ජනතාව ඉන්නේ රැවටෙන යුගයක ‍ෙනවෙයි | සිළුමිණ

ජනතාව ඉන්නේ රැවටෙන යුගයක ‍ෙනවෙයි

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ යන ගමන පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

ආණ්ඩුවේ අඩුපාඩුකම් නැහැ කියලා මම කියන්නේ නැහැ. මං විශ්වාස කරන්නෙ මේ පක්ෂ දෙක එකට එකතු වෙලා මේ යන ගමන නොනවත්වා ඉදිරියට යා යුතු බවයි . එහෙම වුණොත් විතරයි රටේ අනාගතයට යමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒවගේම අනාගතය ගැන අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තකට බෙදිලා හොඳ දේත් නරක විදියට දැකලා විවේචනය කරන දේශපාලන අවභාවිතය නවත්වන්න ඕනෑ. ජනතාව මෙච්චර කල් දැක්කේ රාජ්‍ය තාන්ත්‍රික වගකීම් සහගත දේශපාලනඥයෙක් නොවෙයි. මේ තත්ත්වය ඉදිරියේදි වෙනස් වෙන්න ඕන. අවුරුදු 70කට පස්සේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවෙලා කටයුතු කරනවා. මේ තත්ත්වය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් ප්‍රතිපත්ති තීන්දු තීරණ රාශියක් සම්මත කරගන්න ලැබුණා.

ඔබ ප්‍රකාශ කළ පනත් අතරින් ඉතාම වැදගත් පනතක් තොරතුරු දැනගැනීමේ පනත. මේ නිසා මීට පෙර වසන් වූ කරුණු රාශියක් අනාවරණය වුණා?

ඔව්, අද ඉස්සර වගේ තොරතුරු හැංඟිලා නැහැ. රජය වැරදි කළත් ඒ තොරතුරු ක්ෂණිකව ජනතාව අතට පත්වෙනවා. මාධ්‍ය සීමාවක් නැතිව ආණ්ඩුව විවේචනය කරනවා. මේ අපි ලංකා ඉතිහාසයේ මිට පෙර අත්දැකපු තත්ත්වයක් නෙමෙයි. ඒක ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස සමහරු පෙන්නන්න හදනවා. ඇත්තටම එය මේ රජය යහපාලනය ස්ථාපිත කිරීමට ගත් වැදගත් තීරණයක්. දැන් ජනතාවට නිදහස ලැබිල තියෙනවා. කිසිදු බලපෑමකින් තොරව කැමති ආකාරයට තොරතුරු ලබා ගන්න. අද සමහරු හදනවා මේ පක්ෂ දෙක වෙන් කරලා මේ ගමන නවත්වන්න. ඒනිසා මේ තත්ත්වය නිවැරදිව වටහා ගෙන මේ ගමන ඉදිරියට යෑම වැදගත්. නැත්තම් නැවත වතාවක් ජනතාවගේ කට වහ අයිතීන් ඉල්ලන්න ගියාම රතුපස්වල වගේ ඝාතනය කරණ සංස්කෘතියක් නිර්මාණය වේවි.

මැතිවරණයේදි හැමෝම විවිධ ක්‍රමවලින් ලබාගත් මුදල්වලින් ඡන්ද ව්‍යාපාරය කරලා එක පිරිසකට පමණක් මුදල් ලබාගැනීම ගැන චෝදනා කිරීම සාධාරණද?

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ව්‍යාපාරය කිරීම හරිම අපහසු කාර්යයක්. මෙහිදී ව්‍යාපාරිකයන් විවිධ අරමුණු හිතේ තියාගෙන උදව් කරනවා. සාමාන්‍යයෙන් ඉස්සරහට එයි කියල හිතෙන අනාගතයක් තියෙන දේශපාලනඥයින්ට වැඩියෙන් උදව් කරනවා. ඒක සාමාන්‍යයෙන් හැම තැනම වෙන දෙයක්. මේ විදියට එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කරගෙන සිදු කරන චෝදනා සාධාරණ නැහැ. එහෙම නම් හැම දේශපාලන නියෝජිතයම තමන් ඡන්දයට වැය කළ මුදලයි, ඒවා තමන්ට ලැබුණු ආකාරයයි රටට ඉදිරිපත් කරන්න ඕන.

අද විවිධ දේශපාලන වුවමනාවන් නියෝජනය කරන විද්යුත් මාධ්‍ය සංස්කෘතියක් බිහි වී තිබෙනවා. මේ අය බලපෑම් කරන්නේ ජනතාවගේ හිතන අවකාශයට. ඒ නිසා කිසියම් මාධ්‍ය සදාචාරයක් පවත්වාගැනීම අනිවාර්යයක්. ?

