නිහ­ඬ ව සිටීමේ මනු­ස්ස­කම | සිළුමිණ

නිහ­ඬ ව සිටීමේ මනු­ස්ස­කම

මේ විස්තර කරන්නේ නවසිය හැට ගණන්වල සිද්ධියකි. ඒ කාලයේ රාජ්‍ය මාධ්‍යයක් ලෙස සැලැකුණේ ගුවන් විදුලි සේවය පමණකි. ඒ යුගයේ ලංකා ගුවන් විදුලිය දෙපාර්තමේන්තුවකි. එදා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පැවතියේ රාජ්‍ය ඇමතිවරයා යටතේ ය. රාජ්‍ය ඇමති ජේ.ආර්.ජයවර්ධන විය. අමාත්‍යාංශ ලේකම්වරයා ආනන්ද තිස්ස ද අල්විස් විය. ගුවන් විදුලි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් වින්සන්ට් පණ්ඩිත විය. ඔහු සිවිල් නිලධාරියෙකි.

1966 ජනවාරි 8වැනිදා කොල්ලුපිටියේ සිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත ගමන් කරමින් පැවති උද්ඝෝෂණයකි. උද්ඝෝෂණය සිදු කෙරුණේ දෙමළ භාෂා විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි ව ය.

උද්ඝෝෂණයට සහභාගි වෙමින් සිටි, දඹරාවේ රතනසාර පොඩි හාමුදුරුවෝ කොල්ලුපිටියේදී පොලිස් වෙඩි පහරකින් අවසන් හුස්ම හෙළුෑහ. එදින සවස දෙමළ භාෂා විධිවිධාන පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිණිස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබිණ. සභා ගර්භය වෙත පැමිණි අගමැති ඩඩ්ලි සේනානායක විපක්‍ෂයේ සමච්චලයට ලක්වුණේ මිනීමරුවා යන අවලාදයෙනි. ඔවුහු සිංහල භාෂාව පාවා දෙතියි අගමැතිවරයා එල්ල කොට ඝෝෂා කළහ.

අගමැති ඩඩ්ලි සේනානායකට මිනීමරුවා කියමින් මන්ත්‍රීවරුන් ඝෝෂා කළ බව එදින සවස ලංකා ගුවන් විදුලි සේවයේ රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රචාරයේ ප්‍රමුඛ ප්‍රවෘත්තිය ලෙස විකාශය විය. ලංකා ගුවන් විදුලි සේවයේ මේ ආගන්තුක හැසිරීම ගැන අග්‍රාමාත්‍ය ප්‍රවෘත්ති නිලධාරි පී.කේ.ඩි. සෙනෙවිරත්නගේ අවධානය යොමු විය.

සත්‍ය ලෙසම එවැනි පුවතක කොටසක් රාජ්‍ය මාධ්‍යයක උලුප්පා නොදැක්විය යුතුව තිබිණ. රටේ අගමැතිවරයා පිළිබඳ ව විපක්‍ෂය දේශපාලන වාසි තකා නැඟෙන අවලාද පාවිච්චි කළ යුත්තේ පරිස්සමෙනි. සමහර විට එවැනි කතා ජාතික ආරක්‍ෂාවට පවා අභියෝග එල්ල විය හැකි ය. මෙකී අවබෝධයෙන් යුතුව පී .කේ. ඩී. සෙනෙවිරත්න පසුදින උදාවන තෙක් ඉවසිල්ලෙන් බලා සිටියේය. ඒ ජාතික පුවත්පත් මේ සිද්ධිය තෝරා ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීම පිණිස ය.

ඒ කාලයේ අද මෙන් පැයෙන් පැය තොරතුරු කියන විද්යුත් මාධ්‍ය අසං තිබුණේ නැත. ගෙවුණ දවසේ සිදුවීම් රටේ ජනතාවට දැන ගැනීමට ලැබුණේ පසුදා නිකුත් වන මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පමණකි. පී.කේ.ඩී. අපේක්‍ෂා කළ ආකාරයෙන්ම ජාතික පුවත්පත් මනා සංයමයකින් පුවත වාර්තා කර තිබිණ. ඔවුහු පෙළපාළියට වෙඩි තැබිම රසකර වාර්තා කළහ. පාර්ලිමේන්තුවේ කලබලයට අත තබා තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ කතාවට ප්‍රමුඛතාව දී රටේ අගමැති සවුත්තු කර තිබුණේ ජනදින සිරිලක ඇත්ත වැනි විපක්‍ෂයට සම්බන්ධ වාමාංශික පුවත්පත් පමණකි.

පී.කේ.ඩී. සෙනෙවිරත්න වහාම මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් දැනුම්වත් කළේ ය; ප්‍රශ්නය උණුසුම් විය. අග්‍රාමාත්‍ය ලේකම් මේ ගැන ගුවන් විදුලිය භාර අමාත්‍යාංශයෙන් කරුණු විමසීය. ඒ කාලයේ අමාත්‍යාංශ ලේකම් තනතුර දැරුවේ ආනන්ද තිස්ස අල්විස් ය. පළපුරුදු මාධ්‍යකරුවකු වූ ආනන්ද තිස්ස අල්විස් සිද්ධිය අසා කලබල විය. වහාම දුර කථනයෙන් ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල්ගෙන් කරුණු විමසීය. ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් වින්සන්ට් පණ්ඩිත බෙහෙවින් සන්සුන් ව සිද්ධවූ විස්තර කළේය.

