මහ මුහුදෙන් මතු වූ වාසනාවේ අවාසනාව | සිළුමිණ

මහ මුහුදෙන් මතු වූ වාසනාවේ අවාසනාව

මහ මුහුදේ දැවැන්තයාගේ වමනය ඉල්ලා අධිකරණයට ගිය පළමු නඩුව

‘මහ මුහුදේ දැවැන්තයා වන තල්මසා දිනකට ආහාරයට ගන්නා ටොන් ගණනක් වූ මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතුරින් දැලිපොතු සහිත දැල්ලන්, ඉස්සන් ආදී සතුන්ගේ නොදිරන දැලි පොතු උගේ තල්ලේ කාලාන්තරයක් රැදී තිබී කලකට පසුව තිබේ වමාරනු ලැබේ. ඒ වමනය ලෝකයේ වටිනාම සුවඳ විලවුන් සෑදීමට ගන්නා හෙයින් කිලෝ එකක් රුපියල් කෝටි එකහමාරකට පමණ අලෙවි කළ හැකිය. තල්මස් වමනය හෙවත් ඇම්බර්වලන් නිපදවනු ලබන සුවඳ විලවුන් ශරීරය විනිවිද ගොස් දින ගණනාවක් පුරා සුවඳ වහනය වන නමුත් ඇම්බර් මහ මුහුදින් ලබා ගනිද්දී උසුලන්නට බැරි දුර්ගන්ධයකින් යුක්තය‘

‘පහුගිය වාරේ මුහුදු ගිය අපට ලැබුණේ මාළු සොච්චමක්. ශාන්ත අන්තෝනි මුනිඳුණේ අප රැක දෙන්න, අපේ කර්මාන්තය රැක දෙන්න, අපට ඔබ වහන්සේගේ පිහිටයි!’

මීගමු මුහුදින් ගැඹුරු දියඹට යන්නට පෙර ‘පොඩිපුතා’ යාත්‍රාවට නැඟුණු ධීවරයන් තිදෙනා එසේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට යැදූහ.

පිරිස මීගමු මුහුදින් ගැඹුරු මුහුදට පිටත්ව ගියේ 2016 වසරේ ඔක්තෝ්බර් 10 වැනිදායි. ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ පිහිට යැදූවද එවරද මුහුදු ගමන එතරම් සාර්ථක වූ බවක් පෙනුණේ නැත. ආපසු බහු දින ධීවර යාත්‍රාව හරවාගෙන ඒමට ඔවුන් තීරණය කෙළේ එහෙයිනි.

ධීවර යාත්‍රාවේ හිමිකරු ඇලෙක්සැන්ඩර් තිසේරා කල් ඇතිවම නින්දට ගියේ දැනුණු දුක නිසාමය. ජූඩ් චමින්ද අයියාත් ඔහුගේ බාල සොහොයුරා වූ රොෂාන් චමින්දත් බෝට්ටුවෙන් ගැඹුරු මුහුද දෙස බලාගෙන කල්පනා කළහ. යන්තම් හඳ එළිය වැටී තිබුණු ඒ අවස්ථාවේ ඔවුන් ගමන් කෙළේ කොළඹ - හා කළුතර මුහුදු තීරයට වන්නටයි.

‘ගිය පාරත් මාළු නැහැ. අනේ මන්ද මේ පාරත් හුළං වගේ මලේ...’

‘හ්ම්....’ රොෂාන්ගෙන් පිළිතුරක් නැත.

‘ඒයි මොකක්ද අර ගුළියක් පාවෙන්නෙ’ ජූඩ් බෝට්ටුව එදෙසට ළං කෙළේය.

‘මොකක්ද කළු ගුළියක්... ඇම්බර්ද දන්නෙ නැහැ’

‘කියන්න බැහැ’

‘මං පීනලා බලන්නම් රොෂාන් කොට කලිසමක් පිටින් ගැඹුරු මුහුදට පැන්නේ ජීවිතයත් මරණයත් අතර ගමනක් යෑමටයි.

