කවි මඩල | සිළුමිණ

කවි මඩල

වත් පොතෙන් කවියක්

දැනේ මට

දැනේ මට දැනුදු නුඹ
නුඹම සැදු තුරු අතර
සිහිල් සිලි­සි­ලි­යක්ව
නිර­තු­රුව රැඳෙන යුරු...

පිරි­ම­දිනු මැන සෙමෙන
මගේ කුස තුළ වැඩෙන
කුලු­ඳුල්ම කල­ලය
නුඹ නමින් උප­දිනා
අව­සාන සල­කු­ණය...

පැවැ­සුවෝ ඔවුහු ඔබ
පිටු­ව­හ­ලෙ­කැයි
මේ භූමි­යට නොසැදි
සුන් කර-ලිය යුතු වූ
අනිසි ප්‍රාණි­යෙ­කැයි...

කුම­කට නම් අද­හම් ද
ඔවුන්ගේ නෙක බස්
කෙසේ නුඹ නික්මු­ණිද
වැල­ඳ­ගනු පෙරා­තුව
නුඹෙ කුඩා පිළි­බි­ඹුව...

මුහු වෙමි යළිදු මම
ඔබෙ සුවඳ පිස හමන
ඒ සොඳුරු සුළ­ඟ­ටම
දෝතින්ම වැල­ඳ­ගමි
ඔබම සැදු මේ හිඩැස..
උපුල් සේනා­ධි­රිගේ


නොනිමි ගින්න

ගිනි ගත්තා
මෙට්ට වැඩ­පළ
ඉහළ අහ­සට නැඟුණි
කළු දුම් රොටු
ජලය ඉස
නිවා දැමුවා...

එහෙත්...
දැල්වෙයි තව­මත්
දුක් සුසුම්
හද­වත් දම­මින්
රාජු වෙද­ගෙ­දර
 


එදින දිනනු පිණිස

(නිමිත්ත: සංස්කෘ­ති­කාං­ග­යක් හේතු­වෙන් යාප­නය සර­ස­වියේ සිංහල-මුස්ලිම් සිසුන් අතර ගැටු­මක් - පුව­තක්)

වීණා තතක් හැඬ­වෙන තැන ලක් දෙරණේ
ගැට­බෙර හඬත් ඇයි එතැ­නට එක් නොවුණේ
මළ­බෙර කඳන් වැයුණා ඇති මේ දෙරණේ
විර­සක නොවනු මැන දැන්වත් සොහො­යු­රනේ

පිච්ච මල් දැවී අළු වුණු අතී­තෙකී
මිනී මල් පිපී හිනැ­හුණි, සැබෑ­වකි
අලුත් ඉවු­ර­කට තර­ණය පිණිස සකී
කඳුළු තොටු­පො­ළින් නික්මෙන සිහි­න­යකි

කුමට කිරුළු, යළි මර­ණය හට පුදනා
දිනිය යුතු හෙටක් ඇත අබි­මුව පෙනෙනා
දකුණේ අතත් සම­ඟින් එස­වෙනු කෙදිනා
එදින පිණිස මඟ පිය­වර තබනු මැනා
ප්‍රභාත් චින්තක මීගො­ඩගේ


අම්මා සිහි වී

නිඳි නැති මහ රෑ කළු­වර පැතිරේ
සුව­ඳක් විහි­දෙයි නාමල් පොකුරේ
අම්මා නැති ඉව සිහි වන අතරේ
තනි වූ මා සිත වැල­පෙයි අඳුරේ

මගෙ ජීවි­තය එළි කළ මිණි පහන නුඹයි
කරුණා ගුණය විහි­දෙන අම්මගෙ මුහු­ණයි
නිත­රම සිහි කරමි ඔබෙ ගුණ හද සන­සයි
මතු බව­යෙ­දිත් ම-පැතුම ඔබ පුතු වෙන්නයි

චන්ද්‍ර­සිරි ගෝමිස්


ඇය දිහා...

බලා සිටියා හිරු නුඹ දිහා
කොහෙන් එන්නේ­දැයි කියා
දෑස් ගිනි කවන එළි­යක්...

සඳ හඬ­න්නට ළං වෙලා
කෙඳි­රි­ල්ලක් නඟයි
ගලන සිහි­ලැ­ලි­ව­ලින් නැහැවී...

නල පෙළ වෙලා අස­රණ
බලා සිටියා හැකි­ළිලා
ලෙළෙන සළු පොට දිහා..