“ දෙයියනේ ඇයි මගෙත් එක්ක ඔය ගැන ටිකක් කතා නොකළේ..... ආනන්ද තිස්ස ද අල්විස් ඔළුවේ අත ගසා ගත්තේය. වින්සන්ට් පණ්ඩිතට එකී වචන යොදා ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලෙස උපදෙස් දෙනු ලැබ තිබුණේ විෂය භාර අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන විසිනි.

ආනන්ද තිස්ස ද අල්විස් වහා ජේ.ආර්.ජයවර්ධන හමුවිය.

“එහෙනම් තුවක්කුව අතේ පත්තු වෙලා ජේ.ආර්. කෙඳිරිලි හඬින් කී කතාවෙන් ආනන්ද තිස්ස සියල්ල තේරුම් ගත්තේ ය. මේ වනවිට ඩඩ්ලි ජේ.ආර්. අභ්‍යන්තර ආරවුල හට ගෙන තිබිණ. නිදහස් ලංකාවේ පළමුවෙනි මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන විය. එහෙත් 1965-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ජේ.ආර්.ජයවර්ධනට ලැබුණේ නැත. ඔහුට පැවරි තිබුණේ ආයතන කිහිපයක් මූට්ටු කළ රාජ්‍ය ඇමති නම් ආගන්තුක අමාත්‍යාංශයකි.

කරන්නට යමක් ඉතිරිව නො තිබිණ; සියල්ල සිදුවී අවසාන ය. ආනන්ද තිස්ස ද අල්විස්ට පැවරි තිබුණේ භාරදූර වැඩකි. ඔහු වහා වින්සන්ට් පණ්ඩිත හමු විය. පැය ගණනක් පැවති සාකච්ඡාව අවසානයේ ආනන්ද තිස්ස ද අල්විස් අග්‍රාමාත්‍ය කාර්යාලයට සිය වාර්තාව යැවීය. ඒ වාර්තාවෙන් කියැවුණේ එකී පුවත අධික්‍ෂණය නො කිරිමේ වගකීම තමන් බාර ගන්නා බවට වින්සන්ට් පණ්ඩිත කළ ප්‍රකාශයකි. වාර්තාව කියැවූ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් විරකෝන් වහා වින්සන්ට් පණ්ඩිත ඇමතීය.

“වින්සන්ට් මට මේක විශ්වාස කරන්නද කියන්නේ...... ඉතා පෞද්ගලිකව කෙරුණ එකී විමසීමේදී සියල්ල හෙළි විය. සාකච්ඡාව අවසානයේ හිත මිතුරු සිවිල් නිලධාරින් දෙදෙනා හයියෙන් සිනාසුණා පමණකි. එකී සිද්ධියේ සත්‍ය කතාව රහසක් ලෙස තබා ගැනීමට ආනන්ද තිස්ස ද අල්විස්, වින්සන්ට් පණ්ඩිත සහ බ්‍රැඩ්මන් වීරකෝන් එකඟව සිටියහ. රාජ්‍ය සේවයේ විශිෂ්ට කුල සිරිත් අනුව යමින් පාලකයන් අතර පලුද්දක් නොවන ලෙස වින්සන්ට් පණ්ඩිත තනතුරෙන් ඉවත් විය. ඒ වෙනුවට නෙවිල් ජයවීර ගුවන් විදුලියට පත් කර යැවිණ.

කෙටි කලක් ඇතුළත වින්සන්ට් පණ්ඩිත රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස වැඩ බාර ගත්තේය.

පසු කලෙක මේ සිද්ධියේ ඇත්ත කතාව හෙළි විය. ඩඩ්ලි සේනානායකට මිනීමරුවා කී කතාව වාර්තා නො කළ යුතුය යන්න ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති සංස්කාරක වරුන්ගේ අදහස විය. දෙමළ භාෂා විධිවිධානයට එරෙහි උද්ඝෝෂණය විපක්‍ෂයට අවාසි ලෙස ප්‍රධාන ප්‍රවෘත්තියට ගැනීමට සැලසුම් කර තිබිණි.

විශේෂයෙන් සමතැන් ඉල්ලා පෙළපාළි ගිය සමසමාජ කොමියුනිස්ට් නායකයන් ශ්‍රීලනිපය සමග ජාතිවාදි රැල්ලකට එකතුවීම ප්‍රවෘත්ති අංශය නිරීක්‍ෂණය කර තිබිණ. ඒ සියලු සැලසුම් නතර කළේ කවුරුන් ද යන්න වින්සන්ට් පණ්ඩිත නිල වශයෙන් හෙළි කළේ නැත. ඔහු තනතුර දමා යන්ට ගියේය.

 

Comments