පිට රට | සිළුමිණ

පිට රට

‘තරහ’ කියන්නෙ හොද සිතුවිල්ලක් නෙමෙයි. ඒක තමයි අපි ඉගෙනගත්ත විදිය. ඒත් කාලයත් එක්ක ‘තරහ’ භාවිත වෙන්නේ මොන සන්දර්භය ඇතුළෙද කියන කාරණාවත් එක්ක ‘තරහ’ සහ ඊට පසුව එන ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්න අපි පුරුදු වුණා. සමහර වෙලාවට ආදර සම්බන්ධතාවලදී ‘තරහ’ ගන්න එක ආදරය පෙන්නන එක විදියක් කියල මගෙ පරණ පෙම්වතියක් කියල තියෙනවා. තවත් පෙම්වතියක් මට මතකයි හැම වෙලාවකම චෝදනා කළා එයා කරන සමහර දේවල්වලට මට ‘තරහ’ නොයන්නේ මම එයාට ආදරේ නැති නිසා කියල. දැන් මේ චිත්‍රපටය අපිට කියන්නේ මවකගේ ‘තරහ’ ගැන කතාවක්.

Three billboards outside Ebbing, Missouri චිත්‍රපටය ගැන ලියන්න පුළුවන් පැති කිහිපයක්ම තියෙනවා. එකක් තමා ලිංගික හිංසනය. විශේෂයෙන්ම ලංකාව තුළත් උතුරේ සිට දකුණ දක්වාම, වරින් වර නමුත් නොනවත්වා ඇහෙන ‘සමූහ ස්ත්‍රී දුෂණ’ පිළිබද මාතෘකාව. පසුගියදා හාන්ස් ප්‍රමුඛ කණ්ඩායම වේදිකාගත කළ V Day තුළදීත් ‘ස්ත්‍රී දුෂණ’ කියන කාරණාව පැති කිහිපයක් ඔස්සේ සාකච්ඡාවට ලක්කලා. විශේෂයෙන්ම යාපනයේ වින්ද්‍යා දැරිය සමුහ දුෂණයට ලක්වූ අවස්ථාවේ උතුරේ සිවිල් වැසියන් පොලීසියට පවා ගල්මුල්වලින් පහර දෙමින් ‘තරහ’ පිටකළ ආකාරයත් එම ‘තරහ’ තුළින්ම වින්ද්‍යා දැරියගේ නඩුව විසදීමට රාජ්‍ය මැදිහත්වීම ලබාගත් ආකාරයත් මෙම ච්ත්‍රපටයට මැනවින් සම්පාත වෙනවා. ඉතින් ඒ ගැන කතිකාවතක් නිර්මාණය කිරීම හාන්ස්ටම පවරලා මම Three billboards outside Ebbing, Missouri දෙස වෙනත් අර්ථයකින්, මට වැඩියෙන්ම තේරෙන දේශපාලන අර්ථයෙන්ම බලන්න හිතුවා.

‘තරහ’ එදිනෙදා දේශපාලනයේදී, මට තුන්විදියකට පෙනෙනවා. එකක් තමා ශ්‍රී ලංකාකාරයා සිරිසේන ජනපති එක්ක තියන තරහ, පසුපෙළ එජාප මන්ත්‍රීවරු රනිල් සහ මලික් සමග තියෙන තරහ, උතුරු කොරියාව දකුණු කොරියාව එක්ක තිබ්බ තරහ, විමල්ගේ කණ්ඩායම අනුර කුමාර සමග තියෙන තරහ වගේ පැවැත්ම මූලික කරගත් නමුත් න්‍යායක් ලොකුවට නැති එදිනෙදා දේශපාලනයේ තරහවල්. ඔය සේරම තරහවල් පැත්තකින් දාල හෙට මේ හැමෝම බලය වෙනුවෙන් ‘දේශපාලන සම්මුතියකට’ එන්න බැරි නෑ. ඊළග තරහ තමා ‘දේශපාලන කෝන්තර’ හෙවත් මනාප නිසා මාතර යු එන් පී එක සාගල සහ බුද්ධික පතිරණ ලෙස කණ්ඩායම් දෙකක් වීම. සුසිල් ලොක්ක වෙන්න ඕන නිසා නිමල් සිරිපාලව මග ඇරලා ඒම. නාමල් එක්ක ඉංග්‍රීසියෙන් කොළඹ දේශපාලන බ්ලොග් ලියන අය තියන තරහ, ගමේ ශ්‍රී ලංකා පවුල් යු එන් පී පවුල්වලින් කසාදයක්වත් කර නොගැනීම වගේ ග්‍රාම්‍ය නමුත් සුලබම දේශපාලන ‘තරහ’වල්. හරිම අඩුවෙන් තමයි බලය වෙනුවෙන් වුණත් මෙයාලව එකතුකරන්න පුළුවන්.

