කොළඹ සංස්කෘතික නගරයක් ද? | සිළුමිණ

කොළඹ සංස්කෘතික නගරයක් ද?

කොළඹ නගරය ඇතුළත් නාගරික කලාපය සංවර්ධනය කර නවීකරණය කිරීම එක් පක්ෂයක හෝ දෙකක හෝ අරමුණක් නෙවෙයි. ඒ සදහා සැලසුම සකස් කරන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ ද නෙවෙයි. පසුගිය රජය සමයේ ජාත්‍යන්තර සහායෙන් සකස් කළ ජාතික භෞතික සැලස්ම තුළ මේ සියලු නවීකරණයන් ඇතුළත්. අධිවේගී මාර්ග, මන්නාරම - ධනුස්කොඩි මාර්ගය, කොළඹ වරාය නගරය ආදී මේ සියලු නවීකරණයන් ඇති වූයේ ජාතික රාජ්‍යය ඉක්ම වූ ගෝලීය සංවර්ධන අවශ්‍යතාවක් ඇතුළෙයි. ඒ නිසාම රාජපක්ෂ විසින් ආරම්භ කළ නවීකරණ කටයුතු ශක්තිමත්ව කරගෙන යන්නට සම්මුතික ආණ්ඩුවට ද අවශ්‍ය වූවා. සම්මුතික ආණ්ඩුව ඒ ව්‍යාපෘතියට ප්‍රවේශ වූයේ මෙගා පොලිස් ලෙස අලුත් නමකින්.

මෙගා පොලිස් අදහස සංකල්ප ගත කළේ ප්‍රංශ ජාතික ජින් ගෝට්මාන් විසින්. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශයන්ගේ සංකලනයෙන් නගර ජාලයක් ඇති කිරීම මෙගා පොලිස් සංකල්පයේ අරමුණක්. ඒ අනුව එම විශාල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව එක් අරමුණක් සදහා යොමු කිරීමෙන් මූල්‍යමය වශයෙන් විශාල ලාභයක් අත්කර ගැනීම ඉලක්කයක්.

සම්මුතික ආණ්ඩුව බලයට පත් වූ වහා මෙගා පොලිස් ව්‍යාපෘතියට අත ගැසුවේ මෙගා පොලිස් නම් අමාත්‍යංශයක් පවා ස්ථාපිත කරමින්. සාමාන්‍යයෙන් බස්නාහිර පළාතම මෙම ව්‍යාපෘතියට අයත් යැයි කිවහොත් එය නිවැරැදියි. ඒ අනුව විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ස්ථාපිත කරන්නට සැලසුම් කර ඇත්තේ විශාල කාර්මික සංවර්ධනයක් ඇති කිරීමේ අදහසින්. ඒ අනුව නව ලිබරල්වාදී ධනපති සංවර්ධනයට අවශ්‍ය වන හා ඊටම යෝග්‍ය සැලසුමක් මෙගා පොලිස් ව්‍යාපෘතිය තුළ අඩංගු බව නොරහසක්.

මෙය මහා සංවර්ධන ව්‍යාපෘතියක් වුවද බස්නාහිර පළාතේ නගර නිර්මාණ සැලසුමකුත් මීට ඇතුළත්. නගර නිර්මාණය කළ යුත්තේ හුදු වාණිජ්‍ය පරමාර්ථයෙන්ම නෙවෙයි. ඒ නිසා නගර නිර්මාණය සිදු කරන විට ඒ සංවර්ධන ක්‍රියාව සදහා ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම පරිසරවේදීන් ද එකතු කර ගැනීම අතිශය වැදගත්. ඒ කියන්නේ නගර නිර්මාණය සාමූහික ක්‍රියාවලියක්.

කිසිම සමාජ තීරුවකට නිර්මාණය කළ නගරයේ කිසියම්ම හෝ ස්ථානයකට ගිය විට තමන් ඊට අයත් නැති බවට හැගීමක් ඇතිවීම සුදුසු නැහැ. නගර සැලසුමක් සියල්ලන්ගේ සහභාගීත්ව සැලසුමක් විය යුතු බව කියන්නේ එනිසයි. ඒ අනුව කිසිම සමාජ කොටසක් බැහැර කිරීමකට ලක් කළ යුතු නැහැ. සංවර්ධනය උදා කළ යුත්තේ පදිංචිව සිටින සියලු සමාජ කොටස් වල සැබෑ සහභාගීත්වයකින්. එමෙන්ම ඒ සංවර්ධනය වූ නගරය තුළින් සංස්කෘතික මිනිසුන් නිර්මාණය විය යුතුවීම අත්‍යවශ්‍ය කරුණක්.

