රට කැලඹූ ලිඳුල නගරාධිපතිගේ දරු පවුල් ‍කොල්ලය | සිළුමිණ

රට කැලඹූ ලිඳුල නගරාධිපතිගේ දරු පවුල් ‍කොල්ලය

අත්වල මාංචු ඉහළට ඔසවා පෙන්වා වීරකමක් කළා මෙන් සිනහවෙමින් අධිකරණ භූමියෙන් බන්ධනාගාර බසයට ගොඩවීම එක්තරා දේශපාලන කල්ලියක අලුත් ම විලාසිතාව ය. ඒ විලාසිතාව අනුගමනය කළ අලුත් ම සාමාජිකයා ලිඳුල නගරාධිපතිවරයා ය. කෙහෙල්ගහට ඇන්න දාට හොට පැටලෙනවා සේ මෙවර දඩයම වැරදුණත්, මීට පෙර බොහෝ වතාවල ඒ නගරාධිපතිතුමා නොයෙක් දඩයම් නොවැරදී කරගෙන ඇති කෙනකු බවට ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරයි.

ලිඳුල නගරාධිපතිි අනගිපුර අශෝක සේපාල පසුගිය සඳුදා (04) අත්අඩංගුවට පත්වන්නේ කාන්තාවක සහ දරුවන් දෙදෙනකු පැහැරගෙන යෑම, දරුවන් විකිණීම සහ ඒ දරුවන්ගේ මව දූෂණය කිරීම යන අවාසනාවන්ත සිද්ධිදාමයක ප්‍රධාන සැකකරු හැටියට ය. මෙහිදී මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පිරිස හතර දෙනෙකි. නගරාධිපතිවරයා සහ ඔහුගේ හිතවත් ලිඳුල නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක සහ ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකුගෙන් මේ පිරිස සමන්විත වේ.‍ දැනට වාර්තාවන තොරතුරු අනුව සිද්ධිය සැකෙවින් මෙසේ ය.

මේ ඛේදනීය සිද්ධියට මැදිවන්නේ ආගරපතන ගල්ලෙන්වත්තේ පදිංචි විසිහය හැවිරිදි තරුණ මවකි. දෙමාපියන් අහිමිවීම නිසා වයස අවුරුදු එකොළහේ සිට පිළියන්දල ළමා නිවාසයක හැදී වැඩී ඇති මේ තැනැත්තිය අවුරුදු 19 සම්පූර්ණ වන විට ම යුගදිවියට පිවිසෙන්නේ ආගරපතන ප්‍රදේශයේ තරුණයකු සමඟිනි. පිළියන්දල හැදී වැඩුණු ඇය ආගරපතන ප්‍රදේශයේ පදිංචිකාරියක බවට පත්වන්නේ එතැන් පටන් ය. සැමියා සහ ඔහුගේ මව සමඟ සතුටින් ජීවිතය ගත කරමින් සිටියදී මේ කුඩා පවුල අලුත් අමුත්තන් දෙදෙනකුගේ කිරි හිනාවලින් එළිය වැටේ. මීට වසර පහ හමාරකට පෙර දූ සිඟිත්තියක් ද මීට වසර දෙක හමාරකට පෙර පුත් රුවනක් ද වශයෙනි.

දරු මල්ලන් සමඟ ගෙවන ජීවිතය ආදරණීය එකක් වුව ද, අගහිඟකම් දොරට තට්ටු කරද්දී මේ පවුලේ තාත්තා කොළඹ රැකියාවකට පිටත්වී ගොස් තිබේ. දරුවන් සහ සැමියාගේ අම්මා සමඟ ගත කළ ආගරපතනේ ජීවිතය මේ කාන්තාවට එපාවී තිබෙන්නේ මේ කාලයේදී ය‍. පවුලේ සැමදෙනා සමඟ ම කොළඹින් ගෙයක් කුලියට ගෙන නැවතී, තමාට ද මොකක් හෝ රැකියාවකට යෑමට කටයුතු සලස්වන්නැයි කියා ඈ සැමියාට නොයෙක්වර ඇවිටිලි කළ ද, ඊටත් මුදල් ප්‍රශ්නය මැදිවීම නිසා ඒ උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඒ නිසාම ඔවුන් අතර සුළු විරසකවීම් ද ඇති වන්නට පටන්ගෙන තිබේ.

