මොකෝ මල්ලි පල් ‍හොරෙක් වගේ | සිළුමිණ

මොකෝ මල්ලි පල් ‍හොරෙක් වගේ

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නට තව අවුරුදු දෙකක් විතර තියාගෙන.. මේ වයසේදී තම පුත්‍රයාට මේ තරම් ‘මොළයක්’ තියෙන එක ගැන ජන්තු - සිරියා ජෝඩුවට පුදුම ය! දෙදෙනා ම පුත්‍රයා දිහා පුදුමයෙන් බැලුවේ ඒ නිසාය. කුමාර දෙදෙනාට වැඳ පොත් ගොඩ තුරුලු කරගෙන පිටත් වෙද්දී සිරියා චීත්ත පොටෙන් කඳුළු පිස ගත්තේ සිනාසෙමිනි.

“අනේ ඇත්තට.. දරුවො.. අපේ හාමුලා රත්නපුරේ වලව්වට දැන් ගිහිල්ලා ඇති. සමන්ති බේබි හාමුලා එහේ ආවාම මොකින් මොකක් වෙලා ඇත්ද?”

සිරියා කුස්සිය ඇතුළේ එහාට මෙහාට යන්නේ තම පුත්‍රයා කුමාර අමතමින්.

කඩේ ගොසින් ඇවිත් කුස්සි පුටුවේ වාඩිවෙන ජන්තුටද මේ ප්‍රශ්නය බැරෑරුම්ව දැනෙයි.

“අපි කරුණාදාසටවත් කෝල් එකක් දීලා බලමු ද...” බැරිම තැන ජන්තුම කියයි.

“ඒත් කොහොම කතා කරන්නද... හාමුලාත් එක්ක ඉන්න වෙලාවක් වුණොත් එයා කතා කරන එකක් නෑ...”

සිරියා කියන්නේ දෙගිඩියාවෙනි.

කුමාර තම පොත්ගොඩ සකස් කරගෙන ගමන් මල්ලේ දමා ගත්තේ තම දෙමාපියන්ගේ කතාවලට හිතින් හිනාවෙමිනි.

“ඔය දෙන්නා තරම් ඔය ප්‍රශ්නෙ ගැන හාමුලාවත් හිතන්නෙ නැතිව ඇති. කොහොම වුණත් ඩග්ලස් හාමුලා සමන්ති බේබිහාමු ගැන ගන්නා තීන්දු තීරණ මොකක් වුණත් අපේ බේබි හාමුලා දෙන්නට බලපාන දෙයක් වේවි...!”

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නට තව අවුරුදු දෙකක් විතර තියාගෙන.. මේ වයසේදී තම පුත්‍රයාට මේ තරම් ‘මොළයක්’ තියෙන එක ගැන ජන්තු - සිරියා ජෝඩුවට පුදුම ය. දෙදෙනා ම පුත්‍රයා දිහා පුදුමයෙන් බැලුවේ ඒ නිසාය. කුමාර දෙදෙනාට වැඳ පොත් ගොඩ තුරුලු කරගෙන පිටත් වෙද්දී සිරියා චීත්ත පොටෙන් කඳුළු පිස ගත්තේ සිනාසෙමිනි.

“බලපං අපේ කොල්ලාට ඉස්කෝල වැඩ වගේ ම සාමාන්‍ය ජීවිතේ ගැනත් හිතන්න පුදුමාකාර දස්සකමක් නෙ තීන්නෙ. ඕං.. බලපං... ඕකා දිසාපති කෙනෙක්වත් වෙලයි නවතින්නෙ...”

ජන්තු නොන්ඩි ගහමින් කෑම වට්ටියත් රැගෙන මිදුලට ගියේ කුරුලු තටුවට දමන්නටය.

******

චන්ද්‍රලතා තම දුව චන්ද්‍රානි පාසල් ඇරී එනතුරු බලා සිටියේ වෙනදට වඩා උනන්දුවෙනි.

“මොකෝ අම්මේ කඩුල්ල අස්සට වෙලා...? එහාට පනින්නද මෙහාට පනින්නද කියලද හිතන්නෙ ඈ...?”

චන්ද්‍රානි අම්මාට පුරුද්දට වගේ විහිළුවක් කරයි.

