කරන හැම වැඩකදීම මනුස්සකම රැක ගත යුතුයි | සිළුමිණ

කරන හැම වැඩකදීම මනුස්සකම රැක ගත යුතුයි

යොහාන් විජේසිංහ / MD - Hayleys Leisure Holdings

හොඳ සේවක මඬුල්ලක් ඔහුගේ පළමු ඉලක්කයයි. සිය සේවකයන් නඟාසිටුවීම ප්‍රධානියකුගේ පළමු වගකීම බවත්, එසේ වීම අයතනික ඵලදායිතාවට සෘජු බලපෑමක් කරන බවත් ඔහු දනියි. ඒ වසර ගණනක අත්දැකීමෙනි. එනිසාම අවශ්‍ය මොහොතේ සේවකයන් විමසන්නටත්, අවශ්‍ය මොහොතේ ඔවුන් නඟාසිටුවන්නටත් ඔහු මැළි නොවෙයි. හේලීස් ලෙෂර් හෝල්ඩිංග්ස් හී කළමනාකාර අධ්‍යක්ෂ යොහාන් විජේසිංහගේ හඬයි මේ.

මැනේජ්මන්ට් එකේ වගකීම ස්ටාෆ් එක ඉහළින්ම බලාගැනීම. ස්ටාෆ් එකේ වගකීම කස්ටමර් බලාගැනීම 
රිවෝඩ් එක තමන් අරගෙන වැරැද්ද සේවකයාට දීම, හොඳ නායකයෙක් කවදාවත් කරන්නේ නෑ

ඔබ ආයතන කිහිපයක තනතුරු දරනවා...

හේලිස් සමාගමේ තනතුරු තුනක් දරන බව ඇත්ත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත් මං අධ්‍යක්ෂවරයෙක්. හැබැයි ඒ අධ්‍යක්ෂධුරය, වැටුප් නොලබන ගරු සේවාවක්.

හේලිස් සමාගමේ මොනවද ඔබ දරන තනතුරු…

හේලිස් ලෙෂර් හෝල්ඩිංග්ස් MD. හේලීස් ඇලුෆැබ් පීඑල්සී ආයතනයේ MD. හේලීස් එස් ඇන්ඩ් ටී ආයතනයේ අධ්‍යක්ෂ. හෝටල් ඉදිකිරීම්, ඉන්ටිරියර්ස්... වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකම මේ ව්‍යාපාර පැතිරි පවතිනවා.

ඔබ හේලීස් සමාගමට කළ ලොකුම වෙනස මොකක්ද...

මම හේලීස් සමාගමට ආවේ 2008 අවුරුද්දේ මොහාන් පණ්ඩිතගේ සභාපතිතුමා, නියෝජ්‍ය සභාපතිව සිටි සමයේ. 2009 දී එතුමා සභාපතිවෙලා ගුවන් ගමන් සේවා සඳහා අලුත් යුනිට් එකක් අරඹනවා. ඒ ආයතනය සංවර්ධනය කරන්න එතුමා මට බාර දෙනවා. ආරම්භයේදී මිලියන දෙකක් ලාබ ලබපු ඒ ආයතනය අද මං මිලියන සියයකට වඩා ලාබ ලබන සමාගමක් බවට පත් කර තිබෙනවා.

ඔබ වගේ ප්‍රවීණයන් දක්ෂයන් අධ්‍යක්ෂ මණ්ඩලවල ඉඳලත් ශ්‍රී ලංකන් එයාර් ලයින් පාඩු ලබන්නෙ මොකද...

2007 අවුරුද්දෙ මං ඉවත්වෙන කොට ශ්‍රී ලංකන් එයාර් ලයින් ලාභ ලබන ආයතනයක්. එතැනින් එහාට ප්‍රශ්න කිහිපයක්ම මේ සමාගමට බලපෑවා. දැන් ඉන්න සභාපතිවරයාගේ ඉඳලා අපේ මුළු අධ්‍යක්ෂ මණ්ඩලයම වැටුපක් හෝ කිසිදු ප්‍රතිලාභයක් නොලබා වැඩ කරන්නේ ප්‍රතිව්‍යුහගත කරලා මේ සමාගම ගොඩ ගන්නයි. මම මේ සමාගමේ අධ්‍යක්ෂවරයකු වුණේ පහුගිය මැයි මාසයේ. නමුත් මෙතන තමයි මගේ පළවෙනි රස්සාව. මං හැදුණු ආයතනය. ඒ නිසා මේ ආයතනය ගොඩදාන්න මටත් හදවතින්ම ලොකු ඕනෑකමක් තිබෙනවා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

