විස්ස, විස්සයි විස්ස හා එකසිය දහ අට | සිළුමිණ

විස්ස, විස්සයි විස්ස හා එකසිය දහ අට

 දේශපාලන සමාජ කේෂ්ත්‍රවල සංවාදයට ලක් වූ ප්‍රධාන මාතෘකා තුනක් තිබේ. පළමුවැන්න විස්සය (20). දෙවැන්න විස්සයි විස්සය (2020). තෙවැන්න එකසිය දහ අටය (118). 20 ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පනතය. 2020 යනු ඊළඟ ජනාධිපතිධුර අපේක්ෂකයන් පිළිබඳ ඇති වී තිබෙන විවේචන විමර්ශනයන්ය. 118 යනු ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව කියන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවය. මෙම මාතෘකා තුනම දේශපාලනය සම්බන්ධයෙන් වැදගත්ය. එහෙත් 118 යනු අනෙක් දෙකටම වඩා ඔබ්බට ගොස් තිබෙන මෙරටේ දේශපාලනයේ නිරතව සිටින ජනතා නියෝජිතයන්ගේ සදාචාරය, දේශපාලන පවිත්‍රත්වය ආදී බරපතළ කරුණු සමග බැඳී තිබෙන්නකි. මෙරටේ දේශපාලන පරාභවය නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදය යටින් තිබෙන නායයෑම කෙබඳුදැයි අනාවරණය කරන්නකි. අනෙක් අතට මේ මාතෘකා තුනෙන්ම පැහැදිලි වන්නේ මෙරටේ දේශපාලන පක්ෂ විසින් මුහුණ දී තිබෙන අර්බුදයේ විවිධ ස්වරූපයන්ය.

• ජවිපෙ ‘විස්ස’

අපි පළමුවෙන්ම ජ.වි.පෙ. 20 දෙස බලමු. මෙම 20 වැනි සංශෝධනයේ අවශ්‍යතාව කුමක්ද? ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල අහිමි කර, එම තනතුර පාර්ලිමේන්තුවෙන් පත් කිරීමට මෙයින් යෝජනා වී තිබේ. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙන ලද පොරොන්දුව පරිදි එම තනතුර අහෝසි කිරීමට එම සංශෝධනය ඉදිරිපත් කළ බව ජ.වි.පෙ. පවසයි. ජ.වි.පෙ. මෙම යෝජනාව පිළිබඳව ගොඩ නගන තර්ක, නිර්වචන, නිෂ්ප්‍රභ කරන අයද සිටිති. මෙම යෝජනාව දැනටම හෙළ උරුමය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. රටේ සමස්ත ජනතාව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයකුට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරෙන ජනාධිපතිවරයකු ගැන ජ.වි.පෙ. තබා තිබෙන විශ්වාසය ගැන බොහෝ විවේචන ඇත. එසේම මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයද 20 මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. වසර 03ක් තිස්සේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්ව තිබියදී ජ.වි.පෙ. ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස සිටිමින් මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේ තේරුම කුමක්දැයි එහිදී දැඩි සාකච්ඡාවට ලක් වූ බවද වාර්තා වේ. ජ.වි.පෙ. වාමාංශික අදහස්වලින් සමන්විත හා එ.ජා.ප.යට නිර්දය විවේචන එල්ල කරන පක්ෂයක් වුවද මහින්ද පිල ඔවුන් මෙම ආණ්ඩුවේ කොටසක් ලෙස සලකන බව රහසක් නොවේ. මේ නිසා අපට එළඹිය හැකි නිගමනය වන්නේ 20 වැනි සංශෝධනය පුස්සක් වන බවය. කුමක් වුවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් තෝරාගනු ලබන ජනාධිපතිවරයකුට වඩා රටේ මුළු මහත් ඡන්දදායකයන්ගේ අභිමතය අනුව පත්වන ජනාධිපතිවරයකුට විරුද්ධ වීමට හේතුවක් අපට නොපෙනේ. අවශ්‍ය නම් ඔහුට ව්‍යවස්ථාමය සීමාවන් පැනවීමට බාධාවක්ද නැත. කුමක් වුවද ඒ සියල්ල අනාගතයේ සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සපුරාගත යුතු ඉලක්කයක් වනු ඇත.

