ක්‍රීඩා පිටියේ සල්ලි ගස් | සිළුමිණ

ක්‍රීඩා පිටියේ සල්ලි ගස්

ෆ්ලොයිඩ් මේවෙදර්

සුප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩා තරු පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි. ඒ අනුව 2017 - 18 වසරේ වැඩිම ආදායමක් ඉපයූ වාර්තාවට අනුව පළමු තැන ඇමෙරිකානු බොක්සිං ශූරයකු වන ෆ්ලොයිඩ් මේවෙදර් හට හිමි වී තිබේ. ඔහුගේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 285 කි.

මෙවර වාර්තාවට අනුව 2016 වසරේ ලොව ධනවත්ම ක්‍රීඩා තරුව වූ පෘතුගාලයේ සුපිරි ක්‍රීඩකයා වූ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට මෙවර හිමි වී තිබෙන්නේ තෙවන තැනයි. ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව වන ලියොනල් මෙසීට දෙවැනි ස්ථානය හිමි වී තිබේ. ෆෝබ්ස් සඟරාව 1917 වසරේ අප්‍රේල් මස 15 වැනිදා සිට පළ කරනු ලබයි. එය දෙසතියකට වරක් පළ කෙරෙන සඟරාවකි. මෙවර ලොව ධනවත්ම ක්‍රීඩා තරු වාර්තාවේ විශේෂත්වයක් ද තිබේ. ඒ ධනවත්ම ක්‍රීඩා තරු 100 අතරට එක් ක්‍රීඩිකාවක් හෝ අයත් නොවීමයි. එමෙන්ම එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් මීට අයත් වීමයි. ඒ ඉන්දීය නායක විරාත් කෝලිය. එහෙත් ඔහුට හිමි වී තිබෙන්නේ 83 වැනි තැනයි. ඔහුගේ ආදායම මිලියන 24 කි.

මෙම වාර්ෂික ආදායම් වාර්තාව සකස් කර තිබෙන්නේ 2017 ජුනි 01 සිට 2018 ජුනි 01 දක්වාය.

මෙහිදී අදාළ ක්‍රීඩකයා ඉපයූ මුළු ආදායම සකස්කරනු ලබන්නේ ක්‍රීඩා කිරීමෙන් ලැබෙන මුදලත් වෙළෙඳ අනුග්‍රාහකත්වයෙන් උපයා ගනු ලබන මුදලත් එකතු කිරීමෙනි.

මෙවර ෆෝබ්ස් වාර්ෂික ආදායම් වාර්තාවේ ටොප් 100 අතරට රටවල් 23 ක ක්‍රීඩකයෝ අයත්ය. ඒ ක්‍රීඩා 11 ක් නියෝජනය කරමිනි. මින් වැඩිම පිරිසක් ඇමෙරිකාවෙනි. එමෙන්ම මින් 40 ක්ම පැසිපන්දු හෙවත් බාස්කට්බෝල් ක්‍රීඩකයෝය. එමෙන්ම පැසිපන්දු, බේස්බෝල් සහ පාපන්දු යන ක්‍රීඩා ත්‍රිත්වයෙන් පමණක්ම ක්‍රීඩකයෝ 72 ක් මෙම ටොප් 100 ට අයත්ය.

ෆෝබ්ස් ටොප් 100 අතරට කිසිඳු ක්‍රීඩිකාවක් හෝ ඇතුළත් නොවූයේ 2010 වසරෙන් පසුවයි. ගත වූ කාලය තුළ පවා ඊට ඇතුළත් වූයේ ක්‍රීඩිකාවන් තිදෙනකු පමණකි. ඔවුන් ද ටෙනිස් ක්‍රීඩාවෙන් පමණක් වීම විශේෂත්වයකි. ඔවුන් නම් චීනයේ ලි නා, රුසියාවේ මරියා ෂරාපෝවා සහ ඇමෙරිකාවේ සෙරිනා විලියම්ස්ය.

මින් ලි නා 2014 වසරේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තාය. ෂරාපෝවා මාස 15 ක තහනමකින් පසුව යළිත් වතාවක් ක්‍රීඩාවට පිවිසුණේ ගිය වසරේ සිටය. 2016 - 17 වසරේදී ටොප් 100 අතර සිටිය එකම ක්‍රීඩිකාව වූයේ සෙරිනා විලියම්ස්ය.

නමුත් ගත වූ වසරක කාලය තුළදී ඇය ඉපයූ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 08 සිට 62,000 දක්වා අඩු විය. ඒ සිය දියණියගේ උපත නිසාවෙන් තරග පිටියෙන් ඉවත් වී සිටීමෙනි. එසේ වුවත් අවසන් මාස කිහිපය තුළදී ඇය ඉපයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 18 කි. නමුත් එය ටොප් 100 අතරට එක් වීමට ප්‍රමාණවත් වූයේ නැත.

