ඉතිහාසය අලුතින් ලියන කාන්තා ගුවන් නියමුවරියෝ | Page 2 | සිළුමිණ

ඉතිහාසය අලුතින් ලියන කාන්තා ගුවන් නියමුවරියෝ

රුපුනොද බිඳි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අති නවීන අහස් යාත්‍රාවක සිට ගඟනේ වීරකම් මවන්නට තවදුරටත් ‘ගැහැනුකම’ බාධාවක් නොවේ. එහි ඇති රළු නපුරු ප්‍රහාරක යානා පවා මින් මතු සිහින් අතැඟිලි මතින් අණ ලබනු ඇත. එය එසේ වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉතිහාසයේ මුල් ම වතාවට, කාන්තා ගුවන් නියමුවරියන් හතර දෙනකු බඳවා ගෙන ඇති බැවිනි. ඉතිහාසය අලුතින් ලියන මේ කාන්තා ගුවන් නියමුවරියෝ උපතින් ම ‘නිර්භීතකම’ දෝතින් රැගෙන ආවෝ වෙති.

ආධුනික ගුවන් නියමුවරියන් හැටියට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී භාරධුර වගකීමක් උර මතට ගන්නට සැරසුණත් මේ තරුණියන් හතර දෙනා තවමත් ජීවිතේ තෙවැනි දශකයේ මුල් අඩ ගෙවා දමන්නියෝ ය. අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් දුෂ්කර හමුදා පුහුණුවක් ලද ජයනි තත්සරණී හේවාපතිරණ, පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, පියුමි නිමල්කි ජයරත්න සහ රංගනා තත්සරණී වීරවර්ධනගේ අවසන් ඉලක්කය ගුවන් ගැබ ජය ගැනීමයි.

“ජීවත්වෙනවා කියන්නේ අභියෝග බාරගන්නා එක. මේක ජීවිතේ ලොකු අභියෝගයක්. මට ඕනෑ කරන්නේ මට මේ දෙය කරන්න පුළුවන් බව තහවුරු කරලා පෙන්වන්නයි. ජීවිතේ හැමදාම කරන රැකියාව තමන් කැමති අංශයක එකක් විය යුතුයි. අභියෝග දිනන්න ආසා කෙනෙක් නිසා මේ අලුත් ක්ෂේත්‍රය මට හොඳටම ගැළපේවි කියලා මම හිතනවා” එලෙස පවසන්නේ රංගනා තත්සරණි වීරවර්ධනයි. ඇගේ හිත ප්‍රහාරක යානාවක් මෙන් බලගතු ය. වයසට තරම් නොවෙන විදියේ ශක්තියක් ඒ සිතෙහි නිධන් ව තිබේ.

දැනට මේ ආධුනික ගුවන් නියමුවරියන්ට පියාසර පුහුණුව සහ අධ්‍යාපනය ලබාදෙන්නේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයයි. නමුත් ඉදිරියේදී ඔවුන් විදෙස්ගත ගුවන් හමුදා පුහුණුවකට අනුයුක්ත කෙරේ. ඒ පුහුණුව අවසාන වන විට රටක් හැටියට ‘ශ්‍රී ලංකාවට’ ආඩම්බර පෙළපත් නාමයක් පටබැ‍දේ. ඒ, ලෝකයේ ගුවන් හමුදා නියමුවරියන් සේවයේ නියුතු රටක් හැටියට ලයිස්තුගත වෙමිනි. දකුණු ආසියා කලාපයේ ගුවන් නියමුවරියන් සේවයේ පිහිටවනු ලැබූ එක ම රට ශ්‍රී ලංකාව නොවුණත් පාඨමාලාවෙන් ගුණාත්මකභාවය සහ විස්තීර්ණතාව අතින් සලකා බැලූ විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර පාඨමාලාව වඩාත් සංවිධිත සහ පුළුල් වපසරියක පැතිරුණු එකකි.

“ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල් තුනේම ගුවන් නියමුවරියන් මේ වනවිටත් බඳවාගෙන සේවයේ පිහිටුවලා තියෙනවා. ඒත් ඒ කාලයේදී අපේ ‍රටේ පැවතුණු යුද තත්ත්වය සහ ඊට පසු ‍උදා වූ තත්ත්වයන් මත අපට ඔවුන් තරම් ඉක්මනින් ගුවන් නියමුවරියන් බඳවාගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. එහෙත් ලබාදෙන පුහුණුවේ ගුණාත්මකතාව අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් නියමුවරියන්ට ලබාදෙන පුහුණුව අතිවිශිෂ්ට එකක්...” අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක පවසයි.

“ගුවන් නියමුවරියක් වීම කියන්නේ කුඩා කාලේ පටන් මගේ හිතේ තිබුණු හීනයක් සැබෑවීමක් කිව්වොත් නිවැරදියි‍. ඒත් අපේ ගෙවල්වල අය වුණත් හිතන්නේ හමුදා සේවය ගැහැනු ළමයින්ට හරි අසීරු අමිහිරි අත්දැකීමක් වෙනවා කියලයි. ඒ නිසා ගැහැනු ළමයිහු ආරක්ෂක අංශවලට බැ‍ඳෙනවට ගොඩක් ගෙවල්වල දෙමාපියෝ අකමැතියි. ඒත් මම නම් හිතන්නේ ඒක වැරදි මතයක්” පවිත්‍රා ලක්ෂානි පෙන්වා දෙන්නේ අලුත් පැතිකඩකි. කතාවක් පමණක් නොව ඇය ඒ බව සිය ජීවිතය තුළින් තහවුරු කර පෙන්වා දී තිබේ.

“ඕනෑම කෙනෙකුගේ රැකියාවක් කියන්නේ මොන විදියේ හෝ වගකීමක්. ඒත් ගුවන් නියමුවරියක් වෙලා ප්‍රවාහන නියමුවෙක් හැටියට වැඩ භාරගන්නවා කියන්නේ වගකීම් සමුදායක බර උරට ගැනීමක්. මොකද ගුවන් යානාව ගෙන යන නියමුවරියගේ අතේ ජීවිත රැසක ඉරණම ලියැවිලා තියෙනවා. ඒත් හිතට බයක් දැනෙන්නේ නැහැ‍. බුද්ධිය මෙහෙයවා ඉ‍ගෙන ගෙන නියමිත විදියට පුහුණුව සම්පූර්ණ ‍කළොත් දක්ෂ ගුවන් නියමුවරියක් වෙන්නට පුළුවන්...” බව කියන්නේ පියුමි නිමල්කි ජයරත්නයි...

ඉතිහාසය අලුතින් ලියන මේ තරුණියන් හතර දෙනාට ඒ උදාර අවස්ථාව හිමි වන්නේ වත්මන් ගුවන් හමුදාපතිතුමාගේ උදාර සංකල්පයකට අනුවයි. ගුවන් නියමුවරියක ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වන්න කැමැති ශ්‍රී ලාංකික තරුණියන්ට විවෘතව අයදුම්පත් යොමු කරන ලෙස මීට ටික කලකට ඉහත දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරාධනා කර තිබිණි. මේ නව මාවතට ප්‍රවේශ වෙන්නට කැමැත්ත පළ කරමින් ඔවුන් වෙත ලැබී තිබුණු අයදුම්පත්‍ර ගණන 46කි. නොයෙක් කුසලතා උරගා බලන්නට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වාර රැසක් අවසානයේ ස්ථිරවම ගුවන් නියමුවරියන් වන්නට ගුවන් හමුදාව හා එක්වීමේ වරම ලැබුණේ මේ අතිදක්ෂයන් සිව් දෙනාට පමණකි.

