කෝපා­විෂ්ට තරුණ මිනි­සුන්ගේ සාහි­ත්‍යය | සිළුමිණ

කෝපා­විෂ්ට තරුණ මිනි­සුන්ගේ සාහි­ත්‍යය

බ්‍රිතාන්‍ය ලේඛන සම්ප්‍රදාය උඩුයටිකුරු කිරීමට සමත් වූ මේ කැරලිකාර සාහිත්‍යකරුවන් පිරිස තුළ සමානකම් රැසක් දකින්නට ලැබුණේය. මේ පිරිසෙන් කිහිප දෙනෙක් පහළ පන්තියෙන් හෝ පහළ මැද පන්තියෙන් බිහිව ඔක්ස්ෆර්ඩ් හෝ ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවෝ වූහ. ජොන් බ්‍රේන් සහ ඇලන් සිලිටො වැන්නෝ වැඩකරන පංතියෙන් බිහි වූ ලේඛකයෝය. සමාජය පීඩනයට පත්කරන විවිධ සමාජ විෂමතා කෙරෙහි ඔවුහු කෝපයට පත්ව සිටි‍යෝය.

ඉංග්‍රීසි නවකථාකරුවකු නාට්‍ය රචකයකු හා විචාරකයකු වන ජේ.බී. ප්‍රිස්ට්ලිගේ සඳහනකින් මේ ලිපිය ආරම්භ කිරීම උචිත යැයි සිතමි. මන්ද ඔහු කලකට පෙර එංගලන්තයේ සංචාරය කොට 1934 දී පළ කළ English Journey නම් කෘතියෙහි ඒ කාලය වන විට එංගලන්ත තුනක් දක්නට පැවති බව දක්වා ඇති හෙයිනි. ඔහුට අනුව “එක් එංගලන්තයක් පැරණි එංගලන්තය නම් වෙයි. එහි දකින්නට ලැබෙන්නේ සුවිශාල දෙව්මැඳුරු, ගම්බදව පිහිටි සුවිශාල නිවාස, තානායම්, පූජකාරාම හා චතුරස්‍රයන්ය. ඒ සමඟම දහනව වැනි සියවසේ එංගලන්තයක් ද දක්නා ලැබේ. එනම් ගල්අඟුරු, යකඩ, වානේ, කපු සහ වූල් කර්මාන්තයෙන් හා දුම්රිය මාර්ගයන්ගෙන් යුක්ත වූ එංගලන්තයයි. ඒ සමඟම ඔහු එම කෘතියෙන් නව එංගලන්තයක් ද පෙන්වා දෙයි. ඒ වූකලි යුගයේ ප්‍රබල ආධිපත්‍යයක්වූ ඇමෙරිකානු ශිෂ්ටාචාරයෙන් උචිත අන්දමින් බලපෑම් ලද ‘නව’ එංගලන්තයයි. මේ නව එංගලන්තය බොහෝ විට දක්නට ලැබෙන්නේ යුද සමයේ අලුත බිහිවූ නගරවල හා උප නගරයන් තුළය. බහු නිෂ්පාදන තාක්ෂණය හා අඩු මිල පාරිභෝගික භාණ්ඩ එහි දැකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සාරය මෙන්ම සමානාත්මක ලක්ෂණ එනම් දැන් අප පන්ති විරහිත සමාජයකින් අපේක්ෂා කරන අංගලක්ෂණ එහි දැකිය හැකිය.”

ජේ.බී. ප්‍රිස්ට්ලි මේ නව එංගලන්තයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ එහි අනුකාරක ලක්ෂණ පැවතීම, එහි ප්‍රමිතියෙහි ඌනතා හා ස්වාභාවිකව බිහිවීමේ ලක්ෂණ දකින්නට නොලැබීම ආදිය නිසාය. එහෙත් ඔහු එම නව එංගලන්තය පිළිගනියි. මන්ද යත් අනෙක් එංගලන්ත දෙකට වඩා මෙයට බහුතර ජනතාවක් කැමැත්ත දක්වන බැවිනි. එසේම එය අනාගත රැල්ල වන බැවිනි. මේ නව එංගලන්තයේ බිහිවීම අරබයා කරුණු දැක්වීමට ඔහු දෙවැනි ලෝක යුද්ධ සමයේ විවිධාකාර බුද්ධිමය සංවාදයන්හි නිතර වුණේය. එහි දක්නා ලැබෙන දැවැන්ත නිෂ්පාදන බලවේගවල ආධිපත්‍යය, ජන සන්නිවේදන මාධ්‍යයන්හි අනිසි බලපෑම හා ඇමෙරිකානුවාදී වීම ඔහුට මහත් ගැටලුවක් වූ බව පෙනෙයි.

