මම රෙඩි­මේඩ් කවි­යෙක් නෙවෙයි | සිළුමිණ

මම රෙඩි­මේඩ් කවි­යෙක් නෙවෙයි

කවියෙදී කිසියම් අත්දැකීමක් කාව්‍යෝචිත කරගෙන එය කාව්‍යෝචිත ගැඹුරක් කරා රැගෙන යෑමට දරන ප්‍රයත්නයේදී අපි හරියට අසරණ වෙනවා. ඒ නිසා ‘ප්‍රවීණ’ නමැති තහඩුවෙන් අපි නාමකරණය කරන්න බැහැ. අප මේ ව්‍යායාමයේ දි පරදින වාර ගණන වැඩියි. ඒ නිසා එලෙස නොසලකා කාව්‍යෝචිතයට දැරූ ප්‍රයත්නය මත මගේ ශක්‍යතා මොනවාද යන්න පිළිබඳ සැලකිලිමත් වෙන්න කියා මා ඇරියුම් කරනවා.

තිස්පස් වසරක් පමණ කාව්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින නන්දන වීරසිංහ යනු අපේ පංච කාව්‍ය බලකණු අතුරින් එකක් ලෙස සැලකිය හැකි ය. හෙතෙම මේ වන විට රචනා කර ඇති කාව්‍ය කෘති ප්‍රමාණය දහය ද (ඉංග්‍රීසි කෘති ද ඇතුළුව) ඉක්මවයි. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘‘ක්ෂණ නියාම’’ කෘතිය එළඹෙන 28 වන දින සවස 03.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

මතු දැක්වෙන්නේ ඒ කාව්‍ය නිර්මාණය ජනගත කිරීම නිමිති කරගනිමින් ඔහු සමඟ කළ සංවාදයකි.

 

‘‘ක්ෂණ නියාම’’... මේ නම අහපු විගස ම සිහිපත් වෙන්නෙ බෞද්ධ දර්ශනයේ එන ‘උත්පාද, ස්ථිති සහ භංග’ නමැති නියාම තුන. ‘ගිංගඟේ විලාපය’, ‘කිරි සුවඳැති රාත්‍රියක්’, ‘සත්‍යකාම නම් මම වෙමි’, ‘ගිරග’, ‘මහත් සඳ පිනි බිඳෙක’, ‘චන්ද්‍ර බිම්බ’, රැය කරා ගමන’ මෙන්ම ‘සහස් රැස් යට’ යනාදි කාව්‍ය කෘති මගින් රැඩිකල් මෙන්ම විවිධ සාමාජ අසාධාරණ පිළිබඳ ව සිය මතය ප්‍රකාශ කරමින් කවි ලියූ නන්දන වීරසිංහ මේ මොහොතේ අනිත්‍යය සිහිපත් කරනාකාරයේ කවි පබඳින්නෙ ඇයි?

මුල් අවධියේ කිසියම් කාර්යභාරයක් වෙනුවෙන් කැපවෙලා නිර්මාණ කාර්යයේ යෙදුණා. ඒකට හේතුව කිසියම් සමාජ මෙහෙවරක් උදෙසා නිර්මාණකරණයේ යෙදීම නිර්මාණකරුවකුගේ මෙහෙවරක් බව මම විශ්වාස කිරීම. නමුත් කාලයක් ගත වෙද්දි අපි නිර්මාණකාර්යයේ යෙදෙමින් යම් යම් දේ ඇසුරු කරමින් කටයුතු කරද්දි අපේ ආකල්ප සහ කවිය පිළිබඳ පෙර දැරූ අදහස් වුණත් වෙනස් වෙනවා.

ඒක හැමෝට ම වගේ බලපාන දෙයක්. මෙතනදි මම වඩාත් අවධානය යොමු කළේ කවියා ස්වකීය භාෂාවේ සූක්ෂ්මතාව, ව්‍යංජනා ශක්තිය සහ අපේ ජීවිත කාලයේ දි අත්විඳි සංසිද්ධි කොහොමද පෙර නොවූ විරූ අන්දමින් නිර්මාණයකට උකහා ගන්නෙ යන කාරණයට. ඒ මානයට යොමු වෙද්දි මම හිතනවා මගේ කවි ආකල්පීය වශයෙන් මෙන්ම විශ්ලේෂීය වශයෙනුත් වෙනසකට ලක් වුණ බව.

