
ශ්‍රී ලංකාවේ පළමුවරට පළ වන ඕෂෝ ජීවන චරිතාපදානය - 11
මම ඒ වයසක උන්දැට පුදුමාකාර විදියට කෘතඥ වෙනව. කවද හරි දවසක මගෙ දෙමවුපියන්ට වග කියන්න වෙනව කියල සීය නැවත නැවතත් හිතේ කරදර හදා ගත්ත. “ඒගොල්ලො කියාවි ‘අපි දරුවව උඹල දෙන්න ළඟ තියල ගියා. උඹල ඌට කිසි දෙයක් උගන්නල නෑ’ කියල” සීය ආයෙත් කිව්ව.
ගමේ හිටිය මට හෝඩියයි, ඉලක්කනුයි, භූගෝල කාරණ ටිකකුයි කියල දෙන්ඩ පුළුවන් මනුස්සයෙක්. එයා ඉගෙන ගෙන තිබුණෙ හතර වෙනි කැලෑසියට විතරයි. ඒකට තමයි ඉන්දියාවෙ ප්‍රාථමික අධ්‍යාපනය කියල කිව්වෙ. නමුත් ඔහු තමයි නගරෙ හිටිය වැඩියෙන්ම උගත් කෙනා.
‘එයාට පුළුවන් ඇවිත් මෙයාට උගන්නන්ඩ. අඩු තරමෙ මෙයා හෝඩියයි, ගණං ටිකයි ඉගෙන ගනීනෙ. එතකොට මෙයා දෙමවුපියන්ගෙ ගෙදර ගිය දවසක මෙහෙ ගෙවපු අවුරුදු හත නාස්ති වුණා කියල කියන්ඩ බැරි වෙයිනේ.’ සීය ඒ විදියට ආච්චිගෙ අදහස වෙනස් කරන්ඩ හුඟක් මහන්සි ගත්ත.
‘අවුරුදු හත ගියාට පස්සෙ උං මේ දරුවට ඕනැ එකක් උගන්න ගත්තාවෙ. ඒත් අවුරුදු හත වෙනකං දරුව එයාගෙ විදිහට හැදිච්චාවෙ. අපි ඇඟිලි නොගහ ඉන්න එකයි ඇත්තෙ.’ ආච්චි එහෙම කියල මෙහෙමත් තර්ක කෙරුව.
‘ඔහේ හෝඩිය දන්නව. මොකක්ද ඇති වැඩේ? ඔහේ ගණං දන්නව. මොකක්ද ඇති වැඩේ? ඔහේ සල්ලි ටිකක් හොයාගෙන තියනව. දැං ඔහේටත් ඕනැ මේ දරුවත් සල්ලි ටිකක් හොයාගෙන ඔහේ වගේ ඉන්නව දකින්ඩද?’
ඒකට සීයගෙ කට වැහිල ගියා. මොනව කියන්ඩද? තර්ක කරන්ඩ බැරි හින්ද සීය අමාරුවෙ වැටුණ. වග කියන්ඩ වෙන්නෙ ආච්චිට නෙමෙයි තමන්ටයි කියල දන්නෙ සීයනෙ. ‘මොකද තාත්තෙ මේ දරුවට කරල තියෙන්නෙ?’ කියල අපේ තාත්ත අහන්නෙ සීයගෙන්නේ. මූණ දෙන්ඩ තිබුණ හැබෑ ම ප්‍රශ්නෙ ඒක තමයි. ඒත් වාසනාවට වගේ තාත්තා එහෙම අහන්ඩ ඉස්සර සීය මිය ඇදුණ.
ඒ වුණාට තාත්ත සීය මිය ගියා කියල තැකුවෙ නෑ. දිගින් දිගට ම උන්දැට දොස් කිව්ව. ‘මේකට ඒ නාකි මිනිහ වග කියන්ඩ ඕනැ! මිනිහ ළමයව නාස්ති කරල! තාත්ත එහෙම දොස් කියන කාලෙ වෙනකොට එදා ආච්චි කියල තිබුණ වගේ මං හොඳ හයිය හත්තියට හැදිලයි හිටියෙ. මං තාත්තට තදින් කාරණා පෙන්නල දුන්න.
“මීට ප්සසෙ මං ඉන්න තැන කවමදාකවත් අපේ සීයට විරුද්ධව වචනයක්වත් කියන්ඩ එපා! උන්දැ මාව විනාස කෙරුවෙ නෑ! උන්දැයි මාව තමුන්ලගෙන් වෙන විනාසෙං බේර ගත්තෙ! ඒකටයි තමුන්ට ඔය කේන්ති ගිහිං තියෙන්නෙ. තමුන්ට ඔය අනිත් ළමයි ඉන්නෙ. උන්ව නැති නාස්ති කරල දාන එකයි ඇත්තෙ. අන්තිමේදි තමුන්ට තේරෙයි කවුද නැති නාස්තිවෙලා තියෙන්නෙ කියල.’
තාත්තට තවත් දරුවො හිටිය. අවුරුදු පතා ම දරුවො හම්බ වුණා. ඒකටත් මං තාත්තට ඔච්චම් කෙරුව.
