ට්‍රෑම්කාරයේදී පොකට්කාරයෙක් මටත් ගේමක් දුන්නා | සිළුමිණ

ට්‍රෑම්කාරයේදී පොකට්කාරයෙක් මටත් ගේමක් දුන්නා

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහෝ තියේ
පාර මැද‍දේ පිලී උඩින්
ට්‍රෑම් කාර් යනවනේ"

අතීත කොළඹ ගැන බොහෝ දෙනා මතක් කරති. ප්‍රවාහනය දියණු අද දවසේ මෙන් නොව, මීට දශක හත අටකට පමණ කලින් කොළඹ ආ අයකුට කොළඹදී දැක ගත හැකිවූයේ බස් රථ වෙනුවට ට්‍රෑම් රථ ය. මේ ඒ ඉතිහාසයට කරන එබී බැලීමකි.

එකල කොළඹ ආවකුට ට්‍රෑම් කාර් ගැන ඇත්තේ එවැනි පුදුමයකි. එඩී ජයමාන්න උමතු විශ්වාසය චිත්‍රපටයේ ගීතය ගයන්නේ ඒ කුතුහලය වඩාත් ජනිත වන අයුරුනි. එකල විසුවන්ට පමණක් නොව මේ ගීතය ඇසෙන මොහොතක් පාසා ට්‍රෑම් කාර් ගැන හිතේ මතුවන්නේ කුහුලකි.

ලංකාවේ ට්‍රෑම් කාර් යුගය පටන් ගන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගයේදී ය. ඒ බව තහවුරු කරන 1899 ජනවාරි දාහතර වන සෙනසුරාදා "ලක්මිණි පහන" පුවත්පතේ තුන්වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

" ....ඊයේ හවස 4.00 මගීන් ගෙනයාමට පටන් ගන්නා ලදී. මගීන් ගෙන යාමට රථ විවෘත කරන ලද්දේ කොළඹ නගරාධිපති ප්‍රයිස් මහතා විසිනි. මේ මහතා ද නාගරික සභාවේ සාමාජිකවරුන් සමහර දෙනෙක් ද තවත් මහත්වරුන්ද පළවෙනි රථයේ නැගී තොටළඟ දක්වා ගියෝය. තොටළඟට යාමට මිනිත්තු 17ක් ගතවන නමුත් හැරී ඒමට මිනිත්තු 10ක් ගතවිය. මෙම රථයට පසු අවශේෂ ජනයා නැගි රථ ගියෝය. ඊට පස්සේ කොළඹ කොල්ලෝ රංචු රංචු එල්ලී ගියෝය. අද පටන් කොළඹ කොටුවත් තොටළඟත් අතර මගීන් ගෙන යාම පටන් ගන්නා ලදී. වැලිකඩ දක්වා යන පාරේ විදුලි රථ දුවවීම ද පෙබරවාරි මාසයේ මුල පටන්ගනු ලැබේ."

ලංකාවේ ට්‍රෑම් රථ පිළිබඳ ඉතිහාසය පැවැසෙන්නේ එසේ ය. ද කලම්බු ඉලෙක්ට්‍රික් ට්‍රෑම්වේස් ඇන් ලයිටංග් සමාගම විසින් සිය නියෝජිත ආයතනයක් වන බවුස්ටඩ් සහෝදර සමාගම ලවා කොළඹ නගරයේ ට්‍රෑම් රථ ධාවනය ආරම්භ කරන ලදී. පසු කාලීනව විදුලි ට්‍රෑම් රථ ධාවකයන් විසින් දියත් කරන ලද මහා වැඩ වර්ජනයක් නිසා කොළඹ නගර සභාව විසින් එහි අයිතිය පවරා ගන්නා ලදී.