ආගරපතන ගමේ ම පදිංචි ඔරාකඳ ලියනගේ ජයන්ත පීරිස් යන ත්‍රීරෝද රථ රිය­ැදුරාට මේ කාන්තාවගේ ගැටලුව ගැන කන වැකෙන්නේ මේ කාලයේදී ය. ඇයට රැකියාවක් සොයාදීම තමාට පහසුවෙන් ම කළ හැකි දෙයක් බව ජයන්ත ත්‍රී‍‍රෝද රථ රියැදුරා පවසා තිබේ. ඇඳුම් පැලඳුම් රැගෙන ස‍ූදානම් වී තලවාකැලේ බස් නැවතුමට එන්නට දිනයක් ද ඔහු මේ කාන්තාවට දැනුම් දී ඇත. කුඩා දරු දෙදෙනා ගෙදර දමා යන්නට බැරි නිසා මේ කාන්තාව දරු දෙදෙනා ද සමඟ ඔහු කියූ වෙලාවට තලවකැලේ බස් නැවතුමට ගොස් ඔහු හමුවී ඇත.

මේ මවත් දරු දෙදෙනාත් නංවාගත් ත්‍රීරෝද රථය කෙළින්ම ගොස් නතර කෙරී තිබෙන්නේ ලිඳුල නගර සභා මන්ත්‍රී ඉෂාර මංචනායකගේ ගෙදර ඉදිරිපිටයි. දින කිහිපයක් ගතවන තුරු ඒ නිවසේ සිරකරුවන් බවට පතවන්නට මේ මවටත් දරුවන්ටත් සිදුවී ඇත. ඇගේ ජංගම දුරකථනයේ ව‍ූ සිම් කාඩ්පත කඩා විනාශකර, මේ ගැන කිසිම තොරතුරක් කිසිවකුට ලබාදෙන්නට බැරි තැනට ඇය පත් කරවා ඇත.

එතැනින් ඔවුන් ගෙන යනු ලබන්නේ ලිඳුල නගරාධිපතිවරයාගේ ගෙදරට ය‍. මේ සාපරාධී සිද්ධියට ආගරපතන ඩයගම රෝහලේ සේවකයකු වන තිලකරත්න ඍජු ව ම සම්බන්ධ වන්නේ මෙතැන් සිටයි. මේ කාන්තාව රට රැකියාවකට යවන්නට තමන් ස‍ූදානම් නිසා දරුවන් කාට හෝ හදාගන්නට දිය යුතු බවට යෝජනා වී තිබෙන්නේ නගරාධිපති අශෝක සේපාල ගේ ගෙදරදී ය. අනතුරුව ඇයගෙන් වංචාකාරී ලෙස කොළ කිහිපයකට අත්සන් ගෙන තිබේ. එයින් ඔවුන් පෙන්වා ඇත්තේ වයස අවුරුදු 5 ½ ක් වූ වැඩිමල් දැරිය නීත්‍යානුකූල ලෙස හදා වඩා ගැනීමට ගාල්ලේ පවුලකට භාරදෙන බවකි. දරුවා අලෙවි කිරීමට නගරාධිපතිවරයා ලබා ගෙන තිබ‍ූ මුදල ‍ෙකාපමණ ද යන්න මේ අම්මා මේ වනතුරු පැහැදිලිව නොදනී.

එතැන් පටන් ඉතිරිවන කුඩා පිරිමි දරුවාටත්, මවටත් නවාතැන් ලැබෙන්නේ රෝහල් සේවක තිලකරත්නගේ ගෙදරය. මාස තුනක පමණ කාලයක් ඒ නිවෙසේ නවාතැන් දී ඒ අතරතුර ඒ කාන්තාවට මැදපෙරදිග රැකියාවකට යවන්නට වුවමනා ලියකියවිලි මොවුන් සකස් කර තිබේ. නාගරික මන්ත්‍රීවරයාගේ සහෝදරියකගේ නි‍ෙවසක නැවතෙමින් ද මේ සඳහා උදවු ලබාගෙන ඇති අතර, තිලකරත්න විසින් ඇයට ආමර්වීදියේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකින් ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කර දී තිබේ.

