ක්‍රීඩා මරණවලට තිත තියමු | සිළුමිණ

ක්‍රීඩා මරණවලට තිත තියමු

යුද්ධයකදී මරණයට ඇති සමීපතාවත්, ක්‍රීඩාවකදී මරණයට ඇති දුරස්ථභාවයත් පිළිබඳ අටුවාටීකා ඇවැසි යැයි නොසිතමු. මෙකී භූමිභාගය තුළ ක්‍රිකට් ක්‍රීඩාව හැර අනෙක් සියලුම ක්‍රීඩාව චූල ක්‍රීඩා බව රහසක් නොවේ. එවන් චූල ක්‍රීඩාවක් වන පාපැදි ක්‍රීඩාව තුළ මරණය පිළිබඳ අප්‍රසන්න පුවතක් අසන්නට ලැබුණේ රම්බල් ඉන් ද ජන්ගල් නමින් ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර පාපැදි තරගාවලිය අතරතුර එහි තරග කළ විදේශීය පාපැදි තරගකරුවකු දියේ ගිලී මිය යාමෙනි. ඒ මහියංගනය රන්ටැඹේ ජලාශය පහළින් මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟ හරහා ඇති සපත්තු පාලම මතින් තරග කරමින් සිටි අවස්ථාවේ සිදුවූ අනතුරකින්ය.

ඊට පෙර නෙල්නා පාපැදි තරගයේදී ගුවන් හමුදා නිශාන්ත ජයසිංහ මිරිස්වත්ත හංදියේදී තරගය අතරතුර සිදුවූ අනතුරකින් දින ගණනාවක් සිහිසුන්ව හිඳ අවසන් හුස්ම හෙළීය. හිස් ආවරණයක් පැළැඳ නිශාන්ත තරග කළද, සිදුවූ අනතුරින් එකී හිස් ආවරණය ගැලවීගොස් තිබෙන අතර ශරීරයේ වෙනත් කිසිම තුවාලයක් ද නොවූ බවද වාර්තා විය. හිසට සිදුවූ අනතුරින් මොළයට ලේ ගලනයවීමෙන් මරණය සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙන කරුණුය.

නිශාන්තට මෙසේ අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට සිදුවී තිබෙන්නේ තරග නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා බවටද චෝදනා එල්ල වේ. නීතිරිති ක්‍රියාත්මක කළ යුත්තේ බලධාරීන් සහ නිලධාරින් විසින්ය. ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු නොවීම පිළිබඳ එල්ලවන චෝදනාද බැහැර කළ නොහැකිය.

මේ මෑත ලාංකේය ඉතිහාසයේ ක්‍රීඩා නිසා මෙරටට අහිමි වූ සමාජ කතාබහක් ඇති වූ මරණ කිහිපයකි. අවසන් මරණය හැර අන් කිසිවක් මෙරට ජාතික හෝ ජාත්‍යන්තර තරගයකදී සිදු නොවීමද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු සාධකයකි. ආනන්ද වෙඩිසිංහගේ මරණය ද එවැන්නකි.

නිශාන්ත ජයසිංහගේ මරණයට පෙර අන්තර් පාසල් බොක්සිං තරගයකදී රත්නපුර සීවලී මහා විද්‍යාලයේ දහහත් වියැති හර්ෂණී සෙව්වන්දි දෙල්ගහවත්ත අවාසනාවන්ත ලෙස ජීවිතය අතහැර ගියේ ප්‍රතිවාදි ක්‍රීඩිකාවගෙන් හිසට එල්ල වු පහරකින් අසාධ්‍ය තත්ත්වයට පත්ව දින 11 ක් පුරා මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

හලාවත ආනන්ද ජාතික පාසලේ නිවාසාන්තර තරගාවලියේ ගම හරහා දිවීමේ තරගයට ඉදිරිපත් වු සිසුවියක් තරගය අතරතුර රෝගාතුරව විසි වී ගොස් කානුවකට ඇද වැටී මිය ගියාය.

සිදුවීම් සිද්ධ වන්නේ පූර්ව දැනුම්දීමකින් නොවේ. තරගයක් අතරතුර ක්‍රීඩකයන්ට ජීවිතය හැරයාමට සිදුවීම තරම් අවාසනාවක් තවත් තිබේද?

අදහස්