එංගලන්ත සමාජය තුළ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව සිදුවෙමින් පැවති සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතිකමය වෙනස්වීම් රැසක් සංකේතවත් කරමින් එසේත් නැත්නම් නව වෙනස්වීම් මාලාවක අවශ්‍යතාව ඉඟි කරවමින් ඒ වන විට සාහිත්‍ය හා කලා ව්‍යාපාරයක් පැතිර යන්නට වන්නේය. මෙය හැඳින්වූයේ Movement of Angry Young Men AYM නමිනි. එහි අරුත ‘කෝපාවිෂ්ට තරුණ මිනිසුන්ගේ’ ව්‍යාපාරය යන්නය. එංගලන්තයේ මේ ‘කෝපාවිෂ්ට තරුණ මිනිසුන්’ ව්‍යාපාරය, නවකථාකරුවන්, කවියන්, සිනමාකරුවන් හා නාට්‍යකරුවන් ප්‍රමුඛ බුද්ධිමතුන්ගෙන් සැදුම් ලද්දක් විය. ඔවුන් සිය නිර්මාණයන් වෙතින් ඉදිරිපත් කළ ආවේගකාරීබව, අකීකරුකම හා තියුණු සමාජ උත්ප්‍රාසය එංගලන්ත සමාජය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට සමත්වූ බව විචාරකයෝ පෙන්වා දෙති.

වික්ටෝරියානු සමාජ, සංස්කෘතික ආකල්ප හා චර්යා පද්ධතිය මඟින් එතෙක් හසුරුවනු ලැබූ ජනයා වෙත කේන්ද්‍රාභිමුඛ වීමත් එකිනෙකට පරස්පර විරෝධි වීමත් මෙහිදී දක්නට ලැබුණ සුවිශේෂතාවකි. සෑම සමාජ පන්තියකටම අයත් තරුණයන් ඉතා ඉක්මනින්ම පොදු ජන සංස්කෘතියක් කරා ප්‍රවිෂ්ට වීමක් දක්නා ලැබිණ. එංගලන්ත සමාජය තුළ විශාල පුපුරායෑමක් ඇතිවන්ට පටන් ගත්තේය. වැඩිහිටියන් සතු තාක්ෂණික ඥානයට හෝ දැනුමට හෝ අත්දැකීම්වලට තවදුරටත් තරුණ පරපුර වෙතින් එතරම් අනුග්‍රහයක් ලැබුණේ නැත.

සංස්කෘතික විෂමතාවක් පැන නැඟිණ. කාන්තා සමාජයට විශාල වශයෙන් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය. කම්කරු පන්තිය ක්‍රමයෙන් බලවත්වන්නට විය. එංගලන්ත දේශපාලන විශේෂඥයකු වූ හැරල්ඩ් ලැස්කි වරක් ලන්ඩන්හිදී පවසා සිටියේ රට තුළ දේශපාලනය ඉගැන්වීමෙන් පලක් නොවන බවත් දේශපාලන චින්තනය විසින් සිය සුවිශේෂ ජයග්‍රහණයන් වෙනුවෙන් ප්‍රබල පෙලඹවීම් කරමින් සිටිනා බවත්ය. දේශපාලන ක්‍රියාවලියකට අනුගතව සිටින ජනතාව ඒ වන විට නැවතීමකට ආපසු හැරවීමකට හෝ නැංගූරම් දැමීමකට ඉඩක් නොමැති අගාධ සාගරයක පාවෙමින් සිටිනා බවත්ය.

