සරසවි සිසුවාට අත අහිමි කළ බස් අනතුර | සිළුමිණ

සරසවි සිසුවාට අත අහිමි කළ බස් අනතුර

මඩකලපුව විශ්වවිද්‍යාලයට ඉහළ අහසේ නැ‍ඟ එන හිරු මඬල දිස් වෙයි. සබරගමුවේ සිට පැමිණි විශ්වවිද්‍යාලයීය මිතුරන්ට සමු දීමට දිනය එළැඹී ඇත. ගෙවී ගියේ දින කිහිපයක් වුව හැරදමා යන්නට බැරි තරමට මිතුරුදම් ශක්තිමත්ය. වේදනාත්මක සමු ගැනීමකින් ඉක්බිති මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වන දුම්රියට සියල්ලෝම ගොඩවූහ. එක හුස්මට කොළඹ කරා ඇදෙන ගමන සබරගමුවේ සිට නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට එන ගමනට වඩා වෙහෙසකර ය. දුම්රිය කොළඹට සේන්දු වන විට මධ්‍යාහ්නය පසු වෙමින් තිබිණි. ඉන් අනතුරුව බඩුමලුත් කරගහගෙන සබරගමුවට ආපසු යන ගමනේ සබරගමු සගයෝ කැලණිය විශ්වවිද්‍යලයට ද ගොඩ වැදුණහ.

එහි පැවති වැඩටහන් මාලාව ද නිමා වීමෙන් අනතුරුව පෙරළා ඉක්මනින් සබරගමුව බලා පිටත් වීමේ අරමුණ 'ඉසුරු' ඇතුළු සියල්ලන් තුළ ම විය. නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ හා කැලණි සරසවියේ පැවැත්වුණු වැඩමුළුවලට සහභාගි වීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවද ගමනට සහභාගි වූ සියලු ශිෂ්‍යයන්ගේ සිතේ තිබු‍ණේ නොබෝ දිනකින් ආරම්භ වන දෙවැනි වසරේ සෙමෙස්තරයට අදාළ විභාගයට සූදානම් වීමේ කල්පනාව ය. එහෙයින් කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩි කාලයක් ගත නොකර ඔවුහු නැවත සබරගමුවට යෑමට යුහුසුලු වූහ‍.

කැලණියෙන් කොළඹට සේන්දු වූ 'ඉසුරු' ඇතුළු පිරිස අසුනක් අල්ලාගැනීමට එක පොදියට පොරකන සෙනග අතුරින් රිංගා බදුලු බස් බස් රථයකට ගොඩවූහ. ඉදිරිපසින් බසයට ගොඩ වූ ඉසුරුට එහි කෙළවරේ දකුණු පස වූ හිස් අසුන දිස් විය. එය තම දිවියට අවාසනාව කැඳවන ස්ථානය බව සිහිනෙනුදු නොසිතූ ඔහු ඒ අඩියට දෙකට බසය කෙළවරට ළං වී ඒ අසුනට බර දුන්නේය. දින කිහිපයක් පුරා නිඳිවරමින් වැඩමුළුවට සහභාගි වූ ඉසුරුගේ දෙනෙත් විඩාබර ය. අසුනට බර දී හිඳගත් ඉසුරු මඳ දුරක් ගත වන විට තද නින්දට වැටී සිටියේ ය. ඉසුරුගේ සගයෝ බොහෝ පිරිසක්ද ඒ වන විටත් තද නින්දේ ය. මාර්ග තදබදය යන්තම් අඩුවත්ම බස් රථය හීයක වේගයෙන් බදුල්ල බලා ඉගිළෙන්නට විය. ඉසුරු සුව නින්දේය. එ‍්-මේ අත වැනෙන බස් රියේ රිද්මයටම නිඳා වැටෙන මඟීන් බො‍හෝ දෙනකුගේ හිස් ද ඒ අනුව ඒ-මේ අත වැනෙයි. කලාතුරකින් ඇතැමෙක් අවදියෙනි. ඇතැමෙක් කිසිවකු පිළිබඳ නිනවුවක් නැතිව තද කල්පනාවල ය.

