අපි සුදු වෑන් සංස්කෘතිය නැති කළා | සිළුමිණ

අපි සුදු වෑන් සංස්කෘතිය නැති කළා

 ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලනික වාතාවරණය හා සුළු අපනයන බෝග වගා කරන ගොවීන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද සිළුමිණ සමඟ සංවාදයට එක් වන්නේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතායි.

බඩු මිල ඉහළ ගිහින්, ජනතාව හෙම්බත් වෙලා බස් ගාස්තු, කිරිපිටි, ඉන්ධන සියල්ලම ඉහළ ගිහින් ජනතාවට සහනයක් ඇත්තෙම නැද්ද?

හැම මාධ්‍යම කතා කරන්නෙ බඩු මිල ඉහළ යන එක විතරයි. මේ රජය බලයට පත් වෙලා ඉන්ධන මිල අඩු කරපු එක ගැන කතා කරන්නෙ නැහැ. තවමත් ඉන්ධන මිල එදා පැවැති මිලට වඩා අඩුයි. රාජපක්ෂ යුගයේ බොර තෙල් බැරලයක මිල වුණේ ඇමරිකන් ඩොලර් 47යි අද එය 78ට ඉහළ ගිහින්. 2015 රජය බාර ගත්තට පස්සෙ මේ අවස්ථාවේ තමයි තෙල් මිල දැනෙන්න වැඩි වුණේ. ඒත් තවමත් එදාට වඩා අපේ ඉන්ධන මිල අඩුයි. ඒ ගැන කතා කරන්නෙ නැහැ. පුදුමය වෙන්නෙ ඒකාබද්දෙ අයත් ඒ ගැන කතා කරනවා.

මේ තෙල් මිල ඉහළ නගිද්දි භූමිතෙල් මිල විශාල ලෙසින් ඉහළ නැංවූවා. පොඩි මිනිහාට රජය දීපු සහනයද ඒ.

භූමිතෙල් මිල ඒ ආකාරයෙන් වැඩි කෙරේ හේතු දෙකක් නිසා. ඇතැම් බස් රථ වලට වගේම බර වාහන වල ඩීසල් හා භූමිතෙල් මිශ්‍ර කරන ජාවාරම් පහුගිය දිනවල වාර්තා වුණා. මේ නිසා ගැටලු දෙකක් මතු වුණා. එකක් ඒ වාහනවල එන්ජින් අක්‍රිය වීම. අනෙක් කරුණ අඩුආදායම්ලාභීන්ට අඩුමිලට දෙන භූමිතෙල් සහනාධාරය වෙනත් පිරිසක් ලබා ගැනීම. මිල ඉහළ ගියත් අපි ඒ සහනාධාරය අදාළ අයට ලබා දෙනවා.

යහපාලන ආණ්ඩුවේ පිරිසට එකට වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙන බවයි පෙනෙන්නේ. තැන්තැන්වල විවේචනය කර ගැනීමයි තියෙන්නෙ. එක මතයකවත් ඉන්න බැරිව කොහොමද ආණ්ඩුවක් කරන්නෙ.

ප්‍රතිපත්ති දෙකක යන පක්ෂ දෙකක ආණ්ඩුවක් මේ. යහපාලනය කියන්නෙ මේ මත ගැටුම් දුරු කරගෙන ජනතාවට සේවය කරන එකයි. මත ගැටුම් තියෙන එකත් හොඳයි. අඩු පාඩු පේන්නෙ එතකොටයි.

ඒත් හැමදාම මත ගැටුම්නෙ, ඒ කියන්නෙ හැමදාම යහපාලනේ අඩුපාඩු තියෙනව කියන එකද?