වාර්ෂිකව ලොව වැඩිම මුදලක් ඉපයූ ටොප් 100 අතර මුල් තැනට ෆ්ලොයිඩ් මේවෙදර් පත් වූයේ සිවුවන වතාවටයි. ඒ සත් වසරක් තුළදී විම විශේෂත්වයකි.

මේවෙදර් වසරක කාලය තුළදී ඉපයූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 285 කි. මින් මිලියන 275 ක්ම එක් තරගයකදී හිමි විය. ඒ ඉකුත් අගෝස්තු මාසයේ පැවැති විශේෂිත බොක්සිං තරගයකදීය. එය පැවැත්වූයේ මේවෙදර් සහ අයර්ලන්ත ආත්මාරක්ෂක සටන්කරුවකු වන කෝනර් මැක්ග්‍රෙගර් අතරය.

කෝනර් සහභාගි වූ ප්‍රථම වෘත්තීයමය බොක්සිං තරගය මෙය විය. මේවෙදර්ගේ 50 වැනි තරගයයි. මේ තරගයෙන් මේවෙදර් ජය ගත්තේ තම අපරාජිතබව තවදුරටත් තහවුරු කරගනිමිනි. ඉන් අනතුරුව ඔහු නැවත වතාවක් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය.

මේවෙදර් මේ වන විට ක්‍රීඩා ඉතිහාසයේ වෘත්තීයමය වූ පසුව ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉපයූ ලොව තෙවැනි ක්‍රීඩකයාත් වේ. ඔහුට පෙර ඇමෙරිකානුවන් වන මයිකල් ජෝර්ඩන් (පැසිපන්දු) සහ ටයිගර් වුඩ්ස් (ගොල්ෆ්) ඉහත මුදල උපයාගෙන තිබේ.

ඉහත මේවෙදර් සමඟ පැවැති තරගයෙන් පමණක් මැක්ග්‍රෙගර් ඉපයූ මුදල ඩොලර් මිලියන 85 කි. එමෙන්ම ඔහුගේ අනුග්‍රාහකත්ව මුළු ආදායම මිලියන 14 ක්ද විය. මේනිසාම ටොප් 100 අතර ඔහුට සිවුවැනි තැන හිමි වූයේ මිලියන 99 ක මුළු ආදායමක් සමගින්ය.

මෙවර ටොප් 100 අතරින් දෙවන, තෙවන සහ පස්වැනි ස්ථාන ලොව සුපිරිතම පාපන්දු තරු ත්‍රිත්වයට හිමිවිය. ඒ අනුව ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසීට මිලියන 111 කි. පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට මිලියන 108 කි. බ්‍රසීලයේ නේමාර්ට මිලියන 90 කි.

හයවැනි සහ අටවැනි ස්ථාන ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩකයන් වන ලිබ්‍රොන් ජේම්ස් සහ ස්ටීවන් කරීටය. ජේම්ස්ට මිලියන 85.5 කි. කරීට 76.9 කි. සුපිරි ස්විස්ටර්ලන්ත ටෙනිස් ශූර රොජර් ෆෙඩරර්ගේ ආදායම මිලියන 77.2 කි. ඔහුට 07 වැනි ස්ථානයයි. මේ අතර නවවැනි සහ දසවැනි ස්ථාන හිමි වී තිබෙන්නේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයන් වන මැට් රයන් සහ මැතිව් ස්ටැෆර්ඩ්ටය. රයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 67.3 කි. මැතිව්ට මිලියන 59.5 කි.

මේ අතර වත්මන් ක්‍රීඩා ලොව අති දැවැන්තයින් කිහිපදෙනෙකුත් ෆෝබ්ස් ටොප් 100 අතර සිටිති. බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ට (ෆෝමියුලා 01 මෝටර් රථ) 12 වැනි තැනය. ආදායම මිලියන 51 කි. ඇමෙරිකානු ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස්ට 16 වැනි ස්ථානයයි. ඔහුගේ ආදායම මිලියන 43.3 කි. ස්පාඤ්ඤ ටෙනිස් ශුර රෆායල් නඩාල්ගේ ආදායම මිලියන 41.4 කි. ඔහුට 20 වැනි තැනයි. මේ අතර ගිය වසරේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් සුපිරි මලල ක්‍රීඩක ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ඩොලර් මිලියන 31 ක් උපයාගෙන 45 වැනි ස්ථානයේ සිටියි.

 
 

අදහස්