මොකක්ද මේ BOT ? | සිළුමිණ

මොකක්ද මේ BOT ?

රටකට ආයෝජන ආවත් ප්‍රශ්නයකි. නාවත් ප්‍රශ්නයකි. මහා පරිමාණ ව්‍යාපෘතිවලදී ආයෝජන එන්නේ ක්‍රම කිහිපයකිනි. විශේෂයෙන් රටේ තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන මහා පරිමාණ ආයෝජනවලට පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ වන්නේ විශේෂ ආයෝජන පදනමක් මතය. ප්‍රධාන වශයෙන් ඔවුන් රටක මහා පරිමාණ ආයෝජන සඳහා ක්‍රම දෙකක් මත පදනම්ව ආයෝජනය කරති. මේ ක්‍රම දෙක වන්නේ ඉදිකිරීම, මෙහෙයවීම සහ අත්පත් කර ගැනීම (Build Own & Transfer – BOT) එසේ නැති නම් ඉදිකිරීම, අයත්කොට මෙහෙයවීම සහ පසුව පැවරීම (Build Own Operate & Transfer) යන ආයෝජන පදනම් දෙක මතය. යම් ව්‍යාපෘතියකට තමන් විසින් සිදු කරනු ලබන ආයෝජනයට සාපේක්ෂව ඔවුන් යම් වසර ගණනාවක් තුළ නිශ්චිත ප්‍රතිලාභයක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් අදාළ රටට මෙම ව්‍යාපෘතිය බාර දී සම්පූර්ණයෙන්ම ඉවත් වීම සිදුවෙයි.

බොහෝ දෙනා එම ආයෝජන ක්‍රමවේදය පෞද්ගලීකරණයක් ලෙස දුටුවද එය එසේ නොවේ. රටකට විශාල ආයෝජන ධාරිතාවක් දැරිය නොහැකි පසුබිම් තුළ රටේ දීර්ඝ කාලීන යටිතල පහසුකම් අවශ්‍යතා පූර්ණය කිරීමේදී එලෙස අදාළ හවුල් ආයෝජකයාටද නිශ්චිත කලක් තුළ ප්‍රතිලාභ ලැබෙන පරිදි අදාළ ව්‍යාපෘතිය දියත් කොට පසු කාලීනව රටේ හිමිකමක් බවට පත් කර ගැනිමට හැකියාව ලැබෙයි.

මෑත කාලීන ව දියුණුවට පත් වූ ආසියාකරයේ මැලේසියාව, ඉන්දුනීසියාව පිලිපීනය වැනි රටවල බොහෝ මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘතිවලදී මේ ක්‍රමය යොදා ගැනිණි. මේ අතර මෙම වයාපෘති සාර්ථක ලෙසින් උපයෝගි කර ගත් රටක් වන්නේ මැලේසියාවය. විශේෂයෙන් මැලේසියානු සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් කළ අගමැති මහතීර් මොහොමඩ් මහතාගේ පාලන කාලයේදී ඉදි කෙරුණු බොහෝ මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවලදී මෙම BOT ක්‍රමය යොදා ගැනිණ. ඕනෑම ව්‍යාපෘතියක් සිදු කිරීමේදී එහි ආයෝජනය සම්බන්ධයෙන් වාසි සහ අවාසි සහගත තැන් නිර්මාණය වීම ස්වභාවයකි. මැලේසියාව මෙම වාසි අවාසි නිසි ලෙස තුලනය කිරීම සඳහා ඊට ආවේනික වූ සුවිශේෂී ක්‍රමෝපායයන් අනුගමනය කොට ඇති අතර මේ නිසා සමස්තයක් ලෙස රටට හිතකර වන ආකාරයට මෙම ක්‍රමයෙන් වැඩ ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

ශ්‍රී ලංකාවද මේ වන විට මෙම ආයෝජන ක්‍රමවේදය යටතේ සාර්ථක මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්ම මෙරට තුළ ක්‍රියාත්මක කොට ඇත. 1990 දශකයේ කැලණිතිස්ස විදුලි බලාගාර‍ෙය් ස්ථාපනය කරන ලද සංයුක්ත දහන විදුලි බලාගාරයක් මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙයි. එයට අමතරව කොළඹ වරායේ SAGT එනම් සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල් කන්ටේනර් මෙහෙයුම් පර්යන්තයද 1999 වසරේ සිට ඉදිරි වසර 30ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.

මේ ව්‍යාපෘතියේ ආයෝජකයන් ලෙස දේශීය සහ විදේශීය ආයෝජක සමාගම් කිහිපයක් පාර්ශ්වකරුවන් වන අතර ඔවුන් මෙම ව්‍යාපාතියේ ව්‍යාපාරික කටයුතුවලින් එයින් අනතුරුව ඉවත් වීමෙන් පසු මෙම කන්ටේනර අංගණය ශ්‍රී ලංකා රජය සතුටවයි. එමෙනම් පසුගිය රජය සමයේදී චීන ආයෝජනයක් ලෙසින් ආරම්භ වූ කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් එනම් සී.අයි.සීටී ව්‍යාපෘතියද තවත් එවැනි ව්‍යාපෘතියකි.

එවැනි රට අධික ණය බරක් වෙත තල්ලු නොකරමින් විදේශ ආයෝජන මත රටකට දීර්ඝ කාලීනව ප්‍රයෝජන ගත හැකි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මෙලෙස ඉදි කර මෙහෙයුම් කටයුතු සිදු කර පසුව පැවරීමේ BOT ක්‍රමය රටකට දීර්ඝ කාලීනව හිතකර ක්‍රමවේදයක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ දකිති.

චාමින්ද

අදහස්