හෝමාගමවාදය හා අද්‍යතන භික්ෂුව | සිළුමිණ

හෝමාගමවාදය හා අද්‍යතන භික්ෂුව

ඒ වෙසක් දා උදෑසන මා අවදි වූයේ ගස් බැඳ තිබුණු ශබ්දවිකාශ යන්ත්‍රයෙන් මහත් හඬින් ගම්මුන්ට බැණවදින ශබ්දයෙනි. සීලසමාධියට පන්සලට ආ ගම්මු නිහඬව ශබ්දවිකාශ යන්ත්‍රයෙන් නැඟුණු භික්ෂුවගේ ආක්‍රොශපරිභවය අසා සිටියහ.

භික්ෂුව කෝප වී තිබුණේ තම පන්සල මඟහැර ගම්මුන් සීලසමාධිය සඳහා වෙනත් පන්සල්වලට යෑම සම්බන්ධයෙනි. ඔහු මහ හඬින් බැණවදිමින් පැවසූයේ ගම්මුන් විශ්වවිද්‍යාල පන්සලටත්, ගැටඹේ පන්සලටත්, දළදා මාලිගාවටත් සීලසමාධිය සඳහා යන බවයි. ඒ භික්ෂුව වැඩිදුරටත් තර්ජනාත්මකව ශබ්ද විකාශ යන්ත්‍රයෙන් කීවේ සීලසමාධිය සඳහා එසේ වෙනත් පන්සල්වලට යන්නේ නම්, තම-තමන්ගේ මතකවස්ත්‍ර පූජාවටද ඒ පන්සල්වලින්ම භික්ෂූන් ගෙන්වා ගන්නා ලෙසය.

මේ කෑදර අදහස් නිර්ලජ්ජිතව මහත් හඬින් ගුගුරමින් කීයේ පේරාදෙණිය ගලහ මහාමාර්ගයේ පිහිටි ගමක පන්සලේ ප්‍රධාන භික්ෂුවය. දහම ගැන අධ්‍යයනයක් නැති මේ භික්ෂුව කොත්මලේ සිට මේ ගමට පැමිණ රජයේ ඉඩමක් බලෙන් අල්ලාගෙන පන්සලක් සාදවාගෙන දුශ්ශීලයෙන් ජීවත් වන්නෙකි. මේ භික්ෂුව අවට ගම්වාසීන් පන්සලට ඇද-බැඳ තබාගන්නේ තර්ජනයෙනි. මතක වස්ත්‍රපූජාවට නොඑන්නෙමියි කී කල අසරණ ගැමියෝ භික්ෂුවට අවශ්‍ය පරිදි හැසිරෙති.

මේ පන්සලේ නූතන භික්ෂුව එසේ හැසිරුණත් බෞද්ධ සමාජයේ භික්ෂුව ඉතිහාසයේ සුරුවමක් ලෙස ගෞරවයට බඳුන් වූයේ උන් වහන්සේ සමාජයට අපමණ සේවයක් කළ බැවිනි. නිදසුනක් ලෙස හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ එවැනි ගෞරවාර්හ භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ රත්නපුරයට වැඩම කර ගෙන් ගෙට යමින් කුලවාදයට එරෙහිව අභීතව සටන් කළ උන්නතිවාදි භික්ෂුවකි. පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට දැඩි ලෙස සම්බන්ධ වුවද උන් වහන්සේ රත්නපුරයේ සමාජ ආකල්ප හා සමාජ සම්මුතීන්ට එරෙහිව නොබියව සටන් කළ යතිවරයෙකි.

මෙලෙස අතීතයේ මෙරට සමාජයට ධනාත්මකව කැප වීම් කළ භික්ෂූන් වහන්සේ අතර මහාචාර්ය වල්පොල රාහුල, උඩකැන්දවල සිරි සරණංකර, පොල්වත්තේ බුද්ධදත්ත ආදි හිමිවරු රැසක් විවිධාකාරයෙන් මෙරට සමාජ උන්නතියට දායකත්වය සැපයූහ. උන් වහන්සේගේ මතවාද එකිනෙකට වෙනස් විය හැකි වුවද, බුදුරදුන්ගේ ඉගැන්වීම්වලට පරස්පර විරෝධිව කටයුතු නොකළහ; එසේම සමාජ වටිනාකම්වලට අබමල් රේණුවක හානියක් නොකළහ.

අදද එවන් ශ්‍රේෂ්ඨ යතිවරු නොසිටිනවා නොවේ.