කොළඹ නගරයට ආසන්න ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මුල් වරට අග නගරයක් වූයේ හය වැනි පරාක්‍රම බාහු රජ සමයේ යි. ඔහු ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජ වූයේ 1412 දී යි. 1467 දක්වා වසර 55ක් රජකම් කළ ඒ යුගය වැදගත් වන්නේ ලංකාව එක්සේසත් කිරීමත් එක්සේසත් කිරීමට යොදා ගත් උපක්‍රමත් නිසා පමණක් නෙවෙයි. ඔහු එකල කෝට්ටේ රාජධානියම දැනුම් අවකාශයක් බවට පත් කළා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාම විශිෂ්ට සාහිත්‍ය කෘති තුනක කතෘවරයා වූ අතර එම යුගය අනෙකුත් ලේඛකයන් විසින් ද වර්ණවත් කළ යුගයක්.

පැපිලියානේ සුනේත්‍රා දේවී මහ පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන, වීදාගම හා කෑරගල පිරිවෙන් සවැනි පරාක්‍රමබාහු රජ විසින් ආරම්භ කළ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයන් කිහිපයක්. මේ අධ්‍යාපන නවෝදය නිසා කෝට්ටේ යුගය සාහිත්‍යමය වශයෙන් දියුණු බුද්ධිමය යුගයක්. එනිසා ලංකාව එක්සේසත් කිරීමට අමතරව සවැනි පැරකුම්බා රජ සාහිත්‍ය ක්ෂේත්‍රයට කළ නවෝදය ද විශිෂ්ට ලෙසින් ඇගයිය යුත්තක්.

නැවතත් ඒ අතීත සමෘධිමත් යුගයට යන්නට බැහැ. එය පරමාදර්ශයක් වන්නටත් බැහැ. නමුත් මනුෂ්‍ය ජීවිතය සංස්කෘතික විය යුතුය යන්න හා සංස්කෘතික වටිනාකම් වලින් සමන්විත යුතුය යන්න අත්හල නොහැකි සත්‍යයක්. එනිසා මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ නවීකරණය වන බස්නාහිර පළාත ධනේශ්වර සංවර්ධනයට අමතරව එහිම අංකුරයක් ලෙස සංස්කෘතික මිනිසුන් බිහි කරන පුරවරයක් විය යුතුය යන්න විය යුත්තක්..

ඇතිවන සංවර්ධනය හුදු මූල්‍යමය ප්‍රසාරණය වීමක් පමණක් නම් එය මිනිස් ජීවිතයට මෙන්ම පරිසරයට ද දරා ගන්නට බැහැ. සංවර්ධනය ආර්ථිකමය ලෙස වර්ධනය වීමට සමගාමීව මිනිස් ජීවිතය සංස්කෘතික ලෙස ශක්තිමත්වීම ද අනිවාර්ය සාධකයක් . එහෙත් එය වත්මන් සංවර්ධන පරාමිතීන් තුළ නොවීම කනගාටුවක්.

දැනුම් අවකාශයක් තිබූ පළියටම මිනිස් ප්‍රජාව සංස්කෘතික වටිනාකම් වලින් ශක්තිමත් වන්නේ නැහැ. බොහෝවිට අද පවතින දැනුම අවකාශය වෙළෙද පළ තුළ අලෙවි වන්නක්. මේ නිසා ඒ දැනුම බුද්ධියට බලපාන්නේ නැහැ. නමුත් සංස්කෘතික මෙවලම් ශක්තිමත් කරන්නේ නම් සමාජය සංස්කෘතික අවකාශය තුළ වර්ධනයවීම අත්හල නොහැක්කක්. අනෙක සංස්කෘතියට ද වෙළෙද පළක් නිර්මාණය කරන්නේ නම් එය අවලංගුව යන්නේ නැහැ.

මෙගා පොලිස් ව්‍යාපෘතිය ලාංකික ධනේශ්වර සංවර්ධනයේ බරපතළ තීරණාත්මක සංධිස්ථානයක්. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසුව ලංකාව ගෝලීය ප්‍රාග්ධන මෙහෙයුම් හා ශක්තිමත්ව සම්බන්ධ වේවි. එහෙත් සම්බන්ධය චිරස්ථායි වන්නේ මනුෂ්‍ය ජීවිතය සංස්කෘතික ලෙස ශක්තිමත් කරන සාධක කලාපය තුළ ඇති කරන්නේ නම් පමණයි. එහෙත් එවැනි දියුණු ආකෘතීන්ට අපේ සමාජය යොමුවී ඇති බවක් පෙනෙන්නට නැහෑ.

අබරන්
[email protected]

අදහස්