1983, එයාර් ලංකා ගුවන් සමාගමේ පුහුණුවන විධායකයෙක්. වයස දහනවයයි. වැඩ පටන් ගත්තෙ අලෙවි අංශයෙන්. අවුරුදු දෙකහමාරකින් මං විධායකයෙක්. එතැන් පටන් ජාත්‍යන්තරය හා බැඳුණු ගුවන් සේවා වගකීම් රැසක් පැවරෙනවා. විවිධ තනතුරු පහු කරනවා. අවුරුදු පහ‍ළොවකට පස්සෙ මං ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත්වෙන්නෙ Head of Cargo කියන ඉහළම තනතුරේදි සහ Management Board එකේ සාමාජිකයකුව සිටියදී.

මොනවද ඔබට තිබෙන ජාත්‍යන්තර අන්දැකීම්...

1992 ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාව අබුඩාබිවලට යවනවා. ඊළඟට වියානාවලට. මේ රටවල්වල ශ්‍රී ලංකන් ගුවන් සේවය අරඹන්න, ගිවිසුම් අත්සන් කරන්න, කාර්යාල පටන් ගන්න, අලෙවි අංශය ගොඩනඟන්න මුල් වුණේ මං. රාජකාරියත් ඇතුළත්ව මේ වෙනකොට මං රටවල් 52 කට ගිහින් තිබෙනවා. ඒ සමහර ගමන් පුහුණුවීම් සඳහා. සමහර ගමන් වැඩ කිරීමට. ඒ ඒ රටවල ඇවිදලා දැකලා ගත් අත්දැකීම් මගේ රස්සාවෙදි කොතෙකුත් ප්‍රයෝජනවත් වුණා. වින්දා වගේම ඒ ගමන්වලින් මං ඉගෙන ගත් දේ බොහෝමයි.

ඔබට අනුව, ආයතනයක ඵලදායිතාව අත්කර ගත හැකි හොඳම ක්‍රමය කුමක්ද...

බොස් හැම වැඩක්ම බදා නොගෙන බෙදා දිය යුතුයි. එයින් සේවකයන්ට හොඳින් වැඩ කිරීමට සහ වැඩ පෙන්වීමට අවස්ථාවක් උදාවෙනවා. ඊළඟට, වැඩේට අදාළ බලයත් දිය යුතුයි. හැම දේම ඇවිත් බොස්ගෙන් අහන්න ගියොත් කුසලතාවක් හෝ තීන්දු තීරණ ගැනීමට ඔවුන් සතු හැකියාව කවදාවත් එළියට එන්නෑ. වැදගත්ම දේ, සේවකයකුට හිමි විය යුතු ඇගැයිම සහ ගෞරවය තමන්ගෙ ගොඩට දා නොගෙන එය ඔහුට දීමයි.

එච්චරද...

අවස්ථාවන්, නිදහස සහ ඇගැයීම් ලැබෙන විට සේවක උනන්දුව වැඩි වෙනවා. අවුරුදු ගාණක් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළත් ඒවාට නිසි ඇගැයීමක් නොලැබුණොත් සේවකයා වැඩ කරන්නේ කනස්සල්ලෙන්. ඊට වඩා හොඳ නැද්ද ඔවුන්ටත් හොඳින් සලකලා වඩා හොඳ ඵලදායිතාවක් ආයතනයට ලබා ගැනීම.

මොකක්ද ඔබේ Management Style එක...

සේවකයන්ට අලුතින් හිතන්න ඉදිරියට යන්න, තීන්දු තීරණ ගන්න අවස්ථාව සලසා දෙන, Democratic Management Style එක. මේ ක්‍රමයෙදි motivational හෙවත් සේවක උනන්දුව වර්ධනය කිරීම ප්‍රධාන සාධකයක්. උදාහරණයක් කියන්නම්, Four Seasonal Group කියන හෝටල් ජාලයේ අපුරු ව්‍යාපාරික ප්‍රතිපත්තියක් තිබෙනවා. මැනේජ්මන්ට් එකේ වගකීම තමයි තමන්ගෙ ස්ටාෆ් එක ඉහළින්ම බලාගන්න එක. සේවකයාගේ වගකීම තමයි කස්ටමර් බලා ගන්න එක. ‘ස්ටාෆ්’එක හරියට බලා නොගත්තොත් කස්ටමර් සර්විස් එක ෆේල් ... මේ ක්‍රමයට මමත් සියයට සියයක් එකඟයි.