“උඹට ඉතිං හැමදාම විහිළු... මං මේ අහස පොළව ගැටල ගැටල ඉන්නේ අපේ ජයතිස්සටයි ජයේන්ද්‍ර පුතාටයි මොකද වුණේ කියලා.. හාමුලාගෙන් ගුටි කෑවද? නැත්නම් සමන්ති බේබිව එහේ තියාගෙන පස්සට දෙකක් දීලා එ‍‍ලෝ ගත්තද....”

“නැත්නම් මල්මාලා දාලා බෑනණ්ඩියව රත්නපුර වලව්වට පිළිගත්තද... එහෙම නේද? අම්මේ.. හා හා!”

චන්ද්‍රලතාට ද දුවගේ කතාවට හිනා ය. ඒත් ඈ එය වළක්වාගත්තේ හිතේ හොරකමටය.

මං දන්නවා ඩග්ලස් හාමු කොහොම වෙතත්... එයාගෙ මස්සිනා විල්ප්‍රඩ් හාමු නම් ඒක කරන්නෙ නෑ... හහ්...

“මොකද අම්මේ මනමාල හිනාවක් ගියේ...?”

චන්ද්‍රානි පුංචි එකියක් වගේ අම්මාව පිටෙන් තල්ලු කරමින් ගේ දොරකඩ ළඟට ම රැගෙන යන්නේ හිනාවෙමින් ය. එවිට ම දුරකථනය නාද වෙනවා ඇසී දෙදෙනා ම එකවර ගැස්සෙයි.

පොත් ගොඩ අම්මා අතට දෙන චන්ද්‍රානි අඩියට දෙකට සාලයට දුවලාත් ඉවරය.

“හෙ‍ලෝ...”

“පුතේ.. මේ තාත්තා කතා කරන්නේ..”

ජයතිස්ස එහා පැත්තේ සිට හති අරින සද්දය ඇහෙයි.

“කි.. කියන්න තාත්තේ...”

“පු.. තේ.. මෙහේ කරදරයක් වුණේ නෑ පුතේ.. ඒක කියන්න ගත්තේ.. අයියයි සමන්ති හාමුයි හොඳින්.. මං.. පස්සෙ කියන්නම්... තියනවා.. බුදු සරණයි..”

චන්ද්‍රානි සතුටින් කෑගසමින් අම්මාව බදා ගත්තාය..!

“අනේ.. අනේ.. මං දැනගත්තා.. මයෙ පුතේ.. මයෙ දරුවන්ට වරදින්නෙ නැති විත්තිය.. අනේ.. මේ අසරණ අහිංසක ගෑනි දිහා දෙයියෝ බලනවා.. මයෙ දුවේ.. ඔව්.. ඔව් ඒ වගේම උඹටත් කවදාවත් වරදින්නේ නෑ. අපි හැමදාම හාමුලාට කැඹුරුවා තමයි.. ජීවිත දියවුණේ හාමුලාගෙ වලව්වලට එයාලගෙ වතුවලට.. වැලිකැටවලට... ඒත් දෙයියෝ ඒ සේරම ප්‍රශ්න... නිරාකරණය කරනවා.. මයෙ පුතේ...!”

චන්ද්‍රලතා සතුටු කඳුළු වගුරුවමින් කෑගසා හඬමින් තම දියණිය ද පුදුමයට පත්කරයි.

******

“ගස් ඉස්මත්තේ ලැග සිටි කුරුලු කොබෙයියන් පවා මහා පුදුමයක් වෙලා වගේ අමුතු කිචිබිචියක් දෙයි.

වලව් මිදුලේ මල්පාත්තිවල පිපුණු මල්වල සුවඳ පවා හිස හැරුණු හැරුණු අතේ දුවනවා වගේය.

සුළඟ...! හා.. මේ සුළඟ මොන තරම් සනීපදායකද... මහා දිග හුස්මකින් ළය සැහැල්ලු කරගන්නා විට ජීවිතේ හරියට ම අලුත් උත්පත්තියක් ලැබුවා වගේය. ඔව්.. නව ජීවනයක්..!

මේ සියල්ල ගැන උඩ පහළට දිගට හරහට හිතුවේද හිතුනේද සුදු මැණිකේ හාමුටය.