• පාර්ලිමේන්තුව ‘සුදුම සුදු’ ද?

ජ.වි.පෙ. පවසන පරිදිම මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරවීමේ බලය මුදලද යන්න අපි නොදනිමු. එහෙත් මුදලට විකිණෙන, දූෂණ වංචා ඉහවහා ගිය බව හා සමහර මන්ත්‍රීවරුන්ගේ හිස්වලටත් උඩින් පාවී යන චෝදනා ඇසෙන විට නම් ඒ ක්‍රමය ගැන සාධාරණ බියක් ඇතිවීම ස්වාභාවිකය. මේ පාර්ලිමේන්තුවට පත් වන අය අතර නූගතුන්, හොරුන් හා වසලයන්ද සිටින බව පසුගිය දිනක රූපවාහිනී නාළිකාවක් ඔස්සේ චෝදනා මුඛයෙන් එක්තරා දේශපාලන විචාරකයෙක්ද කියා සිටියේය. එසේම මේ වන විට ඇලෝසියස් නැමැති ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබාගත් 118ක් මන්ත්‍රීවරුන් අතර සිටි බවට ප්‍රසිද්ධ චෝදනාවක්ද ඇත. ජ.වි.පෙ. නායකයාම එම ලැයිස්තුවේ තම පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් නැති බවට සහතිකයක් දිය හැකිදැයි ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපතිගෙන්ද විමසා තිබිණි. මෙවන් පසුබිමක පාර්ලිමේන්තුවට එබඳු බලයක් දීම ගැන ජනතාවට සෑහීමකට පත් විය හැකිද? එය බරපතළ දූෂිත ක්‍රමවේදයක් බවට පත් වීමේ අනතුරක් නැද්ද?

මේරටේ පවතින දූෂිත මැතිවරණ ක්‍රමය පිළිබඳ කෙබඳු විවේචන තිබුණත් තවමත් යම් පමණකින් හෝ මහජන මතය පිළිබිඹු වීමක්ද තිබේ. රාජ්‍ය බලය, මැර බලය, ධන බලය, පවුල් බලය, ප්‍රතිලාභ අපේක්ෂා යන පංච දූෂණයට යටත්ව වුවද තවමත් තීරණාත්මක මොහොතක ජනබලය ජය ගන්නා බව 2015 ජනවාරි 08 තහවුරු කර ඇත.

• ‘පස්සදොරින්’ එන්න බැරිද?

දැන් අපි මෙමඟින් යෝජනා කෙරෙන ජනාධිපතිවරයාගේ සේනාධිනායක බලය අහෝසි කිරීම විමසා බලමු. මෙය බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් බව සමහරු කියති. දැනට තිබෙන ත්‍රිවිධ හමුදා මෙහෙයවීම විධායකයෙන් ඉවත් කිරීම තුළ සිදු විය හැකි යහපතට වඩා අයහපත වැඩි බව ඔවුන්ගේම තර්කයකි. මෙහිදී අපට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ බලය ජනාධිපතිගෙන් ඉවත් කර අගමැතිවරයකුට දීමෙන් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර වෙනස් විය හැකිද? පක්ෂ දේශපාලනය තුළ පත් වන අගමැතිට, ජනාධිපතිවරයාට නැති ස්වාධීනත්වයක් තිබිය හැකිද? අපගේ අවබෝධය අනුව නම් ජනතාව විසින් තාවකාලිකව පවරන ලද බලය තම හිමිකමක් නැත හොත් බූදලයක් බවට පත් කරගැනීම සාමාන්‍ය දෙයක් වී තිබෙන රටක දේශපාලන හැසිරීම් පිළිබඳ කිසිදු සහතිකයක් ලබා දිය නොහැකි බවය. එසේම මෙම සංශෝධනය මඟින් රටේ බහුතර ජනමතයක් දිනාගත නොහැකි පක්ෂයක නායකයකුට පස්සා දොරින් එබඳු තනතුරක් ලබා ගැනීමට දොර හැරෙන බවද කියනු ඇසෙයි.