අඩු පාඩු නැති ආණ්ඩුවක් තිබුණෙ නැහැනෙ. පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට කොහොමත් මත ගැටුම් ඇති වෙනවනේ. අවුරුදු තුනහමාරකදි ජනතාවට මේ යහපාලන ආණ්ඩුව කරපු සේවාවන් ගැන මාධ්‍යත් කතා කරනව අඩුයි. අපි පොරොන්දු වූ පරිදි රුපියල් 10000කින් රජයේ සේවක වැටුප් වැඩි කළා. ගෑස් මිල අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. ඖෂධ මිල අඩු කළා. ඒ සම්බන්ධව ඇගැයීමක් නැහැ.

ආණ්ඩුව කැබිනට්ටුව විද්‍යාත්මක ලෙසින් හදනව කිව්වත් අන්තිමට කාඩ් කුට්ටම ඇනුව වගේ කියල එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ම කියනවා.

ඒකෙන්ම පේනව නේද මේ ආණ්ඩුව කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා. රාජපක්ෂ යුගයේදි ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්කමක් තිබුණද? කැබිනට් එකේදි පවා කතා කරන්න හැකියාවක් තිබුණෙ නැහැ. කියන දේ අහගෙන ඉන්න විතරයි තිබුණෙ. අද තත්ත්වය කොයිතරම් වෙනස්ද? ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා ගැන අගමැතිතුමා ගැන විවේචනය කරන්න පුළුවන්. ඉස්සර කරානම් රෑට සුදු වෑන් එකක් එනවා. අපි ඒ සංස්කෘතිය නැති කරානෙ.

ඒ කො‍ෙහාම වුණත් මේ හැමදෙයින්ම වාසිදායක වෙන්නෙ විපක්ෂයටනේ. ආණ්ඩුව හෙල්ලෙන දතක් වගෙයි කියලත් ඒකාබද්දෙ අය කියනවා.

ඒකාබද්ද විපක්ෂය නිතරම බලන්නෙ ආණ්ඩුව පෙරලන්න මොනවද කරන්න පුළුවන් කියල. ඒක හීනයක් විතරයි. ඔබතුමා එහෙම කිව්වත් ආණ්ඩුවෙ 16 දෙනෙක් විපක්ෂයට ගියා. පළාත් පාලන මැතිවරණයෙදි පොහොට්ටුව බලවත් වුණානෙ. ඒ තත්ත්වය සුළුවෙන් තකන්න බැහැ.

ඒක මම පිළි ගන්නවා. ඒ ගැන ආණ්ඩු පක්ෂයෙ අය දැන ගන්න ඕන. අපි කරන යම් විවේචනයක් හෝ ක්‍රියාවකින් ආණ්ඩුවට යම් හෝ හානියක් වනවානම් ඒ දේ නොකර ඉන්න පරිස්සම් වෙන්න ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැන් ගන්න ඕන. ආණ්ඩු පක්ෂයේ අය දැන ගන්න ඕන විපක්ෂයේ ගොදුරු නොවී ඉන්න.

ආණ්ඩුව නිසි පරිදි කටයුතු කරනවනම් ඇයි විපක්ෂයට බය වෙන්නෙ.

ආණ්ඩුවේ යහපාලන ගමන අපි යනවා. ජනාධිපතිවරයා ළඟ සිටින ලේකම්වරුන්ට විරුද්ධව පවා නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් සුළු සුළු අඩුපාඩු විවේචනය කිරීම සුදුසු ක්‍රියාවක් නෙමෙයි. රජය දෙන ජනතා සහන ගැන කතා නොකරන තරමට මාධ්‍යත් තරමක් ගොලු වෙලා.

ජනතාවට සහන දෙන එකත් ලොකු ගැටලුවක්. ජනතාව නිකම්ම ඉදගෙන සහන බලාපොරොත්තු වනවා. ජන සවියේ සිට සමෘද්ධිය දක්වාම කම්මැලි කුසීතයන් බිහි කරන්න ගත් ක්‍රියා මාර්ග ලෙසයි සමාජ විචාරකයන් දකින්නේ.

