය කරගැනීමයි. එක් අයකුගේ චෛතසික අල්ලා ගැනීමක් තවත් රැසකගේ ජීවිතවලට කොතරම් හානිකර ලෙස බල පා හැකිද යන්න මෙහිදී ඉස්මතු කෙරෙනවා.

'කතුන් තිදෙනකු අතර නග්නව' නවකතාවෙන් ඔබ විශේෂයෙන් ම රාගයේ අනිසි ලෙස පැටලීමේ ප්‍රතිවිපාක, පවුල් ජීවිතයක වැදගත්කම වගේම නියම පිරිමිකම ගැනත් අර්ථ සපයන්න උත්සාහ කරන බවක් පෙනෙන්න තියෙනවා..

ඔව්. ගැහැනියකගේ අවංක ආදරයකට පිරිමියෙකු ව රජෙක් කරවන්න වුණත් පුළුවන්. හැබැයි ගැහැනියකගේ රාගයකට පුළුවන් පිරිමියෙකු ව වහලෙකු කරවන්න විතරයි. බඩගින්නට හැම කුණුගොඩේම හොට අනින කපුටට වඩා බඩගිනි වුණු පළියට තණකොළ නොකන සිංහයට කවුරුත් ගරු කරනවා. මේක තමයි කතාන්දරයේ සමස්තය හකුලුවා දක්වන කොටස නවකතාවක් හෝ සිනමා කෘතියක් හෝ කවරක් වුවත් රසවත් වුණාට ම වැඩක් නෑ එයින් මනසට සිතන්න ගත යුත්තක් නැත්නම්. නවකතාවක පණිවිඩය ස්ථානගත වෙන්නේ එහි තේමාවෙමයි. එය ගෙන එන්නේ කතාවේ යටිපෙළින්. මං හිතනවා 'කතුන් තිදෙනකු අතර නග්නව' නවකතාව සම්බන්ධයෙන් ගත්තොත් මගේ එම වෑයම සාර්ථකයි කියලා.

ඔබ විසින් රචිත පෙර නවකතා ගැන යමක් කිව්වොත්?

මගේ මුල්ම නවකතාව 'ළතැවිල්ල' 2014 වසරේදී ප්‍රකාශයට පත් කළා. එයට තේමාව වුණේ, තම පෙම්වතිය අත්හැර දැමූ තරුණයකු හෘදය සාක්ෂියේ ගැටුමට මුහුණ දෙන ආකාරය. 'මංමුළාවැල්' නවකතාව 2016 දි ප්‍රකාශයට පත් කළා. එයට තේමා වුණේ ධනය බලය, ජනප්‍රියත්වය පසුපස හඹා ගිය සුපිරි තරුවක් මුහුණදෙන ඛේදවාචකයක්. ඒ නවකතා දෙක වගේම මෙවර නවකතාවත් ප්‍රේම් දිසානායක මහතාගේ සහායෙන් සුරස පොතක් ලෙසයි එළි දැක්වුණේ. මේ කතාන්දර තුනෙන් එකිනෙකට වෙනස් තේමා තුනක් සංවාදයට බඳුන් වෙලා තියෙනවා වගේම එක්නෙකිනාට වෙනස් පණිවිඩ සමාජගත කරලා තියෙනවා. මගේ මීළඟ නිර්මාණය මෙතෙක් ලියූ නවකතාවලට වඩා බොහෝ වෙනස් ආරක එකක් වේවි. තේමාව හිතේ තිබුණත් ඒක නිර්මාණයක් හැටියට පිටපත් වෙන්න තවමත් මෝරලා නෑ. ඇතැම්විට ඊට වසර දෙක තුනක් ගත‍ වේවි.

Comments