නෝනා වාට්ටුව | සිළුමිණ

නෝනා වාට්ටුව

නිරතුරුව කලබලයම පිරුණු කොළොම්පුරයේ අපූර්වත්වයන් පිරි කතා නිතර නෑසෙන්නේ ය. මේ කොළොම්පුරයේ ම අපූරු කතා ඇසෙන, අපූරු දේ පෙනෙන අපූරුකම් පිරුණු තැනෙක මොහොතක් නතර වන්නට ඉඩක් ලැබුණොත්! සිත අපූර්වත්වයෙන් පුරවන, කලබල පිරුණු කොළොම්පුරය අමතක කරවන ඒ තැන නෝනා වා‍ට්ටුව කී සැණින් කවුරුත් දනිති.

පුංචිත්තන්ටම වෙන්වුණු නෝනා වාට්ටුව පුංචිත්තන්ගේ ම ලෝකයයි. බැලූ බැල‍ූ තැන ඇස ගැටෙන පුංචිත්තන්ගේ මුහුණුවල පිරී ඇත්තේ සතුටම නොවේ. දුකින් වේදනාවෙන් පිරුණු පුංචි මුහුණු, කඳුළු සිරවී දඟලන පුංචි දෑස් නෝනා වාට්ටුවේදී සැලකුම් ලබන්නේ එකම ලෙසට ය.

පුංචිත්තන්ටම තැනුණු නෝනා වාට්ටුව නැතිනම් රිජ්වේ ආර්යා ළමා රෝහල අපේ රටේ පුංචිත්තන්ගේ දුක්, වේදනා දුරු කරවන්නට සැදුණු පැහැදුණු ඉවසිලිවන්ත සිත් ඇත්තන්ගේ නවාතැනකි. අලුත උපන් බිලිඳාගේ පටන් වයසින් අවුරුදු දහ හතරක් වන තෙක් දරුවො රටේ කොයි දුරක සිට ආවත් එකම ලෙසට එහිදී පිළිගැනෙති.

“අවුරුදු දහ හතර වෙනකල් දරුවන් මෙතැනට ආවට තමන්ට තියෙන වේදනාව, අපහසුව වචනවලට හරවලා කියන්න පුළුවන්කම තියෙන්නේ මේ දරුවන්ගෙන් සියයට පනහකට විතර. අනෙක් හැම දරුවෙකුගේම ලෙඩ, අමාරුකම් සොයා ගන්න වෙන්නේ නිරීක්ෂණය කරලා, පරීක්ෂණ කරලා. අම්මලා, තාත්තලාගෙන් අහලා නෝනා වාට්ටුවේ නෝනා මහත්වරුන්ගේ ඉවසිලිවන්ත සිත් මේ සොයා බැලිල්ලේ කටයුත්තට පෙරමුණ ගන්නේ ය.

දවසක් පාසා නෝනා වාට්ටුවේ ගේට්ටුවෙන් එන දෙදහසකට අඩු නැති හැම පුංචිත්තෙක්ම මේ කරුණාවන්ත සිත්වල කරුණාව එක ලෙසට ම ලබයි.‍

බාහිර රෝගී අංශයේ සායනවල විශේෂ ප්‍රතිකාර ඒකක, හදිසි ප්‍රතිකාර, හදිසි අනතුරු ලෙසින් වෙන් වී ඇති නෝනා වාට්ටුවේ සෑම තැනකටම හරි පාර සොයා ගන්නට මං සලකුණු හරි හැටිම දක්වා තිබේ. ලංකාවේ කොතැනක සිට ආවද පාර වරදින්නේ නැත‍. නුපුරුදුකමට පාර මග හැරී ගිය හොත් පාර කියා දෙන්නට කරුණාබර සිත් ඇත්තෝ නිතර හමුවෙති.