ඒ කතාව ඇත්ත. ජනතාවට ලබා දිය යුත්තේ ජීවන මාර්ගය සකස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ගයි. සමෘද්ධි සහනාධාර අප ලබා දෙන්නේ රුපියල් 3500ට අඩු ආදායම් ලාභී අයටයි. ඒ අයට ජීවන මාර්ග සකස් කර දීමයි වැදගත් වන්නේ.

ඒ ක්‍රියා මාර්ගය ඔබගේ අමාත්‍යාංශයට අයත් එකක්. ඒ සම්බන්ධව යම් ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නේ නැහැ.

ඒක තමයි මා කිව්වේ මාධ්‍ය අප කරනු ලබන දේ පිළිබඳව නිසි පරිදි වාර්තා කරන්නේ නැහැ කියා. අපි මේ වන විට සමෘද්ධිලාභී අඩුආදායම්ලාභී කාන්තාවන් දසලක්ෂයක් ප්‍රාථමික කර්මාන්ත කරා යොමු කරමින් සිටිනවා. රුපියල් 3500ක් අරගෙන ඉන්නව වගේ නෙමෙයි. ඒ ජනතාවට ගම්මිරිස් වැල් 20ක් වවා ගත්තොක් අවුරුද්දකදී රුපියල් ලක්ෂයක ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒකම තමයි අපි ලබා දෙන සමෘද්ධිය වෙන්නේ.

ගම්මිරිස් වවලා පහුගිය දවස්වල පාරේ උද්ඝෝෂණ කරන්න වුණා.

එහෙම තත්ත්වයක් දැන් උදා වෙන්නෙ නැහැ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි අප අපනයන ගම්මාන 10000ක් පිහිටුවන්න කටයුතු කරනවා. දැනටමත් ගම්මාන 5000ක් පිහිටුවන්න කටයුතු කරලයි තියෙන්නෙ. අනෙක් තරුණ මේ ඵලදාව සැකසුම් කරල කල් තබා ගන්න අප කටයුතු කරනවා. ඒකට අවශ්‍ය කරන පහසුකම් මේ වන විටත් අප සකස් කරමින් ඉන්නෙ.

ගම්මිරිස් පමණක් වැඩි දියුණු කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරන්නෙ.

ගම්මිරිස් වගාව මා ගත්තේ උදාහරණයක් විදිහටයි. ටී ජර්සි අඹ වැවීමත් මේ වන විට අප ජනප්‍රිය කර තිබෙන්නෙ. ටී.ජර්සි අඹ කිලෝ එකක් රුපියල් 200ක් වෙනවා. අඔ ගස් 25ක් වවා ගත්තොත් එන ආදායම වාර්ෂිකව ලක්ෂ දෙකහමාර ඉක්මනවා. සාත්තුව අවම මට්ටමක තබා ගෙන විශාල ආදායමක් ඒ හරහා ලබා ගන්න පුවවන් වෙනවා. ස්ටේබෙරි, බ්ලූබෙරි අන්නාසි වැනි භෝග සම්බන්ධවත් අප අවාධානය යොමු කර තිබෙනවා.

ජනතාවට මේ ෙබා්ග වැව්වට පලක් නැහැ. අලෙවි පහසුකම් නැත්නම්. තියෙන කාලෙට විසි කරන්න ඵලදාව තියෙනවා. නැති කාලෙට ගිනි ගණන්.

ඒ තත්ත්වය අපි හොඳින් අවබෝධ කරගෙනයි තියෙන්නෙ. ඒක නිසා හරිතාගාර යටතේ මේ කටයුතු කරන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ. අපනයන අධිකලාප 3ක් ඇල්පිටිය, මාතලේ හා අම්පාර උහන ඉදි කරන්නයි කටයුතු කරන්නේ. ඒ නිසා වසර පුරාම අඛණ්ඩව ජනතාවට තම නිෂ්පාදන අලෙවි කරන්නත් පුළුවන්. ඒවා ගබඩා කර තබන්නත් පුළුවන්. ඒ වගේම ඒ අපනයන භෝගයන්ගේ අගයදාමය වැඩි කරන්නත් කටයුතු කරනවා.