ගුවන් හමුදා පියාසර පුහුණු පාඨමාලාව තුළ මේ සියුමැලි ලලනාවන්ගේ දරා ගැනීමේ හැකියාව, එඩිතර බව, නිවැරදි තීරණ ගැනීමේ බුද්ධිය, කායික යෝග්‍යතාව වැනි එකී නොකී බොහෝ අංශ තවදුරටත් සංවර්ධනය කෙරේ. එහි මුල් කොටස සාමාන්‍ය සටන් පුහුණුවකි. බර අවි උර දරා ඇවිදින්නත් සටනකදී අවි හරඹයෙන් විකුම් පාන්නත් ඒ මුල් කොටසේදී මේ තරුණියන්ට පුහුණුව ලැබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි පියාසර පුහුණු කාලයේ මුල් මාස හය තුළදී ඔවුන්ට පියාසරිය සම්බන්ධ න්‍යායික දැනුම ලබාදීම සිදු වේ. මූලික පියාසර පුහුණුව සහ උසස් පියාසර පුහුණුව ලබාදීම සිදු වන්නේ පසු අවුරුද්දේදී ය.

“ඉන්දියාව, පාකිස්තානය, චීනය වගේ බොහෝ රටවල කාන්තා ගුවන් නියමුවරියන් වගකීමෙන් සේවයේ නිරත වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාව ප්‍රමාද වී හෝ කාන්තා අපට මේ වගේ අවස්ථාවක් ලබාදීම හරිම වටිනවා. පුංචි රටක් වුණත් මේ රටේ හමුදා සේනාංකවල හැමෝම තමන්ගේ වපසරිය ඇතුළේ අප්‍රමාණ දක්ෂතා පෙන්නුම් කරනවා. අපටත් මේ පාඨමාලාව කරගෙන යද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‍උපදේශක නිලධාරීන් සහ අනෙකුත් උසස් නිලධාරීන් මෙන් ම පුහුණු කිරීම භාර නිලධාරීන්ගෙන් ලැබෙන සහ‍යෝගය අනර්ඝයි.”

“මේ තැනට එන්න ලංකාවේ තරුණියන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ දක්ෂතාව සහ සුදුසුකම් පෙන්වූ විටයි. මට නම් මේ වෘත්තියට එනකොට ගෙදරින් විරුද්ධතාවක් තිබුණේ නැහැ. මම හිතන්නේ හැමෝටම වඩා අපි හතර දෙනා හරිම පින්වන්තයි. මොකද ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ මුල්ම ගුවන් නියමුවරියන් හැටියට ලියැවෙන්නේ අපි හතර දෙනාගේ නම්. මේ සිද්ධියට අනාගතයේ දවසක මටත් වඩා වැඩි වටිනාකමක් ලැබෙන බව නියතයි....” ජයනි තත්සරණී එලෙස පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළගණයට අනුයුක්තව සේවය කරන මුළු කාන්තාවන් ගණන 2600ක් පමණ වේ. වෛද්‍ය, හෙදි, තාක්ෂණ සන්නිවේදන, ලිපිකරු, සෙබළ, නර්තන, ගායන, වාදන, සූපවේදී, පරිගණක මෙහෙයුම් අංශ ආදී බොහෝ පැතිකඩයන්හි ඔවුන්ගේ සේවයට වටිනාකම ලැබේ. මේ සේවා ඝන අතරට අලුතින්ම එකතුවන අංශය වන්නේ කාන්තා ගුවන් නියමු හෙවත් Women Pilot යන තනතුරයි. මේ සියලු තනතුරුවලට අනුයුක්තව රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නොබියව පෙරමුණට ආ කාන්තාවෝ, රටේ සියලු කාන්තාවන්ට ආඩම්බරයකි. “සුරකිමු ලකඹර” නම් තේමාව සහිත ශ්‍රී ලංකා ගුවන් හමුදා නිල ලාංඡනයත්, නිල ඇඳුමත් මේ සියලු කතුන්ට මිල කළ නොහැකි තරම් වටිනාම ආභරණයකි.

Comments