මහී­කත වෙලා පේවී
බලා සිටියා දෑස් දල්වා
නුඹේ පා යුග එස­වෙන තුරා
චම්මින්ද වෙල­ගෙ­දර
 


පතුල සහ මුදුන

හිරු මුදුන්ය
ළිං පතුල
පැහැ­දි­ලිව
දිස් වේ
රංග සම­ර­වි­ක්‍රම


විපත

විට­කදි ගීත­වත් වී තුරු­ව­දුලු අරා
පෙම් කෙළි­දෙ­ළෙන් පසු වී මදු මිහිර පෙරා
පිය­පත් විදහ-විදහා නිල් අඹර පුරා
දුටු­වෙමි පිය සලනු සව­සට මැඳුර කරා

මව­මින් සිහින මතු පර­පුර රකිනු නියා
මුව­ගින් ගෙනා තණ­පත් එකි­නෙ­කට තියා
ලස්සන රටා­වක් විස්කම් පරිදි වියා
දුන් හැටි අමිල වෙයි දිය­දම ලොවට කියා

දිවි­යෙහි සොඳුරු නිව­හල් සුව විඳි­නු­ වට
තොපගේ රජ­ද­හන කොළ-අතු­ රි­කිලි යට
නොප­හන් ඇඳි­රියේ උණු­හුම ලබන විට
කෙඳුරූ පෙම් වදන් මත­කයි තවම මට

කොළ පර­ඬලා නොස­කස් විලස විසි­රිලා
මැඳු­රෙහි වෙන­ස්කම් ඇති අයුරු පළ කළා
සිත තුළ අමුතු පැන­යක් මතුව ගුළි වෙලා
විප­රම් කළෙමි රුක්ව­දු­ලෙ­හිම නැව­තිලා

සුසි­නිඳු දුඹුරු පෙඳ තටු සහ සිඟිති ඇඟ
ගැලුවා වසා­ගෙන ලෝහිත රුහිරු ගඟ
ලේ බිඳු ගුළිව තිබු උල්පත් සිදුරු ළඟ
වද­මල් කෙමි වැන්න පිය­කරු ගතිය හිඟ

නිද­හස් ලෝක­යක ජීවි­ත­ය­කට හිමි
මොහො­තින් ඔවුන් රැස් කර­ගත් කුසල නිමි
මට හද­වත් වී නම් ඇති ගුණය සොමි
මේ කය නිසල් සම­ඟම පස් අතර ලමි
දඹ­ගල්ලේ කේ. බී. රත්නා­යක
 


මහලු කත්කා­රයා

ඉණට මඩ­ක­ල­පුවේ සර­මකි ලබා­ගත් දිය ලණුවෙ පැට­ලිලි
ඔඩො­ක්කුව තුළ මඩි­ස්ස­ල­යකි තිබෙයි එහි තුළ විටේ සැල­කිලි
පැසී එන වෙල් යාය­කට බඳු හිසේ කොණ්ඩය හැඩයි තල­ගුලි
සිහින් දිග යටි රැවුළ සුදු පැහැ ගැනී ඉපිළී සිරුර සම රැළි

ලේන්සුව බැඳ හිසෙහි බාගෙට බුලත් කෙළ යටි රැවුළෙ පෙර­මින්
කරුංකා ගෙඩි විකන කුර­හන් දසන් දක්වා දෙතොල සල­මින්
උරේ නැඟි කර­ගැ­ටය මතු­පිට මඳක් බර කත්ලීය තබ­මින්
කදින් කිරි කිරි හඬින් නහවා වමත ගම­නට අනුව සල­මින්

ගමේ සිට ගම්මි­රිස් කජු දෙහි ගොරක බෙටි අඹ රසැති මීයේ
කදක ලා වුව­මනා දේ ඇත හඬින් අමතා කදෙහි ලීයේ
නහර ගැට ඇති දෙපය ගුරු මාව­තක් අත­රින් ගෙනෙන සීයේ
ඔබේ සිරු­රෙන් රටට පෙන්වයි පැරණි සිංහල ගතිය ආයේ

දවල් මහ ගිනි අව්ර­සින් හිස දදා කව­දත් පුරුදු කද ගෙන
මෙසේ ඇවි­දින මහලු උද­විය ගම්බ­දව මිස ඇතිද කොහි වෙන
ඔබේ වය­සත් රුවේ පෙනු­මත් නිසා වැඩි­පුර ඔ‍බෙන් බඩු ග‍ෙන
බොහෝ දෙන සතු­ට­කට පත් වෙති අනේ මට ඔබෙ වයස කිව ම‍ෙන

