රාජකීයන්ට රග්බි පිටියේ රාජකීය ජයක් | සිළුමිණ

රාජකීයන්ට රග්බි පිටියේ රාජකීය ජයක්

සාබිත් ෆෙරෝස් ගේ නායකත්වයෙන් සහ දුෂ්‍යන්ත් ලෙව්කේගේ පුහුණුකාරිත්වයෙන් බලගැන්වුණු කොළඹ රාජකීය විද්‍යාලය අඛණ්ඩව දෙවැනි වරට සමස්ත ලීග් පාසල් රග්බි කිරුළ හිමිකර ගැනීමට සමත් විය.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තීරණාත්මක අවසන් සතියට එළඹෙන විට මෙවර තරගාවලියේ අපරාජිතයන් වූ රාජකීය විද්‍යාලයට මෙන්ම ශාන්ත ජෝෂප් සහ ශාන්ත පීතර විද්‍යාලවලට ලීග් රග්බි කිරුළ දිනා ගැනීමේ අවස්ථාව උදාවී තිබුණි. නමුත් තීරණාත්මක රාජකීය සහ ශාන්ත පීතර විද්‍යාල අතර තරගයෙන් රාජකීය පහසු ජයක් හිමිකර ගැනීමත් සමඟම මෙවර පාසල් ලීග් රග්බි කිරුළ රාජකීය සතු විය.

මෙවර ලීග් රග්බි තරගාවලියේ ඉහළ දස්කම් දක්වමින් කුසලාන වටයට සුදුසුකම් ලබා ගැනීමට රාජකීය, ශාන්ත පීතර, කිංග්ස්වුඩ්, වෙස්ලි, ත්‍රිත්ව, සහිරා, ශාන්ත ජෝශප් සහ ඉසිපතන කණ්ඩායම් සමත් විය. ඒ අනුව සති පහක් පුරා පැවැති තරගාවලියේ අපරාජිතව ශූරතාව හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

රාජකීයෝ ලීග් රග්බි තරගාවලියේ හාපුරා කියා පැවැති පළමු තරගාවලියේදීම ජය ගැනීමට සමත් වූහ. ඒ 1973 දීය. එතැන් පටන් ගෙවී ගියා වූ වසර 45 ක ඉතිහාසය තුළ රාජකීයෝ අඛණ්ඩව දෙවැනිවරටත් පාසල් ලීග් රග්බි කිරුළ දිනා ගත් දෙවැනිවතාව මෙය වෙයි. රාජකීයෝ 2017 - 18 වසරවලට අමතරව 1978 - 79 දී ද අඛණ්ඩව දෙවතාවක් පාසල් රග්බි කිරුල දිනා ගෙන තිබේ.

පාසල් රග්බි පිටියේ අඛණ්ඩව දෙවතාවක් කිරුළ දිනාගත් ප්‍රථම අවස්ථා ලෙස වාර්තාවන්නේ 1974 සහ 75 දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. රාජකීයන්ට පෙර අවසන් වරට අඛණ්ඩව දෙවතාවක් පාසල් රග්බි ලීග් කිරුළට හිමිකම් කිව්වේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. ඒ 2006 සහ 2007 දීය. 2004 සහ 2005 දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලීය ක්‍රීඩකයෝ පාසල් රග්බි කිරුල අඛණ්ඩව දෙවතාවක් දිනා ගෙන තිබුණි.

කොළඹ ඉසිපතන විද්‍යාලය 1982 සිට 86 දක්වා අඛණ්ඩව පස්වතාවක් සහ 1992 සිට 1997 දක්වා හය වතාවක් අඛණ්ඩව ලීග් කිරුළ හිමිකර ගෙන තිබේ.

ශසිත, ඉෂාම්, ශ්‍රීමන්ත, පාදීල්, රදේශ්, මලීෂ (උප නායක) රිසිත්, සමාධි, මොබිම්, නිකිල්, ලෙහාන්, කළිඳු, ඉඳුවර, බානුජ, තුලේන්, ජනිඳු, සාබිත් (නායක), පසිදු, මලිෂ පෙරේරා, යසිත්, මිගාර, චමෝද්, රජිඳු, අවින්, කෙවින්, දුලාන්, දිල්ෂාන්, වෙදආරච්චි, බාරින් මෙවර රාජකිය විද්‍යාලිය කණ්ඩායම නියෝජනය කළහ. ප්‍රධාන පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ, සෙසු පුහුණුකරුවන් තෙරමි, ශෙරීෆ්, අජිත් සිල්වා, උදේශ්, අකිල පෙරේරා, වෛද්‍ය කණ්ඩායම උදේශ්, දුෂාන්ත, රංගන, වික්‍රම්, කිත්සිරි, හරිඳු, කළමනාකරු සුපුන් වර්ණකුලසූරිය, මෙවර රාජකීය ජයග්‍රහණය පිටුපස යෝධ සෙවණැලි වූහ.

පිට පිට මෙවරද ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමටත් රාජකීය විද්‍යාලය සමත් විය. ඒ අනුව 2015 - 2018 දී පැවැති බ්‍රැඩ්බි තරගාවලි හතරෙන් තුනක් ම රාජකීය ජය ගැනීමට සමත් වූ අතර 2016 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

2006 - 07 ශාන්ත පීතර විද්‍යාලය ලීග් රග්බි කිරුළ අඛණ්ඩව දිනා ගැනීමෙන් අනතුරුව වසර දහයකට පසු අඛණ්ඩව ලීග් කිරුළ දිනා ගත් පළමු කණ්ඩායම බවට රාජකීය විද්‍යාලය වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය. ශාන්ත පීතර සමඟ පැවැති ලීග් අවසන් තරගය ජය ගැනීමත් සමඟම දෙපිල අතර වාර්ෂිකව පැවැත්වෙන බි. සී. ඇන්ජි කුසලානයත් රාජකීයන් සතුවිය.

මෙවර සමස්ත තරගාවලියේ කිංග්ස්වුඩ්ට එරෙහිව 29 - 03 ක්, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව 55 - 13 ක්, ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව 55 - 00 ක්, ශාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහිව 18 - 13 ක්, ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව බ්‍රැඩ්බි අනුශූරතාවලියේ පළමු අදියර 39 - 07 ක් ලෙස ජය ගෙන පළමු කාණ්ඩයේ ඒ කොටසින් පෙරමුණ ගැනීමට ද සමත් විය. ඒ අනුව කුසලාන ශූරතාවලියට අපරාජිතව පැමිණි රාජකීයෝ බ්‍රැඩ්බි ශූරතාවලියේ දෙවැනි අදියර 27 - 19 ක්, ත්‍රිත්ව පරාජය කළ අතර, ඊට අමතරව සහිරා 41 - 05 ක්, වෙස්ලි 18 - 17 ක්, ඉසිපතන 41 - 07 ක් සහ ශාන්ත පීතර 32 - 13 ක් ලෙස පරාජය කරමින් අන්තර් පාසල් රග්බි පිටියේ කිරුළ මෙවර ද දිනා ගැනීමට සමත් විය.

 

Comments