ක්‍රීඩා ඇමැතිගේ ඉල්ලීමට සුපිරි ක්‍රීඩකයන්ගේ අපව ඉත්තන් කරගන්නෙ නැති නම් උදව් කරන්න ලෑස්තියි | සිළුමිණ

ක්‍රීඩා ඇමැතිගේ ඉල්ලීමට සුපිරි ක්‍රීඩකයන්ගේ අපව ඉත්තන් කරගන්නෙ නැති නම් උදව් කරන්න ලෑස්තියි

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නයි කරන ලද විවෘත ආරාධනය මේ සටහන තබන විටත් අරවින්ද ද සිල්වා හැර සංගා, මහේල, මුරලි සහ රොෂාන් මහානාම ප්‍රතික්ෂේප කර තිබේ. අමාත්‍යවරයා මෙකී ඇරයුම කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගේ අත්සනින් යුතුව කළ ඉල්ලීමකට අනුවය. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ සංගා, මහේල, මුරලි, රොෂාන් සහ අරවින්ද උක්ත තනතුරු සඳහා බඳවා ගෙන ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි බවය.

ලොව මෙතෙක් බිහිවූ සුපිරි දඟපන්දු යවන්නකු වන මුරලි දඟ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් එක්කර ගන්නා ලෙස තේරීම් කමිටුව තමන්ට දැනුම්දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. මෙවැනි වැඩසටහනකට අත ගැසූ පළමු වතාව ද මෙය නොවේ. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ද ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින තත්ත්වයෙන් ඉහළට ගැනීමට මීට පෙර ද මෙවැනිම උත්සහයක් දැරීය.

මේ ප්‍රථම උත්සහය නොවේ

අනූව දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ඉතා ප්‍රබල මට්ටමකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පත් වී සිටියේය. අද වන විට එම තැනට පත් වී තිබෙන්නේ තවත් දකුණු ආසියානු කලාපීය රටක් වන බංග්ලාදේශයයි. ඒ සඳහා පැසසිය හැකි ආසන්නතම නිදසුන පසුගියදා කැන්ගරු දේශය හමුවේ ඔවුන් ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයයි.

මෙසේ දෙරටක් ප්‍රබල ආකාරයට ඉදිරියට යමින් සිටින විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රබල පසුබැසීමකට පත්ව තිබේ. පසුගිය වසරේ සංචාරක ඉන්දියාව හමුවේ සම්පූර්ණ ටෙස්ට් තරගාලාවම ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේය. පසුව පැවැති එක්දින ජාත්‍යන්තර තරගමාලාවත් තරග 5 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

මේ සඳහා විවිධ හේතු බලපෑවේය. ප්‍රබල ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීම, ඇතැම් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම, ක්‍රිකට් පරිපාලනයේ ගැටළු පළමු පෙළ ක්‍රිකට් සවිමත් නොවීම සහ ක්‍රීඩකයන් දස්කම් අතර නොසිටීමත් ඊට අයත්ය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දරුණු පරාජයන්ට ලක්වීමයි. එය කෙතරම් බලපෑමක් කළේ ද යත් ඇතැම් තරග අතරතුරදී නරඹන්නන්ගේ බාධා කිරීම් ද වාර්තා විය. මෙවැනි වාතාවරණයක් ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබීම කණගාටුදායකය.

කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බූදය එක්වරම මතු වූවක් නොවේ. ඒ පිළිබඳ විවිධ සාධක කාලයක සිටම පැවතිණි. ඊට විවිධ ප්‍රතිඵල ඉදිරිපත් වුවත් ඒවා ක්‍රියාත්මක වූයේත් නැත. එහි ආසන්නතම නිදසුන 2015 වසරේදී වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සාර්ථක කර ගැනීමට දේශිය ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 වසරේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව විසින් හිටපු සුපිරි ක්‍රීඩකයකුට බාර දුන්නේය. ඒ අන් කවරෙක් හෝ නොව හිටපු නායකයකු වන මහේල ජයවර්ධනටය. එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සිදත් වෙත්තිමුනි මහතාය. මහේල එම සැලැස්ම සකස් කරමින් ක්‍රිකට් අතුරු කමිටුවට බාර දුන්නේය. එය සකස් කිරීමේදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශීිය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා විචාරකයන්ගේ අදහස් ද එක් කර ගනිමින් සකස් කර තිබේ. එය නම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැළැස්ම යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුතු වනුයේ ගණනට නොව ගුණාත්මකභාවයට බව මහේලගේ ක්‍රිකට් සැළැස්මේ සඳහන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා පත් කරන ලද හේමක අමරසූරියගේ සභාපතිධූරයෙන් යුත් ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක නිරතවන බවයි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ එකී කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා සහ කුමාර සංගක්කාරයි.