මෙරටේ දේශපාලන ඉතිහාසය අපට මෙතෙක් පෙන්වා දී ඇත්තේ අවංක ඍජු ප්‍රතිපත්තිගරුක නායකයන් ඉතා විරල බවය. අද රට මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය එබඳු අදූරදර්ශී බලලෝභීන්ගේ ක්‍රියාදාමයක් බව දැන් තහවුරු වී නැද්ද? රටට අවශ්‍ය ජාතික අභිලාෂයන් මූර්තිමත් කෙරෙන ව්‍යවස්ථාවක් වෙනුවට අපට ලැබී තිබෙන්නේ බලය මුල් කරගත් ආණ්ඩුක්‍රමයකි. 1972 ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 1978 විධායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද විවේචනයට ලක් කරන බුද්ධිමත්හු මේ පටු අරමුණු විවේචනය කිරීමට පමණක් නොව ඉන් රටට සිදු වූ විපත්ද අනාවරණය කළහ.

• ජාතික ලැයිස්තු සංග්‍රහ!

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ එන ජාතික ලැයිස්තු ක්‍රමය ගැන තිබෙන විවේචන කොතරම්ද? අද සමහරුන් චෝදනා කරන්නේ මේ නීතිමය ආවරණයට යටත්ව කිසිදු ජනපදනමක් නැති අය ගජමිතුරුවාදයෙන් මන්‍ත්‍රීවරුන්, ඇමැතිවරුන් ලෙස පත් වන බවය. ඉන්දියාව මේ අතින් අපට දෙන ආදර්ශය වැදගත්ය. අම්බෙඩ්කාර් නමැති විශිෂ්ට ඉන්දීය බුද්ධිමතාට දේශපාලන දාර්ශනිකයකු ලෙස ගෞරවය හිමිව ඇත්තේද ඔහු විසින් එරට ව්‍යවස්ථා සම්පාදනයට දක්වන ලද අවංක සහාය නිසාය. එහෙත් අපේ ව්‍යවස්ථා මණ්ඩලවලට එල්ල වන විවේචන කෙබඳුද? ඒවාට පත්ව සිටින සමහරුන්ට තිබෙන ජනතා ප්‍රසාදය කුමක්ද?

විධායක ක්‍රමය අහෝසි කිරීමට නොහැකි වීම පිළිබඳව මෙතෙක් දක්වා තිබෙන විවේචන, අදහස් අපට නම් සිහිපත් කරන්නේ ‘අලියා සහ අන්ධයෝ’ නමැති ජනශ්‍රැතියයි. මේ පිළිබඳව සමහරුන් චෝදනා කරන්නේ මේ ආණ්ඩුවේ නායකයන් දෙදෙනාටය. එහෙත් ඉකුත් සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරන ලද ආන්දෝලනාත්මක විවේචනයකින් මේවාට පිළිතුරුද ලැබිණි. සැබැවින්ම 2015 ජනවාරි 08 රාජපක්ෂ පාලනය පෙරළා දමා සාමාන්‍ය රජරට ගොවි පවුලකින් දේශපාලනයට එක් වු මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා තෝරාගත්තේ අභිනව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණයක් රට තුළ සිදු වනු දැකීමටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එහි ප්‍රමුඛතම අපේක්ෂාවක්ද විය.