මේ කොයි ව්‍යාපෘතිය හැදුවත් වැඩක් නැහැ අඩුආදායම් ලාභීන්ට බැංකු ණයක් ගන්න බැහැ. බැංකුවකට ගියහම ණය ගෙවන්න තියෙන සුරැකුම් ගැනයි පළමුවෙන්ම විමසන්නේ. එතැනින්ම වගාව ඉවරයි.

ඒ ගැන අපි හොඳාකාරවම අවබෝධ කරගෙනයි ඉන්නෙ. බැංකු බලන්නේ තමන්ගේ ණය මුදලේ ආරක්ෂාව ගැනයි. පසුව ලැබෙන ආදායම ගැන ඒ අයගේ අවධානය අඩුයි. අපි ලෝක බැංකුව හරහා මේ සම්බන්ධයෙන් ණය මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. ලෝක බැංකුව මේ සම්බන්ධව අවධානය යොමු කර සාර්ථක ව්‍යාපෘති සඳහා ණය ලබා දෙන්න කටයුතු කරන බව දන්වා තිබෙනවා.

අපිට හොඳ ආදායමක් ලබා දුන් කුරුඳු වගාව අමතකම වෙලා ගිහින් වගේ.

අමතක වෙලා නැහැ. කුරුඳු වගාවෙන් අපිට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් මිලියන 169යි ඒ තත්ත්වය ඩොලර් මිලියන 1000ක් දක්වා ඉහළ නංවා ගැනීමටයි අපි කටයුතු කරන්නේ. ඒ ආදායම ලබා ගැනීම එතැනින් නතර වෙන්නෙත් නැහැ. ආදායම ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නංවාගැනීමටයි අප කටයුතු කරන්නේ.

මේ වගේ සුළු අපනයන ෙබා්ගවලින් අපිට විශාල අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් වුණත් ඒ තත්ත්වයට අපට යන්න බැරිවීම සම්බන්ධව රජය වගකීම බාර ගත යුතුයි නේද?

ඒක තමයි අපි දැන් මේ කටයුතු කරන්නේ. අපි මේ සම්බන්ධව ගිවිසුම් 2000ක් පමණ අස්සන් කරන්න බලාපොරොත්තු වනවා. ඒ ගිවිසුම් මේ වසර නිම වීමට පෙර අස්සන් කර නිම කරන්නත් බලාපොරොත්තු වනවා.

වියට්නාමය වගේ විශාල යුද්ධයක් තිබුණු රටකට වුණත් අපනයන ආදායම දෙගුණ කරගන්න වසර දෙකයි ගත වෙන්නේ. අපිට අවරුදු ගාණක් ගිහින් ඒ තත්ත්වය ඇති කර ගන්න බැරි වෙලා.

අපි ඒ සම්බන්ධව තමයි දැන් මේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. පිළිකාකාරක කුරුඳු ලෝකයේ බොහෝ රටවල තිබුණත් අපේ රටේ තියෙන්නෙ පිළිකා සමනය කරන කුරුඳු විශේෂයක්. එයින් අපට විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්.

ඒ තරම් වටිනාකමක් තියාගෙනත් රටවල් 13කට පමණයි අපි කරුඳු අපනයනය කරන්නෙ. ඒ වුණත් මැති ඇමැතිවරුන්ගේ විදේශ සංචාර නම් අපමණයි.

දැන් අපි රටවල් 25කට පමණ අපනයන ආරම්භ කර තිබෙනවා. අපේ දේ අපනයනය කරන්න අපි ගිහින් කතා කරන්න ඕන..

ඡායාරූපය - විපුල අමරසිංහ

අදහස්