පෝලිම් නැතිව ඕපීඩී එකෙන් බෙහෙත් ගන්න | Page 2 | සිළුමිණ

පෝලිම් නැතිව ඕපීඩී එකෙන් බෙහෙත් ගන්න

රජයේ රෝහලකට බෙහෙත් ගන්න ගියහාම තියෙන ලෙඩෙත් වැඩිවෙනවා කියන්නේ බොරුවක් නොවෙයි. තවමත් රජයේ රෝහල්වල දිගු පෝලිම්ය. රෝහලේ ලියාපදිංචි පෝලිමෙන් පටන්ගත් පසු තුණ්ඩු පෝලිම, ඕ.පී.ඩී වෛද්‍යවරයා‍ට පෙන්වන පෝලිම, ෆාමසි බෙහෙත් පෝලිම, පරීක්ෂණ පෝලිම අවසානයේ පරීක්ෂණ වාර්තා පෙන්වන පෝලිමෙන් අවසන් වන්නේය. තමන් පැමිණි ලෙඩේ අමතක කරන්නට වුවද සිත් දෙන මේ රෝහල් පෝලිම් රෝග සුවපත් කිරීමට වඩා රෝගය උත්සන්න වීමට හේතුවකි.

මේ තත්ත්වය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය 2016 වසරේදි අලුත් වැඩකට අතගැසුවේය. රෝහල් පෝලිම් තුරන් කරන්නට මෙන්ම විධිමත් රෝහල් සේවයක් සපයන්නට ගෙන ආවේ ‘ඩිජිටල් හෙල්ත්’ නම් වූ අපූරු සේවාවකි. සෞඛ්‍ය බලධාරීන් ආරම්භ කළ මේ අලුත් ක්‍රමෝපාය මේ වන විට ලංකාවේ රෝහල් 30කට ආසන්න ප්‍රමාණයක ක්‍රියාත්මක වන්නේ නව තාක්ෂණයත් සමඟ මුසුවය. ‘ඩිජිටල් හෙල්ත්’ ක්‍රමය මගින් රෝගියාගේ සියලු දත්ත රෝහලේම පරිගණක ජාලයට එකතු වෙයි. එම පද්ධතියට ඇතුළු වූ රෝහල්වලට විධිමත් සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීමට හැකි වෙයි.

එසේ පරිගණක ජාල යටතට පත්වූ රජයේ රෝහල් 30 තවත් විධිමත් කිරීමේ අරමුණින් වෛද්‍ය ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළමින් ඒවාට තවත් නවතම සේවාවක් හදුන්වා දුන්නේය. ඒ රජයේ රෝහල්වල E Channelling සේවාවයි. එම සේවාව ලොකු පොඩි, ග්‍රාමීය නාගරික භේදයෙන් තොරව කාටත් විවෘතව ඇත. මේ සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)යි.

“මුලින්ම ඩිජිටල් හෙල්ත් වැඩසටහන අපි ආරම්භ කළේ 2016 දි. එය මේ වන විට රජයේ රෝහල් 30ක ක්‍රියාත්මක වෙනවා. මේ රෝහල් වලට පැමිණෙන රෝගීන් ලියාපදිංචි විය යුත්තේ එක්වරයි. ලියාපදිංචි වූ රෝගියෙකුට ‘යුනිට්’ නම් වූ අංකයක් ලැබෙනවා. මෙයට වෙනමම බා-කෝඩ් එකක් හිමියි. එහි රෝගියාගේ රෝග ඉතිහාසය, ආසාත්මික තත්ත්වයන්, වෛද්‍ය පරීක්ෂණයන් මෙන්ම රෝගියාගේ සියලු තොරතුරු ස්වයංක්‍රීයව ගබඩා වෙනවා. මේ රජයේ රෝහල්වලට තමයි අපි මුලින්ම මේ E Channelling සේවාව හඳුන්වා දෙන්නේ. මෙහි ආරම්භක පියවර අපි පටන් ගත්තේ දොම්පේ දිස්ත්‍රික් රෝහලෙන්.