මාදුළුවාවේ සෝභිත හිමිගේ 76 වැනි ජන්ම දින සැමරුම් උලෙළේදී මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද උද්වේගකාරී විවේචනවල රැව් දුන්නේ සෝභිත හිමියන් අපේක්ෂා කළ සාධාරණ සමාජය යථාර්ථයක් නොවීමට තුඩු දුන් දේශපාලන හැසිරීම් පිළිබඳ සත්‍යය හා යථාර්ථය බව ඉතා පැහැදිලිය. මෛත්‍රී ජනාධිපතිවරයාගේ ඒ අභීත අනාවරණය බළලුන් ලවා කොස් ඇට බෑම්වල නිරතව සිටින අයට දිරවාගත නොහැකි විය හැකිය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයාට ඒ පැවති විධායක ක්‍රමය නඩත්තු කිරීමේ කිසිදු මනදොළක් නොවූ බව පැහැදිලිව පෙනිණි. බහුතර බලයක් නැති මන්ත්‍රීවරුන් 47ක් සිටි එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළද පාර්ලිමේන්තුවේ බලය හිමිව තිබුණේ ශ්‍රීල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානයටය. එහි නායකත්වය හා පක්ෂපාතිත්වය තිබුණේ හිටපු ජනාධිපති මහින්දටය. එහෙත් සිය පරාජයත් සමඟ එවේලේ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිචාරය වූයේද මෛත්‍රීට ශ්‍රී ල.නි.ප. සභාපතිත්වය ප්‍රදානය කළ යුතු බවය. එයින් පක්ෂය තුළ බලයක් ගොඩ නගා ගත් මෛත්‍රී ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනය ඇතුලු හරයාත්මක වෙනස්කම් කීපයක්ම කළ හැකිවිය.

• ‘අතේ’ අත දීම

දේශපාලන විචාරයක් නොමැතිව ක්‍රියාත්මක වු දින 100 වැඩ පිළිවෙළ තුළ වුවද ශ්‍රීල.නි.ප. හා සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහායෙන් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවට ඉදිරියට යා හැකි විය. සැබැවින්ම එවේලේ රනිල් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් නොවූයේද මෛත්‍රී ශ්‍රීල.නි.ප. සභාපතිවරයා ලෙස සිටීම නිසාය. පක්ෂයේ හිටපු මහ ලේකම් පක්ෂයෙන් එළියට ගොස් යළි ජනාධිපති සටන දිනාගැනීම ඔවුන් බහුතරයකගේ ප්‍රසාදයට හේතු විය. ඇත්ත වශයෙන්ම ඒ දින සියයේ ආණ්ඩුවේ අය-වැය යෝජනාව සම්මත වූයේද මෛත්‍රී ජනාධිපතිවරයාට ශ්‍රීල.නි.ප.යෙන් ලැබුණු සහාය නිසාමය. එහෙත් අනතුරුව පැවති මහ මැතිවරණයත් සමඟ මේ සියල්ල උඩු යටිකුරු වූවා පමණක් නොව ජනාධිපතිවරණයෙන් පරාජය වු මහින්ද යළි මන්ත්‍රීවරයකු ලෙසද තේරී පත් විය.

මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ඇති වූ දේශපාලන ප්‍රතිචාර කවුරුත් දනිති. ඇත්ත වශයෙන්ම ඒ මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වීමට තරම් දේශපාලන විචක්ෂනභාවයක් නොතිබීම මේ සියලු අපේක්ෂා භංගවලට හේතු වූ බව දැන් කාටත් වටහාගත හැකිය. එසේම මේ ආණ්ඩුව තුළ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ගෙන යන ලද හුදෙකලා අරගලයක්ද තිබිණු බව එහිදී ඉතා විවෘතව ප්‍රකාශ විය. සත්තකින්ම සම්මුති ආණ්ඩුව ඇතුළේ සම්මුතියකට වඩා විසම්මුතියක් තිබී ඇත. රාජ්‍ය බැංකුවල තැන්පතු පෞද්ගලික බැංකුවලට යා නොදී රැකීගැනීමට පවුරක් මෙන් සිට ඇත්තේ මෛත්‍රී ජනාධිපතිවරයාය. ශ්‍රීල.නි.ප. හා එ.ජා.ප. පක්ෂ දෙක අතර තිබෙන ප්‍රතිපත්තිමය වෙනස් කම් කවුරුත් දනිති. එහෙත් එ.ජා.ප.යට අවශ්‍ය පරිදි මෙරටේ ආර්ථිකය මෙහෙයවීම නිසා පොදුවේ ජනාධිපති හා අගමැති ජනතා උදහසට ලක් වූහ.