මුහුදේ පාවෙමින් තිබූ ලොකු ගුළිය ඉතා අමාරුවෙන් බෝට්ටුව දෙසට තල්ලු කරගෙන පිහිනා ආ රොෂාන් තම සොහොයුරාගේද සහායෙන් දැඩි බරකින් යුත් ඒ ඇම්බර් ගුළිය බෝට්ටුවට දමා ගත්තේය. ඉවසන්නට නොහැකි දුර්ගන්ධයක් හැමූ ඒ කළු ගුළිය කිලෝ 25කට වැඩි බරකින් යුක්ත බව ඔවුන්ට වැටහුණි. එහෙත් නහය ඇරගෙනම එය බෝට්ටුවට දමා ගත් සැණින් එය ලොකු උරයක බහා බෝට්ටුවේ සඟවා තැබීමට ඔවුහු කටයුතු කළහ.

‘අපේ වාසනාව බං ඇම්බර් තමයි’

‘ඔව් ශාන්ත අන්තෝනි මුනිඳුන් අපේ මූණ බැලුවා...’

ඒ වන විටත් බෝට්ටුවේ හිමිකරු මේ කිසිවක් නොදත්තේය. ඔහු තද නින්දේය.

‘ඇත්තටම මොනවද මේ ‘ඇම්බර්’ කියන්නෙ?’

අපි ඒ මොනවාද යන්න ගැන පසුව කතා කරමු.

එයින් පසුව වූයේ කුමක්ද යන්න ගැන පළමුව විමසා බලමු.

බෝට්ටුව සින්නපාඩුව වෙරළට ආසන්නයට ගෙන යෑමට සහෝදරයෝ දෙදෙන කටයුතු කළහ. වෙරළට නුදුරින් ‘ඇම්බර්’ ගෝනිය මුහුදට විසි කළ ඔවුන් ඇලෙක්සැන්ඩර්ට පැවසුවේ තවත් දෙදෙනකු සමඟ කඩිනමින් මුහුදු ගමන යෑමට පැමිණෙන බවයි. එසේ පැවසූ සහෝදරයෝ දෙදෙනා මුහුදට පැන පිහිනා යන්නට වූහ. ඒ පිහිනා යන අතර මඟදී ‘ඇම්බර්’ ගෝනියද රැගෙන යෑමට ඔවුහු කටයුතු කළහ. වෙරළට පැමිණි ඔවුහු ‘ඇම්බර්’ ගෝනිය වෙරළේ කොනක සැඟවීය. ඒ අසල නාවික හමුදා අනු ඛණ්ඩයක් ද ස්ථාපිත කර තිබුණේ සින්නපාඩුව වෙරළ තීරයෙන් නිරතුරුවම කේරළ ගංජා මෙන්ම මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කෙරෙන බැවිනි. වැඩි වේලාවක් යන්නට පෙර නාවික හමුදාවෙන් මේ දෙදෙනා පරීක්ෂා කරන ලදී.

‘මොනවද ගෙනාවෙ..’

‘මුකුත් නෑ සර්.. අපි පීනල ආව...’

‘ඇයි බෝට්ටුව මඟ තියල පීනල ආවෙ.....’

‘ඒකෙ එක්කෙනෙක් ඉන්නවා, තව දෙන්නෙක් එක්කරගෙන යන්න මෙතනින් ගොඩට ආවෙ’

‘මොනවද කරගහගෙන ආව නේද?’

‘අනේ නෑ සර්....’

නාවික හමුදා නිලධාරීන්ට මේ දෙදෙනාගේ පිළිතුරුවලින් සෑහීමට පත් වන්නට නොහැකි විය. දෙදෙනාම කඳවුරට ගෙන ගොස් දිගටම ප්‍රශ්න කරන්නට විය. ඒ අතර පිරිසක් ගොඩබිම අවට පරීක්ෂා කරන්නට විය . ‘ඇම්බර්’ ගෝනිය හමුවූයේ එවිටය.

ඒ මොනවාදැයි නිසි පරිදි හඳුනා නොගත් නාවික නිලධාරීන් එම ගෝනියද අත් අඩංගුවට ගෙන පසුව කල්පිටිය නාවික හමුදා කඳවුරට බාර දෙන ලදී.

මේ දෙසොහොයුරන් පවසන පරිදි පසුව නාවික නිලධාරීන් විසින් සොහොයුරන් ඔවුන් නිදහස් කළද ඔවුන්ගේ ඇම්බර්’ ගෝනිය ලබා දී නොමැත. ඒ ඔවුන් පොලිසියට පවසා ඇති කතාවයි.

ඇත්තටම මොනවද මේ ඇම්බර්.....! අපි දැන් ඒ ගැන සොයා බලමු.

