එක්දින පිටියේ වැඩිම ලකුණු වාර්තාව එංගලන්තයට | සිළුමිණ

එක්දින පිටියේ වැඩිම ලකුණු වාර්තාව එංගලන්තයට

සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගමලාව ජය ගැනීමට එංගලන්තය සමත් වූයේ මුල් තරග තුනම පහසුවෙන් ජය ගනිමිනි. එහිදී නොටිංහැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී ජුනි 19 දා පැවැති තෙවන තරගය (දිවා / රාත්‍රි) එංගලන්තය ජය ගත්තේ ලකුණු 242 කිනි.

ඉහත ඉනිමේදී එංගලන්තය පන්දු ඕවර 50 දී කඩුලු 6 ක් දැවී ලකුණු 481 ක් රැස් කර ගැනීමට සමත් විය. එය ලෝක වාර්තාවකි. එනම් එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කර ගත් වැඩි ම ලකුණු ගණන එය වීමයි. ඔස්ට්‍රේලියාවට ලබා ගැනීමට හැකි වූයේ ඕවර 37 කදී සියලුම දෙනා දැවී ලකුණු 239 ක් පමණකි.

මීට පෙර පැවැති ලෝක වාර්තාවේ හිමිකරුවන් වූයේත් එංගලන්තයයි. එහිදී ඔවුන් කඩුලු 3 ට ලකුණු 444 ක් රැස් කළේ පාකිස්තානයට එරෙහිවය. 2016 වසරේදී මෙම තරගය පැවැත්වූයේත් ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ම වීම විශේෂත්වයකි.

මෙවර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ශතක දෙකක් වාර්තා විය. ඒ තරගයේ වීරයා වූ ඇලෙක්ස් හේල්ස්ට ලකුණු 147 ක් සහ ජොනී බෙයාර්ස්ටෝට ලකුණු 139 ක් වශයෙනි. මීට අමතරව නායක ඔයින් මෝර්ගන්ට ලකුණු 67 කි. ජේසන් රෝයිට ලකුණු 82 කි.

මින් මෝර්ගන් සිය අර්ධ ශතකය රැස් කළේ පන්දු 21 කිනි. එය එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ වේගවත් ම (අඩුම පන්දු ගණනකදී) අර්ධ ශතකයයි. එමෙන් ම එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වැඩි ම ලකුණු ගණනක් (5443) රැස් කළ පිතිකරුවා බවටත් මෝර්ගන් මෙහිදී පත් විය.

එංගලන්ත ඉනිමේදී වාර්තා වූ 4 පහර 41 කි. 6 පහර 21 කි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රාවිස් හෙඩ්ට 51 කි. මාර්කස් ස්ටොයිනස්ට ලකුණු 44 කි. දඟ පන්දු යවමින් අඩීල් රෂිඩ් ලකුණු 47 ට කඩුලු 4 කි. මොයින් අලිට කඩුලු 3 කි.

එක්දින ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව ලකුණු අනුව ලැබූ විශාලත ම පරාජයත් මෙය වේ. එමෙන් ම එංගලන්තය එක්දින ජාත්‍යන්තර තරගයකදී ලකුණු අනුව වාර්තා කර ගත් විශාලම ජයත් මෙය විය.

Comments