ගෝඨා ඉදිරියේ යුක්තිය පලා යෑම | සිළුමිණ

ගෝඨා ඉදිරියේ යුක්තිය පලා යෑම

පැබ්ලෝ එස්කොබාර් යනු කොලොම්බියාව සමඟ සමස්ත ලතින් ඇමරිකාව හෙල්ලූ මත්ද්‍රව්‍යා මාෆියාවක නායකයා ය. නම ඇසූ පමණින් ඇසුවන් සියොලඟම වෙව්ලුවන අන්තර්ජාතික පාතාලයක් මෙහයවූ පාතාල රජෙකි. එස්කොබාර්ට සහ ඔහුගේ ව්‍යාපාරවලට එරෙහි ව කතා කිරීම නියත මාරකයක් සිය දෛවයේ සටහන් කර ගැනීමක් ලෙස මිනිසුන් සිතූ කාලයක් විය.

එබඳු වූ එස්කොබාර්ට එරෙහි ව කොලොම්බියානු අධිකරණ වල පැවරූ නඩු විභාග කිරීමට බියවූ කොලොම්බියානු විනිසුරුවරුන් තුන් දෙනකු, ඒ නඩු විභාග කිරීම් වලින් ඉල්ලා අස්වූ අතර, වරෙක අන්තර්ජාතික වරෙන්තු සහිතව ඔහුට එරෙහිව ආජන්ටිනාවේ පැවරූ නඩුවකින් එරට විනිසුරුවරයෙක් ද අස්වී පලා ගියේ ය.

එස්කොබාර් යනු ත්‍රස්තවාදියකු වූ අතර, ඔහුට කිසිදාක රාජ්‍ය පාලන හෝ දේශපාලන බලයක් තිබී නැත. නමුත් රාජ්‍ය යන්ත්‍රණය සහ ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන යුක්තිය පසිඳලන ආයතන පද්ධතිය වන අධිකරණයේ ඉහළ ශ්‍රේණිවල නිලධාරීහු එස්කොබාර්ගේ ගිනි අවි කල්ලිවලට බිය වූහ. ලතින් ඇමරිකාවේ විවිධ රටවල හමුදා සේවයේ යෙදී සිටියදී පලා ආ දක්ෂ වෙඩික්කරුවන් රාශියකින් සමන්විත ඔහුගේ ඝාතක කල්ලි, ඔහුගේ ව්‍යාපාරික සතුරන් පවුල් පිටින් ඝාතනය කළෝය.

එහෙත්, මෙතෙක් මේ එස්කොබාර්ට හිමි ව තිබූ වාර්තාවක් නොබෝ දිනක කැඩුණේ ය. එනම් වැඩි ම විනිසුරුවරුන්, වරියන් පිරිසක් අදාළ අධිකරණ ක්‍රියාදාමය අතහැර පලා යෑමේ වාර්තාව ය.

ඒ වාර්තාව අලුතින් හිමි කරගත්තේ අන් කවරකුවත් නොව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගැනීමට අවසර ලබා දීම තුළ රටට රුපියල් බිලියන 11.4ක අලාභයක් කළේ ය යනුවෙන් වංචා සහ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද චෝදනා වලින් තමන් නිදොස් කරන ලෙසත්, ඒ නඩුවෙන් තම නම ඉවත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමේ කාර්යයෙන් විනිසුරු ජනාත් ද සිල්වා ඉවත් වූයේය.

මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක විමර්ශන කටයුතු, මේ වසරේ නොවැම්බර් 27 වැනිදා තෙක් කල් තබන ලද මහාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර, ඒ නඩු විභාගයෙන් ඉවත් වූයේය. ඒ නඩු විභාගයෙන් ඉවත් වූ අනෙක් මහාධිකරණ විනිසුරු විනිසුරුවරියන් වන්නේ මුර්දු ප්‍රනාන්දු, බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ය.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නඩු විභාගවලින් මෙලෙස විනිසුරු විනිසුරුවරියන් පස් දෙනෙකුම ඉවත්ව ගොස් ඇත්තේ ඒ නඩු විභාගය මෙහෙයැවිය නොහැකි පෞද්ගලික කරුණු තමන්ට ඇති බව දන්වමිනි.

නමුත් මේ ක්‍රියාවලියේ හානිකර තත්ත්ව වන්නේ, මෙලෙස විනිසුරු විනිසුරුවරියන් වාර්තාගත පිරිසක් ඉවත් ව යනවිට ගෝඨාභයට එරෙහි චෝදනා විමර්ශන ක්‍රියාවලිය බොහෝ සෙයින් අනිසි ලෙස කල් යෑම සහ ඒ චෝදනා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම බෙහෙවින්ම ප්‍රමාද වීම නිසාය. එසේ සිදුවීමට සෘජු ව බලපාන සාධකය වන්නේ, ගෝඨා අත් අඩංගුවට ගැනීම වළකාලමින් උක්ත මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා නිකුත් කරන ලද තහනම් නියෝගය ද නොවැම්බර් මාසය තෙක් ම පැවැතීම ය.

ප්‍රබල වංචා සහ දූෂණ විභාගයට ගැනීමට විශේෂ අධිකරණ පිහිටුවන පනතක් සම්මත කර ගැනීමට රජය උත්සුක වූ පසුබිමක, පවතින අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ප්‍රමාද කරවීමක් සිදුවෙමින් පවතින බව දැන් සුපැහැදිලිය.