මහ පිරිසක් ගැවසෙන මෙවැනි තැනෙක ඉවසිලිවන්ත වීම අසීරුය. පුංචිත්තන්ගේ තොරක් නැති කියුම් කෙරුම් තැනෙක ය. හැඬුම් දෙඬුම් තව තැනෙකය. අම්මලා තාත්තාලාගේ විඩාබර වේදනාබර මුහුණු සිත් සසල කරවන්නේ ය.‍

“දවසකට මෙතැනට එන දෙදහක් විතර වෙන දරුවන් අතරින් 250 ක් විතර නේවාසික ප්‍රතිකාර වලට රෝහලේ නතර කර ගන්න අපිට සිදුවෙනවා. තවත් දරුවන් පිරිසක් අපි පැය හතරක විතර කාලයක් රෝහලේ තියාගෙන නිරීක්ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් රෝගී තත්ත්වය ගැන විමසිලිමත්ව ඉන්නවා. ඒ අය නතර කර ගන්නේ අත්‍යවශ්‍ය නම් පමණයි.‍

පුංචිත්නන්ටම වෙන්වූ රෝහලකට මෙවන් විශේෂ පිළිවෙත් ඕනෑමය. පුංචිත්තකුගේ සිරුරේ සැඟවුණු සැබෑ වේදනාව හරි හැටි දැන ගැනීම වටින්නේ ‍ඔවුන්ගේ සිතුවිලි කිළිටක් නැති සුන්දර සිතිවිලි නිසයි. “පුංචි දරුවන් හරි අවංකයිනේ. බොරුවට ලෙඩ කියන්නේ නැහැනේ” නෝනා වාට්ටුවේදී හැඳිනි පුංචිත්තන්ගේ සිත් ගැන නෝනා වාට්ටුවේ කොයි කවුරුත් කියන්නේ එවැන්නකි.

රෝහල පුංචිත්තන්ට තැනී ඇත්තේ නමුදු, පුංචිත්තන්ට තනිව රෝහලක ‍රැදෙන්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. “අපි පුංචි දරුවකුට නේවාසිකව ප්‍රතිකාර ලබා දෙද්දී දරුවාගේ අම්මාට හෝ භාරකාරයන්ටත් නේවාසික පහසුකම් ලබා දෙන්න ඕනෑ. කෑම බීමත් දෙන්න ඕන. ඒක රිජ්වේ ළමා රෝහලේ තියෙන ‍තවත් විශේෂ දෙයක්. මේක ලේසි වැඩක් නෙ‍ාවෙයි.

දැන් වාට්ටුවල දී අම්මලාට තියෙන පහසුකම් ටිකෙන් ටික වැඩි කරමිනුයි යන්නේ. අම්මලාට දරුවා ඉන්න වාට්ටුව ඇතුළෙම කෑම කන්න තැනක් අපි හදලා දීලා තියෙනවා”

පුංචිත්තන්ගේ සිත් සනසවන්නට කළ හැකි පුංචි පුංචි දේ පවා පුංචිත්තන් වෙනුවෙන් කර දෙන්නට ‍රෝහල දෙවරක් සිතන්නේ නැහැ. පුංචිත්තකුගේ ගතේ සුවය තරමටම සිතේ සුවය ද වටිනා බව නෝනා වාට්ටුවේ කොයි කවුරුත් දනිති.

දුව පැන නටන පුංචි දෙපා රෝහල් සයනයක් මතට කර තබා ගන්නට පුංචිත්තන් අකමැති බව නියතය. පුංචි සිත් දන්නා නෝනා වාට්ටුවේ දොස්තර නෝනා මහත්වරු පුංචිත්තන් ඉක්මනින් ම නෝනා වාට්ටුවෙන් පිටත් කර ගෙදර යවන්නට වෙහෙසෙති.