‘තවත් දරුවෙක් හදා ගත්ත නං හරිනෙ. දරුවො කීයද කියල මිනිස්සු අහනකොට එකොළහයි කියන එක නං හරි නෑ, දුසිම තමයි හිතට වදින නියම ගාණ.’ පස්සෙ කාලෙ මං තාත්තගෙන් මෙන්න මෙහෙම අහන්ඩත් පුරුදු වෙලා හිටිය.
‘තමුන් දැන් තමුන්ගෙ ළමයි සේරම නැති නාස්ති කරල දාන්ඩ! මං ඉතිං කැලේ පැන්න එකානෙ. මං කැලේ ම හැදෙන්නං’
අහිංසකකම හැටියට ඔබ දකින්නෙ කැලෑවැදීම මිසක් වෙන දෙයක් නෙමේ. පවිත්‍රකම විදියට ඔබ දකින්නෙත් වල්වැදීම මිසක් වෙන දෙයක් නෙමේ. කොහොම - කොහොම හරි මම ශිෂ්ටාචාරයෙ ග්රහණයෙන් මිදුණා.
‘පුළුවං තරම් ඉක්මනට ළමයව මෙල්ල කර ගන්ඩ, කාලෙ නාස්ති වෙන්ඩ දෙන්ඩ එපා! ඉක්මන් කරපු තරමට වැඩේ ලේසියි. දරුවගෙ කරදඬු උස් මහත් වුණාට පස්සෙ වුවමනා විදියට නම්ම ගන්න එක බොරු’ කියල මිනිස්සු කියන්නෙ ඒකයි.
ජීවිත කාලෙ පුරා ම අවුරුදු හතේ චක්‍ර පවතිනව. දරුවෙක් නියම විදියට ශක්ති සම්පන්න වෙන්නෙ අවුරුදු හතේදියි. එතකොට ඔබට මොකුත් කර ගන්ඩ බෑ. දැන් දරුව දන්නව තමන් කොහෙද යන්ඩ ඕනැ මොනවද කරන්ඩ ඕනැ කියල. ඔහු තර්ක කිරීමේ හැකියාවෙන් යුක්ත වෙනව. වයස හතේදි දරුව යමක් පැහැදිලිව දැකීමේ උපරිම තලයට ළඟා වෙනව. දරුවගෙ ළමා වියේ මුල් වසරවලදි ඔබ ඔහුට කරදර කළේ නැත්නම් වයස හත වෙනකොට ඔහු තමන්ගෙ ඉදිරි ජීවිත කාලය ම පසුතැවිල්ලෙන් තොර ගෙවන්නෙ කොහොමද කියන එක ඉතා පැහැදිලිව දැක ගනීවි.
මම ජීවත් වෙලා තියෙන්නෙ කිසි ම පසුතැවිල්ලක් නැතුවයි. මම ජීවිතේ මොකක් හරි වැරදි දෙයක් කරල තියනවද කියල බලන්න මම හුඟක් උත්සාහ කළා. මම කරල තියන හැම දෙයක් ම හරියි කියල මිනිස්සු හිතන්නෙ නැති වෙන්න පුළුවන්. ඒක නෙමෙයි කාරණේ. මං කවදාවත් හිතල නෑ මං කළ වැඩක් වැරදියි කියල. මං කළ දේවල් මුළු ලෝකෙ ම වැරදියි කියල හිතුවත් ඒව හරි කියල මට සහතික කරල කියන්ඩ පුළුවන්. ඒක තමයි කළ යුතු නිවැරදි දේ.
ඒ නිසා අතීතය ගැන පසුතැවිලි වීමේ ප්‍රශ්නයක් නැත. ඔබට අතීතය ගැන පසුතැවිල්ලක් නැත්නම් ඔබ ඒකෙන් නිදහස්. අතීතය ඔබව බූවල්ලෙකු වගේ පටලවගෙන ඉන්නෙ ඔබ හිත හිතා ඉන්න නිසයි. ‘මං ඒක ෙනාකළ යුතුව තිබුණා’ ‘මං කරන්න හිතාගෙන හිටපු දේ කෙරුවෙ නෑ’ වගේ හැම සිතුවිල්ලක් ම කරන්නේ ඔබ පිටුපසට ඇද දමන එකයි. මට නං පිටුපසින් කිසිවක් පේන්නෙ නෑ. අතීතයක් නෑ.
මගෙ අතීතය ගැන මා යමක් කියනව නම් කියන්නෙ සිද්ධිවාචක (සත්‍ය) කාරණාවලින් මිස මානසික මැදිහත්වීමකින් නෙමෙයි.
මං ඒක කියන්නෙ වෙන අයකු ගැන කතා කරන විදියටමයි.
ඒ නිසා මතක තබා ගන්න! තථ්‍ය මතකය වහල්කමින් මිදිලයි තියෙන්නෙ. මානසික මතකය එහෙම නෙමෙයි. එය රැඳී තියෙන්නෙ ඔබ හිතන දේ මතයි. එහෙම නැත්නම් ඔබ හිතන්න පුරුදු වෙලා තියන දේ අනුවයි. ඒ දෙක ම වැරදියි. නමුත් ඔබ කරන්නෙ ඒකයි. මානසිකව තුවාලයක් හැදෙන්නෙ එතකොටයි.
ගුණසිංහ හෙට්ටිආරච්චි