මේ ඔක්කොම දේශපාලන නඩු | සිළුමිණ

මේ ඔක්කොම දේශපාලන නඩු

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා බලයට පතු වුණොත් බදු බර 20%කින් අඩු කරනවා කියලා. අගමැතිතුමා අභියෝග කරලා තිබුණා කරන හැටි පෙන්වන්න කියලා. කරන්න පුළුවන් දෙයක් ගැනද මේ කියන්නෙ.

මහින්ද මහත්මයාගේ කාලේ රටේ යුද්ධයක් තිබුණා, ලෝක ආර්ථිකයේ ලොකු අර්බුදයක් තිබුණා. ලෝකෙ තෙල් මිල ඉහළ ගිහින් තිබුණා. එවන් තත්ත්වයක් උඩ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය සහන ලබා දුන්නා. උපාධිධාරි පත්වීම් ලබා දුන්නා. රට සංවර්ධනය වුණා. යුද්දෙටත් විශාල වියදමක් ගියා. එහෙම තත්ත්වයක් එක්ක ආර්ථිකය හසුරුවා ගත් එකේ බදු බර අඩු කරන එක මහ දෙයක් නෙමෙයි.

ඔබ එසේ කිව්වත් එ් කාලයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වෙලා තිබුණෙ.

එදා සහ අද තෙල් මිල ගණන් සංසන්දනය කරල බලන්න. අපි කාටවත් හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔපෙක් සංවිධානයේ තෙල් මිල ඉහළ පහළ යෑම. මාසයක් දෙකක් අඩුවෙන් තිබ්බ දිනයක් අරගෙන බොරු කියනවා.

ඔබ කියූ කටයුතු සිදුවුණත් රට අතිවිශාල ණය බරක් එක්කයි වත්මන් ආණ්ඩුවට දුන්නෙ.

ඒ රට සංවර්ධනය කරලනෙ. අධිවේගී මාර්ග හැදුවා, මාතර කතරගම දුම්රිය මාර්ගය ආරම්භ කළා. රටේ සියලු ප්‍රධාන මාර්ග කාපට් කළා. යුද්ධයෙන් විනාශ වෙච්ච දේ ගොඩනැඟුවා. උතුරේ සියලු දුම්රිය මාර්ග යළි ඉදි කළා. අද මොනවද වෙන්නෙ?

මාතර - හම්බන්තොට අධිවේගයත් මධ්‍යම අධිවේගයේ 2 අදියරත් ලබන වසරේ විවෘත වෙනවා.

මහින්ද මහත්තයා බලයෙ හිටියා නම් අද නුවරටම යන්න පාර තියෙනවා.

ඔබ පවසන්නේ මේ රජය කිසිදු කාර්යයක් නොකළ ලෙසින්. එය සාධාරණ විවේචනයක් නෙමෙයි.

මේ රජය අලුතින් දෙයක් කරල නැහැ. ඒ කාලෙ ග්‍රාම සේවා වසම් 14000ටම ලක්ෂ 50 ගාණේ දුන්නා සංවර්ධන කටයුතු කරන්න. අද දෙන්නෙ ලක්ෂ 5යි. ඒකත් හරියට දීල නැහැ. කොන්ත්‍රාත් බාර ගත්ත අය මුදල් නැතිව අසරණ වෙලා ඉන්නවා.

ගමට සංවර්ධනයක් වෙන්නෙ නැහැයි කියන්න බැහැ. ගෙවල් හැදෙනවා. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.

මොන සංවර්ධනයක්ද? ඒ කාලෙ ගොඩනැගිලි හැදුණා. පාරවල් හැදුණා පාලම් හැදුණා. ගොඩනැගිලි හැදෙන නිසා ගල් ටික අලෙවි වුණා. හාඩ්වෙයාර් එකේ කම්බි ටික අලෙවි වුණා. ඒව ගෙනියන්න ලොරිවලට හයර් තිබුණා. ලොරි හයර් යනකොට වාහන සර්විස්වලට වැඩ තිබුණා. ටයර් අලෙවි වුණා. වාහන අමතර කොටස් අලෙවි වුණා. ලොරි හයර් යනකොට ගමේ තේ කඩේට ආදායමක් තිබුණා. මේ සේරම චක්‍රයක් වගේ තියෙන්නෙ. අද ඒ තත්ත්වයක් නෑ.

ඒ වුණත් රජය ගෑස් මිල අඩු කළා. මෑතදී ඉන්ධන වැඩි වීම හැරෙන්න ඉන්ධන වැඩි වුණේ නැහැ. ඖෂධ මිල අඩු කළා. ඒ ජනතාවට සෙතට කරපු දේවල් ලෙස දකින්නෙ විපක්ෂයට බැරි ඇයි?

