මහ මඟ ළඟ වන අරණක සංහිඳියාව | සිළුමිණ

මහ මඟ ළඟ වන අරණක සංහිඳියාව

කොළඹ සිට අවිස්සාවේල්ලට පැමිණියද අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට පැමිණිය ද පෙරහරක් සේ එකා පිට එකා පසු පස දිවෙන වාහන පෙළ නිදහස් ගමනකට ඉඩ නොදෙයි.

සොඳුරු දසුන් වියැකෙන, මාර්ග තද බදය මැද දත් මිටි කමින් තිරිංග තද කරන වාහන පෙළ මැද මම ද ගමනට එකතු වී හිඳිමි.

කම්මලේ දැති‍ රෝදයෙන් කොන්ක්‍රීට් පවුරු වළල්ලෙන් මිදී ශීතල වනයකට ඇතුළු වී මේ ආතතියෙන් මොහොතකට හෝ මිදෙන්නට ඇත්නම් කොතරම් නම් හොඳ ද යැයි සිතමින් යන අතරතුරේ දකුණු පස පුවරුවක් දිස්වෙයි. පරිසරයට සංවේදී හිතකට නම් පුදුමයක්ද ඒ සමඟ සැහැල්ලුවක් ද දැනෙයි. එහි සටහන්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති විශාලම රක්ෂිතය තුළ ඇති මුණ්ඩිගල ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය කියා ය. පුදුමය නම් අතිශය ජනාකීර්ණ කොළඹ දිස්ත්‍රික්කය තුළ පුළුල් මහා මාර්ගයක් අද්දර මෙවැනි වනයකට ඉඩක් ඇද්ද යන්නය.

මේ පුවරුව දිස්වන්නේ මිරිස්වත්ත ග්‍රාමයේය. කොළඹ සිට පැමිණෙන්නේ නම්. කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් පාරෙන් කි.මි. 45 ක් පමණ ද හයිලෙවල් පාරෙන් කි.මි. 56 පමණ ද දුරක් පැමිණීමෙන් මේ ග්‍රාමය හමුවෙයි. එතැනින් වම් පසට හැරී කි.මි. ½ක් යායුතු බව පුවරුවේ සටහන්ව තිබේයි.

ඉතින් එතනින් නොහැරී හිඳින්නට නොහැකිය. හැරුණු තැන සිට ළං ළංව නිවාස දකින්නට ලැබෙයි. එක්තරා දුරකට නැ‍ඟෙන කඳු මේඛලාවක පාද මූලයේ මෙසේ නිවාස තැනී එදා හද්දා පිටිසර ගම අද යම් තරමකට ජනාකීර්ණ වී තිබෙයි. නිවාස නිසා ගස් කොළන් කැපී කඳු මෙවුලේ පාද මූලය මුඩු වෙමින් පවති යි.

මේ කඳු පා මුලත්, කන්දටම අයිති කර දුන්නේ නම් මොනතරම් කදිම දැයි සිතෙයි.

කෙසේ හෝ මේ සිතිවිලි අතර රැ‍ඳෙමින්, පැටලැවෙමින් මම කනම්පැල්ල පාද මූලයට පැමිණියෙමි. අක්කර 900ක් පමණ වන කනම්පැල්ල වන මූකලාන පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කීවොත් කොළඹ දිස්ත්‍රික්ක‍ය තුළ ජීවත් වන ඔබ ඇතැම් විටක පුදුම වනු ඇත. පුදුමය හා යා වී පුදුම සැනසීමක් ද ඔබට දැනිය යුතුය.

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්ත ග්‍රාමය තුළ මේ රක්ෂිතය තරමක කඳු මේ කුළක් ආශ්‍රිතව ස්වභාව ධර්මයාගේ අතින් පැළ කළ ගසින් වැලෙන් පෝෂණය ලබමින් දිවි ගෙවයි. මෙහි ගහ වැල අවසන් ගමන් යන්නේ ද මේ මිහි මඬල පෝෂණය කරමින්මය.