මහ මුහුදේ දැවැන්තයා වන තල්මසා විසින් දිනපතා උගේ ආහාර සඳහා ගනු ලබන ටොන් ගණනක් වූ මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතුරින් දැලිපොතු සහිත දැල්ලන්, ඉස්සන් විශේෂ ඝන පොතු සහිත සතුන්ගේ නොදිරන දැලි පොතු උගේ තල්ලේ කාලාන්තරයක් රැදී තිබේ. කාලයකට පසු තල්මසාට දැඩි අපහසුවක් දැනෙන්නට පටන් ගන්නේ අපට ඇපැන්ඩිසයිටිස් හැදෙන්නාක් මෙනි. එහෙත් අපට මෙන් නොව තල්මසාට දැවැන්ත ගුළි වශයෙන් ඒවා ආපසු වමාරා දමන්නට හැකි වෙයි. මෙසේ ඒ වමාරා දැමීම සිදු කරන්නේ සියලුම තල්මසුන් නොව තල්මසුන් සියයට එකක් (1%) පමණ වන සුළු පිරිසකි. තල්මසුන් සුළු පිරිසකට මේ ආකාරයෙන් වමනය ඇතිවන බව විද්‍යාඥයන්ගේද මතය වී ඇත. ඒ ගැඹුරු මුහුදේ වෙසෙන යෝධ තල්මසාය. එම තල්මසුන් විසින් වමනය කරන මේ ගුිය අප්‍රසන්නය. දුගඳය. කළු පැහැතිය. ඒ "වමනය කුට්‌ටිය" මුහුදට මුදාහැරි පසු මහ සයුරේ පාවෙමින් අපද්‍රව්‍යයක්‌ ලෙස කාලයක් තිස්සේ, ඇතැම් විට වසර ගණන් පවා ඇදී යයි. ඒවාට වටිනාකම ලැබෙන්නේ මිනිසාගේ ඇස ගැටුණු විටය.

මිනිසා විසින් එම තල්මස් වමනය මුදල් බවට හරවනු ලැබේ. තල්මසා වමනය කරනු ලබන මේ ජරාජීර්ණ දුගඳ, කළු කුණු ලොවේ ඉහළම වටිනාකම් ඇති නිෂ්පාදනයන් බවට පත්වන්නේ එයින් පසුවයි.

එහි වටිනාකම ඩොලර් මිලියන් ගණනක් වන අවස්ථාද ඇත.

ඒ තරමටම මූල්‍ය වටිනාකමක්‌ එයට හිමිවී ඇත්තේ මෙම අපද්‍රව්‍යය යොදාගෙන එහි අඩංගු රසායනික සංයුතිය උපයෝගි කොටගෙන ලොව ඉහළම වටිනාකමක්‌ සහිත ඉහළම සුගන්ධයෙන් යුතු සුවඳ විලවුන් නිපදවන හෙයිනි. ඉහළම මිලැති වාජීකරණ ඖෂධ තැනීමටද ඒවා භාවිත කරනු ලැබේ. අතීතයේ ක්ලියෝපැට්රා භාවිත කර ඇත්තේද මේ ආකාරයෙන් නිපදවන ලද සුවඳ විලවුන් බව ඉතිහාසයේ දැක්වෙයි. ඇම්බර් භාවිතයෙන් තනනු ලබන මේ සුවඳ විලවුන් මිනිසාගේ හම විනිවිද ගොස් දින ගණනාවක් තිස්සේ පළමු තත්ත්වයෙන්ම සුවඳ විහිදාලනු ලබයි.

ස්‌වාභාවිකව ඉතා දුලබව හමුවන හෙයින්ද, මුහුදේ දී දිගු කලක්‌ කැඩී බිඳී විනාශ වී, සුළු කොටස්‌ හෝ හමුවීම නිසාද එහි වටිනාකම තවත් ඉහළ යයි. මේ තල්මස් වමනය නොහොත් "අන්බර්" (ANBER) නැතිනම් "ඇම්බර්" (AMBER) "ඇම්බර" වශයෙන් ලෝකයේ හඳුන්වන්නේ ඒ ජරාජීර්ණ දුඟද අපද්‍රව්‍යයන්ය. මත්ස්‍යයකු හෝ වෙනත් ජීවියකු හෝ ළං වීමට හෝ ප්‍රිය නොකරනු ලබන හෙයින් මේ අප ද්‍රව්‍ය කාලාන්තරයක් නිරුපද්‍රිතව සයුරේ පාවෙමින් තිබේ. බොහෝ දෙනා මේ පිළිබඳ නොදනිති. එහෙත් අත්දැකීම් ඇති ධීවරයෝ මේවා දුටු පමණින්ම හඳුනා ගනිති.