එදා තිබූ ට්‍රෑම් රථය අද තිබෙන ලංගම බස් රථයක් වැනි විය. ට්‍රෑම් රථයේ පැතලි ගන වහලය මත සවිකොට තිබූ සිහින් උසැති දණ්ඩක් උඩින් ඇද තිබූ විදුලි කම්බිවලට ස්පර්ශ වීමෙනි. එයින් ලැබෙන විදුලියෙන් මෙම රථ ධාවනය වීමට අවශ්‍ය විදුලි බලය ලැබිණි. ට්‍රෑම් රථ ධාවනය වූයේ පොළව මතුපිට සවි කර තිබූ පීලි මත ය. ට්‍රෑම් රථයේ රියැදුරු රථය හැසිරවූයේ රියැදුරු අසුනේ ඉදගෙන නොව සිට ගෙන වීම විශේෂ ය.

ට්‍රෑම් රථ පිළිබඳ පොතින් පතින් අසා දැන ගත් තොරතුරු එසේ ය. නමුදු ට්‍රෑම් රථවල ගමන් ගත් ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තවුන් කියන කතා බෙහෙවින් රසවත් ය. මේ එකල ට්‍රෑම් රථ පිළිබඳ ඇත්දැකීම් ඇත්තකුගේ මතකයකි.

"මම අම්මා එක්ක දවසක් කොළඹ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියා. එදා අපි ගියේ ට්‍රෑම් රථයක. ඒක හරි අපූරුයි‍. පස්සේ කාලෙක මම රැකියාවකට කොළඹට ගියා. ඒකාලේ ට්‍රෑම් කාර් තමයි තිබුණේ. දැන් මේ බස්වල වගේ ඩ්‍රැයිවර්ලා ඉදගෙන නෙමෙයි ට්‍රෑම් රථ ඩ්‍රෑයිවර්ලා ගියේ. එයාලා හිටගෙන තමයි ට්‍රෑම් රථ එළෙව්වේ. ඒ කාලේ ට්‍රෑම් රථවල හිටියේ හොඳ උස මහත රියැදුරො, කොන්දොස්තරලා. මට මතක හැටිය‍ට ගමන් ගාස්තුව සත පහයි. රියැදුරයි කොන්දොස්තරයි දෙන්නම ඇන්දේ කාකි නිල ඇඳුමක්. ට්‍රැම් කාර් පණ ගැන්නුවේ එල් අකුර වගේ තියෙන උපකරණයකින්. ඒක කරකවලා අතඇරියම ස්ටාර්ට් වෙනවා" දැන් හැත්තෑ අටවැනි වියේ පසුවන රිචඩ් බමුණුආරච්චි මහතා පවසන්නේ එදවස තමන් අත්විඳි ට්‍රෑම් කාර් මතකයයි.

" සමහර වෙලාවට ට්‍රෑම් කාර් එකට විදුලිය ලබා දුන් ස්පර්ශක දණ්ඩ විදුලි කමිබිවලින් පිටතට පනිනවා. එත‍කොට ට්‍රෑම් රථය එකපාරටම නතර වෙනවා. ඒ වෙලාවට කොන්දොස්තර දිග උණ ගහක් වගේ දණ්ඩක් අරගෙන නැවතත් කම්බිවල කොකුවලට දමනවා. ඊට පස්සේ ආයෙත් ගමන ආරම්භ කෙරෙනවා"

බමුණු ආරච්චි මහතා පවසයි. ට්‍රෑම් රථ ධාවනය වූයේ අඩු වේගයකිනි. මේ නිසා පිට් ‍පොකට්කරුවන්ට එය රජ දහනක් වී පැවැතිනි. දිනක තමන් මුහුණ දුන් පිට්පොකට් අත්දැකීමක් ද බමුණුආරච්චි මහතා අපට සිහි කරයි.

" මම ඒ කාලේ වැඩ කළේ EB ක්‍රිසි කියන සුදු ජාතික ‍කොම්පැනියේ. ඒ කාලේ හරියට පිට්පොකට් කාරයෝ හිටියා. වාහනේ හිමින් යන හින්දා පිට්පොකට් ගහලා යන වාහනෙන් පැනලා දුවනවා. දෙපැත්තෙන් ම දොරවල් තිබුණු නිසා පැනලා දුවන්නත් ලේසි වුණා. මම දවසක් වැඩට යනකොට මගේ සාක්කුවේ හොඳ 'පයිලට්' පෑනක් තිබුණා. එක පාරට ආව පිට්පොකට් කාරයෙක් මගෙ පෑනත් අරන් පැනලා දිව්වා" ඔහු සිනාසෙමින් පැරණි මතකය ආවර්ජනය කරයි.