මා මෙහි සංක්ෂිප්තව කරුණු කීපයක් සඳහන් කළේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එනම් පනහේ දසකයේ එංගලන්තයේ ‘කෝපාවිෂ්ට තරුණ මිනිසුන්ගේ’ සාහිත්‍ය හා කලා ව්‍යාපාරය පිළිබඳව මූලික වශයෙන් චින්තන පසුබිමක් රසිකයන් තුළ ඇතකිරීම සඳහාය. මේ සාහිත්‍ය ව්‍යාපාරය ගැන සිංහල පාඨකයා වෙත කිසිම දැනුම්වත් කිරීමක් මෙරට සිදුව නැති හෙයින් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් විවරණයක් කළ යුතුය. මෙහිදී ඊට අවකාශය මඳ වන හෙයින් වැඩිපුර අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයන්ට, අල්සොප් කෙනත් ලියූ The Angry Dacade සහ බර්ගොන්සි බර්නාඩි ලියූ Anger and the Emperical temper කෘති හා ඉන්දියානු ලේඛිකාවක වන ෂොඩුන්ගාගේ පර්යේෂණ ලිපි අධ්‍යයනය කිරීම මැනවැයි සිතේ.

එංගලන්ත සමාජය පනහේ දසකයේ දැඩි වෙනසකට අවතීර්ණ වන සැටිත් ඒ වෙනස ඔස්සේ සමහර කලාකරුවන් ස්වකීය අනන්‍යතාව ගොඩ නඟා ගැනීම පිණිස කළ ප්‍රයත්නයත් අපට මේ අවධිය තුළින්ම දැකගත හැකිවන්නේය. එංගලන්තයේ බුද්ධිමය භූමිකාව තුළ මේ කලාකරුවන් පිරිස එනම් සමකාලීන සමාජ ප්‍රශ්නයන් දෙස පුළුල් ලෙසින් හා විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ අවලෝකනය කළ මේ පිරිස සමකාලීන විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවේ ‘කෝපාවිෂ්ට තරුණ මිනිසුන්’ (Angry Young Men) වශයෙනි. මේ ප්‍රබල කණ්ඩායමට අයත් වූයේ කොලින් විල්සන්, ජෝන් ඔස්බර්න්, කිංග්ස්ලි අමිස්, ජෝන් වේන්, ජොන් බ්‍රේන්, ඇලන් සිලිටො, පිලිප් ලාර්කින් සහ ඩේවිඩ් ස්ටෝරි වැනි සාහිත්‍යකරුවන් පිරිසකි.

බ්‍රිතාන්‍ය ලේඛන සම්ප්‍රදාය උඩුයටිකුරු කිරීමට සමත් වූ මේ කැරලිකාර සාහිත්‍යකරුවන් පිරිස තුළ සමානකම් රැසක් දකින්නට ලැබුණේය. මේ පිරිසෙන් කිහිප දෙනෙක් පහළ පන්තියෙන් හෝ පහළ මැද පන්තියෙන් බිහිව ඔක්ස්ෆර්ඩ් හෝ ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවෝ වූහ. ජොන් බ්‍රේන් සහ ඇලන් සිලිටො වැන්නෝ වැඩකරන පංතියෙන් බිහි වූ ලේඛකයෝය. සමාජය පීඩනයට පත් කරන විවිධ සමාජ විෂමතාවන් කෙරෙහි ඔවුහු කෝපයට පත්ව සිටි‍යෝය.

ශ්‍රමය විකුණමින් දිවිගෙවන ජනයාගේ ජීවිත වටාගෙතුණු නිර්මාණ, කැරලිකාර තරුණයන්ගේ චරිත මොවුන්ගේ කෘතිවලට ප්‍රස්තුත විය. ඔවුහු එම කෘති මඟින් සමාජ හා සංස්කෘතික වටිනාකම් ගැන කතා කළහ. ඒවා ඔවුන්ගේ නොමඳ පරිභවයටත් හාස්‍යටත් ලක් වුණ බව පෙනිණ. සමාජයේ පන්ති පදනම ඔවුන්ගේ විරෝධයට ලක්විය. පොදු ජනයාට ආර්ථික වශයෙන් සුරක්ෂිතබවක් නැතිකම, ආයතනික ව්‍යුහයේ පවත්නා විෂමතාව, මිනිසා අතීතයෙන් දුරස්ථවීමට ගන්නා උත්සාහය, සම්ප්‍රදාය වි‍රෝධි බව, ආත්ම අනුකම්පාව, කාමුකත්වය, අවංකකම, නාස්තිකවාදී බව, මානසික වශයෙන් පරාජිත බව මේ නිර්මාණ තුළින් ගම්‍ය විය. එදිනෙදා ව්‍යවහාර කරන සරල භාෂාව නිර්මාණකරණය සඳහා භාවිතයට ගැනීම ඔවුනගේ නිර්මාණයන්ගෙන් විශද වන ප්‍රබල විශේෂතාවකි.