අධ්‍යාත්මය පෝෂණය කර ගැනීමේ න්‍යායයෙන්ම මේ කනම්පැල්ල රක්ෂිතය ආශ්‍රයේ මුණ්ඩිගල ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය ගොඩ නැංවී තිබේ. ඇත්තෙන්ම පැවසුවහොත් මේ රක්ෂිතය මේ තරමට සුරැකී තිබෙන්නේ මුණ්ඩිගල අාරණ්‍ය සේනාසනයට පින් සිදු වන්නට යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. එය සනාථ කිරීමට ඉතිහාස කතාව දිග හැර ගත යුතු වෙමු.

1962 වසරේදී ගණේගම සංඝරක්ඛිත හිමියන් මේ මූකලානට වැඩියේ බවුන් වඩා සසරෙන් එතෙර වීමේ අරමුණෙනි. සැබෑ යෝගාවචරයන් අාරණ්‍යගත වන්නේ එවන් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වන විට මේ මූකලාන අරක්ගෙන සිටියේ මං පහරන්නන්, හොර මත්පැන් ජාවාරම්කරුවන් කැලෑ පාළුවන් වැනි මාර සේනාවන්ය.

එදා කරණීය මෙන්ත සූත්‍රය සජ්ඣායනා කර හිමාලයේ ශීත වනයේ රුක් දෙවිඳුන් සමනය කළ ද දෙවිවරුන් නොවන මෙවන් නරුමයන් දමනය කිරීමට නොහැකි වූ නිසා දෝ වසර 10කට පසුව 1972 දී සංඝරක්ඛිත හිමියන්ට පසු බැසීමට සිදු විය.

ඉන් පසුව මිල්ලෑවේ මහින්ද හිමියන් මේ පසුබිම ගැන මනා අවබෝධයෙන් 1983 වසරේදී මෙතැනට වැඩියේ තලගල භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වීදියගොඩ පේමරතන නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙනි.

මහා රුක් දෙවිඳුන් ඇතැම් යම පල්ලන්ගේ කියත් පොරෝ පාරට මියැදී පට්ටල් මත දිගට හරහට ඉරී යන විට අනෙක් පසින් පිසාචයන්ගේ කසිප්පු ජාවාරම්, නොයෙකුත් නොපනත්කම් නිසා අවට ගම් දනව් විනාශයේ අබිමුව වැලපෙන සමයක මේ මාර සෙනඟ හා හුදෙකලාව යුද වැදී පැරදවීමට මිල්ලෑවේ මහින්ද හිමියන්ගේ ආත්ම ශක්තියේ බලයට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මේ වන අරණ සමීපයේ ගම් මණ්ඩියේ සොර සුරා සැල් සුදු පොළවල් මත්කුඩු ජාවාරම් නොමැත.

යහපත් ජනතාව අරණ්‍ය වටා ආසක්ත වෙමින් පරිසරය හා යා වූ බුදු දහමේ පණිවිඩය ගම් දනව් සිසාරා සන්නිවේදනය වන විට ඒ මෙත් දිය ඉසෙන හද, හද ගිනි නිවිණි. නරුම සිතිවිලි පෙඟී දියවිණි.

මහින්ද හිමියන් සතු කාල වර්ණ ආරෝහ පරිණාහ දේහ ශක්තිය මෙන්ම අධිෂ්ඨානශීලී චිත්ත ශක්තියේ බලය බල ගැන්විණි.

තනි පුද්ගල අධිෂ්ඨානයෙන් කළ ශාසනික සමාජ මෙහෙවර කෙතරම් දැයි කියා වදන් පෙළ ගැස්වීම පවා ඉතා අපහසු කාර්යයකි.