සති ගානකට පස්සේ ඇගේ මූණට එළියක් වැටිලාය. හඳපාන වගේ සිනාසීගෙන සිටින සුදු මැණිකේ හාමු දිහා ඇස්පිය නොසලා බලා සිටියේ මෙහෙකාරිය මැගී ය! ඇය වහා කාමරයේ උළුවස්ස පැන තම ස්වාමි දුව ළඟට ළං වුණේ මඳ සිනා ඇතිවය.

“බලපං.. මැගී.. මේ මගේ අත්.. මේ මගේ ඔළුව... දැන් මට හරි සනීපයි. මගේ ඔළුව මොකක්දෝ එකකින් නිදහස් වුණා බං.. මගේ අසනීප කෝ? කියපං මැගී මට මොකද වුණේ..?”

ඒ සමඟම කාමරයට ආවේ මලින්දත් ඩග්ලස් හාමුත් ය. පිය පුතු දෙදෙනා මූණට මූණ බලාගෙන සැනසුම් සුසුම් හෙලයි. මලින්ද වහා අම්මව බදාගෙන ඇගේ හිස අතගායි.

“අනේ.. අක්කා මගේ ලෙඩේ හොඳ කාළා පුතේ...! අපෙ මහත්තයා... ඔයාලට පිං...! මගේ සමන්ති දුව මගේ ලෙඩේ හොඳ කළා..!”

විල්ප්‍රඩ් හාමු මැණිකේ ළඟට ඇවිත් ඇගේ හිස අතගායි.

“දැන් ‍ඔක්කෝ ම හරිනේ මැණිකේ.. දැන් ඔයා ටිකක් විවේක ගන්නකො.. මාන්සිත් ඇතිනේ... ටිකක් ඇලවෙලා ඉන්න..”

මලින්ද කාමරයෙන් එළියට ආවේ ඔයින් ගියා මදෑ කියා කල්පනා කරමින්ය. ඔහු ශ්‍රීමාල්ව සොයාගෙන කාමරයට ගියේ තව මොහොතකින් ඔවුන් නැවත යන්න පිටත්වන බව මතක් කරගන්නා ගමන්ය. ඒ එක්ක ම මලින්දට තනිවම හිනාය. අම්මා කියනවා එයාව සනීප කළේ අක්කාය කියලා.. එතකොට ගහක් ගලක් වගේ හිටපු අම්මාව ලෙඩ කළේ කවුද... ඒත් අක්කාමනෙ.. හීන් හිනාවක් මුවට නඟාගෙන ශ්‍රීමාල් ළඟට යද්දි ඔහු වටපිට බලා හොර බැල්මෙන් යමක් සඟවා ගන්නවා මලින්ද ගේ අතට ම හසුවෙයි.

“මොකෝ මල්ලි පල් හොරෙක් වගේ...”

නෑ.. මං මේ බය වුණා... කාමරේට ආවෙ අප්පච්චි කියලා... මං.. මේ සිරිනාතයට කෝල් එකක් ගන්නයි හැදුවෙ..” මලින්දට සද්දෙට හිනාවක් යයි.

“ආ එහෙනම් උඹත් වැඩ පටන්ගන්නයි යන්නේ.. හහ්හා... උඹ ඔය කෝල් එක ගත්තේ... ඇත්තට ම සිරිනාතයාට.. ආ...?” ශ්‍රීමාල් පුංචි දරුවෙක් වගේ සිනාසෙයි. මලින්දට ශ්‍රීමාල් මල්ලි ගැන දුකය... අයියා මලෝ දෙන්නා අතරේ රහසක් නැත. ශ්‍රීමාල් ගේ මේඛලා ගැන ඇති අදහස වගේ ම තමාගේ පටන්ගන්නට යන ආදර කතන්දරේ ගැන දෙන්නා අදහස් හුවමාරු කරගෙන ඇත. ඒවා දැනටමත් දෙදෙනා අතරේ රහසක් නොවේ.

“හා... හා... උඹ ගන්නා කෝල් එකක් ගනිං.. මං මේ කිට්ටුව ඉඳලා උඹට සිග්නල් එක දෙන්නම්කො..”

දැන් ශ්‍රීමාල්ට ඉබ්බා දියේ දැම්මා වගේය.

ලබන සතියට‍...

Comments