මේ සාහිත්‍යකරුවන් කණ්ඩායම Angry Young Men යන නමින් හැඳින්වීමට හේතු වූයේ 1951 දී ලෙස්ලි ඇලන් පෝල් නමැති ආගමික මතධාරි ලේඛකයා විසින් එනමින් ලියන ලද කෘතියෙහි නාමය විචාරක උද්ධෘතය සඳහා පාදක කර ගැනීම නිසාය. ඊට වසර පහකට පසුව තමාගේ යෙදුම එංගලන්තයේ බිහි වූ පශ්චාත් යුදකාලීන නවකතාකරුවන් කණ්ඩායමක් හැඳින්වීම පිණිස යොදාගනු ඇතැයි ඇලන් පෝල් නොසිතන්නට ඇත. කෙසේ හෝ 1956 වර්ෂයේ බිහි වූ ජෝන් ඔස්බර්න්ගේ Look Back In Anger නමැති නාට්‍ය කෘතිය හා කොලින් විල්සන් විසින් ලියන ලද The Outsider කෘතිය හැඳින්වීම පිණිස විචාරකයෝ එම යෙදුම මහත් උත්කර්ෂයෙන් යුතුව භාවිතයට ගත්හ. මුලින්ම ‍ෙජ්.බී. ප්‍රිස්ට්ලි එම නාටකය පිළිබඳ විචාරයට මේ යෙදුම භාවිත කළේය. පසුව තවත් විචාරකයන් “an angry play by an angry young author” ලුක් බැක් ඉන් ඇන්ගර් යන උප ශිර්ෂයෙන් යුතුව නාට්‍ය විචාරයට ලක් කළේ එසේය.

1956 එංගලන්තයේ රාජකීය රඟහලේදී වේදිකාගත වූ ආන්දෝලනාත්මක නාටකයක් වූ ‘ලුක් බැක් ඉන් ඇන්ගර්’ නාටකයට වස්තු විෂය වන්නේ කම්කරු පන්තියේ තරුණයකු වූ ජිමී පෝටර් හා ඔහු විවාහ වී සිටි එලිසන් නමැති ඉහළ පන්තියේ තරුණියක පිළිබඳ ආඛ්‍ය­ානයයි. මේ කතා පුවත නාට්‍ය රචකයා වන ඔස්බර්න් තම නිළි බිරිය සමඟ ඩර්බියෙහි ගත කළ අවාසනාවන්ත විවාහ ජීවිතය හා සාම්‍ය වන්නේ. මෙය සැබැවින්ම කෝපාවිෂ්ට නාටකයක් නොවන බවත් එය එම නමින් හැඳින්වීම උචිත නොවන බවත් විචාරක‍යෝ පෙන්වා දෙති.

සොමර්සෙට් ‍මෝම් නමැති ඉංග්‍රිසි ලේඛකයා මේ නාටකය සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ මෙසේය.

“මේ තරුණ පිරිසට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ රටෙහි සංස්කෘතිය ගැන හැදෑරීමේ අවස්ථාවක් ලැබී තිබුණෙ නැත. රැකියාවක් ලැබුණ වහාම ඔවුහු එහි එල්ලී හිඳිමින් දූෂිත දෙය කෙරෙහි යොමුවූහ. අවාසනාවන්ත ලෙසින් ඔවුන් තුළ ආචාර ධර්ම හෝ හික්මීමක් දකින්නට තිබු‍ණේ නැත. ඊට හේතුව වන්නේ එම තරුණ පරපුර සමාජ සම්බන්ධතාවන්ගෙන් දුරස්ථව සිටීමය. ඔවුන‍්ගේ එකම අරමුණ වන්නේ පොදු අවන්හලකට ගොස් බියර් වීදුරු හයක් පානය කර හොඳ හැටි විනෝද වීමය. ඔවුන් තුළ නිරන්තරයෙන් ඊර්ෂියාව හා කුරිරුකම රැඳී පවතියි. ඔවුහු සමහර උපාධි අපේක්ෂකයන් හෑල්ලුවට ලක්කරමින් නිර්නාමික ලිපි යවති. දුරකථන පණිවිඩවලට සවන් දෙති. පවිත්‍රත්වය, කරුණාව හා සුහද ගුණාංග වෙනුවට ඔවුන් තුළ රෝපණය වී ඇත්තේ සමාජ පරිහාසයයි.”