අදාළ පංච පුද්ගල කමිටුව විසින් සකස් කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ කෙටිකාලීන සැලැස්මක් පළමුව ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇතැයි මහේල එහිදී පැවැසීය.

ඊට අමතරව ගන්නා වූ කෙටි කාලීන සැලසුම් ස්ථාවරකර ගැනීම සඳහා දිගුකාලීන සැලසුම් කිහිපයක් ම තිබෙන බව පැවැසූ මහේල ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ බලය සහ වගකීම් ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට බව ද පවසයි.

මෙකී පංච පුද්ගල කමිටුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවන බවද පැවැසූ මහේල මේ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕනා. ඔවුන් එහෙම නැත්නම් අප කරන මේ කැපකිරීම්වල ප්‍රතිපලයක් නොමැති බවද සඳහන් කළේය.

සිදත්ගේ ඉල්ලීම

මේකෙන් වැඩක් වෙන්න ඕනා. නැත්නම් මේ වැය කරන කාලයෙන් සහ හමුවීම්වලින් වැඩක් නැති වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුමක් මහේල ජයවර්ධන 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දුන්නේය. ඒ දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් සම්භාරය ගොනු කරගනිමින් ක්‍රිකට් සැලසුමක් මහේල ජයවර්ධන 2015 දී එවකට සිදත් වෙත්තමුණිගේ සභාපතිධූරයෙන් අතුරු කමිටුවේ ඉල්ලීමකට අනුවය. එකී සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර සිදත් වෙත්තමුණිගේ සභාපතිධුරයෙන් යුත් අතුරු කමිටුව විසුරුවා හැරි අතර, මහේලගේ යෝජනා ක්‍රියාත්මක නොවුණි.

සිය පළමු අත්දැකීම් අනුව දෙවැනි ක්‍රියාවලිය පිළිබඳ පවතින විශ්වාස කෙබඳුදැයි යන පැනයට මහේලගේ ප්‍රතිචාරය වූයේ අවසාන උත්සාහයත් යොදවලා බලමු. මේ මගේ අන්තිම උත්සාහය. මේ සැලැස්ම ක්‍රියාත්මක වුණේ නැත්නම්, ආයේ ආයෙත් මේ දේම කරන්න උත්සහා කරන එකේ තේරුමක් නෑ. ඒක මටත් අපහසුයි යන්නයි.

සිය කමිටුව පිළිබඳ අදහස් දක්වමින් කුමාර සංගක්කාර පැවැසුවේ පැලැස්තරවලින් වැඩක් නෑ. වඩාත් උචිත වන්නේ දිර්ඝ කාලීන සැලසුමක් අනුව වැඩ කිරීමයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙකී ඉල්ලීම මුලින්ම තරයේම ප්‍රතික්ෂේප කරමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ තමන් එතරම් ඒ තනතුර සම්බන්ධයෙන් උනන්දු නොවන බවය. මීට පෙර ක්‍රිකට් උපදේශක කමිටුවේ සිටියදී සිදු කළ යෝජනා ක්‍රියාත්මක නොවීම නිසා ම මේ පවතින තත්ත්වය පිළිබඳ විශ්වාසයක් නොමැති බවත්, කාලය කා දැමීමක් පමණක් බවද මහේල එකී ඇරයුමට පිළිතුරු ලෙස පවසා තිබේ.

මුරලි ද මෙහිදී ක්‍රිකට් බලධාරීන්ට දෝෂාරෝපනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ මහේලත් ක්‍රිකට් පරිපාලනය ගැන විශ්වාසයක් නැති බවප්‍රකාශ කරලා තිබුණා. මටත් ඒ කාරණාවට එකඟ වෙන්න වෙනවා. මහේලලා ක්‍රිකට් පරිපාලනයට එකතුවෙලා ලොකු සැලසුමක් හැදුවා. ඒත් ඒක බලධාරින්ගේ කඹ ඇදිලි නිසා යට ගියා.

ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වෙන්නේ තාවකාලික විසඳුම් නොවෙයි. ස්ථිර විසදුම් බව පවසන සංගා, මේ වෙලාවේ ඉදිරියට ඇවිත් යමක් කිරීමට කැමැති අය හුඟක් ඉන්නවා. ඒ වුණාට ඔවුන් හිතනවා දේශපාලන වුවමනා මත ඉත්තන් විදියට පාවිච්චි කරයි කියලා. අමාත්‍යවරයාට පුළුවන් නම් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහ අනිත් බලධාරන්ගේ උදව් සහයෝගය අරගෙන ව්‍යවස්ථාව වගේම අනෙක් වෙනස්කම් කරන්න මගේ වගේම උදව් කරන්න කැමැති අයගෙත් සහයෝග ලැබෙන බවද සංගා සඳහන් කරයි.

අදහස්