ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දියාරු බව කොදෙව්වන්ට ජයමඟ සකසයි | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දියාරු බව කොදෙව්වන්ට ජයමඟ සකසයි

සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව ඇරැඹීමට පෙර බොහෝ දෙනාගේ මතය වූයේ මෙහි ජයග්‍රහණය අත්කර ගැනීමට ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව බවයි.

ඊට මූලිකවම බලපෑවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව කොදෙව්වන්ට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීමයි. එහිදී ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානයයි. කොදෙව් දූපත්ට 09 වැනි ස්ථානයයි.

නමුත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ලොව වඩාත්ම අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් ලෙසටත් හැඳින්විය හැකිය. ඒ බව විටින් විට සනාථ විය. මෙවර දෙරට අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදීත් ඒ බව යළිත් සනාථ වූයේය.

ඒ තරගයේ කාසියේ වාසියත් සමඟ කොදෙව්වන්ට ලකුණු 226 ක අති දැවැන්ත ජයග්‍රහණයක් අත් වූ බැවිනි. මේ අනුව තවත් තරගමාලාවක පරාජයකින් මිදීම සඳහා ශ්‍රී ලංකාවට තරග කළ යුතුව තිබේ. මෙම ප්‍රථම තරගය පැවැත්වූයේ සුප්‍රකට ට්‍රිනිඩෑඩයේ පෝර්ට් ඔෆ් ස්පේන් නුවර කුවීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදීය

මෙම ප්‍රථම තරගය පරාජය වූයේ කොදෙව් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන්ට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වලතා නිසාය.

ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් සුප්‍රකට කියමනක් තිබේ. ඒ 'කැචස් වින් මැචස්' යන්නයි. එසේ වුවත් ගත වූ කාලයේදී මෙන්ම මේ තරගයේදීත් ශ්‍රී ලංකාවට උඩපන්දු රැක ගැනීමට අවශ්‍යම අවස්ථාවලදී හැකි වූයේ නැත.

ඒ අනුව ඉතා තීරණාත්මක උඩපන්දු දෙකක්ම ඔවුන් අත්හැරියහ. ඒ කොදෙව් පළමු ඉනිමේදීය. කොදෙව්වන්ගේ පළමු ඉනිමේ මුල් කඩුලු පහම බිඳ වැටුණේ මුළු ලකුණු 147 දීය. එම අවස්ථාවේදී පිතිහරඹයේ නිරත වෙමින් සිටිය නායක ජේසන් හෝල්ඩර් සහ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් උඩපන්දු ලබා දුන්හ. එහෙත් එම පහසු උඩපන්දු රැක ගැනීමට රොෂේන් සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් අපොහොසත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ හෝල්ඩර් සහ ඩොව්රිච් අතර 06 වැනි කඩුල්ලට ලකුණු 90 ක ඉතා අගනා සබඳතාවයක් ඇති වීමයි. එමෙන්ම ඩොව්රිච් සහ දඟ පන්දු යවන ක්‍රීඩක දේවෙන්ද්‍ර බිෂු අතර 07 වැනි කඩුල්ලට තවත් ලකුණු 102 කි. පසුව 08 වැනි කඩුල්ලට ඩොව්රිච් සහ වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් අතර ලකුණු 75 ක සබඳතාවයකි.

‍ෙමමඟින් සිදුවූයේ කොදෙව් ඉනිම සවිමත් වීමයි. තරගයේ වීරයා වූයේ සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස් කළ 26 හැවිරිදි ඩොව්රිච්ය.