විචාරකයන් දක්වන අන්දමට තරුණ පරම්පරාව තුළ පවත්නා මේ කෝපය හා විරෝධය ඇතිවීමට හේතු පාදක කරුණු කෙරෙහි අප සැලකිලිමත් විය යුතුය. 1944 අධ්‍යාපන පනත යටතේ එංගලන්තයේ සාමාන්‍ය පවුල්වල ජනයාටද උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රාදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමේ පහසුකම් දක්නට ලැබිණ. ඒ අනුව ඔවුන්ට රැකියා අවස්ථාවක් බිහිවුවද ඔවුහු පහළ පන්තියට හා ඉහළ පන්තියට මැදිව ලෝක දෙකක ජීවත් වන්නට වූහ. මේ සමාජ පන්ති දෙකක ජීවත්වීමේ අරබුදය කිංග්ස්ලි ආමිස්ගේ Luck Jim නවකතාවේ එන ප්‍රධාන ජිම් ඩික්සන්ගේ චරිතය ඇසුරෙන්ද, ජෝන් වේන්ගේ Hurry on Down නවකථාවේ එන චාල්ස් ලම්ලි චරිතය ඇසුරින්ද, ඔස්බර්න්ගේ Look Back in Anger නාටකයේ එන ජිමී පෝටර්ගේ චරිතය ඇසුරින් දැකගත හැකිය. අධ්‍යාපනය අවසන් වුවද ඔවුන් සමාජයේ හුදෙකලාවම, සමාජ හරයන් හා බද්ධ වීමට නොහැකිවීම, හීනමානය, අාධ්‍යාත්මික අරගලය ප්‍රකාශ කර ගත නොහැකිවීම, සම්ප්‍රදායික සමාජ මුල් සිඳී යාමෙන් ඇතිවන පීඩනය වැනි කාරණා ඔවුන්ගේ කෝපයට හේතු පාදකව ඇති බව විචාරක‍යෝ පෙන්වා දෙති.

Look Back in Anger නාටකය මෙරට සිංහල ස්වාභාවික වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය කෙරෙහිද මුල් යුගයේ කිසියම් බලපෑමක් කර ඇති බව මෙරට සිටි ජන නාටක කලාව හඳුන්වා දීමේ පුරෝගාමියකු මෙන්ම ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වූ දයානන්ද ගුණවර්ධන මහතා සමඟ කළ කතාබහකින් මට කලකට ඉහත දැනගන්ට ලැබුණ බව මතකය. ඔස්බර්ගේ නාටකය ශෛලිගත නාටකය ප්‍රකට වූ අවධියේම මෙරට සිංහල නාටකයක් ලෙසින් වේදිකාවට පැමිණ ඇති හෙයින් ඒ නාටකයේ නම කුමක්වීද යන්න දැන ගැනීමට මා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව ප්‍රවීණ නාට්‍ය රචකයකු වූ නාමෙල් වීරමුනි මහතාට මම පසුගිය දිනක දුරකථනයෙන් කතා කළෙමි. ඔහුට අනුව ‘ලුක් බැක් ඉන් ඇංගර්’ නාටකය 1957 වසරේදි පමණ ‘ගර්ජනා’ නමින් සිංහලෙන් වේදිකාවට පැමිණ ඇත.