ගසක් යට මඳ විඩා හරි­මින් බිම තබා කද උරය මත්තේ
විටක් කන්ටද ඉණේ රඳවා තිබුණු හැඹි­ලිය අතට ගත්තේ
පෙළක් අප තරු­ණ­යන් හට මෙන් ඔබට උප­නෙත් පිහිට නැත්තේ
හුඟක් මොක­ටද හැට­න­මේ­දිත් කුදු­බ­වක් නැහැ ඔබගෙ මුත්තේ
පී.බී. අල්විස් පෙරේරා


සුපර් ස්ටාර්

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
සඳත් අරන් කොළඹ ගියා
කොළඹ අහස අඳුරු නියා
එළිය බෙදයි ටිකිරි ලියා

ගීත ගයයි ටිකිරි ලියා
තරු­වක් වෙයි ටිකිරි ලියා
බලා­ගෙ­නයි බොළඳ ලියා
බිමට කඩන් වැටෙයි ලියා

රන් තළි­යක් වගෙයි ඔයා
හරිම අගෙයි ටිකිරි ලියා
ඉරි අඳින්න හදයි ලියා
කොළඹ ඉන්න කබර ගොයා

චිත්ත­ර­පටි සදයි එයා
රඟ­පාන්න ගනියි එයා
පරි­ස්ස­මෙන් ටිකිරි ලියා
කකුල කාවි කබර ගොයා
සුදත් ගාමිණි බණ්ඩාර

(‘සීමා නෑ සඳ­ව­තුරේ’ කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


එතෙර කවිය

කූඩු කුරුල්ලා

සුළඟ පිට නැඟි
නිදැලි කුරුල්ලා
සුළං පහර දිග
පා වී පිය­ඹයි
රන් හිරු කිරණේ
අත්තටු ගිල්වයි
මුළු අහ­සම ඔහු­ගෙයි!
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
‘වෛරයෙ පටු දැල’ තුළින් බලයි
සිර කළ අත්තටු
බැඳ දැමු පා යුග
ඇති ඔහු ගී ගායනා කරයි
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
බිය කම්පා­වක හඬ ගෙන එයි
නොලැ­බෙන නොද­කින ආසා පොදි ගැන
බලා­පො­රො­ත්තුව නාද කරයි
දුරින් දුරට ඇදි කඳු පන්තිය වෙත
ඔහුගේ ගීතය පා වී යයි
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
නිද­හස ගැන ගායනා කරයි
මුදු ලෙස හමනා මඳ නල පහ­සට
නිදැලි කුරුල්ලා ප්‍රේම කරයි
තණ මත නළි­යන තර වූ පණු­වන්
දෙස ඔහු කෑදර බැලුම් හෙළයි
මුළු අහස ම ඔහු­ටයි!
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
වැළ­ලුණු සිති­විලි මත ළත­වෙයි
බිය­කරු සිහි­නය අත­රින් මතු වුණු
ඔහුගේ සෙව­ණැලි කෑමොර දෙයි
සිර කළ අත්තටු
බැඳ දැමු පා යුග
ඇති ඔහු ගී ගායනා කරයි
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
බිය කම්පා­වක හඬ ගෙන එයි
නොලැ­බෙන නොද­කින ආශා‍ ­පොදි ගැන
බලා‍පො­රො­ත්තුව නාද කරයි
දුරින් දුරට ඇදි කඳු පන්තිය වෙත
ඔහුගේ ගීතය පාවී යයි
කූඩුවෙ සිර කළ කූඩු කුරුල්ලා
නිද­හස ගැන ගායනා කරයි!

I know why the caged bird sings
මායා ඇන්ජලෝ

ඇම­රි­කානු ජාතික ගීත රචි­කා­වක, මානව හිමි­කම් ක්‍රියා­කා­රි­නි­යක වන මායා ඇන්ජලෝ (1928-2014) වඩාත් ප්‍රක­ටව ඇත්තේ කවි­කා­රි­යක ලෙසය. ගැඹුුරු රූපක දෙකක් අඩංගු ඇගේ මේ කාව්‍ය­යෙහි, කූඩු කුරුල්ලා මඟින් කළු ජාතික වහ­ල්ලුද නිද­හස් කුරුල්ලා මඟින් ඔවුන් යටත් කොට සිටි සුදු ජාති­ක­යෝද පිළි­බිඹු කෙරෙති. කිවි­ඳි­යගේ අර­මුණ වන්නේ වහ­ලුන් විඳි දුක්-පීඩා හා ඔවුන්ගේ ජීවි­තයේ පිරී තිබු අඳුර හෙළි­ද­රවු කිරී­මය.
පරි­ව‍ර්ත­නය - අමන්දා දළු­පොත

අදහස්