අවදානම් අඩවියේ කරණම් ගහන අපේ ගුවන් නියමුවා | Page 2 | සිළුමිණ

අවදානම් අඩවියේ කරණම් ගහන අපේ ගුවන් නියමුවා

‘‘පියාසැරියේ කොපමණ අත්දැකීම් තිබුණත් භූතානයේ පාරෝ ගුවන් තොටුපළ තරම් අභි‍යෝගාත්මක සහ අසීරු ගුවන් මෙහෙයුම් අත්දකීමක් මා ලෝකයේ කොහේවත් අත්දැක නැහැ. එය ඒ තරම්ම අභියෝගාත්මක වෙන්නේ මහා කඳු වළල්ලකින් වටවුණු ගුවන් තොටුපළක් නිසාම නොවෙයි. මෙය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි හත්දහසකටත් වඩා ඉහළින් මේ අඩු වායු පීඩන තත්ත්වය තුළ කඳු අතරින් පරෙස්සමට ගුවන් යානයක් නැංවීමත් පහත් කිරිමත් හොඳ කල්පනාවකින් කළ යුත්තක්. මේ අභියෝගාත්මක ගුවන් අත්දැකීමට සහභාගී වන ලෝකයේ ගුවන් නියමුවන් අට දෙනා අතර මා ඉන්නවා කියල දැනෙද්දී ඇති වන්නේ ලොකු සතුටක්.,,

අප යොමු කළ ප්‍රශ්නයකට සැහැල්ලුවෙන් පිළිතුරක් දෙන මේ සාඩම්බර ගුවන් නියමුවා කපිතාන් නෙරංජ පෝල් තිරාණගමයි.

මෙවැනි අභියෝගාත්මක ගුවන් ගමනක් නිමාවේ ලද ඉසිඹුවේදී පසුගියදා අප සමඟ සංවාදයකට එලඹුණු ශ්‍රී ලාංකික ගුවන් නියමුවාගේ දුර්ලභ වෘත්තීය අත්දැකීම් සිළුමිණ හමුවේ හෙළිදරව් කරන්නට තරම් ඔහු නිහතමානී වීමම අගය කළ යුතුය.

භූතානයේ භූතාන් එයාර් ලයින්ස් සමාගමේ ගුවන් නියමුවකු ලෙසින් කටයුතු කරන කපිතාන් තිරාණගම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා පියාසැරි ජීවිතයට අවතීර්ණ වූ දක්ෂ නියමුවෙකි. 2017 වසරේ සිට භූතානයේ ගුවන් මෙහෙයුම්වලට සම්බන්ධ වන ඔහු තම වෘත්තිය ජීවිතය ඉතා තෘප්තියෙන් යුතුව ගත කරන්නෙකි.

ඔහු තවදුරටත් භූතාන ගුවන් අත්දැකීම් ගැන විස්තර කරන්නේ මෙලෙසය.

‘‘ලෝකයේ වඩාත් අවදානම්කාරී ගුවන් තොටුපළ නවයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ගුවන් තොටුපළ නවය දෙස බැලුවාම එයිනුත් අංක එකට තිබෙන්නේ භූතානයේ පාරෝ ගුවන් තොටුපළයි. ඔබට මෙම ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයක් බැලුවොත් වටහා ගන්න පුළුවන් අපට ගුවන් යානයක් ධාවන පථයට ගන්නකොට වගේම ඉහළට නංවද්දි කෙතරම් අනතුරුදායකද කියල. අපට මෙම ගුවන් තොටුපළේ ඉඳන් ගුවන් යානයක් එකවර ඉහළට ඔසවන්නත් බෑ. පහත් කරන්නත් බෑ. ධාවන පථය දක්වා එක එල්ලේම ධාවනය කරන්නත් බෑ. නිම්නය ඔස්සේ ඉතා පරෙස්සමෙන් එය ගෙන යා යුතුයි. මේකට ලොකු පුහුණුවක නියැළෙන්න වෙනවා.

