අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු | සිළුමිණ

අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු

බොහෝ ජාතික ක්‍රීඩා සංගම්, සම්මේලනවලට ක්‍රීඩා සැලසුම් කිරීම ගැන දැනුම තියෙන නිලධාරීන් හිඟවීම ලාංකේය ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින්ම බලපා ඇති බව දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ පැවැති තෙවැනි ජාතික වොලිබෝල් සමුළුවට එක්වූ අවස්ථාවේදීය. ඊට පෙර වසරේ අගමැතිවරයා අරලියගහ මැදුරේ දී ලාංකේය ක්‍රීඩාව පිළිබඳ විග්‍රහයකට තේමා පාඨය කරගත්තේ හෙට දිනන්න අද සැරසෙමු යන්නයි.

ලාංකේය ක්‍රීඩාව සුපිරි තැනක තිබේ නම් අගමැතිවරයාගේ සහ හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ කතා දෙකෙහිම තේමා පාඨ වෙනස්විය යුතුය. එනම් අගමැතිවරයා ප්‍රකාශ කළ යුතුව තිබුණේ අපේ රටේ ක්‍රීඩාවට ආදරය කරන බලධාරින් සහ නිලධාරින් ක්‍රීඩා සංගම් - සම්මේලනවල සිටින බවත්, අපේ ක්‍රීඩාව ජාත්‍යන්තරයේ හොඳ තැනක තිබෙන බවත්, මේ ස්ථාවරභාවය ඉදිරියට ද රැගෙන යාමට සැවොම එකාවන්ව කටයුතු කළ යුතු බවත් තමා ඇතුළු ආණ්ඩුවද ඒ සඳහා ඕනෑම මොහොතක අතහිත දීමට සැදී පැහැදී සිටින බවත්ය. හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ද ප්‍රකාශ කළ යුතුව තිබුණේ ලාංකේය ක්‍රීඩාව පිළිබඳ සැලසුම් සැකසීමේ සුපිරි නිලධාරින් පිරිසක් සිටින බවත් ඒ නිසා අනාගතය ගැන සැක සංකා තබා නොගත යුතු බවත්ය.

ජාතික ක්‍රීඩා පනතේ පවතින ගැටලු තැන් සංශෝධනය සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් - සම්මේලන නිලධාරී - නිලධාරිනියන් හමුවේ ෆයිසර් මුස්තාපා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා, ගාමිණී විජේසිංහ විගණකාධිපතිවරයාගේ සහ සුමති ධර්මවර්ධන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදී මතු වූ කරුණු කාරනා සම්බන්ධයෙන් වඩ වඩාත් අවධානය යොමු කිරීම සෝද සෝදා මඩේම ඔබන ලාංකේය ක්‍රීඩාවේ හෙට දවස ගැන නිකම් හෝ බලාපොරොත්තුවක් එක්කරලීමකි.