එකල ජනතාවට ට්‍රෑම් කාර්වල යාම අපූරු අත්දැකීමක් විය. එකල ට්‍රැම් කාර් ගමන් මඟ වූයේ කොටුව, ගෑස් පහ හන්දිය, අලුත් කඩේ, ආමර්වීදිය, ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ හා නාගලගම් වීදිය වැනි ප්‍රදේශ ය.

අද පවා මේවායේ ඇතැම් පීලි මාර්ග දැකිය හැකි අතර‍, ඒවා විසින් අප අතීතයට කැඳවා ගෙන යනු ලබයි. ට්‍රෑම් රථවල අසුන් පනවා තිබුණේ දෙපසට ය. ට්‍රෑම් රථයට පිටත් වීම සඳහා දෙනු ලබන සංඥාව රථයේ සවිකර ඇති සිනූව නාද කිරීම ය. නමුත් ඊට ප්‍රථමයෙන් කොන්දොස්‍තර විසින් තම කරේ එල්ලා ගෙන සිටින නළාව නාද කරනු ලැබිණි.

ට්‍රෑම් රථ පිළිබඳ ඉතිහාස ගැන අද කියන බමුණුආරච්චි මහතාට රැජිනගේ උපන්දිනයට ට්‍රෑම් රථවල කර තිබූ වෙනස ද මතක ය.

" මට මතකයි මහ රැජිනගේ උපන්දිනයකට ට්‍රෑම් රථ විදුලියෙන් අලංකාර කරලා තමයි දිව්වේ. ඒ ව‍ගේම විශාල ඔටුන්නක් හදලා ඒක ට්‍රෑම් රථයේ සවි කරලා විදුලියෙන් එළිය කරලා තිබුණා. "

ට්‍රෑම් කාර් එකල මඟීන්ට අපුරුවක් වූවා මෙන්ම හොඳ ප්‍රවාහන පහසුකමක් ද වූයේ ය. මුලින් ම පංචිකාවත්තෙන් අවසන් වූ ට්‍රෑම් කාර් ගමනාගමනය පසුව ග්‍රෑන්ඩ් පාස් දක්වා දීර්ඝ කරන ලදී. මෙම රථ ධාවනය වූයේ කාල සටහනකට අනුව ය.

මෙරටට පැමිණි විදේශීය ‍ලේඛකයකු වූ හෙන්රි.ඩබ්ලිව් .කේව් නමැත්තා විසින් ලියන ලද "ද බුක් ඔෆ් සිලෝන්" ග්‍රන්ථයේ ලංකාවේ ට්‍රෑම් කාර් පිළිබඳ ලියා තිබේ.

කොළඹ නගරය තුළ ගමන් කිරීමට සුදුසු කාර්යක්ෂම ප්‍රවාහන සේවය ලෙස ඔහු මෙය හඳුන්වයි.

එමෙන්ම ට්‍රෑම් රථයේ නැඟී විවිධ දිශාවන්ට ගමන් කිරීමේදී දර්ශනය වන කොළඹ අසිරිය පිළිබඳ ද ඔහු මේ කෘතියේ අවධාරණය කර තිබේ.

තම ගමනට බාධාවක් වනසේ මිනිසුන් මාර්ගයේ සිටි විට රියදුරු එහි නලාව නාද කළේ ය. එවිට මිනිස්සු කඩිමුඩියේ මාර්ගයෙන් ඉවත්වූහ.

එසේ දශක පහකටත් වැඩි කලක් කොළඹ නගරය පුරාවට 'ක්ලෑන්ග්....ක්ලෑන්ග්.... නාදය පතුරවමින් ධාවනය වූ ට්‍රෑම් රථය 1953 පමණ වන ප්‍රවාහන සේවයෙන් ඉවත් වූයේ අපට රසබර මතකයන් පමණක් ඉතිරි කරමිනි.

නන්දි අලුත්ගේ රත්නවීර

අදහස්