මේ වන විට ඕනෑම රෝගියෙකුට දොම්පේ රෝහලින් E Channelling සේවාව ලබා ගත හැකියි. තමන්ගේ ජංගම දුරකථනයෙන් E Channelling app එක බාගත කරගෙන හෝ එසේත් නැති නම් 0715225225 අංකයට ඇමැතීමෙන් හෝ අදාළ සේවාව ලබා ගත හැකියි. මෙම E Channelling සේවාවට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අය වන්නේ ජංගම දුරකථනයේ ඇමැතුම් ගාස්තුව හෝ දත්තවලට යන ශත ගණන පමණයි. “ඒ ICTA ආයතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතායි.

E Channelling සේවාව ලබා ගන්නා ආකාරයද රජයේ රෝහලක සේවයට ගැළපෙන පරිදි සකස් කර ඇත. යම් පුද්ගලයකුට E Channelling සේවය මඟින් නිශ්චිත වෛද්‍යවරයකුගේ නමක් ඉල්ලීමේ හැකියාව නැත. මන්ද ඔහු පෙන්විය යුත්තේ අදාළ රෝහලේ ඕ.පී.ඩී අංශයට පැමිණෙන වෛද්‍යවරුන්ට පමණක් වන නිසාය. නමුත් තමන්ට අවශ්‍ය, පහසු වේලාව කලින් වෙන්කරවා ගැනීමේ හැකියාව ඇත. මෙම සේවාවේදි රෝගියා ලබා දිය යුත්තේ තමන්ට අවශ්‍ය කුමන රෝහලද හා කුමන වෙලාවද යන්නයි. මේ සේවාව IVR ක්‍රමය මගින් ක්‍රියාත්මක වන අතර අවසානයේ SMS පණිවිඩයකින් වෙන් කිරීම ස්ථීර කෙරේ. නියමිත වේලාවට රෝහලට ගොස් එම පණිවිඩය පෙන්වීමෙන් පෝලිමේ නොසිට වෛද්‍යවරයා හමුවීමේ හැකියාව ලැබෙයි.

නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වූ විටද වෛද්‍යවරයකු මුණ ගැසීමට මෙය අනුගමනය කළ හැකිය. මේ සේවාව ලබා ගැනීමේදි රෝගියා එම රෝහලේ කලින් ලියාපදිංචි වූවෙකුද නැද්ද, ඔහු පදිංචි ප්‍රදේශයේ රෝහලක්ද නැද්ද යන්න කිසිසේත් අදාළ නොවන අතර වැදගත් වන්නේ එය ‘ඩිජිටල් හෙල්ත්‘ වැඩසටහනට යටත් රෝහලක්ද නැද්ද යන්නයි.

දැනට මේ සේවාව දොම්පේ දිස්ත්‍රික් රෝහලේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී පහත සඳහන් රෝහල් ඇතුළු රෝහල් 30 කට ආසන්න ප්‍රමාණයකද ක්‍රියාත්මක විමට නියමිතය. පොලොන්නරුව පළාත් මහ රෝහල, අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, මහව, දඹදෙණිය, ගල්ගමුව, අවිස්සාවෙල්ල, පාණදුර, හොරණ, හෝමාගම යන මූලික රෝහල්වල මෙන්ම වැලිසර ළය රෝහල ඇතුළු රෝහල් කිහිපයකම නොබෝ දිනකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අනුව නුදුරු දිනකදි මේ නවීන තාක්ෂණය හේතුවෙන් දිගු රෝහල් පෝලිම්වල අවසානයක් දැකිය හැකි වෙයි. මේ සියල්ලන්ගෙන්ම අවසන් අපේක්ෂාව වන්නේ රජයේ රෝගි සත්කාරක සේවාව වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම කිරීමය.

සුභාෂිණි ජයරත්න

Comments