බස් රථය පැල්මඬුල්ල, සන්නස්ගම පසු කරමින් තිබිණි. වේගයෙන් ඇදී යන බස් රියේ කෙළවරක සිටි ඉසුරුගේ දකුණත හැර තිබුණු කවු‍ළුවෙන් මඳක් එළියට දිගු වී තිබිණි‍. ඒ-මේ අත දිවෙන වාහන පේළිය අතුරින් බස් රථය තවමත් හීයක වේගයෙන් ගමන් කරයි. කොළඹ දෙසට දිවෙමින් තිබුණු ටිපර් රථයක් බස් රියේ කවුළුවෙන් පිටතට දිගුව තිබුණු ඉසුරුගේ දකුණතත් රැගෙන ඉදිරියට ඇදුණේ ඒ ඇසිල්ලේ ය. මහ හඬක් නංවමින් බස් රථයේත් ටීපර් රථයේත් තිරිංග තද කෙරිණි. බස් ‍රිය දෙසින් ‍විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හඬ නැ‍ඟෙන්නට විය. බස් රථය තුළ කුමක් හෝ සිදුව ඇති බව ප්‍රදේශවාසීන්ට වැටහිණි. ඉසුරු ලේ විලක් මැද වැටී සිටියේය. ඔහු සිහිනයකින් අවදි වූ සේ ය. තමා ඉදිරියේ පෙනී-නොපෙනී බොඳ වී ‍ගියේ සිහිනයකැයි ඔහුට සිතිණි. ඔහු නැවතත් නින්දට වැටිණි. එහෙත් ඒ නපුරු සිහිනය සියැසින් දැකගැනීමට තරම් මිතුරෝ අවාසනාවන්ත වූහ. ඔවුන් ඉදිරියේ වෙන් වී වැටී තිබුණේ තම මිතුරාගේ දකුණතයි. බස් රියෙන් පැනගත් සිසුවෝ හිස් ලූ ලූ අත දුවමින්, කඩ තුළට රිංගමින් අයිස් කුට්ටි කිහිපයක් රැගෙන ආහ. ගැලවී ගිය අතට අයිස් යෙදූ ඔවුහු වහාම ඉසුරු පැල්මඬුල්ල රෝහල වෙත කැටුව ගියහ.

හදිසි ප්‍රතිකාරවලින් අනතුරුව ඉසුරු ගිලන්රථයක නංවා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට පිටත් කර හැරීමට පැල්මඬුල්ල රෝහල් කාර්යමණ්ඩලය යුහුසුලුව කටයුතු යෙදුවේ තත්ත්වයේ බරපතළ බව නිසාම ය. වහා ක්‍රියාත්මක වූ කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යමණ්ඩලය ඉසුරුගේ වෙන් වූ අත යළි සිරුරට බද්ධ කිරීමේ ශෛල්‍යකර්මයට සූදානම් වූහ. ඉසුරුගේ අත බද්ධ කිරීම සාර්ථක වෙතැයි සියල්ලෝ ම සිතූහ. එහෙත් ඒ පැතුම් සුන් කරමින් ඉසුරු අකුරු කළ දකුණත සදහට ම නිසල විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දී සමරකෝන් මහත්මිය පවසන්නේ මේ වන විට ඉසුරුගේ අත වෙන් වූ ස්ථානයට සම බද්ධ කිරීමේ ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇති අතර, කෘත්‍රිම අතක් බද්ධ කිරී‍මේ හැකියාවක් තිබේදැයි ඉදිරි ශෛල්‍යකර්මවලින් අනතුරුව තීරණය කෙරෙන බවයි.

අගලවත්ත කිතුල්ගොඩ ගමගොඩ පදිංචි ඉසුරු සඳරුවන් (23) වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය. කාගෙත් ආදරය කරුණාව මැද්දේ හැදී-වැඩුණු ඉසුරු කුඩා කල සිටම ඉගැනුමට දස්කම් පෑවේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ අගලවත්ත මිහිඳු මහා විද්‍යාලයෙන්ය. උසස් පෙළ වාණිජ විෂයධාරාවෙන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් අනතුරුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වූ ඉසුරුගේ එකම සිහිනය වූයේ පළමු පන්තියේ සාමර්ථ්‍යයක් සහිතව උපාධිය හිමි කරගැනීමය.