අඩු මුදලට ගන්න හරි ජනතාව ළඟ සල්ලි තියෙන්න එපායැ. සහනාධාර දෙනව කිව්වත් දැන් සමෘද්ධිය කපන්න යනවා. පොහොර සහනාධාරය කපා දමන්න යනවා. උපාධිධාරීන්ට රැකියා නැහැ. කෝ..

ආණ්ඩුව රටේ සංවර්ධනයත් කරන ගමන් ණය බර අඩු කරන සැලසුම් ක්‍රියාත්මක කරන බව පේනවා.

ආණ්ඩුව සේරම කරන්නෙ IMF එකටයි ලෝක බැංකුවටයි ඕන විදිහට

පහුගිය රජය සමයේ සිදුවුණු දූෂණ වංචා නිසයි මේ රජයත් අපහසුතාවන්ට පත්වෙලා තියෙන්නෙ. ඇයි ඔබ ඒ තත්ත්වය දකින්නෙ නැත්තෙ?

මේ රජය බලයට ආවෙ හොරු අල්ලනව කියලනෙ. මෙගා ඩීල්, හයිවේ රොබරි. ලැම්බෝ ගිනි මොනවද නොකිව්වෙ. කාවද ඇල්ලුවෙ, කෝ හොරකම් කරපු අය.

ඔබ එසේ කිව්වත් ඔබට විරුද්ධවත් අධිකරණයේ මහජන මුදල් අවභාවිත කිරීම ගැන නඩු විභාග වෙනවා.

වෘත්තීය සමිතියක රුපියල් ලක්ෂ 14ක මුදල් මගේ ගිණුමට යෑම ගැනනේ ඔය නඩු දාල තියෙන්නෙ. කැරම් බෝඩ් සම්බන්ධව සිදුවුණු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කෙළේ සතොස ආයතනය විසින්. කැරම් බෝඩ් ගත්තෙත් සතොසින්. ඒකට මුදල් ගෙවා ඇත්තෙත් ඒ අයුරින්. එහි කිසිම නඩුවක් නැහැ. අධිකරණයෙන් නිවැරැදි තීන්දුව ලබා දෙයි. මේවා දේශපාලන නඩු මිසක් කරුණු කාරණා මත පදනම් කරපු චෝදනා නෙමයි.

ආණ්ඩුවටත් රටටත් ජනතාවටත් මහත් හිසරදයක් වෙච්ච සයිටම් ප්‍රශ්නයත් පසුගිය ආණ්ඩුව නිර්මාණය කළේ. ඒ ගැන නොදන්නවා වගේ අද කතා කරනවා.

අපි සයිටම් ආයතනය ආරම්භ කෙළේ උපාධියක් ලබා දෙන ආයතනයක් විදිහටයි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශයන්ට අනුකූලව ක්‍රියාත්මක විය යුත්තක්.

ඔබ එසේ කිව්වත් ඇමැතිවරයෙකු ලෙස ඔබ හිටපු රජයෙන්ම තමයි වෛද්‍ය උපාධියටත් නිර්දේශ ලබා දීල මේතරම් ප්‍රශ්ක වැලක් ඇති වුණේ.

එකල සෞඛ්‍ය ඇමැතිවරයා එවැන්නක් සිදු කර තිබූ බව පසුව දැන ගන්නට ලැබුණා. නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශයන්ගෙන් පිට සිදු වන දේ ගැන මමත් එකඟ නැහැ. අපි නැති ප්‍රශ්න නිර්මාණය කර ගත යුතු නැහැ.

ඔබගේ පිළිතුරුවලින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට එරෙහිව පහර ගැසීමම ඉලක්කයක් බවයි. විපක්ෂයක් ආණ්ඩුවේ හොඳ නොදකින සංකල්පයෙන් තවම ඈත්වෙන්න බැරිවෙලා වගෙයි.

හොඳ කියන්න හොඳ තියෙන්න එපැයි. අපේ ඉලක්කය එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් ගොඩ නඟන එකයි.

දැන් තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි යහපාලන ජාතික ආණ්ඩුවක්

අපේ ඉලක්කය මේ රජය ගෙදර යවන එකත් සන්ධානය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ විරෝධී රජයක් ගොඩනැගීමත්. ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මුල් තැනක් ගන්නවා.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිතුමා.

අපි බිහි කරන ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගැන අපට ප්‍රශ්නයක් නැහැ.

ඔබ හිතනවාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මහින්ද රාජපක්ෂ මහතාටයි යළිත් එකට දේශපාලනය කරන්න පුළුවන් කියලා.

ටී. එන්. ඒ එකටයි හෙළ උරුමයටයි එකට ඉදගෙන දේශපාලනය කරන්න පුළුවන්නම් ඇයි ඒ දෙන්නට බැරි.

සාකච්ඡා කළේ : තාරක වික්‍රමසේකර

Comments