• ‘තුනෙන්’ බැරි වීම

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් එහිදී කරන ලද ප්‍රකාශවල කිසියම් උද්වේගයක් පමණක් නොව ආත්මීය වේදනාවක්ද තිබුණු බව අපගේ අදහසය. මෙහිදී එක්තරා ඉංග්‍රීසි පුවත්පතක වාර්තාවක්ද උපුටා දක්වමින් ජනාධිපතිවරයා කථා කරද්දී සභා ගර්භයම තුෂ්ණීම්භූත වූවාක් මෙන් විය. සත්තකින්ම බොහෝ දෙනකු නොදත් කරුණු හා සමහරුන් විසින් සදොස් ලෙස කරන ලද අර්ථකථන ආදිය ගැනද ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම් ඉතා කාලෝචිත බව කිව යුතුය. ඉංග්‍රීසි පුවත්පතේ වාර්තාවට අනුව මහාතීර්ට දින පණහකින් කළ හැකි දේ මෛත්‍රීට අවුරුදු 3කින් බැරි වූයේ ඇයිදැයි එහිදී ප්‍රශ්නාර්ථක්ද නඟා තිබිණි. මෛත්‍රී ජනාධිපතිවරයා ඉංග්‍රිසි පත්‍රය අතටම ගෙන එහි හැම වැකියක්ම ව්‍යාජ හා අසත්‍ය බව සභාවට ඒත්තු ගැන්වූයේ සියල්ලන්ම මවිත කරවමින්ය. ජනාධිපතිවරයාගේ හෘදයසාක්ෂියේ ප්‍රතිරාවය සභා ගර්භයම සිසිරා ගලා යද්දී බොහෝ දේවල් ඍජුව නොවුවත් සංකේතාත්මකව අනාවරණය විය.

සෝභිත හිමියන් නිතරම සඳහන් කළ ආකාරයට තැටිය රත් වී තිබුණත් රොටිය පුච්චාගැනීමට බැරි වූයේ කුමක් නිසාදැයි පැහැදිලි කිරීමටද මෛත්‍රී ජනාධිපතිවරයාට හැකි විය. සත්තකින්ම සිදු වී ඇත්තේ රොටිය පුච්චන ගමන්ම තවත් දේවලුත් පුච්චාගැනීමට සමහරුන් ක්‍රියා කිරීමය. කොහොමටත් මේ රටේ බොහෝ විට බොහෝ දෙනෙක් අනුන්ගේ තැටිවල රොටි පිච්චීමට හපන්නුය. මෛත්‍රී ජනාධිපතිවරයාට ඒ සියල්ල තේරුම් ගැනීමට තරම් දේශපාලන විචක්ෂණ භාවයක් නොවී නම් කාට කාටත් සිදු වන්නේ රොටි පිච්චීමට නොව අත පුච්චාගැනීමටය. එසේම එ.ජා.ප.යේ සමහරුන්ගෙන් පමණක් නොව මහින්ද පිලේ අයගෙන්ද ජනතාවට අපේක්ෂා කළ රොටිය පුච්චාගැනීමට ප්‍රමාණවත් සහායක් ලැබුණේම නැත. මෛත්‍රී ජනාධිපතිවරයාගේ ශක්තියත්, ශ්‍රීල.නි.ප.යේ සහායත් නිසා සම්මත කරගත් 19 වැනි සංශෝධනයෙන් වුවද සිදුව ඇත්තේ දේශපාලන විකෘතියක් බව දැන් පැහැදිලිය. ඇත්තටම ඒ දින සියයේ කාලය ඇතුළත රටට අවශ්‍ය ආණ්ඩුක්‍රමය සැලසුම් කිරීමට හෝ නොහැකි වීමෙන් පෙනෙන්නේ මෙරටේ දේශපාලන ගේම්වල හැටි විනා අන් දෙයක් නොවේ.