දකුණු ලන්ඩනයේ උපන් කිංග්ස්ලි අමිස් (1922) ලන්ඩන් කොලීජියෙන් හා ඔක්ස්ෆර්ඩ් කොලීජියෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රකට කවියෙකි. නවකතාකරුවෙකි. ඔහුගේ ප්‍රථම නවකතාව වූ Lucky Jim 1954 පළවූ අතර ඉමහත් ප්‍රසාදයට පත්වූ ‘කෝපාවිෂ්ට තරුණ මිනිසුන්’ සාහිත්‍ය ව්‍යාපාරයේ කෘතියක් බවට පත් විය. එහි එන ප්‍රති වීරචරිතය වන ජිම් ඩික්සන් විශ්වාස කරන්නේ සමාජය යනු සංවිධානාත්මක රැවටිල්ලක් වන බවය. විශ්වවිද්‍යාල ගුරුවරයකු වන ඔහු ඉතා සුළු වැටුපකින් ජීවිතය ගැටගසා ගන්නෙකි. ඉහළ පන්තියේ සමාජ වටිනාකම් පිළිකුල් කරන ඔහු තමා ඇසුරු කරන මහාචාර්යවරයාගේ හා පුතුගේ ක්‍රියා කලාපයන්ට එරෙහි වෙයි. බ්‍රිතාන්‍ය සමාජ වටිනාකම්වල පවත්නා ව්‍යාජය දකියි. එහෙත් ඔහුට එම සමාජ වටිනාකම් වලින් මිදිය නොහැකි වෙයි. ඔහුගේ හඬට කන් දෙන්නට කිසිවෙකු නැත යන මතයෙහි හිඳිමින් තමා ලත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පින් සිදුවන්නට තමාට හුරු ලෝකයටත් නුහුරු නව ලෝකයටත් මැදිව අසීරු දිවියක් ගෙවයි. නවකතාව පුරා දැක්වෙන්නේ ඔහු පත්ව ඇති දෙබිඩි ජීවිතයේ විකට තත්ත්වයයි. අවසානයේ අනෙකුත් ප්‍රතිවීරයන් මෙන් වරප්‍රසාද සහිත සමාජයට බද්ධ වෙමින් එම පන්තියේ තරුණියක විවාහ කර ගනිමින් ලන්ඩන්හි ඉහළ රැකියාවක් ලබා ගැනීමට ජිම් ගිජු වෙයි. මේ ජිම් ඩික්සන් චරිතය‍ කෝපාවිෂ්ට තරුණ ලේඛක ව්‍යාපාරයේ සැලකිය යුතු අන්දමේ විරෝධාත්මක චරිතයක් ලෙසින් විචාරක‍යෝ හුවා දක්වති.

මෙම කණ්ඩායමට අයත් තවත් ප්‍රමුඛයකු වන ජොන් බ්‍රේන් ලියූ Room at the Top නවකතාවෙහි එන ප්‍රති වීර චරිතය වන ජෝයි ලැම්ප්ටන්ද ඉහතින් සඳහන් කළ ජිම් ඩික්සන් වැනි දෙලොවට නැති චරිතයක් ලෙසින් විස්තාරණය වෙයි. ඔහුද ජිම් මෙන්ම තම රැකියා ප්‍රධානියා පරිහාසයට ලක්කරයි.

කතුවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ යුදයෙන් පසුව බිහිවුණ තරුණ පරපුරේ හා සමකාලීන සමාජයේ ආත්මය විදාරණය තම නවකතාවේ අරමුණ බවත් එමඟින් නූතන සමාජය දැඩි ලෙස විමර්ශනයට භාජනය කිරීම තම වගකීම වන බවත්ය. මෙහි එන්නේ අමුතුම අන්දමේ තරුණයකුගේ චරිතයකි. එහිදී ඔහු මුහුණ දෙන සදාචාරාත්මක ආවේගයන් විග්‍රහ කිරීමට මෙන්ම පවත්නා සුබ සාධක සමාජයෙන් ඔහුට සිදුවන බලපෑම විග්‍රහ කරමින් චරිතය මතුකිරීම තම අරමුණ බව ජොන් බ්‍රේන් සඳහන් කරයි.