ඔබට පුර්වාදර්ශ වු ව්‍යාපාර නායකයන් කවුද...

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු CEO කෙනෙකු වන ජෝන් ෆ්ලෙමින් සහ හේලීස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වු ඩී. එස්. ජයසුන්දර මහත්මයා.

මොනවද ඔවුන්ගෙන් ජීවිතයට ගත් දේ...

ඔබ වැඩ කරන්නේ ජීවත් වෙන්න මිස ජීවත් වෙන්නෙ වැඩ කරන්නම නෙවෙයි... රස්සාව ජීවිතයම කරගත්තොත් තමන්ට තමන්ගෙ පවුල අමතක වෙනවා. වටිනාම දේ අත් හැරෙනවා. ඒ නිසා කවදාවත් ඔබ ඒ දේ කරන්න එපා.! ඒ වගේමයි, ඔබ යටතේ ඉන්න සේවකයකුට කවදාවත් හිරිහැර කරන්න එපා. පහත් කරලා කතා කරන්න එපා. ඔබ එහෙම කළොත් ඒ මනුස්සයා ආපිට හැරිලා වචනයක් නොකියන්නේ තමන්ගෙ රස්සාව රැක ගත යුතු නිසා. බලය තියෙන්නෙ ඔබේ අතේ නිසා. ඔබ ගැටෙන්න ඕනෙ ඔබට ඉහළ කෙනෙක් එක්ක මිස, බලය අහිමි අසරණයෙක් එක්ක නොවෙයි. මිස්ට ෆ්ලෙමින්ගෙ මේ ඔවදන් දෙක මගේ හදවතේ ගැඹුරෙම තැන්පත් වෙලා අදත් මං තුළින් ක්‍රියාත්මක වෙනවා. ඒවා මගේ ජීවන ප්‍රතිපත්ති.

එතකොට ජයසුන්දර මහත්මයාගෙන් ගත්තේ...

යම් වැඩකට අත ගහනවා නම් සියයට සියයක් ඒ වැඩේ තුළ ඉන්න ඕනෙ කියන එක. මොන බාධකය ආවත් ඉලක්කය කරා යන්න නම් මේ පුර්ණ අවධානය අත්‍යවශ්‍ය දෙයක්. රිසර්ච් කරමින් සොයමින් බලමින් සසඳමින් ඒ දේ සාර්ථක කරගන්නවා මිස උඩින් පල්ලෙන් අත ගාලා ක‍ෙළාත් ඒ වැඩේ සහ එහි ප්‍රතිඵලයේ පැවැත්මක් නැහැ. මේ ජීවිත පාඩම් අදත් මට මඟ පෙන්වන පහන් කණු.

මොකක්ද ඔබේ නායකත්ව ස්වභාවය...

Leading from The Front මම සේවකයන් වෙනුවෙන් ඉදිරිපත්වන නායකයෙක්. ප්‍රශ්නයකදි සේවකයා බිල්ලට දීලා මගේ රස්සාව බේරාගන්න ප්‍රතිපත්තියේ මම නැහැ. වැරැද්දක වගකීම මම තනිව බාර ගන්නවා. ලැබෙන හොඳ බෙදා ගන්නෙ ටීම් එකක් එක්කමයි.

නායකයෙක් නොකළ යුතු දෙයක් කියන්න...

රිවෝඩ් එක තමන් අරගෙන වැරැද්ද පමණක් සේවකයාට දීම. හොඳ නායකයෙක් කවදාවත් මේ දේ කරන්නෑ.

ඔය කියන යහපත් දේ ඔබේ ජීවිතය තුළ තිබෙනවාද...

හුඟක් ආයතනවල සිද්ධ වෙන්නෙ පුහුණුවීමකට ‘ෆොරින් ට්‍රිප්’ එකක් ආවත් ඒ අංශයේ ලොක්කා යන එක. එහෙමත් නැතිනම් ලොක්කගෙ ළඟම හිතවතා යවන එක. නමුත් අපි වෙනස්. පිටරට පුහුණුවකදි විෂයට අදාළ කෙනා මිසක් නායකයා යවන ක්‍රමයේ අපි නැහැ. ඒ අය ඉහළට ගියාම, ඊළඟට පහළින් ඉන්න අයට අවස්ථාව දිය යුතුයි. මේක මගේ විතරක් නෙවෙයි හේලීස් ආයතනයේම ප්‍රතිපත්තියක්.

නායකයාගෙ හොඳ වැඩි වුණාමත් ප්‍රශ්න වැඩියි. මේ ගැන මොකද කියන්නේ...