රොෂාන් සහ ජූඩ් පොලිසියට පවසා ඇති පරිදි එදා ඔවුන්ට හමුවී ඇත්තේද මේ තල්මස් වමනය ගුළියක් හෙවත් ඇම්බර් ය. මේ ඇම්බර් හෙවත් තල්මස් වමනය කිලෝ එකක් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයක් පමණ වේ.

අදාළ සිදුවීමට බඳුන් වූ ඇම්බර් තොගයේ බර කිලෝග්‍රෑම් 32ක් 33ක් පමණ වන අතර එහි වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි 50ක් පමණ වනු ඇත.

සතෙකුගේ අපද්‍රව්‍යයක් සඳහා මෙතරම් අතිවිශාල වටිනාකමක් ලැබෙනු ඇතැයි සිතිය හැකිද? එහෙත් එය සැබෑවකි.

නාවික හමුදාවෙන් ප්‍රශ්න කර පිටත් කළ බව පැවසෙන සහෝදර ධීවරයන් දෙදෙනා මුන්දලම පොලිසියට ගොස් පැමිණිල්ලක් දමයි.

තමන් සහ සහෝදරයා විසින් ගෙන එන ලද ඇම්බර් නාවික හමුදාව විසින් රැගෙන ගිය බවට ඔවුන් විසින් පොලිසියේ පැමිණිල්ලක් දමනු ලැබේ. ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වෙයි. අවසානයේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවසර ඉල්ලා සිටියි.

ඒ අනුව අංක 27031/පී 1/ 16 යටතේ නඩුවක් ගොනු කෙරේ.

සාමාන්‍යයෙන් ලෝකයේ පැවතෙන සම්ප්‍රදායය අනුව හා සම්මුතිය අනුව මුහුදෙන් හමුවන මසුන් ඇතුළු අනෙකුත් ජීවි විශේෂ ඇතුළු දේ ධීවරයින් සතු වේ. තහනම් කර ඇති කැස්බෑවන්, ඩොල්ෆින් මසුන් වැනි දේ ගැන විශේෂයෙන්ම දක්වා ඇත. එහෙත් ඇම්බර් ධීවරයින්ට හිමිකාරත්වයක් උසුලයි.

ඒ අනුව අදාළ ඇම්බර් තොගය මුහුදේ සිට ගෙන ආවේ මේ ධීවරයින් නම් එය ඔවුනට හිමි විය යුතුය. ඒ ඔස්සේ මේ නඩුව දිග හැරිණි. විවිධ මති මතාන්තර ඔස්සේ දිගින් දිගටම වාද විවාද ඔස්සේ නඩුව දිග හැරිණි.

අදාළ නඩු භාණ්ඩ සැබෑවටම ඇම්බර්ද යන්න සොයා බැලීම සඳහා ‘නාරා’ ආයතනයට අධිකණයෙන් දන්වා සිටි අතර නාරා ආයතනය වාර්තා කර ඇත්තේ ඒවා අධික වටිනාකමකින් යුත් ඇම්බර් බවයි. නාවික හමුදාව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ අදාළ ඇම්බර් තොගය තමන්ට හමුවූ බවත් එය නාවික හමුදාවට ලබා දෙන ලෙස හෝ රාජසන්තක කරන ලෙසය. දීර්ඝ නඩු විභාගයකින් පසු පසුගියදා එහි තීන්දුව ලබා දුන්නේය.

ඒ පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසිනි. ඒ අනුව අදාළ ඇම්බර් තොගය රාජසන්තක කෙරුණි. රාජසන්තක කර එහි තක්සේරු වටිනාකම ලබා ගෙන වෙන්දේසි කරන ලෙස තීන්දුව ලබා දී ඇත. එම තීන්දුව ලබා දී සුළු වේලාවකින් එය ලෝකය පුරාම පැතිර ගිය ආරංචියක් බවට පත්ව ඇත. අද වන විටත් ඉන්දියාව, තායිලන්තය හා චීනයෙන් මේ ඇම්බර් තොගය මිල දී ගැන්මට පිරිස පැමිණ ඇත.