එහි උච්චය ‘‘ක්ෂණ නියාම’’ විය හැකියි. ඒ වගේ ම මේ නිර්මාණය හුදු ආගමික අර්ථයකින් ම නිම වූවක් කියන්නත් මම කැමති නැහැ. මොකද අපේ උපත, පැවැත්ම සහ මරණය යන මේ සියලු අවස්ථා සියල්ල ක්ෂණය මූලිකව පවතින නිසා මේ කවිවලට මූලික වන හැම සංසිද්ධියක් ම ක්ෂණය මූලික කරගෙන තිබෙනවා. ඒනිසා ම මෙය ‘‘ක්ෂණ නියාම’’ වුණා.

 

අපේ රටේ සිටි බොහෝ වාමවාදීන් මෙන්ම තරුණ කැරැලිවලට සම්බන්ධ වුණ අය පවා අවසානයේ නතර වුණේ ගල්ගුහාවල භාවනා කරන තාපසයන් වෙලා. නන්දන වීරසිංහ නමැති කවියා ද එබඳු තත්ත්වයකට පත් වේ දෝ කියන බියක් මා තුළ පැන නැඟුණා...

ලෝකයේ ඇති වී, පැවතී, නැති වී යන ස්වභාවය සහ යම් දෙයක අස්ථිරභාවය යන කාරණා ඕනෑම නිර්මාණකරුවකුගේ පාදක සංකල්ප විදියට තිබිය යුතුයි. නමුත් අනිත්‍ය මෙනෙහි කරමින් තමාගේ ලෝකෝත්තර මාර්ගය නිවැරදිව තහවුරු කරගත යුතුයි. මූලික වශයෙන් ම සෙන් දහමේ විග්‍රහයට මම කැමතියි. සෙන් දහමේ තැනක ලියවෙනවා ළමයෙක් සිය පියාගෙන් ප්‍රශ්න කරන අවස්ථාවක්. ඒ දුව අහනවා...

‘‘මිනිසා මරණයෙන් තුරන් වෙලා යනවා. ඇයි ඔබ මරණය ගැන කම්පා වෙන්නෙ? දැන් මගේ ජීවිතය බලන්න. මම කුඩා ළමයෙක් වෙලා හිටියා නම් තාත්තට උදවු කරන්න වෙන්නෙ නැහැනෙ. දැන් මම රැකියාවක් කරල තාත්තට හම්බ කරලත් දෙනවා. මගේ වැඩී යෑම නිසා නේද ඒක සිද්ධ වෙන්නෙ? ඒ අනිත්‍යයම නෙවෙයි නේද?’’ කියල.

ඒ නිසා කිසියම් අර්ථවත් අපේක්ෂාවක් මූලික කරගෙන සිදුවන විපරිණාමයක් ගැන කෙනෙක් සැලකුවට කමක් නැහැ. ලෝකයේ නියාම පිළිබඳව උකටලි වෙනවට වඩා අනිත්‍යය ම මිනිසාගේ වැඩීමේ ධාරිතාව, මිනිසාගේ පරිණතීය ධාරිතාව විදියට සලකනවා නම් වඩා යහපත්. මම ඉන්නෙත් එබඳු ආස්ථානයක.

මගේ අදහස අනුව නම් කිසිවකුට කවි ලියන්න බැහැ; කවිය ලියැවෙනවා. එසේ ලියැවෙන කවි කාලයක් තිස්සේ ගොනු කරල කෘතියකට ගන්නවා. නමුත් ‘‘ක්ෂණ නියාම’’ කෘතිය පුරාම ඒකතානයක් පවතිනවා. එනම් සමස්ත කෘතියේ නිර්මාණ විශාල ප්‍රමාණයක් ගොනු වෙලා තියෙන්නෙ බෞද්ධ දර්ශනය වටා. එසේ නම් මේ කවි ලිව්ව ද ලියැවුණා ද?

මූලික වශයෙන් ම මේ කවිවලට පාදක වන සංකල්ප කාලයක් තිස්සේ මගේ මනසේ සක්මන් කළා. එබඳු අවස්ථාවල කවියකට සුදුසු අනුභුතියක් හෝ හැගුම් පුංජයක් ලැබුණු විගස එය අමතක වන නිසා මම කිසියම් සටහනක් ලියා තබනවා. ඔය ආකාරයට සටහන් කරගත් අනුභූති නැවත විමසා බලද්දි අයි. ඒ. රිචඩ්ස් කියනවා වගේ මට යළිත් පෙර භාවය ම ඇති කරගැනීමට හැකි වෙනවා. මේ විදියට අනුභූති එකතු වෙද්දි මට කාලය පවා ඉතිරි ව තිබෙනවා. රැකියාවකට පවා යන්නෙ සතියකට දින දෙක තුනක්. මේ ඉතිරි කාලයෙන් ප්‍රයෝජන අරගෙන මම මේ නිර්මාණ ගොඩනඟන්න වෙහෙසෙනවා. එය භාවිත භාෂාවෙන් කියනවා නම් ‘කඩදාසි එක්ක ඔට්ටු වුණා’ කියල කියන්න පුළුවන්. එතනදි ඔබේ තර්කයට මම එකඟයි. කවි ලියන්න බැහැ; ලියැවෙන බව ඇත්ත. නමුත් මම ‘කවි ලියන්න’ සූදානම් වෙන්නෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන; ඊට අවශ්‍ය වටපිටාව සුදානම් කරගෙන. ඒ නිර්මාණ පවා නැවත නැවත සකස් කරමින් වටිනා නිර්මාණයක් දක්වා හැඩගැසෙන තුරු ඒවා සමඟ ජීවත් වෙනවා. ඒ කුමනාකාරයට වෙහෙසුණත් උපරිමාන්තයට යන්න බැහැ; එක්තරා ස්ථානයක දි නතර වෙනවා. එතනදි මගේ නිර්මාණය නිම කරනවා.