එදා උතුරු නැගෙනහිර පූජනීය ස්ථාන සංවර්ධනය කිරීමේ සභාපති වශයෙන් යුද ගිනි මැද උන් වහන්සේ පරාර්ථකාමී වූයේ දිවි පරදුවට තබමිනි. උන් වහන්සේගේ පින් පොතේ පිටු තවත් ලියන්නට ඉඩ නැති තරමට පරිත්‍යාගයන්ගෙන්ම පිරී තිබේ.

මේ වන විට මහින්ද හිමියන් සතු සංවිධාන ශක්තිය ද අධිෂ්ඨානයේ බලය ද අල්පේච්ඡ සරල භික්ෂු චරිතයක ඇති ගුණයද හඳුනාගත් දෙස් විදෙස් පරිත්‍යාගශීලී සුමිතුරන් මහින්ද හිමියන් වටා පෙළගැසී සි‍ටින්නේ අසරණුන්ට සරණ වීමේ උතුම් අපේක්ෂාවෙන්ය.

මේ වන විට උන්වහන්සේගේ සංවිධාන ශක්තියේ අසහාය බලයෙන් පිළිසරණක් නැති පවුල් 160කට පමණ නිවාස තනවා දී තිබෙයි. අවිස්සාවේල්ල රෝහලේ භික්ෂු වාට්ටුව මෙන්ම එහි දෙමහල් සායන සංකීර්ණයද හෘදය රෝග නිවාරණය සඳහා එකෝ යන්ත්‍රයක්ද අධික මුදලක් වැය කර පරිත්‍යාග කර තිබෙයි. යුද සමයේදී සේරුවිල ප්‍රදේශයේ ගැබිනි මාතාවන්ට මහ පාරේ ගස් යට තිඹිරිගෙවල් ‍සෑදෙන යුගයක 1999 වසරේදී සේරුවිල රෝහලේ ගැබිනි වාට්ටුව ලක්ෂ 45 ක පමණ වියදමෙන් ඉදි වන්නේ මංගල හිමියන්ගේ මඟ පෙන්වීමෙනි. මේ වන විට අසරණයන් දෑස් ලබා දීමට අක්ෂි කාච 62ක් පමණ ලබා දී තිබේ.

මහින්ද හිමියන් කිසිදු දවසක තම අරණ තුළදී රූප පෙට්ටියේ දර්ශනයක් දැක නොමැත. රේඩියෝවේ හඬක් ඇසී නොමැත. උන්වහන්සේට රූපවාහිනී යන්ත්‍ර කීපයක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණාද ඒවා පෙරළා අවශ්‍යතා ඇති තැනකට පරිත්‍යාග කෙරිණ. දැරණියගල රෝහලට අනාථ නිවාසවලට රූපවාහිනී යන්ත්‍ර ලැබුණේ ඒ නිසාය.

ඇතැම් තැනකදී ඉරුණු හැට්ටයෙන් - අණ්ඩ දැමූ චීත්තයෙන් - අසරණ අතින් - යම්තමින් ලෙවකෑමට ඇති වේල් කීපයක් එකතු කර හාමුදුරුවන්ට දන්වේලක් බෙදන උපාසකම්මලා දකින දෑසින් රූපවාහිනීයක් බලා සතුටු විය හැකි දැයි - උන්වහන්සේ පවසති. එසේ පවසන විට විසූක දස්සන දැක දූෂිත නොවු දෑසින් ගලා යන කඳුළු කැටි මුව මතින් රූරා හැලෙනු මම දිටිමි. එය සංවේගයෙන් උනන අව්‍යාජ උණු කඳුළක් යැයි සිතෙයි.

දේහය සතපවන්නට ලෑලි කෑල්ලක්වක් නැති අන්ත අසරණුන්ට මේ වන විට මිනී පෙට්ටි 54ක් පමණ පරිත්‍යාග කර ඇති මහින්ද හිමියන් අපවත් වන දාට තමා වෙනුවෙන් මිනීපෙට්ටියක් ගන්නට තරම් මුදලක් වත් නැති බව උන්වහන්සේ පවසන විට මට හැඟුණේ මෙවන් පසු බිමක සිදුවන පරිත්‍යාගයන් - පාරමිතාවක් බවට පත් විය හැකි බවකි.