සාමාන්‍ය රෝගී තත්ත්වයක් එක්ක රෝහලට ඇවිත් නේවාසික ප්‍රතිකාර ගන්නා දරුවෙක් දවස් තුනකින් විතර ගෙදර යවන්නයි අපි මහන්සි වෙන්නේ” වෙදකම සේම හෙදකමත් අකුරටම ඉටුවන නිසා නෝනා වාට්ටුවේ දී පුංචිත්තන් සුවපත් වන්නේ බලා සිටිද්දීයි‍.

නෝනා වාට්ට‍ුවේ ගේට්ටු කිසි දා කිසිවෙකුට වැසෙන්නේ ද නැත. බාහිර රෝගී ප්‍රතිකාර පැය විසි හතරේම තුන්සිය හැටපස් දවසේ ම අඩුවක් නැතිව සිදුවෙයි.‍

“මේක කොයි වෙලාවකවත් වැහෙන්නේ නැති රෝහලක්. බාහිර රෝගී ප්‍රතිකාර, රේබීස් එන්නත ලබාදී මේ ප්‍රතිකාර අපි කොයිම වෙලාවකවත් නතර කරන්නේ නැහැ. විශේෂම දේ තමයි රිජ්වේ ආර්යා ළමා ‍රෝහල කියන්නේ වැඩවර්ජන කරන්නේ නැති තැනක්. විදියට හොඳම නමක් තියෙන තැනක්.”

නෝනා වාට්ටුවේ ආඩම්බරකාර කම ද එයම වනවා නියතය. පුංචිත්තන්ගේ සුවය වෙනුවෙන් ඔවුන් කරනා කැප කිරීම පෙන්වන්නට නම් ඒ හොඳම කතාවය. වර්ජන නැති රෝහලක්! නෝනා වාට්ටුවේ අපූරුව එයම නොවන්නේ ද?

“පුංචි දරුවන්ගේ සුවය වෙනුවෙන් ප්‍රතිකාර ක්‍රමවේද වල පුංචි පුංචි වෙනස්කම් කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඩෙංගු තත්ත්වය වැඩිපුර පැතිරෙද්දී ඩෙංගු හැදිලා එන දරුවන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගන්න ඒකක අපි වාට්ටු‍වල හදලා තියෙනවා. මේ ඒකක වාට්ටුවලට වඩා වෙද හෙදකම වැඩියි. දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු මට්ටමට පත්වෙලා නැති දරුවන් වෙනුවෙනුයි සකස් කරලා තියෙන්නේ.‍ ඩෙංගුවලින් ඇතිවෙන සංකූලතා අඩු කරලා ඩෙංගු මරණ අඩුකර ගන්න එක තමයි මේ ඒකකවල අරමුණ වුණේ‍.” පුංචිත්තන්ගේ සුවය පතා අලුත් අලුත් ‍දේ කරන අපූරු තැනක්!

පුංචිත්තන්ටම තැනුණු තැනක තීන්දු ගැනෙන්නේ පුංචිත්තන්ට හොඳම දේ දෙන්නටය‍.

“සමහර දරුවෝ ‍‍රෝහලට ඇවිත් මාස ගණන් රෝහලේ නතර වෙලා ප්‍රතිකාර ගන්නවා. මේ දරුවන්ගේ ළමා ලෝකය, ඉගෙනීම අපේ වගකීමක් විදියටයි අපි දැක්කේ. ඒ නිසා හැම කායික වාට්ටුවක ම අපි සෙල්ලම් කාමරයක් සකසලා තියෙනවා. රෝහල් බිමේ ළමා උද්‍යාන කිහිපයක් ම තියෙනවා. සමහර වාට්ටුවල පුංචි දරුවන් වෙනුවෙන් ළමා පුස්තකාල පවා සකස් කරලා තියෙනවා.