මෙසේ සිදුවන්නේ මන්ත්‍රි රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ නඩු විභාගයක් ඉතා ම ශීඝ්‍රයෙන් ඉදිරියට යමින් පවතින පසුබිමක ය. ගෝඨාභය හැර මූල්‍ය චෝදනා ලද අනෙක් අති බහුතරය අත් අඩංගුවට ගෙන, සාක්ෂිවලට බලපෑම් කළ නොහැකි වන ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තබා, විමර්ශන ශීඝ්‍රයෙන් සිදු කෙරන පසුබිමක ය. රජයේම ඇමතිවරුන්ට, රජයට සම්බන්ධ ඇතැම් පාර්ශ­්වයන්ට එරෙහිව වංචා දූෂණ විමර්ශන කෙරෙමින් පවතින පසුබිමක ය.

රටේ අගමැතිවරයාව එෆ්.සී.අයි.ඩී ආයතනයට කැඳවා කට උත්තරයක් ගැනීමට පුළුවන් වූ පසුබිමක ය.

අපට මේ විනිසුරුවරුන් ඉවත් ව යෑම ගැන සැකයක් ඇතිවන්නේ ඒ හේතුවෙනි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොඩනැඟී ඇත්තේ, ඇවන්ගාඩ්, මිග් ගනුදෙනු ආදියට අදාළ මූල්‍ය අපරාධ චෝදනා පමණක් නොවේ. ඔහු ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මාධ්‍යවේදීන් මරා දැමීම, අතුරුදන් කිරීම, පහර දී අඩන්තේට්ටම් කිරීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, උතුරේ සහ දකුණේ සිවිල් පුරවැසියන් විශේෂ කණ්ඩායම් මඟින් අතුරුදන් කිරීම සහ එයට අදාළ "සුදු වෑන් සංස්කෘතිය" යන සියල්ල සිදුවූයේ උතුරේත්, දකුණේත් සිවිල් පුරවැසියන් දැඩි ලෙස භීතියට පත් කරවමිනි. ඒ සියල්ල මෙහෙයැවූ බවට ඔහුට එරෙහි ව නැඟුණු චෝදනා ඇති අතර, ඒවාට ඔහු සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් කළ හැකි පාර්ශ්ව රාශියක් ද, එමඟින් පීඩාවට පත් වූ පාර්ශ්ව රාශියක් ද ඇත. මේ හා සමාන ජාත්‍යන්තර අත්දැකීමක් මේ මොහොතේ මට සිහිවේ.

උගන්ඩාවේ ඉඩි අමින් නම් උමතු පාලකයා වරක් ඔහු විසින්ම පත් කරන ලද එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා වූ බෙනෙඩික්ටෝ කිවනුකා අති අමානුෂික ලෙස මරා දැම්මේ ඉඩි අමින් නීතියට සහමුලින් පටහැණි ලෙස, අතිශය ක්‍රෑර, අමානුෂික ලෙස රාජ්‍ය පාලනය කිරීමට එරෙහි ව යෑම නිසා ය. ඉඩි අමීන්ගේ හමුදාවේ ඝාතක කල්ලියක් යොදා පැහැර ගනු ලැබූ කිවනුකා යුද හමුදා කඳවුරකදී නාසය, අත් පා කපා, පණපිටින් පුලුස්සා මරා දමන ලදී.

ඇතැම් විටක ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ ව උගතුන් කියවා ඇත්තා විය යුතුය. අනාගත ඉඩි අමින්ලාගේ පාලනයන් හමුවේ තමන් කිවනුකාලා වේදෝයි බියෙන් සිටිනවා විය යුතුය.

ඇත්තට ම නීතියේ දෙවඟන සහ දෙවොලේ පූජකයන් ගෝඨාභය හමුවේ පලා යෑම සාධාරණීකරණය කරන්නට යොදාගත් "පෞද්ගලික කරුණු" යනු මොන වගේ ඒවා ද? චෝදනා තීව්‍ර කළ හැකි සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරවත් හරි හැටි ඉටු නොවන්නේ, නීතියට වඩා බලවත් අදෘශ්‍යමාන හස්තයකින් චූදිතයන් රකින නිසාද? අද බලයේ සිටින රජයේ, බලය හිමි දේශපාලකයන්ටත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්නට සිදුව තිබෙන විට, රාජ්‍ය බලය අහිමි වූ ගෝඨාභයලා තව ම නීතියෙන් එපිට සිටින්නේ කෙසේද?

"Justice Delayed is Justice Denied" යනුවෙන් ඉංග්‍රීසි කියමනක් ඇත. එහි අරුත "යුක්තිය ප්‍රමාදය, යුක්තිය අහිමි කර ලීමකි" යන්න ය. දේශීය ඉඩි අමීන්ලාගේ අත්තනෝමතික පාලනයන් අවසන් කරමින්, යුක්තිගරුක සමාජයක් බිහි කරන බවට ශපථ කරමින් බලයට පැමිණි රජයක් වහා අධිකරණ‍යේ ස්වාධිපත්‍ය තහවුරු කළ යුතු අතර, පරපෝෂිතයන් ඉවත් කර, නොපැකිලිව නීතිය ක්‍රියාත්මක කරන වියතුන් එහි සේවයට යෙදවිය යුතුය. විනිසුරුවරුන්ට, සාක්ෂිකරුවන්ට බියෙන් තොරව ඒ ක්‍රියාවට සම්බන්ධ විය හැකි ලෙස, ඒ සියලු දෙනාගේ ආරක්ෂාව ද තහවුරු කළ යුතුය.

අදහස්