මෙවන් මහත් පරිත්‍යාගයන් සිදු කළ ද උන් වහන්සේගේ නම ඉදිරියේ පදවි - තානාන්තර නම්බුනාම කිසිවක් ලියැවී නොතිබිණි. ඒ පිළිබඳ උන් වහන්සේ මතු කරන්නේ ගැඹුරු දර්ශනයකි.

“මහත්තයෝ මට පදවි තනාන්තර දෙන්න නොයෙකුත් සමිති සමාගම් නිකාය ආදියෙන් සූදානම් වුණා. ඒ අගය කිරීමට මම ඔවුන්ට ගෞරව කරනවා. ලැබෙන්න ගිය නම්බුනාම මම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා.

මා කළ ශාසනික සමාජීය සේවාව අතිමහත් වුවත් තවම මට බැරි වුණා සෝවාන් ඵලයවත් ලබාගන්න. ඒක ලැබුණොත් තනතුරු ගැනත් හිතල බලනවා.”

පෙර රජ දවස මූඩියක් ගැසු ගලක් පිළිබඳ ජන වහරේ කියැවෙයි. මූඩිය ගැසු ගල මූඩි ගල වී පසුව මූණ්ඩි ගල ලෙස ජන වහරට එකතු වී තිබේ. මුණ්ඩිගල අාරණ්‍ය සේනාසනයට කනම්පැල්ල රක්ෂිතයෙන් අක්කර 28ක් මායිම් ලකුණු කර වෙන්කර දී තිබෙයි. සේනාසනයට යාවන පාදමේ තිබු අක්කර ¾ පමණ පෞද්ගලික ඉඩමක් කට්ටි කඩා විකුණන්නට සුදානම් වු මොහොතක ධන පරිත්‍යාගශීලීන් ලවා එය මිලදී ගෙන වනයටම ආවේණික ගස් කොළං සිටුවා එම ඉඩමෙහි කිසිම ඉදිකිරීමකින් තොරව වනයටම යා කර තිබීම පෙරළා වාසි නොතැකූ සුවිශාල පරිත්‍යාගයකි.

තෙත් කලාපයට ආෙව්ණික මේ වන ගහනයේ ස්වභාව ධර්මයේ මහැඟි දායාදයන් ලෙස අතිශය වටිනා නැදුන්, මිල්ල, කොස්, මැහෝගනී, වල්දෙල්, ඊපෙත්ත, වැලිපියන්න, ලුණුමඬල, ලුණුවරණ, ගොඩපර, දාඹු - වල් වරකා, පිහිඹියා වැනි වෘක්ෂයන්ද - වල් ඌරන්, ඉත්තෑවන් ඉතා දුර්ලභ කබල්ලෑවන්, ඕලු මුවන්, වලිකුකුළන් මෙන්ම නයා, පොළඟා, පළා පොළගා, පිඹුරා, දුර්ලබ මල්සරා වැනි විෂඝෝර සතුන් ද වනයේ සෙවණ සිසිලස යට අරණේ ආරක්ෂාවෙන්ද නිවී සැනසිල්ලේ කල් ගෙවීම විශේෂත්වයකි.

කළු ගලින්ද, සිමෙන්තියෙන්ද තැනු පිය ගැටෙන් මුකලාන ඉහැත්තෑවට දිවෙන මං පෙත මත වියැළුණු පත්‍ර අතු ඉති වැටී වැතිරී මිනිසා විසින් තැනු මඟට ස්වභාව ධර්මය විසින් බාධා පමුණුවා තිබෙන සේයකි. ඒ අතු ඉති අතර පත්‍ර යට සර්පයෙකු හෝ රිසිසේ කල් ගෙවන්නේ නම් ‘වනයේ උරුමක්කාරයින්ට වනය ලබා දී උඹලාගේ ආගන්තුග පාදය සීරුවෙන් තබපල්ලා’ යැයි වන ය අපට අනතුරු හඟවන සෙයකි.

