නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

හද කඳුළ

ඒ වන විට මා සිටියේ සේවා ස්ථානයේ වැඩ කරමිනි.

එය පිහිටා තිබුණේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ය. ඉහළ මහලේ මා හිඳ සිටි තැනට පහත ඇති ප්‍රධාන මාර්ගය ද එහි යන එන වාහන ද හොඳින් පෙනිණ.

‘චිරිස්!’

එක වරම පාරෙන් අමුතු හඬක් නැඟිණ. මම වහා පාර දෙස බැලුවෙමි.

ලොරියක් වේගයෙන් ඇදී ගියේ ය.

බැල්ලක් මර හඬ නැඟුවා ය.

‘චිරිස්’ හඬ නැගී ඇත්තේ ඇය ලොරියේ වැදුණු විට බව මට පසක් විය.

මම වහා අසුනින් නැගිට විපරම් කළෙමි. දැඩි වේදනාවෙන් කෑගසමින් සිටි සතාගේ ඉදිරි ගාතයක් එල්ලා වැටෙමින් තිබිණ. මම ගල් වීමි.

බැල්ල එල්ලා වැටෙන අත හරිගස්සන්නට මෙන් එය හොම්බෙන් උස්සන්නට හදමින් වටයක් දෙකක් එක තැන කැරකුණා ය. බැරි ම තැන කෙඳිරි ගාමින් පාරෙහි ම දිගා වූවා ය.

බැල්ල හප්පා දැමූ ලොරිය තරමක් දුර ගොස් නැවතුණු හැටිත්, රියැදුරු හිස හරවා බැල්ල‍ දෙස බැලූ හැටිත්, යළි හිස ඇතුළට ගෙන කිසිවක් නොවූ ගාණට ගමන් ඇරඹූ හැටිත් මා බලාගෙන ය.

අවට සුනඛයෝ දිවැවිත් බැල්ල වට කර ගත්හ. ඔවුන් දුටු බැල්ල දුක කියන්නට මෙන් උඩු බුරු ලෑවා ය. සෙසු බල්ලෝ ද ඈ අනුව යමින් උඩුබුරු ලෑහ.

පාරේ යමින් එමින් සිටි බොහෝ දෙනෙක් ද බැල්ල ළඟට ආහ.

‘මනුස්සයෙකුට වුණත් මෙච්චරයි!’ කෙනෙක් කීහ.

ඔවුහු ඇය පාර අයිනට ගැනීමට වෙහෙස වූහ. වැඩි දෙනා උත්සාහ කළේ වචනයෙනි. එහෙත් කෙනෙකු ක්‍රියාවෙන් ම උත්සාහයේ යෙදෙනු පෙනිණ.

බැල්ල වරක් දෙවරක් ඔහුව හපන්නට හැදුවා ය. කෙසේ වුවද ඇය පාරෙන් යම් පමණ ඉවතට ගැනීමට ඔහුට හැකි විය. අනතුරුව ඔහු ඉවත් වූයේ ය.

‍යෞවනියක් බැල්ලට ළං වී ඇගේ හිස අතගාන්නට වූවා ය. ඇයට කීකරුකම පෙන්නූ බැල්ල යළිත් වේදනාවෙන් හඬ නැංවූවා ය.

ටිකකින් යෞවනිය නැගිට පිටතට අත වැනුවා ය. ත්‍රිරෝද රියක් එහි ආවේ ය. ඇය ඉතා පරිස්සමින් බැල්ල එහි පටවා ගත්තා ය. ඇගේ යෙහෙළියක් ද එහි නැගුණා ය. ඒ සමඟ ම එය මගේ දසුනින් ඉවත් විය.

රැඳී සිටි අය ඉවත්ව යන රිය දෙස මොහොතක් බලා සිට විසිර යන්නට වූහ.

‘හොඳ කර ගන්ඩ පුළුවන් වෙයි නේද?’ මම ළඟ සිටි මිතුරියකගෙන් ඇසීමි.

‘ඔව්’ ඇය කීවා ය.

සිවුපාවාට වූ විපත්තියනේ කැලඹී සිටි මට පණක් ආවේ ඒ පිළිතුරෙනි.

මේ සිද්ධිය කෙමෙන් අතීතයට එක් විය. එහෙත් එය නිරන්තරයෙන් ම අලුත් වෙමින් ම සිතට එය වධ දුන්නේ ය.

මා මගෙන් ම අසා ගත් ප්‍රශ්නයක් විය.

‘ඒ සතා අච්චර වේදනාවෙන් දඟලද්දි ඇයට පිහිට වීමට ඉදිරිපත් නොවී ඔබ ගල් ගැසී සිටියේ ඇයි?’