ධීවරයින් දෙදෙනා වන රොෂාන් චමින්ද සහ ජූඩ් චමින්ද පවසන්නේ දුක හිතෙන කතාවකි. ඔවුන් දෙදෙනාටම පාසල් යන දූ දරවෛා් දෙදෙනකු බැගින් සිටති. නිවසයන්ද තවමත් අඩක් නිම කර ඇති බ්ලොක් ගල් නිවාසන්ය. ඔවුන් නඩු කියා ඇත්තේ තම නිවාසයන් පවා උකසට තබාය. දැන් තීන්දුවට ඇපෑලක් දැමීමට ඔවුහු සැරසුණත් ඔවුන්ට ඒ සඳහා මුදල් නොමැත. එක් නීතිඥවරයක් ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක් ඉල්ලා සිටි බව පැවසේ. නඩු කටයුතු සඳහාද ලක්ෂ 50ක් පමණ ඔවුන් වියදම් කර ඇත්තේ අදාළ ඇම්බර් තොගය තමන්ට ලැබෙනු ඇතැයි සිතාය. ඇම්බර් තොගයක් වෙනුවෙන් මෙරට විභාග කරන ලද ප්‍රථම නඩු විභාගය වන්නේ මෙයයි. ලෝක ඉතිහාසයේද මෙවන් නඩුවක් ගැන දැන ගන්නට නම් නැත.

අධිකරණයේ විභාග වූ නඩුවක් සම්බන්ධව විවරණය කිරීමේ කිසිදු අයිතියක් අපට නොමැත.

එහෙත් නඩු විභාගය ආරම්භයට පෙර සිදුවූවා යැයි කියනු ලබන කුකුස උපදවනු ලබන කරුණු කිහිපයක් ගැන විචාරය කරන්නට අපට සිදු ව ඇත.

එයින් පළමුවැන්න ‘පොඩි පුතා’ ධීවර යාත්‍රාවේදී රොෂාන් සහ ජූඩ් හිමිකරුට නොදන්වා ඇම්බර් තොගය ගෙන ආවේ ඇයි? එසේම සින්නපාඩුවේ මුහුදේ යාත්‍රාව නවතා ඔවුන් පළමුව ඇම්බර් ගෝනිය මුහුදට දමා ගොඩට පිහිනා ආවේ ඇයි? බැලූ බැල්මට මේ දෙකටම එක් පිළිතුරක් අපට සිතා ගත හැකි නමුත් අපි කට ඉස්සර කිරීමට නොකමැත්තෙමු. එසේම තහනම් නොවන ඇම්බර් ගොඩ බිම සඟවා තැබුවේ ඇයි? නාවික හමුදා අනු ඛණ්ඩයක් ස්ථාපිත කර ඇත්තේ මුහුදු මාර්ගයෙන් හොරෙන් ගෙන එනු ලබන දේ පරීක්ෂා කිරීමට බව දැන දැනත් නාවික හමුදා නිලධාරීන්ට කරුණු වසන් කළාද? මේ කරුණු කාරණා නඩු විභාගයේදී සැලකිල්ලට ගන්නට ඇත.

නාවික හමුදා නිලධාරීන්ද ධීවරයන් දෙදෙනා ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරියා නම් ඔවුන්ගේ ඇම්බර් ගෝනිය ආපසු ලබා නොදුන්නේ ඇයිද යන්නත් ප්‍රශ්නයකි. ඒවා තහනම් හෝ හොර බඩුනම් එසේත් නොමැතිව හඳුනා ගත නොහැකි දෙයක්යැයි හැඟුණේ නම් සැකකරුවන්ද සමඟ අදාළ භාණ්ඩ පොලිසියට බාර දිය යුතුය.

අපි පෙර කියූ පරිදි අධිකරණයේ තීන්දු විවේචනය නොකරමු.

යුද සමයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු ඉන්දියානු සයුරට ඇතුළු වී ඇම්බර් සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියදී බෝට්ටුව පෙරළී ඉතා අපහසුවෙන් ගොඩබිමක් කරා පිහිනා ආ කතාවක් ගැනද අපි අසා ඇත්තෙමු.

ඒ අනුව බලනා විට කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික හෝ තිබෙනා බවක්ද පෙනේනට ඇත. කෙසේ නමුත් බුදු දහමේ දැක්වෙන පරිදි වැඩි තණ්හාව විනාශයට මුල බව මෙහිදී දඅපට පසක් කරගත හැකි සත්‍යයකි.

ඡායාරූප - අන්තර්ජාලයෙනි

අදහස්