ඇමෙරිකානු ගුවන් නියෝජිත ආයතනයකින් මට දැන ගන්න ලැබුණා භූතාන ගුවන් සේවය මෙම ගුවන් තොටුපළ ආශ්‍රිත මෙහෙයුම් සඳහා ගුවන් නියමුවකු සොයනවා කියල. මටත් හිතුණා මේ අත්දැකීම ලබන්නට ඉල්ලුම් කරන්න.,,

කපිතාන් නෙරංජ තිරාණගම භූතානයට එන්නේ ඒ අනුවය. එලෙස පැමිණි ඔහුට ටික කලක් මෙම ගුවන් තොටුපළ ආශ්‍රිතව පුහුණු වන්නට සිදුවිය.

“මම භූතානයට ඇවිත් පාරෝ ගුවන් තොටුපළේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ දිගින් දිගටම ගුවන් යානය නැංවීම සහ ගොඩ බෑමට අදාළ පුහුණුවක් ලබා ගත්තා. එය ඇත්තටම ඉතා කැපවීමෙන් කළ යුතු වෙහෙසකර වූ පුහුණුවක්.,,

කපිතාන් තිරාණගමට අනුව භූතාන ගුවන් ගමන අවදානම් සහගත වන්නට බලපාන්නේ කඳු අතර පිහිටීම පමණක්ම නොවේ.

ගුවන් තොටුපළක් මුහුදු මට්ටමින් ඉතා උසක පිහිටන විට වායු ගෝල පීඩනය ඉතා අඩු වෙනවා. ගුවන් යානයක් සීරුවට හැසිරවීමේදී පිටත වායු පීඩනයත් ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා මෙම අඩු පීඩන තත්ත්වයක් යටතේ ගුවන් යානය හැසිරවීම සඳහාත් ගුවන් නියමුවාට හොඳ පරිචයක් තිබිය යුතුමයි. දැනට මෙම ගුවන් තොටුපළ ආශ්‍රිතව පියාසර කටයුතු කරන්නේ මේ ගැන හොඳ අවබෝධයක් තියෙන ගුවන් නියමුවන් අට දෙනෙක් පමණයි.

මෙවැනි විකුම් පාන ගුවන් නියමුවකු කරවන්නට බලපෑ ලොකුම සාධකය කුමක්ද? අපි ප්‍රශ්නයක් යොමු කළෙමු.

“මේකත් මා ලබපු දුලබ අත්දැකිමක්. මම ඉපදුණේ කොළඹ. පාසල් ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. මම දෙකේ පන්තියේදී විතර අපේ පවුලටම ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදෙන්න අවස්ථාවක් ලැබුණා. මගේ මව මේරි ජොයිස් තිරාණගම මහත්මිය. ඇය පශු වෛද්‍යවරියක්. මේ ගුවන් ගමනේදී අප ගිය ගුවන් යානයක් පැදවූයේ තාත්තාගේ මිතුරෙක්. ඒ 1982 අවුරුද්දේ. මම කොළඹ ඉඳන් සූරිච් ගුවන් තොටුපළ දක්වා යන මේ මුළු ගුවන් ගමන පුරාවටම මේ ගුවන් නියමුවත් එක්ක නියමු කුටියේ ගමන් කරන්නට අවස්ථාවක් ලැබුණා. ඒක ඇතුළේ තිබුණු පරිගණක තිරවලට, ලයිට්වලට බොත්තම්වලට මගේ හිත ඇදී ගියා. එදා ඉඳන් ගුවන් නියමු හීනයක් මගේ හිතේ ඇඳුණා. බොහෝ වෙලාවට මගේ සෙල්ලම් බඩු වුණෙත් පොඩි පොඩි ගුවන් යානා.,,

ඔහුගේ දෙමාපියෝද මේ ගුවන් නියමු සිහිනය සපුරා ගන්නට ඔහුට නොමඳවම දායක වී ඇත. ඒ ගැන කපිතාන් තිරාණගම පවසන්නේ මෙවැනි කතාවකි.