එහෙත් ඇතැම් අයට අනුව වත්මන් සංඝ පරපුරේ සුරුවම බවට පත්ව ඇත්තේ ‍යථෝක්ත පන්සලේ වසන භික්ෂුව වැනි චරිතයි. මොවුහු යහමින් ගිහි ජීවිත ගත කරති; යහමින් ගිහි ජීවිත අවුල් කරති. එසේම රටේ රටේ සාමග්‍රියද අවුල් කරති. මේ දිනවල යළි කතාබහට ලක්ව ඇති ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව කරන්නේ ද එයයි. මේ භික්ෂුව ජාතීන් අතර සහජීවනය බිඳුවමින් වාර්ගික හැඟීම් කුළුගන්වන දේශපාලන භාවිතාවක යෙදී සිටී. එසේම බෞද්ධ ඉගැන්වීම්වලට මුළුමනින්ම පරස්පර හැසිරීමක කටයුතු කරයි. ඒ නිසා ඔහු එරෙහිව උසාවි වරෙන්තු කිහිපයක්ම පවතින අතර, සිවිල් නීතිය කඩ කිරීම මත චෝදනා කිහිපයක්මද එල්ලව තිබේ.

මේ භික්ෂුවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් උරණව සිටින සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව වරක් මහත් බැරෑරුම් බවකින් යුතු ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව ඥාණසාර භික්ෂුවගේ හැසිරීම අනුමත නොකළත් මතවාදය අනුදැන සිටීමට ඒ කාරක සංඝ සභාව ඉදිරිපත්ව සිටිති. එසේම භික්ෂුවකගේ විනයගරුත්වයට අනුව හැසිරීම නොකළ නිසාදෝ ගිහි සමාජයේ පුද්ගලයන් ‘ඥාණසාර’ ලෙස ‘නමින්’ ඇමතීම සම්බන්ධයෙන් උරණව සිටින මේ කාරක සංඝ සභාව එය නොකළ යුත්තක් ලෙස ගිහි සමාජයට අනතුරු හඟවති. එහෙත් ඥාණසාර භික්ෂුව වරක් වටරැක විජිත භික්ෂුවගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට බලෙන් කඩා-වැද, ඒ භික්ෂුවට ‘උඹ’, ‘තා’, ‘තෝ’, ‘පරයා’ ආදි වශයෙන් ආමන්ත්‍රණය කිරීම ගැන මොවුහු කිසිත් නොකියති. එමඟින් මේ කාරක සංඝ සභාව වක්‍රව පවසන්නේ ඥාණසාර භික්ෂුව‍ට නමින් කතා නොකර ‘උඹ’, ‘තා’, ‘තෝ’, ‘පරයා’ ආදි වශයෙන් ආමන්ත්‍රණය කිරීම යෝග්‍යයැයිද යන්න ගම්‍ය වේ!

ඥාණසාර භික්ෂුව සම්බන්ධයෙන් සමාජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් යම් නොකැමැත්තක් ඇත්තේ නම් ඊට විරෝධය දැක්විය යුත්තේ ඒ භික්ෂුව අයත් කෝට්ටේ ශ්‍රී සාමග්‍රී මහා සංඝ සභාවයි. එහෙත් මේ වන තුරුත් ඒ සම්බන්ධව මේ සංඝ සභාව කිසි ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ තත්ත්වය තුළ පසුගිය බ්‍රහස්පතින්දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව අතිවිශිෂ්ටය. අධිකරණය තුළ නොමනා ලෙස හැසුරුණු ඥාණසාර භික්ෂුව ඊට වරදකරු කර තිබූ අතර, බ්‍රහස්පතින්දා ඒ වරදට දඬුවම් පමුණුවන ලදි. ඒ අනුව බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවක් ලබා දී එය මාස හයකින් ගෙවී යන පරිදි කටයුතු කරන්නට නියෝග කරන ලදි. රුපියල් 1,500ක දඩයක්ද රුපියල් 50,000ක වන්දියක්ද ගෙවන්නට භික්ෂුවට නියම විය.

බෞද්ධ භික්ෂු විනය තබා, ගිහි විනයවත් නැති ඥාණසාර භික්ෂුවට පමුණුවන ලද මේ දඬුවම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය සතුටු විය යුතුය. එමඟින් දෙන ලද පූර්වාදර්ශය වන්නේ සමාජයේ සිවිල් බලය ඇති භික්ෂුවකට වුව නීතිය කඩ කළ නොහැකි බවයි. එහෙත් හුදු දඬුවමක් දී මේ සමාජ සංස්කෘතිය වෙනස් කළ නොහැකිය. එනම්: මේ සඳහා ගැඹුරු සංවාදයක් සමාජය තුළ ඇති විය යුතුය. ඥාණසාර භික්ෂුවට දුන් දඬුවමත් සමඟ සංඝ සමාජයේ භාවිතාව සම්බන්ධයෙන් මහජන කතිකාවක් ඇති විය යුතුය.

අබරන්
[email protected]

අදහස්