තරගයෙන් අනතුරුව කොදෙව් නායක හෝල්ඩර් සිය පසුපෙළ පිතිකරුවන් අගය කළේය. "අපිට සිටින්නේ ශක්තිමත් පසුපෙළ පිතිකරුවන් පිරිසක්. ඔවුන් ගත වූ කාලය පුරාවටම නිතරම ලකුණු අතර රැඳී සිටිමින් දස්කම් දැක්වූවා." එය සැබෑවකි. නමුත් මෙවර ඔවුන්ට ඒ සඳහා අවස්ථාව උදා කළේ ශ්‍රී ලංකා දුර්වල පන්දු රැකීමයි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තරගයට පසුව පැවසුවේ සිය කණ්ඩායමේ වැරදි නිසා මෙසේ පරාජය වූ බවයි. දුර්වල පන්දු රැකීමට අමතරව පිතිහරඹයත් ශ්‍රී ලංකා පරාජයට හේතු විය.

තරගයේදී කුසල් මෙන්ඩිස් හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට අර්ධ ශතකයක් රැස් කර ගැනීමට හැකි වූයේ නැත. කුසල් දෙවන ඉනිමේදී තම 05 වැනි ටෙස්ට් ශතකය රැස් කර ගත්තේය.

මෙම තරගය ශ්‍රී ලංකාවට කළුවළාවක්ම විය. එසේ වුවත් එහි රිදී රේඛා ද්විත්වයකුත් තිබුණි. ඒ කුසල් ගේ ශතකය සහ ළහිරු කුමාරගේ පන්දු යැවීමයි.

දකුණතින් වේග පන්දු යැවූ 21 හැවිරිදි කුමාර මුළු තරගයේදීම කඩුලු 07 ක්ම දවා ගැනීමට සමත් විය.

කෙසේ හෝ මෙම තරගය ජය පරාජයකින් තොරව හෝ නිමා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට උදා වී තිබුණි. නමුත් එයත් ඔවුනට කිරිමට හැකි වූයේ නැත. ඒ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුලු 05 ම පන්දු 25 ක් තුළදී බිඳ වැටීම නිසාවෙනි. එහිදී ඔවුන් රැස් කර ගත්තේ ලකුණු 08 ක් පමණකි. මෙහිදී ශ්‍රී ලංකාවට බලවත්ම පීඩනය යොමු කළේ 26 හැවිරිදි රොස්ටන් චේස්ය. හෙතෙම දකුණත් පිට දඟ පන්දු යවමින් ලකුණු 15 ට කඩුලු 4 ක්ම දවා ගත්තේය. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ජුනි 14 සිට 18 දක්වා ශාන්ත ලුෂියා දූපතේ ග්‍රොස් ඉස්ලෙට් නුවර ඩැරන් සැමි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තෙවන තරගය ජුනි 23 - 27 දක්වා පැවැත්වෙන්නේ බාර්බෙඩොස් දූපතේ බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීය.

 

මැතිව්ස් - ගමගේ ඉවතට

කොදෙව්වන් සමඟ පැවැත්වෙන ඉතිරි තරගවලින් ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ ඉවත් වී තිබේ. හිටපු නායක මැතිව්ස් පුද්ගලික හේතු මත සංචාරයෙන් ඉවත් විය. වේග පන්දු යවන ගමගේට පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ඇඟිල්ලකට සිදුවූ තුවාලයක් නිසා මෙසේ ඉවත් වීමට සිදු විය.

ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානකට කොදෙව් සංචාරයට එක්වීමට අවස්ථාව ලැබුණි. ධනුෂ්ක වමත් ආරම්භක පිතිකරුවෙකි. තවමත් ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග දෙකකට පමණකි. දසුන් ශානක තුන් ඉරියව්වටම හපන් ක්‍රීඩකයෙකි. හෙතෙම ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කර තිබේ.

කෙසේ වෙතත් මෙම කොදෙව් සංචාරයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනංජය ද සිල්වා සහ මහේල උඩවත්ත පිතිකරුවන් ලෙසට සිටිති. වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු ද මෙම කණඩායමට අයත්ය.

ධනංජය දකුණත් පිතිකරුවෙකි. දැනට ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර ඇත. වමත් පිතිකරු මහේල උඩවත්ත තවමත් ටෙස්ට් වරම් ලබා නැත. කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දුත් තවමත් ටෙස්ට් වරම් ලබා නැත.

Comments