ඊට පිළිතුරු සපයා ගත නොහැකිව මම දුක්වෙමි. එහෙත් මා බඳු ම යෞවනියක් ඇයට පිහිට වනු මම දිටිමි. ඇගේ හදෙහි තිබූ සත්ව කරුණාවට, දයානුකම්පාවට, ඉදිරිපත්වීමේ හැකියාවට මම ගරු කරමි.

ඒ අසරණ සතා ගේ දුකට පිහිට වූ බදුල්ලේ කන්දකැටිය පෙදෙසේ ඇය ඇතුළු හැම දෙනාට ම මම යහපත පතමි.

බදුල්ලේ රුවනි ලසන්තිකා මෙණෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


රන්වන් නළාව

‘පුතේ, මේ කැවුම් කිරි බත් පිඟාන ලිලී නැන්දලගෙ දිහෑට දීල වරෙං!’

එක්තරා සිංහල අලුත් අවුරුදු දවසක අම්මා මට කීවා ය.

මට සතුටක් දැනිණ. ඒ මා ලිලී නැන්දාටත්, ඇය මටත් ළෙන්ගතුව සිටි නිසා ය.

දෑතින් ගත් පිඟාන පපුවට තුරුලු කොට ගෙන මම එගොඩවත්තට යන්නට වීමි. ලිලී නැන්දලා හිටියේ එගොඩවත්තේ ය.

‘නැන්දෙ අම්ම මේක දෙන්ඩ කිව්ව’

මගේ හඬ ඇසී ලිලී නැන්දා හැරී බැලුවා ය. මා දුටු හැටියේ ම ඇගේ මුව සිනා දහරකින් හැඩ විය. ඒ ළෙන්ගතු සිනාවට මම ආසා කළෙමි.

මා දෝතින් පිරිනැමූ කැවිලි පිඟාන දෝතින් ම පිළිගත් ලිලී නැන්දා ගෙතුළට ගියේ ‘එන්න පුතේ වාඩි වෙන්න’ යි කියමිනි.

මා අසුන්ගත් හැටියේ ම ඇය මට රසකැවිලිවලින් සංග්‍රහ කළා ය.

ලිලී නැන්දා පරණ තේ පෙට්ටියක් අවුස්සන්නට වූයෙන් මම කුහුලට පත්වීමි. ඉන් යමක් සියතට ගත් ඇය අර ළෙන්ගතු සිනාවෙන් ම යුතුව මදෙස හැරුණා ය.

‘පුතාට අවුරුද්දට මගෙන් තෑග්ගක්!’ ඇය දෝතින් ම මට එය පිරිනැමුවා ය.

මගේ දෑස පුදුමයෙනුත්, ආසාවෙනුත් මහත් විය.

ඒ මවුත්ඕගන් නළාවකි.

මම දෝතින් ම එය ගතිමි.

එය රන් පැහැයෙන් දිලිසිණ. ඩබ්ලිව්. ආර්.ඊ. එන් යන ඉංගිරිසි අකුරු හතර ද රන් පැහැයෙන් දිස්විය.

මා ගෙදර ගියේ එය පිඹිමිනි.

‘අම්මෙ මේං, ලිලී නැන්ද මට දුන්නු තෑග්ග’

අම්මා වහා හැරී බැලුවා ය.

‘මොකක්ද පුතේ?’

‘මවුත්ඕගන් එකක්’

අම්මාගේ මුහුණ හැඩ විය.

මම එදා මුළු දවස ම මවුත්ඕගනය පිම්බෙමි. හැන්දෑ වන විට කටේ දෙපැත්ත ම තුවාල වී තිබිණ.

ඉන් ටික කලකට පසු ලිලී නැන්දා දක්නට නොවී ය. ඇය සිය සැමියාගේ ගෙදරින් පිටව ගොස් ඇති බව මම අම්මාගෙන් දැන ගතිමි. ඉනුත් කලකට පසු මට ලිලී නැන්දා අහම්බෙන් මගදී හමු විය.

‘යන්නම් පුතේ’ කියාගෙන ඇය වහා යන්නට ගියා ය.

මම ඇය නොපෙනී යන තෙක් බලා සිටියෙමි. මිටි, තරබාරු ඇයට ඇත්තේ ලලිත ගමනකි.

ලිලී නැන්දා සිහියට නැගෙන විට දැනුදු මට එගොඩවත්ත දෙස බැලෙයි. දැන් එහි ඇත්තේ පරණ එගොඩවත්ත නොව පවුල් තිහ හතළිහක් වෙසෙන, කොටස් කර විකුණන ලද එගොඩවත්තකි.

මාදම්පේ, ඊබට් ෂෙල්ටන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්