 

මගේ දැනුමේ ප්‍රමාණයට ලංකාවේ සිංහල කවියේ බලකණු පහක් පවතිනවා. ඒ: රත්න ශ්‍රි විජේසිංහ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු සහ ලාල් හෑගොඩ. මේ බල කණු පහ මෙහෙම පවතිද්දි ම නව කවි කිවිඳියන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. නන්දන වීරසිංහ නමැති බල කණුව මේ නව නිර්මාණකරුවන්ගේ ආගමනය හඳුනාගන්නේ කෙසේ ද?

බල කණු පහක් පවතිනවා සහ ඒ අතර එක් බල කණුවක් මම ය යන්න ඔබේ යෙදුමක්නේ. ඒ ‘‘බල කණුව’’ යන විරුදාවලිය ඉවත් කරල: කවි විඳින සහ කවි පිළිබඳ විමසුම් ඇසක් සහිත කෙනෙකු විදියට අදහසක් ප්‍රකාශ කරනවා නම්, මම එය දකින්නෙ මෙහෙමයි. මම කලින් සඳහන් කළ ආකාරයට තමන් ලබාගත් අත්දැකීමේ නොවු විරු සූක්ෂ්මතාව ලබාගන්න තරමට වැඩි දියුණු නොවූ බසක් ඔවුන් පාවිච්චි කරන බව දකිනවා. විශේෂයෙන් ම චිත්ත රූපික සහ රූපක මාර්ගයෙන් යැපෙන, විවිධ සංඥා සහ කවියට අඩංගු විය යුතු මූලධර්මවලින් ශික්ෂිත කවි නව කවි කිවිඳියන්ගෙන් අපේක්ෂා කරන්න බැරි බවත් ඇත්ත. ආරම්භයේ දී මම පවා ඒ අභියෝගයට මුහුණ දුන්නා. නමුත් මේ අතර ම ඔවුන්ගේ කවි පොත්වල අතිශය ප්‍රබල කවි පහ හයක් හෝ තිබෙන බව මම දකිනවා. අන්න ඒ කවි නිවැරැදි ආකාරයෙන් වීමංසනයට බඳුන් කරල ඔවුන්ගේ ගමනට: ආධාර කරලා, අනුබල සපයලා කිසියම් විචාර මාර්ගයක් හෝ මාර්ගෝපදේශකත්වයක් සපයන්න අවශ්‍යයි. අපි හැමෝගෙම අඩු-පාඩු පවතිනවා. ඒ වගේ ම කවිය පිළිබඳ තුලනාත්මක ඇතුළු නුවණක් ලබාගන්න ඔවුන් මැළිකමක් දක්වන බවක් ද පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් ම ඈත පෙරදිග කාව්‍ය පිළිබඳ ශික්ෂණයක් ලැබිය යුතුයි. පරිවර්තිත කවිවලින් හෝ ලෝක කාව්‍ය පිළිබඳ දැනුමක් ලබාගත යුතුයි. ඒ වගේ ම අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ මෙන්ම ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍යයේ වැදගත් කෘති පරිශීලනය කළ යුතුයි. විශේෂයෙන් ම අාධ්‍යාත්මික චින්තාව සම්බන්ධ කබිර් මුනි, තාගෝර්, එකාට් පොලේ සහ පශ්චාත් නූතනවාදී චින්තකයන්ගේ චින්තන විධි යම් පමණකට හෝ ස්පර්ශ කළ යුතුයි. ඒ අත්දැකීම් වලින් ලැබෙන පෙර නොවූ විරූ මාන ස්පර්ශ කළ යුතුයි. ඒ හැරුණු විට විවිධ කාණ්ඩ ගොඩනඟාගෙන ‘මේක අපේ මාර්ගය, මේක අපේ මාර්ගය’ කියාගනිමින් අන් අයගේ මාර්ගයට ගරහමින් යා යුතු නැහැ. එය පිරිහීමට හේතුවක් යන්නයි මගේ අදහස. එක් එක් අයගේ මාර්ග විවිධ වෙන්න පුළුවන්. නමුත් අපි කාව්‍යයේ නිර්ණායක ලෝක කාව්‍ය සමග සංසන්දනය කරල බැලුවොත් ආසියාතික කාව්‍යයත් එකම මුඳුනකට යනවා. අපි ඉන්දීය ධ්වනිවාදය ගත්තොත් රිචඩ් හෝ එලියට් කියාපු දේ හා සමානව ම සත්‍යය යි. ඒ නිසා වාද විවාද පසෙක තබා කාව්‍ය නමැති සාහිත්‍යය ක්ෂේත්‍රයේ වැඩීම සඳහා දායක විය යුතුයි.