ඔව්, මේ මාධ්‍ය තුළ කිසිම සදාචාරයක් නැහැ. ඒවා එහි හිමිකරුවන්ගේ දේශපාලන පක්ෂපාතීභාවය රැකීමටයි කටයුතු කරන්නේ. අපි මාධ්‍ය ක්‍රියා කාරීන්ගෙන් ඉල්ලා සිටිනවා හැකිතාක් අපක්ෂපාතීව ක්‍රියා කරන්න කියලා. නැති නම් ස්වාධීනව කටයුතු කරන මාධ්‍යවේදියකුට පවා තමන්ගේ කටයුතු කරගත නොහැකි තත්ත්වයක් නැවත නිර්මාණය වේවි. ඇතැම් විට මේ අයථා මාධ්‍ය ක්‍රියා කාරිත්වයේ අවශ්‍යතාවත් එයම විය හැකියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රජයක් විදියට අපිට මැදිහත් වෙන්න බැහැ. මාධ්‍ය නියාමනයක් වෙනවා නම් එය මාධ්‍යවේදීන්ගෙ එකඟත්වයකින් ඇති වන සම්මුතියකින් වෙන්න ඕන. ඒ සඳහා සංවාදයක් කථිකාවක් රට තුළ ඇති වෙනව නම් හොඳයි.

අපේ රටේ දේශපාලන සංවාද මෙහෙයවන්නේ දේශපාලන දර්ශනය ගැන දන්න හෝ ඒ පිළිබඳව ස්වයං හැදෑරීමක් හෝ තියෙන අය නෙවෙයි. මේ නිසා දේශපාලකයා අපහසුතාවට පත්වෙනවා වගේම ජනතාවට ඉන් ලැබිය හැකි විධිමත් සංවාදය අහිමි වී යනවා.

මොනවා හරි දේශපාලන ඕප දූප ටිකක් ගැන තමයි අහන්නේ. ඉතිං සමහර වැඩ සටහන්වලින් අපිට වැඩකුත් නැහැ. ජනතාවට වැඩකුත් නැහැ. මේවයේ සැබෑ අරමුණ ආතන ප්‍රධානියා පිනවීම පමණයි.

ඔබ මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයෙක්, මේ ව්‍යාපාරයේ අරමුණ මොකක්ද?

මාර්තු 12 ව්‍යාපාරයේ මූලික අරමුණ වෙන්නේ මහජන නියෝජිතයන්ගේ ගෞරවයත්, ජනතාවගේ සැබෑ නියෝජනයත් රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීමයි. ඒ සඳහා මූලික වශයෙන් රටේ ජනතාවගේ උත්තරීතරම ආයතනය වන ව්‍යවස්ථාදාකයකය තුළ සත්‍ය ලෙස ජනාතා අභිලාශය ඉටු කිරීමට කැප වුණ මහජන නියෝජිතයන් පිරිස වර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි.

අපි ඉන්නේ විශාල ණය බරක් එක්ක. එහෙම තියෙද්දි සමහරු කියනවා තමන් දේශපාලන බලය ගත්තාම මේ බදු ආදායම 20%කින් පහළ දමනවා කියලා. හැබැයි කොහොමද ඒක කරන්නේ කියල ඒ අය කියන්නෙ නැහැ.

ඒ ගැන ඔවුන්ගෙන් මාධ්‍යවේදීන්වත් ප්‍රශ්න කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් ඒ උදවිය ළඟට ගියාම පිට්ටු හිරවෙලා වගේ තැති ගන්නවා . පසුගියදා අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳව හොඳ යෝජනාවක් කළා. කවුරු හරි කෙනෙක් එහෙම කියනවා නම් ඒ වැඩපිළිවෙළ රටට හෙළි කරන්න ඕන කියලා එතුමා කිව්වා. ඒත් තාම ඔය කියන අයගෙන් එක්කෙනෙක් අගමැතිතුමාගේ අභියෝගය බාර අරන් නැහැ. හැමදාම මේ විදියට ජනතාව රවට්ටන්න බැහැ. දැන් ඒ අය ඉන්නේ රැවටෙන යුගයක නෙමෙයි.මේවා බොරු ආකර්ෂණීය සටන් පාඨ විතරයි කියලා ජනතාව දැන් දන්නවා.

මීළඟ ජනාධිපතිවරණය සඳහා විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරියට ගෙනත් තිබෙනවා. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අතහැරල මිලිටරිවාදය පිළිගනීවිද?

පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය එපා කියල ජනතාව තීන්දු කරනවා නම්, එහි ප්‍රතිවිපාක ඒ අයට ම ඉදිරියේදී විඳින්න වේවි. මොකද අපි කවුරුත් දන්නවා පැවති පාලනය මොන වගේ එකක්ද කියලා. මේ තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ජනතාව අතේ. තමන් පාලනය කරන්න ඕන මොන විදියෙ නායකයකුද කියල ඒ අය තීරණය කළ යුතුයි.

මේ රජයේ ඉදිරි සැලසුම් මොනවාද?

ගම්පෙරළිය වැඩ සටහන යටතේ ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවෙනුවෙන් සැලසුම් සකස් කරන්න මේ වන විටත් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. මේ වැඩසටහන පළමුවෙන්ම පටන්ගන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. මොනරාගල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම ඒ ගැන සතුටු වෙනවා. මේ රටේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැඟුවේ ඔය කෑගහන අය නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයයි. සෙවණගල සීනි කර්මාන්තශාලව ස්ථාපිත කළේ එ.ජා.පක්ෂ රජයක් යටතේ. ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ ඉදිරියේදී ඉතාම සාර්ථකව ගම්දනවු පුරා ව්‍යාප්ත වේවි.

සාකච්ඡා කළේ : රසික කොටුදුරගේ

Comments