“මගේ ගුවන් නියමු සිහිනය අපේ මවුපියෝ හොඳින් තේරුම් ගත්තා. මම ශාන්ත පීතර විද්‍යාලයයේ සාමාන්‍ය පෙළ අවසන් කරන කොටම තාත්තා, කරු තිරාණගම මාව රත්මලානේ පිහිටි උපාලි ඒවියේෂන් පුහුණු ආයතනයේ ගුවන් නියමු පුහුනුවකට යොමු කළා. ඊට පස්සේ පත්තරේ දැන්වීමක් දාලා තිබුණා, ගුවන් හමුදාවේ ස්වේච්ඡා නියමුවන් ගන්නවා කියල. ඒ අනුව මම ගුවන් හමුදාවට සම්බන්ධ වුණා. මේ වෙනකොට මගේ දෙමාපියන් සහ සහෝදරිය ජීවත් වුණේ කැනඩාවේ ටොරොන්ටෝවල. මමත් 1998දී කැනඩාවට ගිහින් එහිදී වාණිජ ගුවන් යානා නියමුවකු ලෙසින් සුදුසුකම් ලැබුවා.,,

ඒ අනුව ගුවන් සේවා කිහිපයකටම සම්බන්ධ වි ගුවන් නියමුවකු ලෙස පියාසැරි අත්දැකීම් ලබා ගත් කපිතාන් තිරාණගම භූතානයට එන්නේ මෙම අත්දැකීම් සියල්ලත් සමගය.

ඔබට මතකද භූතානයේ පළමු ගුවන් අත්දැකීම? අපේ ප්‍රශ්නයට ඔහුගෙන් ලද්දේ මෙවැනි පිළිතුරකි.

“ඔව්. මම හිතුවට වඩා බොහොම අමාරු දෙයක් වුණා. භූතානයට ආවට මට මුලින්ම හිතුණේ මට නම් මේ ගුවන් මෙහෙයුම ලේසි වෙන එකක් නැහැ කියලයි. ඇත්තටම මේ අභියෝගය ජයගන්නට කලින් ලොකු පුහුණුවක් කැපකිරීමක් කරන්න වුණා.,,

ඔහු පවසන්නේ නේපාලයේ කත්මන්ඩු ත්‍රිභූවන් ගුවන් තොටුපළද මෙම කලාපයේ ඇති තවත් මෙවැනිම අසිරු අවදානම්කාරී ගුවන් තොටුපළක් බවය. භූතානයේ සාමකාමී සන්සුන් පරිසරයක තම බරපතළ රාජකාරියෙන් පසුව ලබන විවේකය ගෙවන කපිතාන් තිරාණගම පවසන්නේ තමන් මෙම රටේ සන්සුන් දිවි පෙවෙතට ඉතා ප්‍රිය කරන බවය. තම ආදරණීය බිරිඳ වන අවන්ති ලිලාමනි පෙරේරා සහ සෙයාරා සහ ජෙනායා දියණියන් දෙදෙනා කැනඩාවේ වාසය කරන අතර ඔහු ලද අවස්ථාවල එරටට ගොස් ඔවුන් සමග ගත කරයි.

තමන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රවීණ ගුවන් නියමු කපිතාන් ඒල්මෝ ජයවර්ධන විශාල සහයෝගයක් දැක්වූ බව පවසන කපිතාන් තිරාණගම තම ශිල්පය ප්‍රගුණ කිරීමේදී කපිතාන් ඩඩ්ලි රණබාහු සහ කපිතාන් හිරන්ත පෙරේරා යන මහත්වරුන් දැක්වූ සහයද කෘතවේදීව සිහි කරයි.

චාමින්ද වාරියගොඩ

Comments