 

නව කවි කිවිඳියන් භාෂාව පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන බව මමත් පිළිගන්නවා. එහෙත් ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පොතපත් සම්පාදනය කිරීම යනාදිය ප්‍රවීණ කවියන්ගේ වගකීමක් නේද?

ඔබ පවසන කාරණය සම්පූර්ණයෙන් ම ඇත්ත. එබඳු ප්‍රයත්න තිබිය යුතුයි. රොබට් ෆ්‍රොස්ට් බඳු ඇමරිකානු කවියකු උදාහරණයකට ගන්නවා නම්, ඔහු ලොව අද්විතීය කවියෙක්. නමුත් ඔහු ලිපියක් දෙකක් ලිවීම හැර කාව්‍ය සම්බන්ධ මහා විග්‍රහාත්මක කෘති ලියා නැහැ. ඒ රටේ ඔබ කියන කර්තව්‍ය කර තිබෙන්නේ විචාරකයො ම යි. එලියට් ගැන කතා කළත් එයාගේ විචාර මාර්ගයෙන් කිසියම් මග පෙන්වීමක් කරන්න උත්සාහ කළා. මෙතනදි වඩාත් ම සුදුසු වන්නේ නිර්මාණ ඇසුර ම යි. එය තමාට ම මාර්ගෝපදේශ සපයන්නක් බවට පත් කරගත යුතුයි. මොකද අපි කවිය පිළිබඳ දෙපැයක දේශනයක් කළත් ඒ දේශනයෙන් මතකයේ රැඳෙන්නේ විනාඩි පහක දහයක ප්‍රමාණයක් පමණයි. ආරියවංශ රණවීර, ලියනගේ අමරකීර්ති සහ ඔබත් කෘති කිහිපයක් ම කළා. මම හිතනවා ඒ කෘති නිසියාකාරයෙන් ඇසුරු කරනවා නම් කාව්‍ය පිළිබද දුරවබෝධය ලබාගන්න එය ම ප්‍රමාණවත් බව.

 

ඔබ ඔබේ කාව්‍යමාර්ගය පිළිබඳ දරන තක්සේරුව කෙබඳු ද?

මම කවිය ම මූලික කරගෙන තිස්පස් වසරක් පමණ වැඩ කර තිබෙනවා. නමුත් මගේ මූලික අවධියේ ‘කවිය යනු මෙයයි’ කියා අතැඹුලක් සේ දැන වැඩ කළ පුද්ගලයෙක් නෙවෙයි. අද මම කවිය පිළිබඳව යම් ප්‍රමාණයකට හෝ දැනුවත් වී තිබෙන්නේ ඇතැම් විට වැරැදි මාර්ගවල පවා ගමන් කර ආපසු පැමිණීමෙන් අනතුරුව යි. මම ‘රෙඩිමේඩ්’ කවියෙක් නෙවෙයි. කවියෙදි කිසියම් අත්දැකීමක් කාව්‍යෝචිත කරගෙන එය කාව්‍යෝචිත ගැඹුරක් කරා රැගෙන යෑමට දරන ප්‍රයත්නයේ දී අපි හරියට අසරණ වෙනවා. ඒ නිසා ‘ප්‍රවීණ’ නමැති තහඩුවෙන් අපි නාමකරණය කරන්න බැහැ. අප මේ ව්‍යායාමයේ දි පරදින වාර ගණන වැඩියි. ඒ නිසා එලෙස නොසලකා කාව්‍යෝචිතයට දැරූ ප්‍රයත්නය මත මගේ ශක්‍යතා මොනවාද යන්න පිළිබඳ සැලකිලිමත් වෙන්න කියා මම ඇරියුම් කරනවා.

  

Comments