මීට අමතරව මීට අවුරුදු තුනකට විතර කලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය ලබාගෙන දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය දීමේ වැඩසටහනක් කරගෙන යනවා. නාලන්දා විද්‍යාලයේ ගුරුවරුන් ඇවිත් දරුවන්ට මග හැරුණු පාඩම් කියලා දෙනවා. හෘද හා පෙණහැලි ඒකකවල දිගු කාලයක් ප්‍රතිකාර ලබන දරුවන් තමයි අපි මේ වැඩසටහනේදී මූලිකව ම ඉලක්ක කර ගත්තේ. දැනටත් අපි හැකි උපරිමයෙන් ඒ කටයුතු කරගෙනන යනවා” සෙල්ලම් කරන්නට, ඉගෙනගන්නට ලැබෙන රෝහලක් අපූරු තැනකැයි කීම කොතරම් ගැළපේ ද?

“පුංචි දරුවන්ගේ හිත්වලට ළං වෙලා ඉවසිලිවන්තව වැඩ කරන එක මෙතැන වැඩ කරන හැම කෙනෙකුගේ ම ජීවිවල මග නොහැරෙන දෙයක් වෙලා. මෙතැන වැඩ කරන හැමෝම මෙතැනට එන හැම දරුවෙකු ගැන ම හිතන්නේ තමන්ගේ දරුවෙක් කියලා. තමන්ගේ දරුවන්ට හොඳක් වෙනවාටනේ කවුරුත් කැමති. ඒක තමයි මේ ‍රෝහල පුරා ම පිරිලා තියෙන ආදරේ රහස! පුංචි දරුවෝ වේදනා අමාරුකම්වලට ඇඬුවට මෙතැන වැඩකරන හැමෝගෙ ම මූණුවල තියෙන්නේ සිනහවක්. ඒ හැමෝගෙ ම මූණවල හිනහවක් තියෙන්නේ හැමෝම සතුටින් වැඩ කරන නිසා” නෝනා වාට්ටුව පුරා ඒ මේ අත කඩි මුඩියේ ඇවිද යමින් පුංචිත්තන්ගේ සුවය පතන කාගේත් සිතැගි ය ඒ. සැබෑවට ම ඒ මේ අත බැලූ විට පෙනෙන්නේ සිනහවෙන් මුව පුරවාගෙන දරුවන් වෙනුවෙන් සේවය කරන්නෝ ය.

සිනහව පෙනෙන්නේ පොඩි තැන්වල සිටිනා අයගේ ම නොවේ, දොස්තර මහත්වරුන්ගේ නෝනාවරුන්ගේ මුහුණුවල ද ඇත්තේ සිනහව ම විතරයි. නෝනා වාට්ටුවේ දී ඇස ගැටෙන දොස්තර මුහුණු ‘දැක්කත් ලෙඩ දුක් සුවවන තරමේ’ මුහුණු ය. නිතිපතා නොවරදවා රෝහල් රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළින් තබා ඉටු කරන මේ දොස්තරවරුන්ගේ මුහුණුවලට වෙහෙසක සේයාවක්වත් කිට්ටු වී නැත. නෝනා වාට්ටුව පුරාම කාගේත් සිත් දිනූ මහාචාර්ය ජයමිණී සෙනෙවිරත්න ගේ වචන මේ අපූරු නෝනා වාට්ටුවේ කතාවට අලුත් අපූර්වත්වයක් එක් කරනු ඇතැයි සිතේ.

“අවුරුදු 34 ක් තිස්සේ මම වෛද්‍යවරයෙකු විදියට වැඩ කරනවා. වෛද්‍යවරයෙකු විතරක් නෙමෙයි, සමේ රෝග ගැන විශේෂඥ වෛද්‍යවරයෙකු විදියට. 2000 අවුරුද්දේ තමයි පුංචි දරුවන්ගේ සමේ රෝග වලට විශේෂඥ ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. දැන් අවුරුදු 18 ක් තිස්සේ මම පුංචි දරුවන්ට ප්‍රතිකාර කරනවා. ඒ වෙනුවෙන් දවස ගානේ ළමා රෝහලේ සමේ රෝග සායනය අපි පවත්වනවා. මේ සමේ රෝග සායනයේ නොම්මර දෙන්නේ නැහැ. එන්න කියලා කියන දවසට මෙතැනට එන ඕනෑ තරම් දරුවෝ ගාණක් අපි බලලා ප්‍රතිකාර කරනවා. කොයි තරම් දුර ඉඳලා ආවත් අපි මෙතැන රස්තියාදු කරවන්නේ නැහැ.