තුන්වැනි දේශපාලන ‘තරහ’ තමයි මම හිතන්නේ පවතින දේශපාලනයේ කොඳු නාරටිය. ඒ තමයි දේශපාලන දැක්මක් වෙනුවෙන් ගොඩ නගන තරහ. ධනපතියන්ට එදිරිව නිර්ධන පන්තිය ඇතුළේ තියන තරහ. එජාපයේ රාජ්‍ය දේපල පෞද්ගලිකරණය කිරීමේ මොඩලයට එදිරිව අපේ ශ්‍රී ලංකා ආර්ථික මොඩලය ඇතුළෙන් එන තරහ, චීනයේ තනි පක්ෂ දේශපාලන ක්‍රමයට එදිරිව යුරෝපිය ප්‍රජාතන්ත්‍රවාදය තුලින් එන තරහ, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එදිරිව මහජන මුදලින් ඉගෙනගත්ත දොස්තරලා තුළින් එන තරහ, ස්‌වයං තීරණ අයිතියේ එල්ලෙන නිසා TNA එකට එදිරිව ජාතික චින්තන එකමුතුවේ තියන තරහ, රාජපක්ෂවාදය මිනිස්සු අතර පරාජය නොවන නිසා රාජපක්ෂවරු සමග පුරවැසි බලයට තිබෙන තරහ. මේවා ටිකක් සීරියස් ‘තරහ’වල්.

Three billboards outside Ebbing, Missouri චිත්‍රපටය අපට පාඩම් දෙකක් කියා දෙනවා. පළමුවැන්න ‘තරහ’ අත්‍යවශ්‍ය ‘සමාජිය කාරණයක්’ බව. ඇය ‘තරහා’ පාලනය කරගත යුතුම මොහොතේත් තරහ පවත්වාගෙන යනවා. මොකද මේ ජනාකීර්ණ ලෝකයේ සමහර ප්‍රශ්නවලට මිනිස්සු ප්‍රතිචාර දෙන්නෙම, පිළිතුරක් හොයන්න මහන්සි වෙන්නෙම, සමහර වෙලාවට ඒ ප්‍රශ්නය ‘ප්‍රශ්නයක්’ විත්තිය තේරුම් ගන්නෙම ‘තරහ’ දැක්කම විතරයි. මාවිල්ආරුවලදී ගොවියෝ තරහ පෙන්නුවා, පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන චන්දෙදිත් මිනිස්සු තරහ පෙන්නුවා.

දෙවැනි පාඩම තමයි ‘තරහ’ අවසාන විසඳුම නොවන බව. තරහ කියන්නේ ප්‍රශ්නයට විසඳුම හොයන්න පටන්ගන්න තැන වෙන්න පුළුවන් ඒත් විසඳුම තියෙන්නේ ඊට ගොඩක් එහායින්. ඒකයි Three billboards outside Ebbing, Missouri හරිම සුන්දර තැනකදී ඉවර වෙන්නේ. චිත්‍රපටයේ අවසාන දර්ශනය තමයි, මේ චිත්‍රපටයේ ඉන්න තරහ පිරුණුම දෙන්නා යනවා මිනිහෙක් මරන්න. ගමන අතරමගදී දෙන්නටම තේරෙනවා මේ මිනිහ මරන එක ගැන හදවතින්ම එකගතාවක් එයාලගෙ හිත් තුළ නෑ කියල. ඒක ඒ චරිතවලින් බලාපොරොත්තු වුණ දෙබසක් නෙමෙයි. හැබැයි ඒ දෙබස ඇතුළේ මේ චිත්‍රපටයට අදාළ වැදගත්ම ප්‍රශ්නයට විසඳුමක් තිබ්බා.

දේශපාලනය කරන අයත් ප්‍රතිවාදියා එක්ක තරහ විය යුතුයි. එතකොට තමයි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පටන්ගන්නේ. හැබැයි තරහ නෙමෙයි උත්තරේ.

අදහස්