යහපාලනයක් ඇති කර හොරුන්, දූෂිතයන්, වංචනිකයන්, ඝාතකයන් අල්ලා නීතිය ඉදිරියට ගෙන යෑමට පැමිණි කණ්ඩායමෙන් සිදු වූයේ කිසිවකු අපේක්ෂා නොකළ මහ බැංකු මගඩියකි. සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ සෝභිත හිමියන්ගේ අපේක්ෂාව හුළඟේ ගිය ආකාරය මෛත්‍රී ජනාධිපතිවරයා සැකෙවින් වුවද මැනවින් සභාවට හෙළි කළේය.

• වචීපරම දේශප්‍රේමියෝ

මහ බැංකු මගඩියේ මොළකාරයා අද රටේත් නැත. 2015 ජනවාරි 08 අපේක්ෂා ගැන මෙන්ම එහි තිරය පසුපස සිදු වූ ඇතැම් දේවල් ගැනද නොයෙක් හැඟවීම් සිදු විය. යහපාලන හා සංහිඳියා බෝඩ් දමාගෙන ඝෝෂා කළ ආණ්ඩුවේ අභ්‍යන්තර කථාව ඇඟ හිරිගඩු නංවනසුලු බව දැන් හොඳටම පැහැදිලිය. එහෙත් ජනධිපතිවරයා රටට අවධාරණය කළේ සෝභිත හිමියන් අපේක්ෂා කළ සාධාරණ සමාජයක් සඳහා වන අරගලයට දිවි හිමියෙන් කැප වීමට තමන් සූදානම් බවය. එහෙත් ගැටලුව වන්නේ සත්‍යය දැක-දැකත් නිහඬව සිටින බුද්ධිමතුන්ද ස්වාර්ථය මත පදනම් වූ දූෂිත දේශපාලන ක්‍රියාදාමයක නිරතව සිටින වචීපරම දේශප්‍රේමීන්ද බහුල සමාජයක් උත්තර සමාජයක් බවට පත් කිරීම මාරාන්තික අභියෝගයක් වන නිසාය. කවුරුන් කෙසේ කීවත් මේ රටේ දේශපාලනයේ සැබෑ මුහුණ අප හිතන තරම් සුන්දර නැත. එහෙත් ජනතාවට තිබෙන උභතෝකෝටිකය මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නේ කෙසේද යන්නයි. මේ සිල්ලර දේශපාලනය වෙනුවට රට ඉදිරියට ගමන් කරන පාලනයක් ගොඩ නඟා ගන්නේ කෙසේද යන්නයි.