මම සායනයට එන්නේ උදේ හයට. මෙතැනට එන කිසිම දරුවකුට අසාධාරණයක් නොවෙන්න ඕන නිසයි අපි කල් ඇතිව සායනය පටන් ගන්නේ. ගිය අවුරුද්දට විතරක් අපි මේ සායනයෙන් පුංචි දරුවන් 35,000 කට විතර ප්‍රතිකාර කරලා තියෙනවා.” මහාචාර්ය ජයමිණී සෙනෙවිරත්න කවුරුත් හඳුනන්නේ ද ඔහුගේ මේ කැපවීම සහ හොඳ හිත නිසාය.

“සමේ රෝග ගැන කිව්වොත් අපි මේ තරම් මහන්සි වෙද්දි, බෙහෙත් ඇතුළු හැම පහසුකමක් ම ලබලා දෙද්දිත් සමහර වේලාවට සමේ රෝග නිසා දරුවො ගොඩක් වේදනා විඳිනවා. එහෙම වෙන්නේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා.”

මහාචාර්ය ජයමිණී සෙනෙවිරත්නගෙන් මේ කියැවෙන්නේ පණිවුඩයකි. පණිවුඩය සේ ම ඒ ඇත්තකි. සමේ රෝග ම නොව පුංචි දරුවන් වෙතින් දකින ඕනෑ ම රෝගයක් වැඩිහිටියන්ගේ ඇසට ලක්විය යුත්තේ ය. නෝනා වාට්ටුව් දොස්තරවරුන්ට දරුවන් වෙනුවෙන් මේ සා කැපවීම් කළ හැකි නම් අම්මලා තාත්තලාට දරුවා ගැන විමසිලිමත්වීම අසීරු දෙයක් විය නොහැකිය. රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් සිය විශේෂඥ සේවය ලබා දෙන දොස්තර මහත්වරුන් නෝනාවරුන් කරන්නේ අතිමහත් කැපකිරීමක්මය. රාජකාරියට එහා ගිය සේවයක් වෙනුවෙන් කැපවෙති. මුදල් වෙනුවට මනුස්සකම හරි හම්බකරති. වේදනාවෙන් පිරී තිබුණු දුක් මුහුණු සතුටු සිනහවන්ගෙන් පිරී යද්දී අම්මලා තාත්තලා සේ ම ඔවුහු ද සතුටු වෙති. වෙදකමට ම සරිලන හෙදකමට ම සැදී පැහැදී සිටිනා හෙද හෙදියෝ ද පුංචිත්තන්ගේ අඩුපාඩු, වේදනා මඟහරවන්නට වෙහෙසෙති.

නෝනා වාට්ටුවේ සිටිනා පුංචි ම සේවකයා තෙක් ම මේ කැපවීමේ අඩුවක් දකින්නට නැත. පිළවෙළට බැහැර කරන කුණු රිජිවේ රෝහල පිරිසුදු තැනක් බවට පත් කරන්නේ වේ නම් ඒ පිරිසුදු කරන්නාගේ කැපවීම ය. සැබෑවට ම හාත්පස බැලූ විට කිසිවෙකුගේ කැපවීම්වල අඩුවක් ඇතැයි පෙනෙන්නට නැත. දිනකට සිය දහස් ගණනකගේ පා ගැටෙනා මේ බිමේ පිරිසුදුකම අගය කළ යුත්තකි.