සේවකයාගේ යම් හොඳකදී සභාවක් මැද ප්‍රශංසා කරන්න මැළි වෙන්නෙ නැහැ වගේම වැරැද්දකදි කාමරයට ගෙන්වලා ප්‍රශ්න කරන්නත් නායකයකුට පුළුවන් වෙන්න ඕනේ. ඒ විමසීම් ප්‍රශ්න කිරීම්, බැණ වැදීමක් නොවිය යුතුයි. එය ඔහුගේ වැරැදි හදා ගන්නත් ප්‍රශ්නයකට හේතු වු මුලට විසඳුමක් ලබා දෙන්නත් අවස්ථාවක් විය යුතුයි. මේ තමයි මගේ ක්‍රමය. අපි එකට වැඩ කරද්දි විශ්වාසයයි වැදගත්. විශ්වාසයෙන් එකට වැඩ කරනවාද... විශ්වාසය කඩ කරලා ටීම් එකෙන් විසි වෙනවද කියන එක තීරණය එක තියෙන්නෙ සේවකයාගේ අතේ.

ඔබට සතුටු විය හැකි ඔබ තුළ තිබෙන හොඳ ලක්ෂණයක් කියන්න...

මගේ ටීම් එකේ වැඩ ගැන කාට ප්‍රශංසාවක් ලැබුණත් මං සතුටුයි. එහෙම අගය කරලා ඊ‍ මේල් පණිවුඩයක් ආවත් මං ඒක මගේ බොස්ටත් දැනුම් දෙනවා. සභාපතිවරයා වුණත් ඒ සේවකයා ගෙන්වලා ප්‍රශංසා කරනවටයි මං කැමැති.. ඒක ඒ සේවකයාට තවත් හොඳින් වැඩ කරන්න ලැබෙන ධෛර්යයක්, විශාල උත්තේජනයක්. මේවා මොන තනතුරක හිටියත් කරන්න පුළුවන් බොහොම පුංචි දේවල්. අවසානයේ ලැබෙන ප්‍රතිඵලය අතිමහත්. එය සමස්ත ආයතනයටමයි.‍

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද...

මං මගේ ජීවිතේටම ඇප්ලිකේෂන් එකක් දාලා ගියේ එක රස්සාවකටයි. අවුරුදු පහළොවකට පස්සෙ මං එතැනින් ඉවත්වෙන්න ඔබරෝයි හෝටලයෙන් ලැබුණු ආරාධනාවකට. ඒත් ඒ වේලාවේ මට ගන්න අමාරුම වුණු තීරණයත් ඒකමයි. එච්චර කල් එයාර්ලයින් ට්‍රේඩ් එක ගැන විතරක් හිතපු මං කොමර්ෂල් ෆීල්ඩ් එකට වැටුණෙ එතැනින්. ඒක ජීවිතේ එක හැරවුමක්. අනෙක තමයි හේලීස් ආපු එක. කන්ස්ට්‍රක්ෂන් ද ඉලෙක්ට්‍රිකල් ද ප්ලම්බින් ද, තරු හෝටල් නවීකරණය ද මෙකී නොකී හැම අංශයකම මං ව්‍යාප්ත වුණේ හේලිස් සමාගමේදී.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ. අයියයි, මමයි, මල්ලියි විතරක් නෙවෙයි, මගේ සීයයි තාත්තයි ගියෙත් ශාන්ත තෝමස්. තාප්පෙන් පැනලා ඉස්කෝලෙට යන්න පුළුවන් දුරකයි අපි හිටියේ.

මොනවටද ඔබ දක්ෂ වුණේ...

ගණිතයට සහ ඉංග්‍රීසිවලට. ඊට අමතරව ක්‍රීඩාවට. මං හොඳ බොක්සර් කෙනෙක්. රගර් ප්ලේයර් කෙනෙක්. ක්‍රිකට්... ඇත්ලටික් ඔය හැම දේම කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මං සිංගප්පුරුවේ වැඩ කරද්දි සිංගප්පුර් ක්‍රිකට් ක්ලබ් (SCC)එකට රගර්, ක්‍රිකට් සෙල්ලම් කළා. ඊළඟට එංගලන්තයේ වැඩ කරද්දී තවත් පොඩි ක්ලබ් එකකට සෙල්ලම් කළා. ඉස්කෝල ජීවිතෙන් පස්සෙ සතුටට ආත්ම තෘප්තියට සෙල්ලම් කළා මිස ක්‍රීඩා ජීවිතේ ඒ තරම් දුර ගියේ නැහැ. නමුත් අදත් මං හොඳ ක්‍රීඩා ලෝලියෙක්.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...