රට රස්සාවට යන විට වයස අවුරුදු දෙක හමාරේ පුතා බාධාවක් වෙන බව පවසා, වංචාකාරී ලෙස ඒ දරුවාත් අලෙවි කරන්නට පිඹුරුපත් සකස් කෙරී ඇත. එහි පළමු පියවර හැටියට ඒ කුඩා දරුවා තලවාකැලේ පතන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙත ලබාදී තිබේ. ගතවූ ඒ මාස ගණනාවක කාලයේදී තමන් කිහිප වතාවක් ම තිලකරත්න නම් ඒ තැනැන්තා අතින් අතවරයට ලක්වූ බවත් මේ කාන්තාව පවසයි.

නගරාධිපතිතුමා ද, ඔහුගේ හිතවතුන් ද මේ පාර්ශ්වයෙන් සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියදී දරුවන්ගේ පියා අනෙක් පාර්ශ්වයෙන් තමන්ට ගත හැකි සෑම උත්සාහයකින් ම මේ අම්මාත් දරු දෙදෙනාත් සොයමින් සිට තිබේ. ඔවුන් ගෙදරින් අතුරුදන්වූ බව සැලවූ දාම ඔහු ආගරපතනේ සිය නි‍ෙවසට ගොස් තලවකැලේ පොලීසියේ පැමිණිල්ලක් දමා තිබිණි. ඒ 2017 ජූනි මාසයේදී ය. එතැනින් නොනැවතී කාන්තා හා ළමා කාර්යාංශයටද, පොලිස්පතිතුමාටද, අතුරුදන්වූවන්ගේ කොමිසමට ද මේ සිද්ධිය ගැන ලිඛිතවම දැනුම් දී තිබිණි. දරු සෙනෙහස හදවත පතුලේ වේදනා නඟනා හැම වාරයක් පාසාම සිය දරුවනුත්, බිරියත් හොයාගන්නට ඔහු නොගත් උත්සාහයක් නැති තරම් ය.

මේ පිළිබඳ ව ආගරපතන පොලීසිය මඟින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ.ආර්. 1291 යටතේ නඩුවක් ගොනුකර ඇත. ගතවූ වර්ෂයක කාලය පුරා නඩුව කැඳවූ සෑම වතාවකදී ම මේ අසරණ තාත්තා වෙනුවෙන් නොමිලේ නඩුවට පෙනී සිටීමට නීතිඥ එස්. මො‍හන්රාජ් මහතා කටයුතු කර තිබිණි. ඒත් පොලීසිය සහ නීතිමය කටයුතු ඉදිරියට ගොස් තිබෙන්නේ අතිශය මන්දගාමී ස්වරූපයකිනි.

ඊට හේතුව පැහැදිලිව පෙනෙනුයේ දැන් ය. එනම් ලිඳුල නගරාධිපති අශෝක සේපාල සහ මන්ත්‍රී ඉෂාර මංචනායක යනු හිටපු ඇමැතිවරයකු වන සී.බී. රත්නායකගේ අග්‍රගණ්‍ය හිතවතුන් නිසා ය. නගරාධිපති අශෝක සේපාල, සී.බී. රත්නායකගේ ආධාරකරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇතත්, පසුගිය මැතිවරණයට නාමයෝජනා සකස් කරන සමයේ ඇති කරගත් ආරවුලක් නිසා එම මැතිවරණයට ඉදිරිපත්ව තිබුණේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. නමුත් නගර සභාවට පිවිසි පසුව පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීන්ගේ මනාප ඇතුව නගරාධිපති තනතුරට පත්ව පොහොට්ටු කණ්ඩායම හා යළි එකතුවී තිබේ. අශෝක සේපාල මේ නගරාධිපති තනතුර හොබවන්නේ දෙවැනි වතාවට ය. මීට පෙර ධූර කාලයේදී මහජන මුදල් අවභාවිත කිරීම ගැන ද ඔහුට එරෙහිව චෝදනා තිබේ.