• ‘සැර’ කතාව

මෛත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සැර කථාවක් ලෙස බොහෝ මාධ්‍යවල වාර්තා කර තිබිණි. එහෙත් එයින් මේ රට ගිල්ලා තිබෙන දේශපාලන අඳුර ගැන නම් නිසි වැටහීමක් ලබාගත හැකි බව කිව යුතුය. මේ දේශපාලන අඳුරෙන් එළියට එන්නට දැල්වූ ආලෝක ධාරාවක් ලෙස ජනාධාපතිවරයාගේ අනාවරණයන් සැලකිය හැකිය. එහෙත් තවමත් මෙ රටේ දේශපාලන සාක්ෂරතාව ඉතා දිළිඳු බව අපි දනිමු. ජනතා හිතවාදිත්වය හා සාධාරණත්වය දේශපාලන වේදිකා ඔස්සේ දෝරේ ගියත් අද දුප්පතා ඉන්නේ තම හිස මත තබා ගති බදු බරකින්ද පීඩි විඳිමින්ය. දුප්පතා සිඳිමින් ධනවතා රකින ආර්ථික මායාවක් ලුහුබඳිමින් සිටින පිරිසකගේ සිහින විනා යථාර්ථවාදී දැක්මක් ආර්ථිකය මෙහෙයවන කණ්ඩායමට නැති බවද පෙනේ. මේ හෙයියම්මාරු මැද ජනතාව යළිත් ඇදී යන්නේ කොතැනටද? 2020 ගැන මතුරන දේශපාලන ගල් ආඳෝ දැනටමත් පිටියට බැස සිටිති; සිහින වපුරති; පොරොන්දු කඳු ගසති. ජනතාව විසින් 2015 ජනවාරි 08 ගන්නා ලද තීන්දුව නොමඟ යෑමක් ලෙස පෙන්වීමටද සමහරු සමත්ව සිටිති. රට ගොඩනැගීමට මහතීර් කෙනකු සොයන්නේ ඒ වචීපරම දේශපාලනඥයෝය. එහෙත් මැලේසියාවේ සිදු වූයේ කුමක්ද? යන්න පිළිබඳ නිවැරදි දේශපාලන කියවීමක් ජනතාවගෙන් බහුතරයකට නැති බව රහසක් නොවේ.

• මැලේසියාවේ ‘වෙනස’

මැලේසියාවේ අගමැති ධුරය හෙබවූ නජීබ් රසාක්ගේ දූෂිත පාලනය පෙරළා දැමීම සඳහා නායකත්වය දුන්නේ මහතීර් මොහොමඩ් බව සැබෑය. නජිබ් පාලනයේදීත් විරුද්ධවාදීන් මර්දනය, දූෂණය, වංචාව, ඉහවහා ගොස් තිබිණි. විපක්ෂයේ සිටි ජනප්‍රිය නායකයකු වූ අන්වර් ඊබ්‍රාහිම් මුහුණ දුන් තත්ත්වය ඉතා බැරෑරුම් විය. අනෙක මහතීර් යනු මැලේසියාව ගොඩ නැඟූ ඔහුටම අනන්‍ය වූ දේශපාලන පෞරුෂයක් සහිත නායකයෙකි. රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මේ භූමියෙන් පරාජය කිරීමේ ගෞරවයට හිමිකම් කීවත් ඔහුට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල වෙයි. අතුරුදන් කිරීම් හා තාජුදීන් ඝාතනය පිළිබඳ එල්ල වී තිබෙන චෝදනාවලින් හෝ ඔහුට තවම නිදොස් විය හැකි වී නැත. ඉහත සඳහන් කළ ජනාධිපතිවරයාගේ සැර කථාවේදීත් මේ ගැන බරපතළ හැඟවීම් සිදු විය. එනිසා මෛත්‍රීගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඒ සකලවිධ දූෂණ, භීෂණ, ඝාතන චෝදනාවලට එරෙහිව දුන් ජනතා තීන්දුව අනුවය.

දේශපාලන වශයෙන් දුර්මුඛව සිටි පිරිසක් මහින්ද සමඟ නැඟිටීමට දැරූ ප්‍රයත්නය පරාජය කිරීමට මේ ආණ්ඩුවට බැරි වීම නිසා මහින්ද පිල යළි හිස ඔසවා සිටින බව සැබෑවකි. ආණ්ඩුවේ අවුල් මෙන්ම පක්ෂවල අවුල්ද එයට හේතු විය. මෛත්‍රීට පක්ෂය භාර දුන් මහින්ද පමණක් නොව මෛත්‍රී පොදු අපේක්ෂකයා කිරීමට වෙහෙස වූ චන්ද්‍රිකාද අද ඔහු දෙස වපර ඇසින් බලන ආකාරයද සැඟවිය නොහැකිය. රදළ හා ධනේශ්වර පන්තියේ සාටෝප දේශපාලනයට මේ ගැමි අව්‍යාජ නායකයා ප්‍රශ්නයක් වීම පුදුමයක්ද නොවේ. 2020 ඒ පන්ති වුවමනාව සපුරාගැනීමේ සිහින මෙහෙයුමක් විනා අන් දෙයක් නොවේ.