“මේ තරම් වැඩ කටයුතු තියෙන රෝහලක් වුණත්, අපේ රටේ අනෙක් හැම රෝහලක ම වගේ අපේ මේ රෝහලෙත් වෙද හෙද කාර්යමණ්ඩලවල අඩුවක් තියෙනවා. මේ දවස්වල රටේ තියෙන ඉන්ෆ්ලුවෙන්සා තත්වය වගේ තත්වයකදී අපිට මේ අඩුව වැඩිපුර දැනෙනවා. මොකද අමාරු තත්වයට පත්වෙලා ඉන්න දරුවො මෙහෙට මාරු කරලා එව්ව ම ඒ දරුවන් වෙනුවෙන් වැඩිපුර හෙද කාර්ය මණ්ඩල යොදවන්න සිදු වෙනවා. නමුත් ඒ විදියට එක තැනකට වැඩිපුර හෙදියන් යෙදෙව්වා ම අනෙක් තැන්වල ඉන්න අයටත් කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. අපහසුතා අමතක කරලා හැමෝ ම වැඩ කරන්නේ ලොකු කැපවීමකින්. කවුරුවත් පුංචි දරුවන් වෙනුවෙන් වැඩ කරන්න බැහැ කියන්නේ නැහැ” රිජ්වේ රෝහලේ පරිපාලනය කියන්නේ එවැන්නකි.

“අපි සමහර වෙලාවට රෝහලක කාර්යයට තරමක් එහා ගිය කටයුතුවලට පවා මැදිහත් වෙවා. අපේ රෝහලට ආධාර කරන්න ඉදිරිපත් වෙන අය බොහෝ පිරිසක් ඉන්නවා. මේ නොයෙක් දෙනාගෙන් ලැබෙන ආධාර දරුවන් වෙනුවෙන් රෝහලේ දියුණුවට යොදා ගන්නවා වගේ ම උදව් අවශ්‍ය රෝගී දරුවන්ට ඒ ආධාර ලබා දීමටත් අවශ්‍ය කටයුතු කරනවා. මේ ලැබෙන ආධාර දරුවන්ගේ ජීවිත බේරා ගන්න පවා අපිට ලොකු සහයක්. ඇතැම් වෙලාවට ප්‍රතිකාර වලට අවශ්‍ය උපකරණ රජයෙන් ලබා ගන්න ගියා ම ඒ කටයුතු වලට විශාල කාලයක් ගතවෙනවා. නමුත් ආධාර ලබා දෙන්න කැමති අය හරහා ඒ උපකරණ ලබා ගෙන ඉක්මනින් දරුවන්ගේ ජීවිත බේරාගත් වෙලාවලුත් අපේ මතකයේ තියෙනවා.” ඒ රිජ්වේ රෝහලෙන් කෙරෙනා තවත් අපූරු දේ ය.

කොළොම්පුරයේ තමන්ට ම වෙන්වුණු තැනෙක හිඳ නිහඬව ර‍ෙට් ම පුංචිත්තන් වෙනුවෙන් කැපවීම් කරනා ‘නෝනා වාට්ටුවේ කතාව” අපූරු වන්නේ රෝහලක සිදු වෙතැයි නොසිතෙන තරමේ අපූරු දේ දැකිය හැක්කේ නිසාම ය. මේ අපූරු කැපකිරීම්, කැපවීම්, ඉවසිලිවන්තකම්, හොඳ හිත් නෝනා වාට්ටුවේ අපූරු බව නිරතුරුව වැඩි කරයි. අපූරුකම් අත්විඳිමින් අපූරු තැනෙක ගෙවූ කාලයේ අපූරු බව නෝනා වාට්ටුවෙන් පිටත් වද්දී ද කාගේ කාගේත් සිත් පහන් කරනු නියතය.

ඡායාරූප - ශාන් රූපස්සර
නෙලූෂා සිල්වා

අදහස්