අපි ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ එකමුතුවීම. නමුත් ක්‍රීඩා සංගම්වල තියෙන ප්‍රශ්න දිහා බලනකොට එකමුතුකමක් තිබෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මම විශ්වාස කරන්නේ ඕනෑම රටක ක්‍රීඩාව තුළින් බලාපොරොත්තු වෙන්නේ සහජීවනය, සහෝදරත්වය සහ බැඳීමයි. ක්‍රීඩා අමාත්‍යවරයා මතු කරන මේ කරුණු කාරණා අද ඊයේ හෝ අහඹු සිදුවීම් නොවේ. මේවා කාලයක් තිස්සේම ලාංකේය ක්‍රීඩාව අරක් ගෙන ඇති මුල් පිටින් ම උදුරා දැමිය යුතු සාධකයන්ය. ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සමරන්නේ ජුනි විසිතුන්වැනි දාය. ජාතික ඔලිම්පික් කමිටු‍වත් සාම්ප්‍රදායිකව එකි දිනය සැමරීම එහාට මෙහාට වුවද කරගෙන ආ කටයුත්තකි. ජාතික ඔලිම්පික් කමිටුව එකී දිනය නුවරඑළියේදී සැමරීමට සැරසෙන විට, ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ඔලිම්පියන්ස් සංගමය මහනුවරදී එකී දිනය සැමරීමට සූදානම් වෙති. ලාංකේයන්වන අප අමුතුම සහ වෙනස්ම මිනිස් කොට්ඨාශයක්වන නිසාම ජාත්‍යන්තර ඔලිම්පික් දිනය දෙතැනක සමරන ලොව එකම රට වුවද පුදුම විය යුතු නොවේ. ලාංකේය ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් හිමි ඩන්කන් වයිට් ජීවතුන් අතර නැති අතර, එකම ක්‍රීඩිකාව ව සුසන්තිකා ජයසිංහ මේ සැමරුම් දෙකටම එක් නොවුවද පුදුම විය යුතු නොවේ. ඒ අපි වෙනස්ම ජාතියක් වන බැවිනි.

ලාංකේය ක්‍රීඩා සංගම්, සම්මේලන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පසුගියදා කළ කතාව අනුව නම් ඊට පසුදාම එකී නිලධාරින් සහ නිලධාරිණියන් තම පුටු හැර දමා යා යුතුය. නමුත් විළිලැජ්ජාවක් නැති අයගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීමද විහිළුවකි. ලාංකේය ක්‍රීඩා සංගම්, සම්මේලනයන්හි පවතින පාදඩ විගණන කටයුතු පිළිබඳ මනා චිත්‍රයක් විගණකාධිපතිවරයා රට හමුවේ තැබුවේය. මේ පාදඩ විගණන කටයුතු මොන තරම් අසික්කිත ආකාරය සංගම් - සම්මේලන කරනවාද යන්න විගණකාධිපතිවරයා පැහැදිලි කරන්නේ විගණකාධිපතිවරයාටත් විරුද්ධව සමහර සංගම් නඩු පවරලා තියෙන්නේ වාර්තාව දුන්නාම වාර්තාව ඉදිරිපත් කරපු මනුෂ්‍යයා වැරැදිකාරයා කරලා. විගණකාධිපතිවරයා ද අවධාරණය කරන්නේ බොහෝ ක්‍රීඩා සංගම් සහ සම්මේලනයන්හි ගැටලු බලපෙරලි මතුවී තිබෙන්නේ මුදල් සම්බන්ධයෙන් බවයි. මුදල් නැති සංගම් සඳහා කිසිදු බලපොරයක් නැති බව ද අවධාරණය කරයි. එය සියයට සියයක්ම සත්‍යයකි. සමහර ක්‍රීඩා සංගම්, සම්මේලන රටේ තියෙනවාද යන්නත් නොදනිමු. ගෙවී ගිය වසරේ විගණන වාර්තා ලබා දී තිබෙන්නේද සංගම් - සම්මේලන 12 කි. මේ මහා ලොකුවට ක්‍රීඩා සංගම් - සම්මේලන හැට හතරක් තියෙන රටේ තත්ත්වයයි.

යල්පැනගිය ක්‍රීඩා පනත ද අවශ්‍ය ආකාරයට සංශෝධනය කරමින් හොරුන්ට - තක්කඩියන්ට නීතිරීතිවලින් රිංගා යාමට ඇති ඉඩකඩ අවහිර කළ යුතුය. එසේ නොමැතිව ඊරිමාංශය ම උරාගෙන බීමට පුරුදු පුහුණු වී සිටින එහිම රසය සොයන වඳ ටයිකෝට්කාරයන් ගෙන් නම් රටේ ක්‍රීඩාව අගතිය කරා මිසක් සුගතිය කරා ගමන් කරවීම නම් තවත් සුන්දර සිහිනයක් පමණක් වනු ඇත.

 

Comments