ඒ ලෙවල්ස් ඉවර වෙන කොටම මට ඕන වුණේ රස්සාවක් කරන්න. ඒකත් ‘ටී - ටේස්ටර්’ කෙනෙක් හැටියට. නමුත් මට එයාර් ලංකා සමාගමේ රස්සාව ලැබෙනවා. සියල්ල වෙනස් වෙනවා.

එතකොට උසස් අධ්‍යාපනය...

ඒ ලෙවල් රිසල්ට් වලින් මං රස්සාව ලැබුණාට ගියාට පස්සෙයි තේරුණෙ, එතැන හිටපු හුඟ දෙනෙක් උපාධිධාරීන්. ඉස්සරහට යන්න නම් සුදුසුකම් අවශ්‍යයයි. මං තේරුම් ගත්තා. මං CIM කළා. ලංකාවේ හොඳම ප්‍රතිඵල ගත්තා. මහන්සි වුණොත් යමක් කරන්න පුළුවන් මට හිතුණා. ඊළඟට මං මාස්ටර්ස් කළා අවශ්‍ය සුදුසුකම් හදා ගත්තා.

ඔබේ පියා ජෙෆ් විජේසිංහ, ලේක්හවුසියේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදීයෙක්. එක පුතෙකුවත් ඇයි පත්‍රකලාවේ නැත්තෙ....

අපි තුන්දෙනාම පුංචි කාලෙ පටන් තාත්තගෙ පත්තර රස්සාවට කැමැති වුණේ නැහැ. රෑ වෙනකල් ලියන කියන කන්තෝරුවෙම රැ‍ඳෙන වෙලාවක් කලාවක් නැති පත්තර රස්සාව නිසා තාත්තා එක්ක ඉන්න ලැබුණේ බොහෝම අඩු කාලයක්. අනෙක් කාරණය තමයි, අපේ කැමැත්ත තිබුණෙ වෙන වෙන අංශවලට. අපි පුහුණුවීම් ලැබුවෙ ඒ අංශවලින්.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කියන්න...

අයියා මලෝ අතර තිබිය යුතු සහෝදරකම ගැන, එකමුතුකම ගැන නිතර කියා දුන්නා. අපිට සුඛෝපභෝගී දේ තිබුණේම නැති තරම්. කෑමක් දුන්නත් අපි තුන්දෙනා බෙදා ගත යුතුව තිබුණා. අපිට අපි විදියට ගොඩ නැ‍ඟෙන්න ඉඩ දුන්නා. මං ඉංග්‍රීසි පොත පත කියවන්න පුරුදු වුණේම තාත්තා නිසා. ජාත්‍යන්තරයට සහ ලෝකයට වීවෘත වෙන්න වඩා පහසු වුණේ ඒ ඉංග්‍රීසි දැනුම නිසයි.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

මට ඉන්නෙ නිවුන් පුත්තු දෙන්නෙක්. සචින් ජෙෆ් විජේසිංහ සහ යොහාන් ඩිමිට්‍රියස්. දෙන්නම විදෙස් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබනවා. ඩිමිට්‍රියස් නම් විදෙස් සඟරාවලට ලියනවා.

ආගම එක්ක තිබෙන බැඳීම කොහොම එකක්ද...

මං ඇන්ග්ලිකන්. නමුත් ආගම අදහන්න පල්ලියටම යා යුතුයි කියන තැන මම නැහැ. මම දෙවියන් විශ්වාස කරනවා. මට අනුව, දෙවියෝ ඉන්නෙ හදවතේ. දෙවියො එක තැනක විතරක් ඉන්නෙ කොහොමද. ජීවත්වන විදිය අනුව කියන්න පුළුවන් කෙනෙක් දෙවියන්ට මොන තරම් ළඟද කියලා.

ඔබේ ජීවිතෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක්ද....

මිනිහෙක් වු‍ණොත් හිතේ සැහැල්ලුවෙන් රෑට නිදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිසුන්ව පාගාගෙන හිත් රිදවලා බිඳවලා උඩට ආපු මනුස්සයකුට කවදාවත් සැනසීමේ නිදාගන්නවත් ලැබෙන්නෙ නැහැ. මනුෂ්‍ය ජීවිතේ පවතින්නේ ටික කාලයයි. කරන හැම වැඩකදීම මනුස්සකම රැකගත යුතුයි. මම එහෙම කෙනෙක්

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්