මීළඟට අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ තරුණ වැඩකරන කම්කරුවෙකුගේ ජීවිත ඛේදාන්තය අවලෝකනය කරගත් ඇලන් සිලිටෝගේ Saturday Night and Sunday Morning නමැති ප්‍රකට නවකතාව වෙතය. මෙහි ප්‍රධාන චරිතය ආතර් සීටන් නමැති වැඩකරන කම්කරුවකු වටා නිර්මිතය. ආතර් බයිසිකල් කර්මාන්ත ශාලාවක වැඩ කරන්නෙකි. ඔහු මෙන්ම ඔහුගේ පියා සහ සහෝදරයා ද රැකියාවක් කරන්නේ එහිය. සෙනසුරාදා පඩි දිනයට ඔහු විනෝදවීම පිණිස පොදු සමාජ ශාලාව වෙත යයි. හොඳහැටි වෙරිවෙන්නට සුරා පානය කරයි. ස්ත්‍රීන් සමඟ විනෝද වෙයි. මේ අපූරු ජීවිතය ඔබ දුර්වල නොකරයි යන්න ඔහුගේ ආදර්ශ පාඨය වෙයි. සුරාපානය කොට යාගත නොහැකිව ඔහු බිම වැටී සිටින බව දකින ඔහුගේ මිතුරාගේ බිරිය ඔහු තම නිවෙස වෙත රැගෙන යයි. මිතුරා රැකියාව සඳහා බයිසිකල් කර්මාන්ත ශාලාව වෙත ගොසිනි. ඔහු මිතුරාගේ බිරිඳ සමඟ යහන්ගත වෙයි. ඇගේ දරුවෝ ඔහුට මාමා යනුවෙන් ආමන්ත්‍රණය කරති. පසුදින ඔහුගේ මිතුරා ගෙදරට එන විට ඔහු එම නි‍ෙවසින් පිටවෙයි.

ඉන්පසුව ඇයගේ නැඟණිය සමඟද සම්බන්ධතා පැවැත්වීමට ඔහු පෙලඹෙයි. මේ අතර මිතුරාගේ බිරිය වන බ්‍රෙන්ඩා ඔහු නිසා ගැබ්ගනියි. ඔහු එය එතරම් අරුමයක් ලෙස නොදකියි. සමාජ ක්‍රමයේ ඇති වරද නිසා තමන් ඇතුළු පීඩිත ජනතාව ධනපතියන්ගේ සූරාකෑමට ලක්වන බවත් තමා කොමියුනිස්ට්වාදියකු නොවන බවත් තම රටේ පවත්නා දුප්පතුන් සූරාකන පාලනයට වඩා කොමියුනිස්ට් පාලනය යහපත් බවත් ඔහු වරෙක ප්‍රකාශ කරයි. කෙසේ වුවද බ්‍රෙන්ඩාගේ දරුවා ගබ්සාකරවීමට ඔහුට සිදුවෙයි. ඔහු‍ බ්‍රෙන්ඩාත් ඇගේ සොහොයුරියත්, එමෙන්ම තවත් තරුණියකුත් සමඟ ඇසුරුකම් පවත්වයි.

මේ සෑම නවකතාවකින්ම පාහේ ඒවායේ එන අසම්මත වීර චරිත ඔස්සේ අවලෝකනය කරන ලබනුයේ එම පීඩාවට පත්ව ඇති ජනයා තම පුද්ගල නිදහස හෝ සංස්කෘතික බන්ධනයන්ගෙන් මිදීමටත්, ඉහළ සමාජ වටිනාකම්වලට ගරහමින් සමහර විට එම සමාජ වටිනාකම්වල එල්ලීමට හා එමඟින් ආර්ථික අමාරුකම් පිටුදැකීමට ගනු ලබන අනවරත ප්‍රයත්නයයි. බලාපොරොත්තු රහිත භාවය ඔස්සේ බලාපොරොත්තු ගොඩ නඟා ගැනීමට ගන්නා මහත් උත්සාහයයි. සමාජ විෂමතාව හුවා දක්වනු වෙනුවට ‘සැටඩේ නයිට් ඇන්ඩ් සන්ඩේ මෝනිං’ නවකථාව වෙතින් බරපතළ ලෙස කාමුකත්වය ඔප්නංවන බව බොහෝ විචාරක‍යෝ පෙන්වා දෙති.