• 118 ලැයිස්තුව

අපි අවසන් වශයෙන් ඇලෝසියස්ගේ ප්‍රදානයන් භාරගත් බව කියන 118 ලැයිස්තුව ගැන විමසා බලමු. දැනට වේදිකාවල කියවෙන දේවල් අනුව මෙම මුදල් ගනුදෙනුව අහිංසක ක්‍රියාවක් නොව ඉතා වංචනික, කූට, අත යට ගනුදෙනුවක් ලෙස උපකල්පනය කළ හැකිය. ඕනෑම ව්‍යාපාරිකයකු දේශපාලන පක්ෂවලට අනුබල අනුග්‍රහ දක්වන බවට තිබෙන පොදු සම්මුතිය කුමක් වුවද මෙය නම් අලජ්ජී තුච්ච කප්පමක් බව සිතාගැනීම අසීරු නැත. ජාවාරම්කරුවන් අතදිගහැර දෙන්නේ සාධාරණ මුදල් නොවන බවද අපි දනිමු. ඔවුන් ඒවා දෙන්නේ මතු බලාපොරොත්තු අතිවමය. තමන්ගේ නීති විරෝධී වැඩවලට ආවරණය ලබාගැනීමද එබඳු අයගේ එක් අරමුණකි.

මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ සාමාන්‍ය ජනතාව මුදල් එකතු කර තම මන්ත්‍රීවරුන්ට උපකාර කළ අවස්ථාද තිබේ. රණසිංහ ප්‍රේමදාස මහතා එදා මන්ත්‍රීවරයකු ලෙස පත් වූ විට ජනතාව එක්ව ඔහුට මයිනර් කාර්-එකක් පරිත්‍යාග කළ බව රහසක් නොවේ. ඒ වර්ගයේ, රුපියල-දෙක එකතු කර ජනතා නියෝජිතයන්ට දුන්නේ සාමාන්‍ය ජනයා වුවද අද එය කළුසල්ලිකාර ජාවාරමුන්ගේ අධම ක්‍රියාවක් ලෙස බාල්දු වී තිබේ. කුප්‍රකට පාතාලයන්, මත් ජාවාරම්කාරයන්, විවිධ දූෂිතයන් දේශපාලන චරිත සමඟ කරන ගනුදෙනු ගැන රටම දනී ඇතැම් දේශපාලනඥයෝද නොයෙක් ජාවාරම්වලට ගෑවී සිටිති.

කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම එහි නිරතව සිටින ගරු මන්ත්‍රීතුමන්ලා ගැනද ජනතාව තුළ ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවන බව කිව යුතුය. එහෙත් සියල්ලෝම හොරු නොවෙති. ඒ අය අතර හොරුද සිටිති. 225කින් 118ක් යනු ලේසි පහසු ගණනක්ද නොවේ. කුමක් වුවත් මෙයට අයත් නැති ගරු මන්ත්‍රීවරුන් විසින් අප්‍රමාදව කළ යුතු වන්නේ මේ ශූර චෞරයන් රටට හෙළි කිරීමය. තණකොළ කැපීමට කිතුලට නැඟි මිනිසා තණකොළ නැති නිසා බිමට බැස්ස බව කියන ජනප්‍රවාදයක් සිංහල වහරේ තිබේ. එනිසා මේ නීච ක්‍රියාව සාධාරණීකරණය සරමක් පමණක් ඇඳගෙන ඔළුවෙන් සිටගැනීමකට නොදෙවැනි ක්‍රියාවක් බවද සඳහන් කළ යුතුය.

අදහස්