ඒ නිසාම ලිස්සන සුලු ගල් පඩි මත සෙමෙන් තබන පාදයේ දිග පළල මනින කූඩැල්ලකු රතු ඉරි ගැසු නිසා දෝ මගේ ඇඟිලි කරු අතරින් ලේ ගලා යනු දු‍ටුවේ මා සමඟ ගමනට ඈඳුණු සගයා ය.

වනයේ එක් කේඩෑරි ගසක බඳ කහ සිවුරෙන් ඔතා තිබෙනු පෙනේ. ඉතා උස බටයක් වැනි කොන්ක්‍රීට් වළල්ලකින් මුල මණ්ඩලය සිරවී ඇති නිසා ගසේ වර්ධනය බාල වී ඇති සේයකි. ඒ ගස නම් අරණේ සැදෑගැති ලකුණ තබනා බෝධි වෘක්ෂයය. රිළවුන් ළපටි බෝපත් කෑමට දැඩි රුචිකත්වයක් දක්වන නිසා කොන්ක්‍රීට් බටයක් දමා ඇත්තේ ගසට නැගීමට අපහසු වන ලෙසය.

අරණ මුඳුන් තලයේ සදා ඇති බුදු මැඳුර වනයට අනුගත වී ගස් කොළන් අතරින් නිරාවරණය වී පෙනීම ද එක්තරා සුන්දර දසුනකි.

මුණ්ඩිගල ආරණ්‍යයේ ‍යෝගාවචර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් තැනු කුටි 09ක් ද ස්වාභාවික ලෙන් 04ක් ද සැකසී තිබේ. මේවා වනයටම අවනත වූ වනයේ පංගුකාරයන් ලෙසම දිස්වෙයි.

පහත මාලයේ ඇති ධර්මශාලාවෙහි දස දහසකට පමණ සෙවණ සැලසිය හැකි බව ද පැවසෙයි.

හදවත තෙමනා කේශ නාළිකාවක් සේ මූකලාන මධ්‍යයෙන් ගලන සිහින් දිය කෙන්ද කන්ද පාමුලට පැමිණෙන්නේ සැලකිය යුතු ජල පරිමාවක් එකතු කර ගනිමින් ය. එය විශාල ටැංකියක් ද පුරවා පිටාර ගලමින් පහත් බිම් ද තෙත් කරන්නට අපමණ වෙහෙසක් දරනා සෙයකි. අප පුදුමයට පත් කරවන ස්වභාව ධර්මයේ අසිරිය නම් එය යි.

ඉදිරියේදී බස්නාහිර පළාතේ ආධ්‍යාත්මික පෝෂණ මධ්‍යස්ථානය නමින් රාජ්‍ය අනුමැතියෙන් ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක වීමට ද නියමිතය. සක්මන් මළු සහිත භාවනා කුටි 10ක් විශ්‍රාමශාලාවක් පුස්තකාල ගොඩනැගිල්ලක් මෙම ව්‍යාපෘතියට අයත්ව, ඇත­ැමක ඉදිකිරීම් කෙරෙමින් පවතී.

මේ වන මූකලානේ සැරිසරන අතරේ රුක් බඳක සටහන් කර තිබූ වදනක් පසු ගමන් එන විට ද හද බ‍ඳෙහි තදින් සටහන් වී තිබෙයි. ‘වනං ඡින්දථ මාරුක්ඛං’ එසේ නම් වහ වහා ක්‍රියාශීලී විය යුත්තේ ගස් කොළං කපා විනාශ කිරීමට නොව කෙලෙස් වනය සිඳ බිඳ දැමීමට ය.

ජනක වෙත්තසිංහ

අදහස්