ඇත්ත වශයෙන්ම ‘සැටඩේ’ නවකථාවේ අපට හමුවන වීරයා මාක්ස්වාදය ගැන දක්වන අදහස් උදහස් බොහෝවිට අපට නුහුරු යුරෝපීය මාක්ස්වාදී සිතුම් පැතුම් බව ආසියානු දැක්මට අනුව අපට සිතෙයි. මන්ද යත් ආසියාව තුළ බිහිවුන වාමාංසික චින්තනයක් සහිත නවකථාවල වස්තු විෂයයන් හා වීරවරයන් මේ යුරෝපීය නවකතා රැල්ලේ දක්නා ලද චරිතවලට වඩා අත්‍යන්තයෙන්ම වෙනස් බව පෙනෙන හෙයිනි. උදාහරණයක් වශයෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමයට පෙර ලියවුණු රුසියානු නවකතා මෙන්ම ඊට පසුව ලියැවුණ සමාජවාදී යථාර්ථවාදය ගුරුකොටගත් නවකතා ආදියේත් පර්යාලෝකය අප ඉහතින් දැක්වූ ඉංග්‍රීසි නවකතා රැල්ලේ කෘතිවලින් විදාරණය වන පර්යාලෝකයට වඩා හාත්පසින්ම වෙනස් බව මෙහිදී තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැත. මූලික වශයෙන් එම නවකථාවන් ඔස්සේ මිනිසා වෙත සංකේන්ද්‍රීය වන්නේ ආත්ම විශ්වාසය සදාචාරසම්පන්න බව වැනි සාරධර්මයන්ය. ඒ ඔස්සේ අප්‍රහිත ධෛර්යයෙන් යුතුව ගොඩ නැගෙන මිනිස් ආත්මභාවයන්ට පෙම් බඳින චරිතය. වල්මත්වී හසරක් නොදකින චරිත දකින්නට ලැබෙන නිසාදෝ එංගලන්තයේ බිහිවූ ‘ඇන්ග්‍රී යන්ග් මෙන්’ නම් වූ විරෝධාකල්ප සහිත මේ නවකතා නව ප්‍රවණතාව මෙරට බොහෝ ලේඛකයන් කෙරෙහි එතරම් බලපෑමක් එල්ල කොට නැති බවක් මට සිතෙයි.

එහෙත් ඇමෙරිකානු ලේඛක ජී.බී. සැලින්ජර්ගේ The Cather in the Rye නවකතාවේ එන ප්‍රකට චරිතය වූ කෝල්ෆිඩ්ගේ චරිතය අධ්‍යයනය කරන විට ඇමෙරිකානු සාහිත්‍යය කෙරෙහි ඍජුවම පනහේ දසකයේ මේ සාහිත්‍ය රැල්ලේ ආභාසය මනාව විද්‍යාමන වේ.

එසේම නූතන ජපන් සාහිත්‍ය ධාරාවේ බොහෝ ලේඛකයන් කෙරෙහිද මෙම නව රැල්ලට අයත් ලේඛකයන්ගේ බලපෑම මොනවට පැහැදිලි ‍වෙයි. යසුනරි කවබතා, ඔසමු දශයි, යුකිඕ මිෂ්මා, ජුනිචිරෝ තනිසාකි වැන්නවුන්ගේ නවකථාවලින් ඒ බව මනාව ස්ඵුට වෙයි. ඔවුන් කෙරහි යොමුව ඇති ඇමෙරිකානු සාහිත්‍යයේ සෙවණැල්ල මෙහිදී අපට අමතක කළ නොහැකිය.

එදිරිවීර සරත්චන්ද්‍රයන් තුළ පැවති ජපන් සමාජයට අසාක්ත බව කරණ‍කොට ගෙන ඔහුගේ නවකතාවල වික්‍රමසිංහයන් පෙන්වා දෙන පරිදි ‘ජපන් කාමකථා සෙවණැල්ල’ දක්නා ලැබුණද, එම ගුරුකුලය ඔස්සේ බිහිවුණ නවකතා වූ හෙවණැල්ල, කරුමක්කාරයෝ, කසාවත, පරාජිතයෝ, හෙවණැලි ඇද මිනිස්සු වැනි නවකථාවල දෘශ්‍යමාන වන්නේ මා ඉහත දැක්වූ 50 දශකයේ ඉංග්‍රීසි නවකථා නවරැල්ලේ සාවධ්‍ය බලපෑම බව දක්වනු කැමැත්තෙමි. එසේම ඉහතින් දැක්වූ කෘති කෙරෙහි බහුල වශයෙන් ඇමෙරිකානු ලේඛකයන් වන සැලින්ජර්, ෆෝන්කර් මෙන්ම බටහිර සමහර විචාරකයන් විසින් ම‍නෝවිද්‍යාත්මක ලිංගික ගවේෂණ ලෙසින් උත්කර්ෂයට පත් කරන ලද හෙන්රි මිලර් වැන්නන්ගේ කෘතිවල සෙවණැල්ල හා උත්ප්‍රේරණය නිරන්තරයෙන් දැකගත හැකි බව සිතමි.

Comments