දැන් යළි ඛේදවාචකය පිළිබඳ පුවතයි. දරු දෙදෙනාම විකුණා, මව නිවාස අඩස්සියේ තබාගෙන සිටියදී ඇයට විදේශගතවීමට නොහැකි බව මේ සැකකරුවන් දැනගෙන තිබෙන්නේ ඇගේ සැමියා විසින් පොලිසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ආරංචිවීම නිසා ය. ඒ අවස්ථාවේ විදෙස්ගතවීමට උත්සාහ දැරුවේ නම් ඇය සහ මේ වංචනිකයන්ගේ තොරතුරු සියල්ල ගුවන් තොටුපොළේදී අනාවරණය වේ.

මේ නිසා උපක්‍රමශීලී ලෙස අදාළ කාන්තාව බත්තරමුල්ලේ නි‍ෙවසකටත්, අනතුරුව පිළියන්දල නි‍ෙවසකටත් ගෘහ සේවිකාවක හැටියට සම්බන්ධ කරවා තිබේ. පිළියන්දල ඇයට හුරුපුරුදු නගරයකි. ඒ ඇය කුඩා කාලයේ පටන් ලොකු මහත් වූ ළමා නිවාසය එහි පිහිටා තිබ‍ූ නිසා ය. ලද අවසරයකින් ඇමතුමක් ගෙන පිළියන්දල අදාළ ළමා නිවාසයේ තම හිතවත් අයට තමාගේ මේ විස්තරය පවසන්නට ඇය ක්‍රියාත්මක වී තිබිණි.

තමා පිළියන්දල නි‍ෙවසක මෙහෙකාරකම් කරනා බව ඇය ඔවුන්ට දැනුම් දී තිබුණු අතර, ඒ වනවිටත් ඇය ගමෙන් අතුරුදන්වී වසරක් ගෙවී තිබුණු බවට ඔවුන් සැමියා හරහා දැනුවත් වී සිට ඇත. පිළියන්දල ඒ නි‍ෙවසට ගොස් තමාගේ බිරිය කැඳවාගෙන ඒමට දරුවන්ගේ පියා සමත්වන්නේ ඒ ලැබුණු තොරතුරු ඔස්සේ යමිනි. අනතුරුව තලවකැලේ පතන ප්‍රදේශයේ පන්සලක නතර කළ වයස අවුරුදු දෙක හමාරේ පුතු ද ඔවුන් සොයාගෙන තිබේ.

ඉන් පසුව මේ කාන්තාව පොලිසියට පැමිණ සියලු තොරතුරු අනාවරණය කර තිබේ. මේ සිද්ධියට අදාළ ඒ.ආර්. 1291 නඩුව කැඳවූ දිනයේ එනම් පසුගිය 04 වැනිදා සඳුදා සැකකාරයන් හතර දෙනාම අත්අඩංගුවට ගන්නට නියෝග නිකුත් කෙරෙන්නේ ඒ අනුව ය. හතරවැනිදා සිට ලබන සඳුදා යළි කැඳවන තෙක් ලිඳුල නගරාධිපතිවරයා ද ඔහුගේ සගයන් තුන් දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් අවුරුදු පහමාරක් වයසැති දියණිය ද ආගරපතනට ගෙන්වා ඇති අතර, පරිවාස වාර්තාවක් ලබාගන්නා තුරු දැරිය නුවරඑළිය එස්.ඕ.එස්. ළමා ගම්මානයේ නතරකර තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසේකර මහතා නියෝග කළේ ය.

ජූනි 05 වැනිදා මේ සිදුවීමට අදාළව ඒ දැරිය ළඟ තබාගෙන සිටි අඹු සැමි යුවළ මෙන් ම තවත් අතරමැදියෙකු සහ දැරියගේ මව 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කෙරිණි. මේ වංචාකාරී සැලසුම් සහගත සිද්ධියෙන් කායික හා මානසික පීඩාවට පත් පාර්ශ්වයට සාධාරණයක් ඉටුවනු දැකීම දැන් කාගේත් අපේක්ෂාව ය. දේශපාලන බලපුළුවන්කාරකම් නොසලකා නීතිය ක්‍රියාත්මක වන අන්දම දකින්නට සියල්ලෝම සුබවාදී ව බලා සිටිති.

සාවිත්‍රි විතානගේ

Comments