වෘත්තියෙන් පෙදරේරුවකු වන ඉසුරුගේ පියා 'ඩේෂන්' තම දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් රෑ-දහවල් වෙහෙසී වැඩ කළේය. ගිනි අව්වේ දහදිය හෙළමින් ගලින් ගල ඉහළ අහසට මහ මන්දිර තනන ‍මේ පියාගේ අහිංසක පැතුම වූයේ එවන් මැඳුරක තම දරුවන්ද රජ කරවීම වූවාට සැකයක් නැත. එහෙත් ඔහුගේ ආ‍දායම මේ දරුපවුල රකින්නට කිසි සේත් නොසෑහුණු නිසාම බඩපිස්සා ලෙස පවුලට ඉසුරු එකතු වූ පසු පවුලේ බරට උර දෙන්නට ඉසුරුගේ මව වන නයනා නිල්මිණි ඈත දුරුකතරේ ඉසුරු සොයන්නට ගියාය.

යාන්තම් බහ තෝරන වියේ සිට ඉසුරු මිත්තණියගේ අතේ එල්ලී පාසලට ගියේය. ඔහු වරෙක මිත්තණියට 'අම්මා' කියා අමතන්නට වූයේ ය‍. අම්මා ළඟ නැති අඩුව කිසි‍විටකත් ඔහුට ‍නොදැනුණේ මිත්තණියගේ සෙනෙහස නිසා ය. පන්තියෙන් පන්තියට ඉහළට යන තම දරුවන් අකුරු කරන්න දස්කම් පාන විට දෙමවුපියෝ ඔවුන් කෙරේ බොහෝ බලාපොරොත්තු තබා ගත්හ. ඒ බලාපොරොත්තු මල් පල ගන්වමින් ඉසුරුගේ වැඩිමහල් සහෝදරයා උසස් පෙළ හොඳින් සමත් වුවත්, ඔහු ඒ ම‍ඟෙහි වැඩි දුර නොගොසින් ව්‍යාපාරයකට අතගැසූ බැවින් දෙමාපිය පැතුම් සපුරාලන්නට මුලින්ම සමත් වූයේ ඉසුරුගේ දෙවැනි සහෝදරයා ඒෂාන් ලක්ෂිතය. ඔහු විශ්වවිද්‍යාලයට පිවිස සාර්ථකව නිමවා, අවසන අගනුවර පෞද්ගලික ආයතනයක ඉජිනේරුවකු ලෙස කටයුතු කරන්නට විය. ඊළඟට පවුලේ සියලු දෙනාගේ බලාපොරොත්තුව සපල කරවූයේ ඉසුරු ය.

ඉසුරු කුඩා කල සිට නිහඬය; දෙමවුපියන්ට, ගුරුවරුන්ට කීකරු ය. ඒ නිසාම විශ්වවිද්‍යාලයේ මෙන්ම ගමේද බොහෝ පිරිසක් ඉසුරු වටා සිටියහ. ඒ සැම දෙනාගේ සිත් බලාපොරොත්තු රහිතව සිදු වූ මේ ඛේදවාචකය විසින් බොහෝ සෙයින් කම්පාවට පත් කර ඇති සේය.

එහෙත් අත්-පා දෙකම අහිමි වුව ලෝකයක් දිනූ මිනිස්සු බොහෝය. ඉසුරුට අහිමි වී ගියේ දකුණත පමණි. එය ඉසුරු මෙතෙක් ධෛර්යයෙන් යුතුව මෙතෙක් ආ දිගු ගමනට කිසි සේත් බාධකයක් නොවන බව ස්ථිර ය.

ජීවිත ගමනේ බොහෝ දුෂ්කර තැන් පසු කරමින් ජයකණුව පෙනි-පෙනී බලාපොරොත්තු අතැර දැමිය යුතු නොවන බව ඉසුරු උගත යුතු පාඩමයි.

මහ මඟ දිවෙන කවර හෝ රථයක ගමන් ගන්නා කල හිස, අත්-පා ආදි කවර ශරීරාංගයක් වුව දොර-කවුුළු අතුරින් පිටතට නොදා රැකගැනීමට කල්පනා කිරීම මේ ඛේදවාචකයෙන් අප උගත යුතු පාඩමයි.

සුභද්‍රා දේශප්‍රිය

අදහස්